SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ලොව බොහෝ රාජ්‍ය නායකයන්ට එල්ල වන චෝදනාවක් වන්නේ තම රාජ්‍ය පාලන සමය තුළ රටේ ධනය අවභාවිත කළ බවට හා සොරකම් කළ බවටය.

දිළින්දන් ලෙස දේශපාලනයට පිවිසෙන බොහෝ දෙනෙක් ඉතා කෙටි කලකින්ම මිලියනපතියන් බිලියනපතියන් බවට පත්වනු දැකිය හැකිය.

ඇතැම් රටවල මෙවැනි දේශපාලනඥයන්ට එරෙහිව නීති මගින් කටයුතු කෙරෙන නමුදු බොහෝ රටවල එවැනි ක්‍රියාදාමයක් දැකිය නොහැකිය. මෙවැනි දේශපාලකයන් අතර රටේ පාලකයා වුවද කිසිදු වත්කමක් නොතිබූ, රටේ සම්පත් සොරකම් නොකළ, දේශපාලනයෙන් ඉවත්වන විටද දිළින්දන් වූ අවංක රාජ්‍ය පාලකයන් අතලොස්සක්ද ලොව සිටිති.

ඒ අතුරින් ඉදිරියෙන්ම සිටින්නේ උරුගුවේ රාජ්‍යයේ හිටපු ජනාධිපති හොසේ මුයිකා කොර්ඩානෝය.

අරුගුවේ හිටපු ජනාධිපති 2

2010 සිට 2015 වසර දක්වා උරුගුවේ රාජ්‍යයේ ජනාධිපතිවරයා වූ ඔහු ලොව සිටින දිළිඳුම ජනාධිපතිවරයාය. ජනාධිපතිවරයාව සිටි සමයේ ඔහුට මාසික වැටුප ලෙස ඩොලර් 12,000 ක් හිමි විය. එම මුළු වැටුපම ඔහු ලබාදුන්නේ තම රටේ දුප්පතුන්ට ප්‍රතිලාභ සැලසීමට සහ කුඩා ව්‍යවසායකයන්ට උපකාර කිරීම සඳහාය. සාමාන්‍යයෙන් උරුගුවේ වැසියකුගේ මාසික ආදායම ඩොලර් 700ක් පමණ වේ. ජනාධිපති මුයිකාද ලබා ගත්තේ ඩොලර් 775ක් මුදලක් පමණි. 2010 දී උරුගුවේහි සියලු දේශපාලනඥයන්ගේ වාර්ෂික වත්කම් ප්‍රකාශයක් ඉදිරිපත් කිරීම අනිවාර්ය විය. එම අවස්ථාවේ මුයිකා ජනාධිපතිවරයාගේ වාර්ෂික වත්කම වූයේ වොක්ස්වැගන් රථයේ වටිනාකම වූ ඩොලර් 1,800ක් හා බිරියගේ වත්කම් වූ ඉඩමක්, ට්‍රැක්ටරයක් හා නිවසේ තක්සේරුව වූ ඩොලර් 215,000ක් පමණි. එම අවස්ථාවේ උප ජනාධිපතිවරාගේ වත්කම ඔහුගේ වත්කම මෙන් තුන් ගුණයක් විය.

උරුගුවේ ජනාධිපති වීමට පෙර 1960 සහ 1970 කාලයේ ඔහු ටුපාමරෝස් නමැති ගරිල්ලා කණ්ඩායමේ සටන්කරුවෙක් විය. සෙසු සටන්කරුවන් ඔහු හැඳින්වූයේ ‘රොබින් හුඩ්’ ලෙසිනි. ඔවුහු බැංකු, දූෂිත සමාජශාලා සහ දූෂිත ව්‍යාපාරියන්ගෙන් කොල්ලකමින් එම ධනය දිළිඳුන්ට ප්‍රදානය කළහ. ගරිල්ලෙකු ලෙස සේවය කරමින් සිටියදී, ඔහු වසර 14 කට සිරගත කෙරුණු අතර පලායාමේ උත්සාහයකදී වෙඩි ප්‍රහාර 6කට ලක්විය. උරුගුවේ ජනාධිපති ලෙස කටයුතු කළද ඔහු දිගටම පෙනී සිටියේ ජනතාව වෙනුවෙනි. ජනාධිපති මැඳුරක වාසය නොකළ ඔහු තම බිරිඳ සහ බල්ලාද සමඟ කුඩා ගොවිපලක ජීවත් විය. අදටද ජීවත් වන්නේ එහිය.

උරැගුවේ හිටපු ජනාධිපති

1994 මහ මැතිවරණයෙන් පාර්ලිමේන්තුවට තේරී පත් වූ ඔහු 1999 මැතිවරණයේදී සෙනෙට් සභිකයෙක් ලෙස තේරී පත්විය. මුයිකාගේ ජනප්‍රියත්වය හේතුවෙන් ජනතා ප්‍රසාදය විශාල ලෙස හිමි වූ අතර 2004 වන විට ඔහු නියෝජනය කළ බ්‍රෝඩ් පෙරමුණ ජනතාවගේ විශ්වාසය දිනා සිටියේය. එම වසරේ මැතිවරණයේදී මුයිකා නැවත සෙනෙට් සභාවට තේරී පත් වූ අතර, බ්‍රෝඩ් පෙරමුණ ජනාධිපති අපේක්ෂක ටබාරේ වස්කුවෙස් ජයග්‍රහණය පිටුපස සිටි ප්‍රධාන බලවේගය බවට පත් විය. 2005 දී ජනාධිපති ටබාරේ වස්කුවෙස් විසින් මුයිකා පශු සම්පත්, කෘෂිකර්ම හා ධීවර අමාත්‍යවරයා ලෙස නම් කරන ලදී. 2008 දී කැබිනට් මණ්ඩලයක් වෙනස් වන තෙක් ඔහු ඉල්ලා අස් වූ අතර, ඔහු වෙනුවට අර්නෙස්ටෝ අගාසි පත් කරන ලදී. පසුව මුයිකා නැවත සෙනෙට් සභාවේ අසුනට පැමිණියේය.. 2009 දී පැවැති මැතිවරණයෙන් ජයගත් මුයිකා 2010 දී උරුගුවේ ජනාධිපතිවරයා ලෙස තේරී පත් විය.

අති සුඛෝපභෝගී ජනාධිපති මැඳුරේ වාසයට නොගිය ඔහු එය උරුගුවේ හිටපු ජනාධිපතිවරුන්ගේ කෞතුකාගාරයක් බවට පත් කිරීමට පියවර ගත්තේය. ජනාධිපතිවරයාව සිටි සමයේද ඔහු සෑම දිනකම තම ගොවිපළේ සේවය කළේය. ඔහු සතුව ඇත්තේ පරණ වොක්ස්වැගන් බීට්ල් වර්ගයේ කුඩා මෝටර් රථයකි. හිටපු බොහෝ රාජ්‍ය නායකයන් බෙන්ට්ලි හෝ රෝල්ස් රොයිස් වාහනවලට ලොල් වුවද ඔහුට 1987දී මිලට ගත් තම කුඩා බීට්ල් රථය ඒ සියල්ලටම වඩා සුඛෝපභෝගීය. ඔහු තම ගොවිපළේ නිපදවන ද්‍රව්‍ය අලෙවි කොට ලැබෙන මුදලින්ද කොටසක් දිළින්දන් වෙනුවෙන් ලබා දෙයි.

පස්වසරක් ජනාධිපති පදවිය දැරීමෙන් පසු ඔහු දේශපාලනයෙන් විශ්‍රාම ගියේය.

“මා සතු සුළු දෙයින් මට හොඳින් ජීවත් විය හැකියි” යනුවෙන් පවසන ඔහු ලොව පුරා ප්‍රසිද්ධියට පත්ව සිටින්නේ ලොව දිළිඳුම ජනාධිපතිවරයා ලෙසිනි.

“මාව දුප්පත්ම ජනාධිපති ලෙස හැඳින්වුවද මට දුප්පත් බවක් දැනෙන්නේ නැත. දුප්පතුන් යනු මිල අධික ජීවන රටාවක් පවත්වා ගැනීමට උත්සාහ කරන අය පමණක් වන අතර සෑම විටම ඔවුන්ගේ අවශ්‍යතා විශාලය. මගේ ජීවිතය නිදහස්ය එමෙන්ම සැහැල්ලුය. ඔබට බොහෝ දේපළ නොමැති නම්, ඒවා නඩත්තු කිරීම සඳහා ඔබේ මුළු ජීවිත කාලයම වහලෙකු මෙන් වැඩ කිරීමට අවශ්‍ය නැත. එබැවින් ඔබට ඔබ වෙනුවෙන් කැප කිරීමට වැඩි කාලයක් තිබේ” යනුවෙන් ඔහු පවසයි.

 

දුප්පත් ජනපති හැරී ටෲම් ඇමෙරිකා

බොහෝ දෙනකු සිතනුයේ ලොව ධනවත්ම ජනාධිපතිවරුන් සිටින්නේ ඇමෙරිකා එක්සත් ජනපදයේ කියාය. එහෙත් ඇමරිකා එක්සත් ජනපදයේ 33 වැනි ජනාධිපතිවරයා වූ හැරී එස් ටෘමන් ය ජීවිතයෙන් වැඩි කාලයක් ගත කළේ මූල්‍ය අර්බුදයක ය. ඔහු නිහතමානී සහ අවංක පුද්ගලයකු වූ අතර අයහපත් මූල්‍ය ආයෝජන සහ දුර්වල කළමනාකරණය හේතුවෙන් ඔහුගේ ව්‍යාපාරවලින් (රෙදිපිළි ව්‍යාපාරයක් සහ පතල් හා තෙල් සමාගමක් ඇතුළුව) ණයකරුවෙක් බවට පත්ව සිටියේය. ඔහුගේ ජනාධිපති ධුර කාලය අවසන් වීමෙන් පසු ඔහුට ජීවත් වීමට නිවෙසක් තිබුණේ නැත. ඔහු හා බිරිය වාසය කලේ බිරියගේ මවගේ නිවෙසේය. ජීවත්වූයේ තමන් ලද විශ්‍රාම වැටුපෙනි. මෙඩිකෙයා නමැති ක්‍රමය යටතේ ඔහුට සහ ඔහුගේ බිරිඳට එය හිමිව තිබිණි.

ඔහුගේ සමස්ත වත්කම වූයේ ඩොලර් මිලියනකටත් වඩා අඩු ප්‍රමාණයකි. හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ වත්කම වන ඇමෙරිකානු ඩොලර් බිලියන 3.7 හා සසඳන කළ හැරී ටෘෘමන් යනු එරට සිටි දිළිඳුම ජනාධිපතිවරයෙකි. ඩොලර් මිලියනයකට වඩා අඩු වත්කමක් සහිත ඇමෙරිකානු ජනාධිපතිවරුන් කීප දෙනෙක්ම වෙති. ඒ අතර කැල්වින් කූල්රිජ්, වුඩ්රෝ විල්සන්, චෙස්ට ආතර්, ඇන්ඩෘ ජොන්සන්, ඒබ්‍රහම් ලින්කන්ද සිටිති.

නේපාලයේ අගමැති පදවිය දැරූ සුෂිල් කොයිරාළ ද එරට සිටි අගමැතිවරුන් අතර දිළින්දෙකි. ධනවත් පවුලක අයෙක් වූ ඔහු තම පිය උරුමයෙන් ලද ධනය ප්‍රතික්ෂේප කළේය. අරපිරිමැස්මෙන් යුත් ජීවන රටාවකට ප්‍රසිද්ධව සිටි ඔහු සරල දිවියක් ගත කළ අගමැතිවරයෙකි. බලයට පත්වූ දා සිට ගත් ක්‍රියාමාර්ග ගණනාවකින් ඔහුගේ ජනතා ප්‍රසාදය දිනාගත්තේය. ඔහු සතු වත්කම් ලෙස දැක්වුණේ අයි ෆෝනයක් හා තවත් ජංගම දුරකථන දෙකක් පමණි.

දුප්පත් අගමැති නේපාලය සුෂිල්

ඔහු සතුව ඉඩමක් හෝ නිවෙසක් හෝ නොතිබි අතර අගමැති සමයේ නිල නිවෙසේ වාසය කළ ඔහු 2016 මිය යන තෙක්ම ජීවත් වූයේ කුලී නිවෙසකය. වරක් රාජ්‍ය තාන්ත්‍රික සංචාරයක් සඳහා බුරුමයට ගිය ඔහුට ගමන් වියදම් ලෙස එරටින් ලද ඩොලර් 650 ක මුදල පවා ප්‍රතික්ෂේප කළේය.

උරුගුවේ හි මුයිකා මෙන්ම සහ කොයිරාළගේද සරල ජීවන රටාවට බල පා ඇත්තේ ඔවුන්ගේ රුඩිකල් තරුණ වියේ ආභාෂයයි. මුයිකා වාමාංශික ගරිල්ලකු වූ අතර කොයිරාළ ගුවන් යානා පැහැර ගැනීමකට සම්බන්ධ වීම මත 30 හැවිරිදි වියේද සිරගතව සිටියේය.

මිසයිල මිනිසා ලෙස ලොවම හැඳින්වූ ඉන්දියාවේ 11 වැනි ජනාධිපති ආචාර්ය අබ්දුල් කලාම් ද සරල දිවි පෙවෙතක් ගතකළ පුද්ගලයෙකි. 2002 සිට 2007 දක්වා ඉන්දියාවේ 11 වැනි ජනාධිපතිවරයා ලෙස සේවය කළ ඔහුට ධනයක් තිබුණේ නැත. ඔහුගේ ජීවන රටාව සරල විය.

දුප්පත් ජනාධිපති අබ්දුල් කලාම් ඉන්දියා

මහාචාර්යවරයකු, ගත් කතුවරයකු, අභ්‍යවකාශ විද්‍යාඥයකු, අධ්‍යාපනඥයකු සහ ජනාධිපතිවරයකු ලෙස ඔහු සේවය කළද ඔහු විශාල ධනවතෙක් නොවීය. ඉස්රෝ සහ බාර්ක් යන ආයතනවල සේවය කරමින් සිටියදී පවා ඔහු ජීවත් වූයේ කුඩා කාමරයකය. එහි තිබූ පැරණි ගෘහ භාණ්ඩද කුලියට ගත් ඒවා විය.. තම නිවෙසේ රූපවාහිනියක් නොතිබූ අතර ඔහුගේ පෞද්ගලික දේපළ වූයේ පොත්පත්, වීනාවක්, ඇඳුම් පැළඳුම් කිහිපයක්, ඔහුගේ ලේඛන එකතුවක්, සීඩී ප්ලේයරයක් සහ ලැප්ටොප් පරිගණකයක් පමණි. විශ්වවිද්‍යාල 40කින් ආචාර්ය උපාධි දිනූ ඔහු තමා උපන් රාමේස්වරමේ කුඩා කාලයේ ජීවත් වූ අයුරින්ම මිය යන තෙක්ම සරල ජීවිතයක් ගත කළේය.

ඉන්දියාවේ අගමැතිවරයකු වූ ලාල් බහදූර් ශාස්ත්‍රි මහතාගේ අභාවයෙන් පසු ඔහුගේ බිරිඳට වාසය කිරීමට නිවෙසක් සහ කරුණාසහගත දීමනාවක් ලබා දීමට රජයට සිදුවූයේ අගමැති ශාස්ත්‍රි සතුව කිසිදු වත්කමක් නොතිබි බැවිනි.

එමෙන්ම 1977 ඉන්දියාවේ අගමැතිවරයා වූ මොරාජි දේසායි මහතාගේ අවසන් කාලයේ ඔහුටද ජීවත් වීමට සිදු වූයේ රජයෙන් ලද කරුණාසහගත දීමනාවෙනි. ඔහුට වාසය කිරීම සඳහා මහල් නිවාසයක්ද රජයෙන් ලබා දුන්නේ ඔහු දේශපාලනයෙන් කිසිවක් උපයා නොගත් අවංක දේශපාලනඥයකු වූ බැවිනි.

 

දුප්පත් අගමැති ඉන්දියා මොරාජ් දේසායි

ලොව අවම වත්කම් සහිත ජනාධිපතිවරුන් හා අගැමැතිවරුන් පිළිබඳ මෙම ලිපිය සැකසීම සඳහා අන්තර් ජාලයේ තොරතුරු සෙවීමේදී වැඩිවශයෙන්ම හමුවූයේ ලොව වැඩිම වත්කම් සහිත ජනාධිපතිවරුන් සහ අගමැතිවරුන් පිළිබඳ තොරතුරුය. ආසියානු අප්‍රිකානු හා ලතින් ඇමෙරිකානු රටවල බොහෝ නායකයන් දිළින්දන් ලෙස දේශපාලනයට එක්ව පසුව මහා ධනවතුන් බවට පත්ව සිටින අතර දේශපාලනයේ නිරතවන විටද දේශපාලනයෙන් සමුගත් පසුවද සාමාන්‍ය දිවි පෙවෙතක් ගත කළ දේශපාලනඥයන් ඇත්තේ අතලොස්සක් පමණි. මෙහි සඳහන් වන්නේ ඔවුන්ගෙන් කිහිප දෙනෙකි.

ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා

නවතම ලිපි