ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් (Immunoglobulin) මෙරටට ආනයනය කර රජයේ මුදල්
රුපියල් ලක්ෂ 1,444ක් වංක ලෙස පරිහරණය කිරීමේ සිද්ධියට අදාළව, හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු විත්තිකරුවන් 12 දෙනෙකුට එරෙහිව පවරා ඇති නඩුව ඊයේ (29) ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ යළි විභාගයට ගැනිණි.
මහාධිකරණ විනිසුරු ප්‍රියන්ත ලියනගේ (සභාපති), විරාජ් වීරසූරිය සහ තිලකරත්න බණ්ඩාර යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ විභාග වූ මෙම නඩුවේදී, සාක්ෂි මෙහෙයවීමේ නෛතික සීමාවන් සහ අපරාධ නඩු විධාන ක්‍රියාවලිය සම්බන්ධයෙන් විත්තියේ නීතිඥවරුන් සහ පැමිණිල්ල මෙහෙයවන නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය අතර ප්‍රබල නීතිමය තර්ක විතර්ක හුවමාරුවක් සිදුවිය.
මෙදින ප්‍රධාන වශයෙන් ගැටුම නිර්මාණය වූයේ, නඩුවේ 150 වැනි පැමිණිල්ලේ සාක්ෂිකාරිය ලෙස නම් කර සිටින සෞඛ්‍ය අමාත්‍යාංශයේ සංවර්ධන නිලධාරිනී කල්පනා තරින්දි දාබරේ ගේ සාක්ෂි විමසන අවස්ථාවේදීය.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණි ගිරිහාගම විසින් 2023 වසරට අදාළ, එනම් අධිචෝදනා පත්‍රයේ නිශ්චිතව දක්වා ඇති කාලසීමාවට පරිබාහිරව නිකුත් කරන ලද ලිපියක් සාක්ෂි ලෙස ඉදිරිපත් කිරීමට යාමේදී දහවන විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ප්‍රියන්ත නාවාන සිය බලවත් විරෝධය අධිකරණයට වාර්තා කළේය.
අධිකරණය උණුසුම් කළ නීතිමය සංවාදය
ජනාධිපති නීතිඥ ප්‍රියන්ත නාවාන (විත්තිය වෙනුවෙන්):
"ස්වාමීනි, මෙම නඩුවේ විත්තිකරුවන්ට එරෙහිව ඉදිරිපත් කර ඇති අධිචෝදනා පත්‍රයේ සඳහන් කාලසීමාවට පරිබාහිර කාලයක නිකුත් කළ මෙම ලිපිය පදනම් කරගෙන සාක්ෂි මෙහෙයවීම පිළිබඳව මාගේ බලවත් විරෝධය පළ කරනවා. එමගින් විත්තිකරුවන්ට විශාල හානියක් (Prejudice) සිදු වෙනවා. 2023 දරණ මෙම ලිපිය නඩුවේ චෝදනාවලට අදාළව කිසිසේත්ම අනුකූල කරගත නොහැකියි. විෂය කරුණක් අනුව බැලූ විට මෙය නඩුවේ විෂයට අදාළ චෝදනා පත්‍රයේ සඳහන් කරුණු සහ ඉසව් ගත කරුණු හා අනුකූලව සාක්ෂි මෙහෙයවිය යුතුයි. මෙවැනි අදාළ කාල සීමාවට පරිබාහිර ලිපියක් ඉදිරිපත් කරන බව සාක්ෂි ලැයිස්තුවේ සඳහන් කරලත් නැහැ. සාක්ෂි ලැයිස්තුවේ ඇති ගොනුවක මෙය තිබෙන්නට පුළුවන් වුණත්, එය වෙනමම සටහන් කිරීමක් කර නොමැති නිසා ආවේශ කරගත නොහැකියි. ඒ නිසා මේ සම්බන්ධයෙන් සාක්ෂි විමසීමට ඉඩ දෙන්න එපා යැයි මා ඉල්ලා සිටිනවා."
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණි ගිරිහාගම (පැමිණිල්ල වෙනුවෙන්):
"ස්වාමීනි, සාක්ෂි ආඥා පනත අනුව සාක්ෂි ඉදිරිපත් කිරීමේදී අදාළ කාලසීමාවට සීමා විය යුතු බවට කිසිදු සටහනක් නීතියේ සඳහන් වන්නේ නැහැ. අධිචෝදනා පත්‍රයේ සඳහන් කරුණුවලට අදාළව විත්තිකරුවන්ගේ 'පසු හැසිරීම' (Subsequent Conduct) ඔප්පු කළ යුතු කරුණක් වන බැවින් ඒ සඳහායි මෙම ලිපිය යොදා ගත්තේ. මෙය සාක්ෂි ආඥා පනතට මුළුමනින්ම අනුකූලයි. ඒ වගේම මෙම නඩුවේ සාක්‍ෂි ලැයිස්තුවෙහි මෙම ලිපිය සම්බන්ධයෙන් කරුණු පැහැදිලිව ඇතුළත් කර තිබෙනවා."
දෙපාර්ශවයේ ප්‍රබල නෛතික තර්ක විතර්ක වලින් අනතුරුව, ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විසින් සිය තීරණාත්මක නියෝගය ප්‍රකාශයට පත් කරන ලදී.
මහාධිකරණ විනිසුරු ප්‍රියන්ත ලියනගේ (සභාපති විනිසුරු):
"මෙම ලිපිය අදාළ කාල සීමාවට පරිබාහිර ලිපියක් බවට විත්ති පාර්ශ්වය විසින් කරුණු ඉදිරිපත් කළත්, එම ලේඛනය ඔප්පු කිරීමේ භාරය පැමිණිලි පාර්ශ්වය සතු වෙනවා. එම ලේඛනය අධිචෝදනා පත්‍රයේ නඩු භාණ්ඩ ලැයිස්තුවේ 126 වන අංකය යටතේ සටහන් කරමින් විත්ති පාර්ශ්වයට පූර්ව දැනුම්දීමක් කර තිබෙනවා. හත්වන චූදිත විසින් ඉදිරිපත් කළ බව කියන ලිපියක් සම්බන්ධයෙන් එම චූදිතගේ පසු හැසිරීම පිළිබඳව වූ ලේඛනයක් බවට පැමිණිල්ල කරුණු ඉදිරිපත් කර ඇති බැවින්, එය සාක්ෂි ආඥා පනතේ දෙවැනි වගන්තිය යටතේ කළ යුතු කරුණක්. එසේම සාක්ෂි ඉදිරිපත් කිරීම අධිචෝදනා පත්‍රයේ කාලසීමාවට සීමා විය යුතු බවට කිසිදු නියමයක් නැති නිසා ඊට අනුකූල හා ආවේශ වන සාක්ෂි ඉදිරිපත් කළ හැකියි. ඒ අනුව අදාළ ලේඛණය මත සාක්ෂි විමසීමට පැමිණිල්ලට අවසර දෙනවා."
සාක්ෂිකාරියගේ නිපුණතාවය පිළිබඳ දෙවන නීතිමය ගැටුම
අධිකරණයේ අවසරය මත සාක්ෂි විභාගය යළි ඇරඹීමෙන් පසු, සාක්ෂිකාරිය ඉදිරියේ ලිපියක් ප්‍රදර්ශනය කරමින් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ප්‍රශ්න නැගීමට සූදානම් වූ අවස්ථාවේදී අටවන විත්තිකාර කෙහෙළිය රඹුක්වැල්ල හිටපු ඇමතිවරයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා සිය විරෝධය මතු කළේය.
නීතිඥ නයන්ත විජේසුන්දර (විත්තිය වෙනුවෙන්):
"ස්වාමීනි, මෙම ලේඛණය සාක්ෂිකාරිය විසින් සකස් කළ ලිපියක් නොවෙයි. මෙම ලිපිය ගොනුගත කිරීම සඳහා පමණක් ඇය වෙත ලබාදී ඇති බවයි සඳහන් වන්නේ. එසේ තිබියදී ඇය එහි අන්තර්ගතය සම්බන්ධයෙන් සාක්ෂි ලබා දෙන්නේ කෙසේද? මෙහි ඇතුළත් කරුණු සම්බන්ධයෙන් ඇයට සාක්ෂි ලබාදීමට හැකිද යන්න නීතිමය වශයෙන් ගැටලු සහගතයි."
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය:
"ස්වාමීනි, ඇය මෙම ලිපිය සකස් කර නොමැති වුවත්, රාජකාරි ක්‍රියාවලිය තුළ එහි ඇති දේ කියවා බලා සාක්ෂි ලබාදීමට ඇයට හැකියාව පවතිනවා."
සාක්ෂි මගින් අනාවරණය වූ මූල්‍ය සහ පරිපාලන අපගමනයන්
නෛතික තර්ක විතර්ක මැද පස්වැනි දිනටත් සාක්ෂි ලබා දුන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ සංවර්ධන නිලධාරිනී කල්පනා තරින්දි දාබරේ ගේ සාක්ෂිය හරහා ප්‍රසම්පාදන ක්‍රියාවලිය තුළ සිදුවී ඇති බව කියන ක්‍රමවේද උල්ලංඝනයන් රැසක් අනාවරණය විය.
සාමාන්‍ය සම්ප්‍රදායට අනුව සැපයුම්කරු තෝරා ගැනීමෙන් පසු ගැනුම් ඇනවුම සකස් කිරීම සඳහා ලියකියවිලි රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවට (SPC) යොමු කළ යුතු වුවත්, මෙම ගනුදෙනුවේදී අදාළ ලියකියවිලි සෘජුවම වෛද්‍ය සැපයුම් අංශය (MSD) වෙත යොමු කර ඇති බව ඇය පිළිගත්තාය.
මිල ගණන්වල පරස්පරතා:

විශේෂයෙන්ම අයිසොලෙස් බයෝ ටෙක් පාමා ආයතනය විසින් මෙම ඖෂධය සඳහා ඉදිරිපත් කර තිබූ මිල ගණන් පිළිබඳව ද මෙහිදී අවධානය යොමු විය. සැපයුම්කරු විසින් ඇමරිකානු ඩොලර් 130ක ඒකක මිලක් (Unit Price) ඉදිරිපත් කර තිබූ අතර, ඊට 5%ක වට්ටමක් ලබාදීමට ද එකඟතාව පළ කර තිබී ඇත. ඒ අනුව 2022 දෙසැම්බර් 29 වැනිදා අදාළ ඖෂධය ඇමෙරිකානු ඩොලර් 123.5 කට ලබාදීමට එකඟ වී තිබියදීත්, සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් අදාළ ලංසුකරුට ගෙවීම් කිරීම සඳහා සටහන් කර ඇත්තේ මුල් අගය වූ ඇමෙරිකානු ඩොලර් 130ක් බව සාක්ෂිකාරිය අධිකරණය හමුවේ තහවුරු කළාය.
තවද, හදිසි ප්‍රසම්පාදන ක්‍රියාවලියට අදාළව බලය පැවරීමේ ලිපි සකස් කිරීම බුත්පිටිය ගේ උපදෙස් මත සිදු කළ බවත්, එම ලිපිවලට හිටපු සෞඛ්‍ය ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත සහ වෛද්‍ය සමන් රත්නායක අත්සන් තබා ඇති අයුරු තමන් හඳුනන බවත් ඇය වැඩිදුරටත් කියා සිටියාය.
ජාතික වැදගත්කමකින් යුත් මෙම දැවැන්ත ඖෂධ වංචාව සම්බන්ධ නඩුවට අදාළව සාක්ෂිකරුවන් 350කට අධික සංඛ්‍යාවක් සහ නඩු භාණ්ඩ 300කට ආසන්න ප්‍රමාණයක් නීතිපතිවරයා විසින් අධිකරණයට ඉදිරිපත් කර ඇත. පරිපාලනමය රෙගුලාසි සහ නීතියේ ආධිපත්‍යය පිළිබඳ පුළුල් සංවාදයක් සමාජය තුළ නිර්මාණය කර ඇති මෙම නඩු විභාගයේ මීළඟ පියවර කෙරෙහි මේ වනවිට නීති ක්ෂේත්‍රයේ මෙන්ම සමස්ත සමාජයේම දැඩි අවධානයක් යොමු වී තිබේ.

