SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

කැලිෆෝනියාවේ සිට අර්කන්සාස් බලා යන දුම්රියේ බඩු ප්‍රවාහන මැදිරියකට “පැටවූ” කුඩා දරුවන් දෙදෙනෙකි.

ඒ දෙදෙනාගෙන් පිරිමි දරුවාගේ වයස අවුරුදු පහක් වූ අතර, දැරියට වයස අවුරුදු තුනකි. ඒ දෙදෙනා ලග ඔවුන්ගේ දෙමාපියන් පෙනෙන්නට නැත. වැඩිහිටියෙක්වත් භාර කාරයෙක්වත් ලග නැත.

ඇත්තේ නූලකින් කුඩා දැරියගේ අතේ ගැට ගැසූ කොල කැබැල්ලක් පමණි.

“ඇනී හෙන්ඩර්සන් මහත්මිය

ස්ටෑම්ප්ස්

අර්කන්සාස්.”

“මේ ළමයින්ව ඉහත ලිපිනයට බාර දෙන්න.”

 

ඒ දරුවන් දෙදෙනා එකී ලිපිනයට තැපැල් කරන ලද දරුවන්ය.

 

maya 4

1931 අවුරුද්දේ දිනෙක, ලිපිනය ලියූ කොළ කැබැල්ලක් අතේ ගැට ගසා, අත්තම්මාගේ නිවසට තැපැල් කර යැවුණු ඒ දැරිය මාගරිට් ඇනී ජොන්සන්ය. ඔබ අප කවුරුත් දන්නා නමින් කියනවා නම් “මායා ඇන්ජෙලෝ” ය.

ඒ දුම්රිය ගමනට පෙර, ඇගේ ජීවිතයේ ගෙවුණු තුන් වසරටද ඇය ආ ගමන් මග ලෙහෙසි පහසු එකක් නොවේ.

දකුණුකරයේ ඇති වර්ගවාදයෙන් බේරෙන්නට, අත දරුවන් වූ මායා ඇන්ජෙලෝවත්, ඇයට වඩා දෙවසරක් වැඩිමල් ඇගේ අයියාවත් රැගෙන කැලිෆෝනියා නගරයට එන්නට මායා ඇන්ජෙලෝගේ දෙමාපියන්ට සිදු විය. කැලිෆෝනියාවේ ජීවිතයද ඔවුන්ට දුෂ්කර වූ හෙයින් ඇගේ අම්මාත් තාත්තාත් අතර නිතර නිතර ගැටුම් ඇති විය. එහි ප්‍රතිඵලය වූයේ තාත්තා අම්මාවත්, දරු දෙදෙනාවත් හැර යාමය. දරු දෙදෙනෙකුගේ බර දරන්නට ශක්තියක් නැති හෙයින් මායා ඇන්ජෙලෝගේ මව කළේ දරු දෙදෙනාව, දරු දෙදෙනාගේ පියාගේ මව වෙතට තැපැල් කර හැරීමය.

ඉතින්, මේ දරුවන් දෙදෙනාව හරියටම ඒ ලිපිනයට ගෙන ගොස් බාර දෙන්නට තරම් දුම්රිය සේවකයෝ කරුණාවන්ත වූහ. අත්තම්මා ඇනී හෙන්ඩර්සන් අර්කන්සාස් හි සිල්ලර බඩු කඩයක හිමි කාරියකි. කෙසේ වුවත් ඇය ආදරණීය අත්තම්මා කෙනෙකි. ඇන්ජෙලෝ අත්තම්මාට ආදරය කළාය. එහෙත් ඉදහිටක අම්මා බලන්නට කැලිෆෝනියා වෙත යන්නටද ඕනෑ යැයි අත්තම්මාට කරදර කළාය.

mayaa

ඇයට වයස අවුරුදු අටක් වූ විට, අම්මා බලන්නට කැලිෆෝනියාවට ගිය ගමනකදී ඇගේ ජීවිතය වෙනස් කරන පළමු සිදුවීම සිදු විය.

ඒ ඇගේ අම්මාගේ අලුත් පෙම්වතා වූ “ෆ්‍රීමන්” අතින් ඇන්ජෙලෝ දැරිය දූෂණයට ලක් වීමය. ඇන්ජෙලෝ ඒ ගැන තම අයියා වූ බේලි ට කීවාය. බේලි ඒ සියල්ලම පවුලේ අනෙක් අයට කීවේය. අත්තම්මාත් මාමාත් මේ සිදුවීම ගැන පොලිසියට පැමිණිළි කළහ. පොලිසිය විසින් ෆ්‍රීමන්ව අත්අඩංගුවට ගැනුණු අතර, උසාවියෙන් ෆ්‍රීමන්ට දුන් දඩුවම “එක් දිනක සිර දඩුවම” කි. ෆ්‍රීමන් නිදහස් වී දින හතරකට පසුව, ඇන්ජෙලෝගේ මාමා ෆ්‍රීමන්ව සොයා ගොස්, පහර දී මරා දැමුවේය.

“මේ සේරම වුණේ උඹ නිසා. උඹ කාටවත් මේ ගැන කිව්වේ නැතිනම් මෙහෙම දෙයක් වෙන්නෙ නෑනේ. උඹේ කට නිසා මනුස්සයෙක් මැරුණේ..” නෑයින්ගෙන් කෙනෙකු ඇයට චෝදනා කළේය.

ඒ චෝදනාව ඇගේ සිතට තදින් කා වැදිණ. ඇගේ කට නිසා මිනිසෙකු මිය ගොස් ඇත. ඇයට ඇත්තේ මිනීමරු කටකි. මේ අවාසනාවන්ත කටින් තවත් වචන පිට කර, තවත් කිසිවෙකුට කරදරයක් කරන්නට ඇය කැමති වූයේ නැත. ඇය කතා කිරීම නැවැත්වූවාය.

ඇය ගොළුවත පුරන්නට පටන් ගත් හේතුව කිසිවෙකුත් දැන සිටියේ නැත. අම්මාත්, අත්තම්මාත්, සියලු නෑ හිතවතුනුත් ඇයව කතා කරවන්නට උත්සාහ කළ මුත්, තවත් වසර ගණනාවක් යන තුරු ඇය වචනයක්වත් කතා කළේ නැත.

කතා නොකරන කෙනෙකුට භාෂාවකින් ඇති ඵලය කුමක්ද.?

එහෙත් ඇය භාෂාවට ඇලුම් කළාය. කතා නොකළත් ඇය වචන වලට පෙම් බදින්නට වූයේ මේ කාලයේදීය. වචන.. ඇය පෙම් බැන්දේ අකුරු වලින් ලියැවුණු වචන වලටය. මුළුමනින්ම නිහඩ වූ ඇගේ මතකය අසාමාන්‍ය ලෙසින් වැඩෙන්නට විය. ඒ මතකයේ තැන්පත් වූයේ ශේක්ෂ්පියර් නම් මහා ලේඛකයාගේ වචනය. ඩබ්.ඊ.බී. ඩූ බොයිස්, එඩ්ගා ඇලන් පෝ, වැනි ලේඛකයින්ගේ පොත් කියැවූ ඇය, ලැන්ග්ස්ටන් හියුස්, ලෝරන්ස් ඩන්බාර් වැනි කවියන්ගේ කවි මතකයෙහි රදවා ගත්තාය.

 

maya 3

ඇන්ජෙලෝට වයස අවුරුදු දාහතරක් හා ඇගේ අයියාට වයස දාසයක් වන විට, “මේ වයසේ ළමයි බලා ගන්න එක ලේසි නෑ.” කියා තීරණය කළ අත්තම්මා නැවතත් ඔවුන්ව ඔවුන්ගේ අම්මා ලගට යවන්නට සැලසුම් කළාය.

කල් යත්ම ඇන්ජෙලෝ යළිත් කතා කරන්නට පටන් ගත්තාය. කැලිෆෝනියාවට ගිය පසුව ඇය සැන් ෆ්‍රැන්සිස්කෝ හි කම්කරු පාසැලකට ඇතුළු වී නර්තනයත් රගපෑමත් ඉගෙන ගත්තාය. ඇය ඉගෙන ගන්නට මුදලක් සොයා ගත්තේ කේබල් කාර් කොන්දොස්තරවරියක ලෙස සේවය කරමිනි.

එයින් පසුව වයස අවුරුදු දාසයේදී ඇය ගැබ් ගත්තාය. ඒ ප්‍රේම සබදතාවයක් නිසා නොවේ. ඇය සමරිසි කාන්තාවක් නොවෙන බව ඔප්පු කර පෙන්වීම සදහාම පිරිමියෙකු සමග කායික සබදතා පැවැත්වීමෙනි.

“ඔයා එයාට ආදරේ කරනවද.?” තමා ගැබිණියක වී ඇති බව අම්මාට දැනුම් දුන් විට අම්මා ඇගෙන් ඒ තරුණයා ගැන විමසුවාය.

“නෑ.” ඇන්ජෙලෝ කෙටියෙන් උත්තර දුන්නාය.

“එහෙනම් එයා ඔයාට ආදරේ කරනවද.?”

“ඒත් නෑ. අපි අතර නිකම් එහෙම දෙයක් වුණා. එච්චරයි.”

“එහෙනම් තුන් දෙනෙකුගෙ ජීවිත නාස්ති කරන්න ඕන නැහැනේ. අපි මේ දරුවව හදා ගමු..” අම්මා කීවාය. මායා ඇන්ජෙලෝට ඇගේ එකම පුතා ලැබුණේ එළෙසය.

දරුවෙකුද සමගින් තව දුරටත් අම්මාට බරක් වී සිටින්නට නොහැකි නිසා වයස අවුරුදු දා හතේදී මායා ඇන්ජෙලෝ දරුවාද රැගෙන සැන් ෆ්‍රැන්සිස්කෝ නගරයට පැමිණ එහි කාමරයක් කුළියට ගත්තාය. දරුවාව බලා ගන්නට කාමරයේ හිමිකාරිය වෙත භාර කළ ඇය අතට අසුවන වැඩ කරමින් ජීවත් වෙන්නට සුළු මුදලක් උපයා ගත්තාය. වරෙක අවන්හල් සේවිකාවක ලෙස, ගෙවල් වල කෑම පිසින මෙහෙකාරියක ලෙස, පමණක් නොව, රාත්‍රී සමාජශාලා වල නටන අඩ නිරුවත් නැට්ටුක්කාරියක ලෙස ඇය රැකියාව කලාය.

ඇය ආදරය කරන්නට පටන් ගත්තේ ඔය අතරය. ඇය පෙමින් වෙළුණේ එල්.ඩී හෙවත් ටොල්බෘක් නැමැත්තෙකු සමගය. හෙතෙම විවාහකයෙකි. සූදු අන්තුවෙකි. සූදුව නිසාම හතර අතේ ණය වී සිටි අයෙකි. ඔහු ඇන්ජෙලෝට බොරු පොරොන්දු දී රවටා ගත්තේය.

“මං මගේ නෝනාගෙන් දික්කසාද වෙලා ඔයාව කසාද බදින්නම්. ප්‍රශ්නේ තියෙන්නෙ මේ වෙලාවෙ මට සල්ලි ප්‍රශ්න ගොඩක් තියෙන එක තමයි.. ඔයාට පුළුවන් නම් මං කියන තැන වැඩ කරලා මට සල්ලි ටිකක් හොයලා දෙන්න..” ඔහු කීවේය. “සල්ලි ටිකක් එකතු කරගත්තට පස්සෙ අපි දෙන්නට කසාද බදින්න පුළුවන් වෙයි..”

ඇන්ජෙලෝ එයට එකග වූවාය. ඔහු ඇයට වැඩ කරන්නට කියූ තැන ගණිකා නිවාසයකි. ඉතින් මායා ඇන්ජෙලෝ කලක් එහි ගණිකාවක් ලෙසද, තවත් ටික කලක් ගණිකා පාලිකාවක හෙවත් “මැඩම්” කෙනෙකු ලෙසද වැඩ කළාය. එලෙසින් උපයන සියළු මුදල් තම පෙම්වතාට දුන්නාය. ඇයව විවාහ කර ගැනීමේ අදහසක්වත් නොතිබුණු ටොල්බෘක් කළේ ඒ මුදල් වලින් සූදුවෙහි නිතර වීමය.

ඇන්ජෙලෝගේ අයියාට මේ බව දැනගන්නට ලැබිණ. ඔහු පැමිණ තම නැගණියව ගණිකා නිවාසයෙන් ඉවත් කරගත්තේය. කෙසේ වුවත් ඇයට සිතූ තරම් ඉක්මනින් එයින් මිදෙන්නට හැකි වූයේ නැත. ගණිකා නිවාස හිමියන්ගෙන් ඇයට එල්ල වුණු බලපෑම් හා තර්ජන ප්‍රබලය. ඇගේ දරුවාව පවා පැහැර ගන්නා ලදී. අවසානයේ ඇය මත් කුඩු වලටත් ඇබ්බැහි වූවාය.

 

maya 2

දරුවාවත් නැවතත් තමා ලගට ගත් ඇය පසුව රාත්‍රී සමාජ ශාලාවක නැටුම් ඉදිරිපත් කිරීමේ රැකියාවක් සොයා ගත්තාය. එහිදී ඇයට ප්‍රබල සබදතා ඇති කලාකරුවන් හදුනා ගන්නට ලැබිණ. ඒ අතර ලැන්ග්ස්ටන් හියුස් හා ජෝන් ඔලිවර් කිලෙන්ස්ද වූහ. ඇය නිව්යෝක් නගරයට ගොස්, ලේඛිකාවක වෙන්නට හැකිදැයි උත්සාහ කර බැලිය යුතු යැයි මුලින්ම ඇයට යෝජනා කළේ කිලෙන්ස් ය.

කිලෙන්ස්ගේ යෝජනාව ඉහ මුදුනින් පිළිගත් ඇය නිව්යෝක් නගරයට ගොස් Harlem Writers Guild නම් වූ ලේඛක සමාජයකට බැදුණාය. එහිදී ඇයට බොහෝ ලේඛක ලේඛිකාවන් හදුනා ගන්නට ලැබිණ. එහිදී හදුනාගත් ජේම්ස් බෝල්ඩ්වින් නැමති කතුවරයා සහ රොබට් ලූමින්ස් නම් වූ පුවත්පත් කතුවරයා ඇයට ඇගේ චරිතාපදානය ලියන්නට යෝජනා කළහ. මුලදී අකමැත්තෙන් අමාරුවෙන් නමුත් ඇය ඇගේ කතාව ලීවාය.

1969 දී “I Know Why the Caged Bird Sings” නම් වූ ඇගේ ස්වයං ලිඛිත චරිතාපදානය බිහි විය. අතිශය ජනප්‍රියත්වයට පත් වූ එම කෘතියට National Medal of Arts, Presidential Medal of Freedom වැනි සම්මාන රැසක් හිමි විය.

පසුකාලයේදී මායා ඇන්ජෙලෝ ඇමරිකානු ඉතිහාසයේ වඩාත්ම ජනප්‍රිය හා වඩාත්ම බලවත් ලේඛිකාවන් අතරට පැමිණියාය.

maya angelou

නිම්මි මුදිතා හේරත්.

සති අග අරුණ

නවතම ලිපි