SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

2020 ඔලිම්පික් උළෙලේදී අපේ රට නියෝජනය කරමින් අශ්වාරෝහක ඉසව් සඳහා තරග වැදීමට 37 හැවිරිදි මැටිල්ඩා කාර්ල්සන් සූදානම් වී සිටින්නීය.

මැටිල්ඩාගේ ඔලිම්පික් සහභාගිත්වය හා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් තරග වැදීම ඉතා විශේෂිතය. ඒ ඊට හේතු භූත වූ කරුණු අතිවිශිෂ්ට කාරණාවක් වූ බැවිනි.

ස්වීඩනයේ හැදී වැඩී පසුකාලීනව ජර්මනියට පැමිණෙන ඇය දැන් ජීවත්වන්නේද ජර්මනිය තුළ ම ය.

ඒ අනුව, පසුගිය දිනෙක ජර්මනියේ වෙසෙන ශ්‍රී ලංකා තානාපතිනි මනෝරි උනම්බුවේ ඇය සමග සම්මුඛ සාකච්ඡාවක් කර තිබුණාය. මේ ඒ ඇසුරින් 'මව්බිම' සකස් කළ දිරිය සටහන මෙසේය.

මැටිල්ඩා ශ්‍රී ලංකාවේ උපන් දිළිඳු පවුලක සාමාජිකාවකි. ස්වීඩන් ජාතික යුවළක් විසින් ඇයව හදා වඩා ගැනීමට රැගෙන යන්නේ මාස තුනක් වැනි කුඩා වයසක සිටියදීය.

 

matilda 4

 

"ඇත්තට ම ඒක පුදුමාකාර දෙයක්. පසුකාලයේ මට දැනුම් තේරුම් ඇති වෙද්දි මම මගේ රටට ආවා. මවුපියන් සෙව්වා. මට ඕන වුණා ඊට පස්සේ ඉපදුණු රට වෙනුවෙන් කිසියම් හෝ දෙයක් කරන්න. මොකද මම මේ රටට හදවතින් ආදරය කළ නිසා."

මැටිල්ඩා එසේ පවසන්නේ, හැදී වැඩුණු රටට වඩා ඉපදුණු රටට ඇති ආදරය සැබෑ ලෙස පෙන්වමිනි. මීට අවුරුදු කීපයකට පෙරදී ඇය අපේ රටේ පුරවැසිභාවය ලබා ගන්නේ ද ඒ හෘදයාංගම බැඳීම නිසාවෙනි.

"මම ලංකාව නියෝජනය කරමින් ඔලිම්පික් නියෝජනය කරන්න සැලසුම් කරද්දී ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව මගේ ඒ ඉල්ලීම ප්‍රතික්ෂේප කළා. ඔවුන් පෙන්වා දුන්නේ ශ්‍රී ලංකාව අශ්වාරෝහක ඉසව්වලට සම්බන්ධ නැති රටක් නිසා ඒ ඉල්ලීම පිළිගන්න බැහැ කියලා."

මේ කාරණය නිසා අවසානයේදී මැටිල්ඩාට ජාත්‍යන්තර අධිකරණයේ පිහිට පතන්නට පවා යෑමට සිදුවූවා. ඒ අනුව ඇගේ ඉල්ලීම පිළිගැනීමට ඔලිම්පික් කමිටුවට සිදුවිය.

දැඩි අධිෂ්ඨාන ශක්තියකින් හෙබි මැටිල්ඩා කාර්ල්සන් මේ අශ්වාරෝහක තරගවලට පිවිසෙන්නේ නිකම් ම නොවේ. කාලයක් තිස්සේ ඇය ඒ වෙනුවෙන් ලබාගත් අත්දැකීම් හා පුහුණුවකින් පසුවය. අපි ඒ කතාව ගැන දැන ගන්නට අප ඇගේ අතීතයට යා යුතුව ඇත.

ලංකාවේ මවුපියන්ගෙන් වෙන්ව ස්වීඩනයට යන ඇය මුලින්ම අශ්වාරෝහක ක්‍රීඩාව ගැන අවධානය යොමු කරන්නේ මේ ක්‍රීඩාව එහි ඉතා ජනප්‍රිය ක්‍රීඩාවක් වීම නිසාය. මැටිල්ඩා තම සම වයසේ මිතුරු මිතුරියන් සමග මේ වෙනුවෙන් සහභාගි වන්නේ විනෝදය පිණිසය.

 

matilda olympic 2

 

 

"මගේ මවුපියෝ අශ්වයන්ට එතරම් කැමැති නැහැ. ඔවුන්ට අනුව නම් මම ඒ ක්‍රීඩාව දෙසට යොමු වීම පිස්සු අදහසක්." ඇය හිනැහෙමින් කීවාය.

ඒත් පසුකාලයේ තම දියණිය මේ ක්‍රීඩාවට දක්වන උනන්දුව හා කැපවීම නිසාම ඔවුන් මැටිල්ඩාගේ ලොකු ම රසිකයෝ බවට පත්විය. එපමණක් නොව ඇයට ඒ විෂය තුළින් ඉදිරියට යෑමට හැකි සියලු ම උදවු උපකාර කිරීමට පවා ඉදිරිපත් වූ ඔවුහු හදවතින් ම කැප වූහ.

"ඊට පස්සේ තමයි ඔවුන් මාව මේ වෙනුවෙන් තිබෙන තරගවලට පවා යොමු කළේ. ඔවුන් මගේ හීනය අවබෝධ කරගත්තා. දැන් ඔවුන් ගුරුවරියක්, නීතිඥවරියක් වෙන එකට වඩා මා දිහා ආඩම්බරයෙන් බලනවා."

මැටිල්ඩාගේ පවුලේ වැඩිමහල් සහෝදරයෙකු සිටියි. ඔහු හදා වඩා ගැනීමට ලබාගෙන ඇත්තේ ද අපේ රටෙන් ම ය.  මේ වෙද්දී විවාහ වී සිටින ඔහු දෙදරු පියෙකි. ඊළඟට සිටින්නේ  බාල සහෝදරියක්ය.

ඇය ස්වීඩන් ජාතික යුවළකගෙන් ම හදා වඩා ගැනීමට ගත් දරුවෙකි.

"ඇය හුඟක් උසයි. තඹ පැහැති හිසකෙස් හා නිල් පැහැති ඇස් ඇයට තිබෙනවා. නමුත් මම එහෙම නැහැ. මේ නිසා ම මුල් කාලයේ මාව අනිත් අය අතර හොඳින් කැපී පෙනුණා. ඒ මගේ හමේ පැහැය නිසා. මේ කාලයේදී  මගේ මවුපියන් මා ගැන ලොකු උනන්දුවකින් හා ඕනෑකමකින් යුතුව බලා සිටියා. මට තනියම කොහෙවත් යන්න දුන්නේ නැහැ."

මුල් කාලයේදී මේ ආකාරයට හැදී වැඩුණු මැටිල්ඩා කාර්ල්සන්ගේ ජීවිතය වෙනස් වන්නේ අහඹු ලෙස ජර්මනියට පැමිණ හැම්බර්ග් නගරය පිහිටි ඊට්සෙහෝ නව ඉස්තාලය පවත්වාගෙන ගිය ස්වීඩන් ජාතික අසරුවෙකු වන 'වෝල්ෆ් ගන්ස් බෙන්ග්ට්සන් නිසාය. ඔහු ළඟ වැඩ කිරීමට ගිය මැටිල්ඩා අවසානයේදී අධ්‍යාපන කටයුතු නිමවීමෙන් පසුව නැවත ඔහු සොයා එන්නේ මේ දකින සිහිනය සඵල කර ගැනීමේ අරමුණින් යුතුවය.

 

matilda olympic 1

 

 

"ඒ 2003 වර්ෂය. එදා ඉඳලා ම ජර්මනිය මගේ නිවෙස වුණා. ඒ අනුව මම ප්‍රදර්ශනීය අසුන් පැන්නවීම හා ප්‍රැසේජ් ශෛලිය මෙන් ම තවත් වෙනත් අංශ ප්‍රගුණ කළා. ඒ අනුව තමයි මම මගේ ආදරණීය සහකරුවා, ඒ කියන්නේ මගේ අශ්වයා ‘චොපින්’ සමග හැම තැනකට ම හැම රටකට ම යන්නේ. ඇත්තට ම මම හිතන්නේ මට වඩා ඔහු තමයි යමක් කරන්නේ. මට වඩා වැදගත් වෙන්නේ ඔහුයි. ඔහු  මගේ අරමුණ දක්වා මාව රැගෙන ගියේ නැත්නම් මට මේ සතුට නැහැ.

බොහෝ අශ්වයන් අධික ශබ්දයට, සංගීතයට බියක් දක්වනවා. නමුත් ඔහු එහෙම නැහැ."

මැටිල්ඩා තමන්ගේ සහෘදයා ගැන එහෙම කීවාය. ඔබ මේ සටහන කියවන විට මැටිල්ඩා සිටින්නේ ඔලිම්පික් කඳවුරු බිමේය. දැන් ඇය සූදානමින් සිටින්නේ තමන් නියෝජනය කරන ඉසව්වෙන් ජයග්‍රහණයක් ලබාගෙන ලක් මාතාව බබළවන්නටය.

අපේ මේ සුබවාදී බලාපොරොත්තුව එතෙකින් නිමා නොවේ. නැවත ශ්‍රී ලංකාවට පැමිණෙන මැටිල්ඩා තමන් දැන උගත් ක්‍රීඩාව මේ භූමිය තුළ සිටින දරු දැරියන්ටත් ලබාදීමට අදිටන් කර සිටින්නීය. ඇය ඒ වෙනුවෙන් ක්‍රීඩා ඇමති නාමල් රාජපක්ෂ මහතා සමග ද සාකච්ඡා කොට ඇත. 

ඒ අනගි අවස්ථාව ඇයට ලබාදීමට පෙරමුණ ගෙන ඇත්තේ ජර්මනියේ තානාපතිනි මනෝරි උනම්බුවේ මහත්මියයි.

 

matilda 3

 

 

"මම ශ්‍රී ලංකාවේ අශ්වාරෝහක සංගමයටත් එකතු වුණා. මම මෙහි පුරවැසිභාවය ලබාගනිද්දි සුරංජිත් ප්‍රේමදාස මහතා හමුවීම භාග්‍යයක් කොට සලකනවා. ඔහු මේ ක්‍රීඩාව ගැන හොඳට දන්නවා. ඔහු තමයි මට හුඟාක් උදවු කරන්නේ, මා සමග ඉන්නේ. ඉදිරියේදී මගේ බලාපොරොත්තුවක් තියෙනවා ආසියානු ක්‍රීඩා සඳහාත් ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගි වන්න."

කාන්තාවන් අශ්වාරෝහක ක්‍රීඩාවේ නිරතවෙමින් ඒ තරග බිමේ ගැවසීම අපේ රටේ හැටියට නම් මහා අමුත්තකි. එමෙන්ම ගැහැනු දරුවන්ට අති දුෂ්කර ක්‍රීඩාවකි.

"මම කියන්නේ අපි හැම අභියෝගයක් ම භාරගන්න ඕන. අපි අපිව ම විශ්වාස කරගෙන හැමදේම කරන්න ඕන. අපට අවශ්‍ය තැනට යන්න මොකක් හෝ මාර්ගයක් අපට තිබෙනවා. අපි කොහෙන් ද ආවේ කියන එක වැදගත් නැහැ. උත්සාහවන්තව වැඩ කිරීමයි වැදගත්."

මැටිල්ඩා පවසන්නේ උත්සාහය හා හැකියාව ඇත්නම් අපට අවශ්‍ය කරන උදවු උපකාර හා මඟ පෙන්වීම නිරන්තරයෙන්ම ලැබේවි කියාය.

ගැහැනියක් ගෙදර මුල්ලට වී සිටි කාලය දැන් අහවරය. ලෝකය විවෘත වන තරමට ඔවුන්ට අවශ්‍ය මාර්ගය ඔවුන් විසින් ම තෝරාගත යුතුය.

එහිදී අවශ්‍ය වන්නේ සිහි නුවණ හා යහපත්  දැක්ම පමණි. බටහිරදී කෙසේ වෙතත් තුන්වන ලෝකයේ දියුණුවෙමින් පවතින ශ්‍රී ලංකාව වැනි රටක සමාජ තත්ත්වය හොඳින් හඳුනාගෙන ඒ අවශ්‍ය මාර්ගය සකසා ගත යුතුය. මැටිල්ඩාගේ පණිවුඩය තුළ ඇත්තේ ද එවන් ඇත්තකි.

 

@ සමන් ප්‍රියංකර නම්මුනිගේ

Mawbima.lk

නවතම ලිපි