අනවසර ඉදිකිරීම් සඳහා ඉදිරියේදී කිසිදු ඉඩක් නොතබන බවත්, ඒවාට අදාළ
නීති ශක්තිමත් කරන බවත් ජනාධිපතිවරයා අවධාරණය කළේය. එසේ නොකළහොත් රට තවත් විශාල ව්‍යසනයකට මුහුණ දෙන බව ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේය.
ළඟදීම පිහිටුවීමට නියමිත ප්‍රතිසංස්කරණ ජනාධිපති කාර්ය සාධක බලකාය යටතේ නීතිමය ප්‍රතිපත්ති සම්පාදනය කිරීම සඳහා වෙනම ඒකකයක් ස්ථාපිත කරන බවත්, එමඟින් මෙම ගැටළු සඳහා දිගුකාලීන විසඳුම් ලබා ගැනීමට හැකි වන බවත් ජනාධිපති දිසානායක පැවසීය.
කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති විශේෂ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමට සහභාගී වෙමින් ජනාධිපති අනුර කුමාර දිසානායක ඊයේ ඉරිදා (07) පස්වරුවේ මෙම අදහස් පළ කළේය.
කුරුණෑගල දිස්ත්‍රික්කයේ හානියට පත් සියලුම පළාත් මාර්ග සහ පළාත් පාලන මාර්ග සම්පූර්ණයෙන් ක්‍රියාකාරී තත්ත්වයට පත් කර ඉදිරි සති දෙක ඇතුළත ඒවා මහජන භාවිතය සඳහා නැවත විවෘත කරන ලෙස ජනාධිපතිවරයා අදාළ බලධාරීන්ට උපදෙස් දුන්නේය.
මේ සඳහා දැනටමත් වෙන් කර ඇති ප්‍රතිපාදන භාවිතා කළ යුතු බවත්, දෙසැම්බර් 31 වන දිනට පෙර නිම කළ නොහැකි මාර්ග තිබේ නම්, අවශ්‍ය ප්‍රතිපාදන සමඟ වාර්තා කළ යුතු බවත්, 2026 අයවැයෙන් මේවා සඳහා අවශ්‍ය අරමුදල් වෙන් කරන බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.
ආපදා තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්කයේ 'A' සහ 'B' ශ්‍රේණියේ පළාත් මාර්ග 1,181 කට හානි සිදුවී ඇති අතර, පාලම් 35 ක්, බෝක්කු 162 ක් සහ බැම්මක් හානි වී ඇත. මෙහිදී ඒවා කඩිනමින් ප්‍රතිසංස්කරණය කිරීම පිළිබඳව සවිස්තරාත්මක සාකච්ඡා පැවැත්විණි.
ආපදා තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්කයේ බිඳ වැටුණු විදුලිය, ජල සැපයුම සහ සන්නිවේදන පහසුකම් ඇතුළු අත්‍යවශ්‍ය යටිතල පහසුකම් යථා තත්ත්වයට පත් කිරීම සඳහා ගෙන ඇති පියවර ජනාධිපතිවරයා වෙන වෙනම සමාලෝචනය කළේය. අවසාන පරිශීලකයා දක්වා සේවා සැපයීම සේවා සපයන ආයතනවල වගකීමක් බව අවධාරණය කළ ඔහු, පවතින බාධක ජය ගැනීම සඳහා මෙම ආයතන අතර ශක්තිමත් සම්බන්ධීකරණයක අවශ්‍යතාවය අවධාරණය කළේය.
ආපදා තත්ත්වය හේතුවෙන් කුරුණෑගල දිස්ත්‍රික්කයේ කුඹුරු හෙක්ටයාර 12,729 ක් සම්පූර්ණයෙන්ම හානි වී ඇති බවත්, ඉන් හෙක්ටයාර 7,215 ක් වගා කළ හැකි බවත්, හෙක්ටයාර 5,514 ක් වගා කළ නොහැකි බවත් නිලධාරීන් වාර්තා කළහ.
වාරිමාර්ග ජලය නොමැතිකම හේතුවෙන් වගාවට බාධා ඇති ස්ථානවලට තාවකාලිකව ජලය සැපයීමට ජල සම්පාදන මණ්ඩලයට උපදෙස් දුන් ජනාධිපතිවරයා, අස්වැන්න නෙළීම සහතික කිරීම සඳහා වගා කළ නොහැකි ඉඩම් ප්‍රමාණය හැකිතාක් අවම කරන ලෙස බලධාරීන්ට උපදෙස් දුන්නේය. ගොවීන්ට වී බීජ සහ පොහොර සැපයීමේ වැඩසටහන පිළිබඳව ද ඔහු සොයා බැලීය.
බඩ ඉරිඟු, එළවළු සහ අනෙකුත් අතිරේක භෝග වලට සිදු වූ හානිය මෙන්ම බලපෑමට ලක් වූ ගොවීන් සඳහා වන්දි ගෙවීමේ ක්‍රියාවලිය ද මෙහිදී සමාලෝචනය කරන ලදී.
ළිං පිරිසිදු කිරීමේ කටයුතු සඳහා ප්‍රධාන වගකීමක් පළාත් පාලන ආයතන සතු බව ජනාධිපතිවරයා පළාත් පාලන ආයතන සභාපතිවරුන්ට දැනුම් දුන් අතර, ත්‍රිවිධ හමුදාවේ සහ ස්වේච්ඡා සංවිධානවල සහාය ඇතිව එම කටයුතු කඩිනම් කරන ලෙස උපදෙස් දුන්නේය.
රට පුරා පශු සම්පත් ගොවිපළවල් පිළිබඳ නිවැරදි දත්ත පවත්වා ගැනීමේ අවශ්‍යතාවය අවධාරණය කළ ජනාධිපවරයා, පවතින නීති මේ සඳහා ප්‍රමාණවත් නොවිය හැකි බව පෙන්වා දුන් අතර ඒවා සංශෝධනය කිරීමේ අවශ්‍යතාව අවධාරණය කළේය. පශු සම්පත් ගොවිපළවල් නිසි ලෙස ලියාපදිංචි නොකිරීම වන්දි සහ අනෙකුත් ආධාර ලබා දීමේදී ගැටළු ඇති කරන බව ද ඔහු සඳහන් කළේය.
එබැවින්, පශු සම්පත් සම්බන්ධ සියලු දත්ත එකම පද්ධතියකට ගෙන ඒම, එය සමාලෝචනය කර වන්දි සම්බන්ධයෙන් ප්‍රතිපත්තිමය තීරණ කඩිනමින් ගන්නා ලෙස ජනාධිපතිවරයා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.
මිරිදිය ධීවර කර්මාන්තය නැවත පණ ගැන්වීම, සෞඛ්‍ය සේවා අවශ්‍යතා සහ පාසල් නැවත විවෘත කිරීම පිළිබඳව ද මෙහිදී සාකච්ඡා පැවැත්විණි.
නැවත පදිංචි කිරීම සඳහා ඉඩම් හඳුනා ගැනීම සහ හානියට පත් නිවාස සඳහා වන්දි ලබා දීම පිළිබඳව පුළුල් සාකච්ඡා පැවැත්විණි. වන්දි ගෙවීම් සහ නැවත පදිංචි කිරීමේ කටයුතුවලදී ප්‍රාදේශීය ලේකම්වරුන් ප්‍රධාන කාර්යභාරයක් ඉටු කළ යුතු බවට ජනාධිපතිවරයා උපදෙස් දුන්නේය.
මේ අතර, විපතට පත් පවුල් නැවත පදිංචි කිරීම සඳහා මද්දකැටිය, ගොකරැල්ල සංගමු රජමහා විහාරාධිපති පූජ්‍ය අලුත්ගම මංගල හිමියන් විසින් විහාරස්ථානයේ අක්කර 20 ක ඉඩමක් වෙන් කර ඇත. ඊට අදාළ ලියකියවිලි ජනාධිපතිවරයා වෙත භාරදෙනු ලැබුවා.
වයඹ පළාත් සමුපකාර සංවර්ධන දෙපාර්තමේන්තුවේ සම්බන්ධීකරණයෙන් වයඹ පළාත් සමුපකාර සමිති, සංගම් සහ සාමාජිකයින්ගෙන් රුපියල් මිලියන 10 ක මූල්‍ය පරිත්‍යාගයක් සහ ගොකරැල්ල සහල් මෝල හිමිකරු එස්.එම්. වසන්ත සමරකෝන් ගේ පරිත්‍යාගයක් ද ජනාධිපතිවරයා වෙත භාර දෙන ලදී.
මෙම අවස්ථාවට මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල, කෘෂිකර්ම හා පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න, කාන්තා හා ළමා කටයුතු නියෝජ්‍ය අමාත්‍ය නාමල් සුදර්ශන, වයඹ පළාත් ආණ්ඩුකාර තිස්ස වර්ණසූරිය, දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, පළාත් පාලන ආයතන සභාපතිවරුන්, භාණ්ඩාගාර ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම, අමාත්‍යාංශ ලේකම්වරුන්, කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් චන්දන දිසානායක, ජ්‍යෙෂ්ඨ රජයේ නිලධාරීන් සහ ආරක්ෂක අංශ නායකයින් සහභාගී වූහ.

