ඊයේ දින අහම්ඹෙන් හමුවු, ආණ්ඩුවෙ මාධ්‍ය ආයතනයක වැඩ කරන මිතුරෙක් කියු ලෙසට "අරගලයට සම්බන්ධවූ අයගෙන් විශාල පිරිසක් දැන් ඉන්නෙ සිරිකොතේය".
එමගින් එම මිතුරා අදහස් කල දෙය විය හැක්කේ රනිල් වික්රමසිංහ විසින් සෘජුව හෝ වක්රව මෙහෙයවූන පිරිස් ද "අරගලයේ" සිටි බව හා බලය නිසා ඔවුන් දැන් ආණ්ඩුවාදීන් වී ඇති බවයි.
අපගේ නිරීක්ෂණයට අනුව අරගලයේ පිරිස් අද හැම තැනකම සිටී. ජවිපෙ, පෙසප, සජබ, slfp, චම්පික, ඩලස්, විමල්...මේ හැමතැනම හා එම එකම තැනකටවත් අයත් නැති ස්වාධීන කව තුල, බුද්ධිමණ්ඩප තුල, රාජ්‍ය නොවන ආයතන තුල, වෘත්තීය සමිති තුළ හා ස්වාධීන, කේවල පුද්ගලයන් ලෙස අරගලයට ලැදියාව දැක්වූ හා එයට සම්බන්ධ වූ අය සිටිති.
එම නිසා අරගලය යනු බහුජන ක්‍රියාකාරකමකි. එහි කිසියම් අදෘශ්‍යමාන මෙහෙයුම් කේන්ද්‍රයක් පැවතිය හැකිවුව එහි කේන්ද්‍රීය අදහස වුනේ රාජපක්සවාදයට එරෙහිව පැන නැගුන හා සමස්ථ දුෂිත ප්‍රභූ දේශපාලන තන්ත්රයට එරෙහිව ඉහළට ආ විරෝධතාව යි. රාජ්‍ය අස්ථාවරවීම තුල එම දැවැන්ත ස්වයංක්‍රීය විරෝධතාව වඩාත් උත්සන්න විය.
අරගලය සමස්ථයක් ලෙස කිසියම් සාමුහික අධ්‍යාත්මයක් spirit ගොඩ නගා තිබේ. අද අරගලය අතහරින රනිල් හෝ ප්රභූවාදීන් එම අධ්‍යාත්මයට බිය බව පෙනෙයි. උදාහරණයක් ලෙස අජිත් පැරකුම් ජයසිංහ ගේ සටහන් එවන් ආකාරයේ බියක් ජනිත කරන හා අරගලයේ අධ්‍යාත්මයට ප්‍රති විරෝධී මතයක් ගොඩ නගන අදහස් බව පෙනීයා හැක.
ඔහු සේම තවත් අප හදුනන එවන් අරගලයේ අධ්‍යාත්මය ප්රති-ප්රාදූර්භූත වීමකට remanifest එරෙහි එහි පවතින අනතුර දකින, ව්‍යාජ හා අව්‍යාජ මත දරන, අය සිටිය හැක. ඔවුන්ට අනුව පවතින සම්ප්රදායික පලනය හරහා පමණක් ඉදිරිය ගැන සිතිය යුතුව ඇත. යම් හෙයකින් අරගලය දිගටම පෝෂණය වුවහොත් ඇතිවන තත්වය ගැන ඔවුන්ට ඇත්තේ ඩිස්ටෝපියානු, අතිශය භයානක ඉදිරියක්, පිළිබද මතයකි.
අරගලය යුතෝපියානු, සාධාරණ සමබිමක්, අවසානයක් කරා යා යුතුයි සිතන පිරිසක් ද සිටිති. ඒ පිරිස වමේ හෝ වම පිළිබද පරිකල්පනයේ යෙදෙන, ධනවාදයට වඩා වඩාත් යහපත් තත්වයක් ඇතයි සිතන, දැඩි ක්රියාකාරීන්ය. නොකඩවාම එක දිගට වීදි සටන්වල නිරතවන හා වම හා සිස්ටම් චේන්ජ් ගැන ධනවාදයට එරෙහි සේම කිසියම් දැඩි පාරිශුද්ධතාවයකට පක්ෂව හිතන, දේශපාලනිකව කැපවුණ පිරිසක් ඒ තුල සිටිය හැක.
අනෙක් අතට අරගලය නිසා තම දේශපාලන හා සමාජීය අනන්‍යතාවය ඉහළ නංවාගත් නව තරුණ පිරිසක්, ඩිජිටල් ක්රියාකාරීන් පිරිසක් ද බිහිවීම එහි වැදගත්ම ලක්ෂණයයි. එම පිරිස නව බල අවකාශයන් ගැන වඩාත් සක්රිියව, සබුද්ධිකව සිතන පිරිසක්ද වන අතර, වම/දකුණ අවකාශයේ පවතින පටුබව දකින අයයි.
අප තේරුම් ගන්නා පරිදි, 1989 සන්නද්ධ අරගලයේ සිටි සාමාජිකයාගේ මුහුණ අප දැක නැත. ඔහු/ඇය කිසියම් වර්ගයක පීඩිතයෙක්ව සිටිබව පමණි අප දන්නේ. ඔහු/ඇය වන වැදුන, සැගවුන, සැබෑ ලෙසම බලයේ නග්න හා ප්රචණ්ඩ ස්වරූපය හා ගැටුන, එය ඉදිරියේ වීරත්වය පෑ, අවසන මරණය තෝරාගත්, පුද්ගල අනන්‍යතාවය වෙනුවට රාජ්‍ය බලය හඹාගිය පරපුරකි.
රාජ්‍ය බලය හරහා පමණක් නව දේශපාලන සමාජයක් නිර්මාණය කල හැකිය යි සිතු පරපුරකි.
එවැනි විජේවීරවාදී අකෘතියකට බැස්සවිය හැකි කේවල පුද්ගලයන් අද විරලය. අද දේශපාලනය පිළිබදව පවතින අදහස එය රාජ්‍ය බලය අභිබවා යන බලය පිළිබද අතිශය පුලුල්, සංකීර්ණ හා විස්තෘත එකක්ය යන්නය. අරගලයේ බහුතර තාරුණ්‍ය මෙම තත්වය දකින හා විශ්වාස කරන පිරිසකි. එම නිසා නිර්පාක්ෂික ලෙස හෝ නිර්පක්ෂ අවකාශීය ලෙස ඔවුන් අතථ්‍ය යථාර්ථය දෙසට virtual reality වඩාත්ම යොමු වෙයි. තථ්‍ය යථාර්තීය පක්ෂ අවකාශ යල්පැන ගිය බවක් දකියි.
අරගලය නිසා රාජ්‍ය බලය හා ප්රභූ දේශපාලන බලය හිමි පංතියට විශාල තැති ගැන්මක් ඇතිව ඇත. එය ජනරජවාදය republican democracy දෙසට නැමුනු ප්රජාතන්ත්රවාදය පිළිබද ප්රවේශයකි. එහි පංතිමය දේශපාලනයට වඩා ඉස්මතුවුනේ ජනතා සහභාගීත්වය වර්ධනය කිරීම පිළිබද දේශපාලනයයි. දේශපාලන ක්රියාව නිර්මාණය වීමෙි දී කොතරම් දුරකට එය ස්වයංක්රීයව ගොඩනැගෙන හා සාමූහික අධ්‍යාත්මයකට නතුවිය හැකි දෙයක්විය හැකිද යන ගැටලුව අපට ඒ තුල ඉතිරිවී ඇත. සමහර අය ඕලාරිකව එය කලහකාරිි (mob spirit) තත්වයක් ලෙස ඉතාම අසාධාරණ ලෙස, අධිපති අදහසකට ඌනනය කිරීමට උත්සාහ කලද එය කිසිසේත්ම එවැනි ආකාරයේ සරල සංසිද්ධියක් නොවූ බව අද පැහැදිළිය.
වත්මන් පාලනයේ මූලික උපාය ගොනු වන්නේ අරගලයේ ජනතා අධ්‍යාත්මය පිළිබද මතකයට පහර ගසමින් එය නැවත පාරිභෝජනවාදී අධ්‍යාත්මයේ ම කොටසක් බවට පත්කොට, සම්ප්රදායික රාජ්‍ය බල රටාව ආරක්ෂා කරගැනීමට යි.
අරගලයට පක්ෂ වූ අවංක තරුණිය මේවන විට විපිලිසර තත්වයක සිටිය හැකිමුත්, ඇයගේ බලය පිළිබද කියවීම සම්ප්රදායික දුෂිත ප්රභූවාදීන්ට එරෙහි එකකි.
එම විරෝධතාව පිළිබද අදහස සහිත පරම්පරාව තුලට ගෙනයායුතු ප්රතිවිරෝධය contradiction හා එරෙහිවීම resistance පිලිබද අදහස පංතිමය, ජාතිවාදීමය, වාර්ගිකමය, හෝ වෙනත් වෙනස්කොට සැලකීමකට වඩා එහා යන හා ඒවාට එරෙහිවන නමුත් සබුද්ධික මනුෂ්‍යත්වය පිළිබද එකක් විය යුතුය. සබුද්ධික මනුෂ්‍යත්වය පිළිබද කතිකාවට නොඑළඹෙනතාක් අප සියලු දෙනාම මෙහෙය වෙන නිදහස හා සමානාත්මතාව පිළිබද දේවවාදීමය කතිකාවක පැවැත්ම අහෝසිකල නොහැක.....