සවස් යාමයේ ඇය තම නිවසේ ආලින්දයේ අසුන් ගෙන අවට පරිසරයෙන් නැඟන කුරුළු කූජනයට සවන් යොමා සිටිනවා. පෙර මෙන් කඩිසරව වැඩකටයුතුවල නිරත විය නොහැකි වුවත් ඇය තවමත් තම රංගන දිවියට නැවතීම තබා නැහැ.
මේ දිනවලත් වෙළෙඳ දැන්වීම් තුළින් ඇය දැකගන්න පුළුවන්.
හුදෙකලාවේ සිතිවිලි අතර කිමිදෙන සෑම මොහොතකම ඇගේ සිතිවිලි ස්පර්ශ කරන්නේ සුන්දර ළමා වියයි. රුවන්වැල්ලේ මුදුගොමුව ගම්මානයේ මීදෙනිය වලව්වේ ගෙවුණු ළමා විය, මාවවුලන්ගේ, කොරවක්කන්ගේ තොරතෝංචියක් නැති කෑගැසීම්, ගැමි ගෙදරක අත්තම්මා කෙනෙකු බණ පොතක පිටුවක් කියවන හඬ, ගුරුගොඩ ඔයේ පාරු පදින්නන්ගේ පාරු කවි ඇගේ මතකයට නැගෙනවා. ඒ සියල්ල සිහිනෙන් ගෑ සුවඳක් යැයි ඇයට හිතෙනවා. මේ වන විට ඇය 93 හැවිරිදි අත්තම්මා කෙනෙක්. තම ජීවිතය තමාටම පහනක් කොට නොගත් ඇය තමා උපන් දේශයේ ජනතාව වෙතද ඒ ආලෝකය රැගෙන ගියා. යන්තම් සය හැවිරිදි දැරියක ලෙස කොළඹ සාන්ත බ්රිජට් කන්‍යාරාමයේ පාසල් වේදිකාවට පිවිසි ඇය අද 93 හැවිරිදි වියේදී ද තම රංගන කුසලතාවෙන් දේශයේ සුවහසක් රසිකයන්ගේ ජීවිත ආලෝකයෙන් පුරවාලනවා.
ඇය රේඛාවේ කත්‍රිනා. බක්මහ දීගේ ළමාතැනී. යශෝරාවයේ සුදු හාමිනේ. දූදරුවෝහි ඩල්සි ආච්චි. මේ සියලු චරිත එකම රූපකායක කැටි වූ බහු විධ චරිත. ඇය අයිරාංගනී රොක්සානා මීදෙනිය. විවාහයෙන් පසු සේරසිංහ බවට පත් ඇය සිංහල හා ඉංග්‍රීසි වේදිකාව, සිනමාව සහ රූපවාහිනිය යන කලා මාධ්‍ය තුනම ජයගත් තවමත් රංගනයේ යෙදෙන අප අතර සිටින වයොවෘද්ධම එමෙන්ම දක්ෂතම චරිතාංග නිළියයි. විශ්වවිද්‍යාල උපාධියක් අතැතිව සිනමාවට පිවිසි ප්‍රථම නිළියයි.
අයිරාංගනී සේරසිංහ වෘත්තාන්ත සිනමා රංගනයට පිවිසියේ ලෙස්ටර් ජේම්ස් පීර්ස්ගේ රේඛාව චිග්‍රපටයෙන්. 1950 හා හා පුරා කියා චිත්‍රපටයට සම්බන්ධ වන විට ඇගේ වයස අවුරුදු 23යි. 1927ජුනි 21 දින රුවන්වැල්ලට ආසන්න මූදුගොමුව ගම්මානයේ මීදෙනිය වලව්වේ උපත ලද අයිරාංගනී මීදෙනිය, කොළඹ සාන්ත බ්‍රිජට් කන්‍යාරාමයෙන්, බිෂප් විද්‍යාලයෙන් හා මහනුවර උසස් බාලිකා විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබුවා.
සාන්ත බ්රිජට් කන්‍යාරාමයේ කුඩා දැරියක ලෙස පාසල් වේදිකාවේ ‘වෝටර් බේබීස්‘ නම් නාටකයේ රඟන විට ඇගේ වයස අවුරුදු 6යි. පසුව මහනුවර උසස් බාලිකා විද්‍යාලයේ උසස් පෙළ හදාරන අවදියේ පාසල් වේදිකාවට ගෙන ආ බර්නාඩ් ෂෝගේ ‘පිග්මෙලියන්’ නාට්‍යයේ ප්‍රධාන චරිතය රඟපෑවේ ඇයයි. උසස් පෙළ සමත් වූ ඇයට 1947දී විශ්වවිද්‍යාලයට පිවිසීමේ වරම් හිමි වුණා. එහෙත් ඇගේ පියා වූ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්යාලයේ උගත් මීදෙනිය රටේ මහත්තයා තම දියණිය විශ්වවිද්‍යාලයකට යනවාට එතරම් කැමති වුණේ නැහැ. “ඔබ ඒ විෂමතාවෙන් පිරුණු ගුහාවට යනවට මම කැමති නැහැ” ඒ ඇගේ පියාගේ මතය වුණා. ඇගේ ඥාති සොහොයුරකු ඒ වන විටත් විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබමින් සිටියා. ඔහු රටේ මහත්තයාට අයිරාංගනී විශ්ව විද්‍යාලයට යවන මෙන් කරන ලද ඇවිටිලි නිසා අවසානයේ ඇයට ඒ සඳහා අවසර ලැබුණා. විශ්වවිද්‍යාලයේ පළමු වසර නිම වන විට ඇගේ පියා මෙලොව හැර ගියා.
යොවුන් වියේ පටන් ඇය තුළ සමාජවවාදී අදහස් වැඩෙන්නට වුණා. ඊට බලපෑවේ ඇගේ ඥාති සොහොයුරන්ගේ ආභාෂයයි.
ලංකා විශ්වවිද්‍යාලය ඇගේ දක්ෂතා ඔප්නංවා ගැනීමට කදිම තෝතැන්නක් වුණා. එහි නිෂ්පාදනය කළ බොහෝ ඉංග්‍රීසි නාට්‍යවලට ඇය රංගනයෙන් දායක වුණා. විශ්වවිද්‍යාල නාට්‍යවල රඟපානවාට පවුලෙන් විරෝධයක් මතු වුණේ නැහැ. එහි නාට්‍ය සංගමය සෑම වසරකම උසස් නාට්‍යයක් රංග ගත කළා. ඒ සෑම නාට්‍යයකම ඇය රංගනයෙන් දායක වුණා. මහාචාර්ය ඊ. එෆ්. සී ලුඩොවයික් යටතේ ඇයගේ දක්ෂතා ඔප් නැංවුණු අතර මෙරට සිටි සුප්‍රකට මුදානාට්‍ය ශිල්පියකු වූ චිත්‍රසේනගෙන් නැටුම් හදාරන්නටද ඇයට හැකි වුණා.
විශ්වවිද්‍යාලයෙන් උපාධිය ලද අයිරාංගනීගේ විවාහය සිදු වූයේ මහාචාර්යවරයකු සමඟයි. ඔහු මහාචාර්ය එස්. බී. දිසානායක. එහෙත් එම විවාහය පැවතියේ කෙටි කාලයක් පමණයි.
විවාහයෙන් නීතියෙන් වෙන් වූ ඇය මහාචාර්ය ලුඩොවයික්ගේ සහයෙන් ලන්ඩනයේ ඕල්ඩ්වික් නාට්‍ය පාසලට ඇතුළත් වුණා. වසරක කාලයක් එහි අධ්‍යාපනය ලද ඇය තවත් වසර දෙකක් ලන්ඩන් රංග කලා හා කථන පුහුණු ආයතනයේ අධ්‍යාපනය ලැබුවා.
නාට්‍ය කලා අධ්‍යාපනය ලබා යළි මෙරට පැමිණි ඇය යළිත් මහාචාර්ය ලුඩොවයික් හා ඔස්ට්රියානු යුදෙවු නාට්‍ය අධ්‍යක්වරයකු වූ නිව්මන් ජුබාල්ගේ වේදිකා නට්‍යවලට දායකත්වය ලබා දුන්නා. එතෙක් කොළඹ වේදිකා ගත කළ නාට්‍ය රඟ දැක්වූයේ කොළඹ විශ්වවිද්‍යාලයේ ජෝජ් රාජ ශාලාවේ. 1953 දෙසැම්බර් 12 දින කොළඹ ලයනල් වෙන්ඩ්ට් රඟහල විවෘත කළ දිනයේ ජුබාල් විසින් නිෂ්පාදනය කළ මැක්සිම් ගොර්කිගේ ‘ලෝවර් ඩෙප්ත්ස්’ නාට්‍ය වේදිකා ගත වුණා. එහි නාස්ට්යාගේ චරිතය රඟපෑවේ අයිරාංගනී සේරසිංහයි. ඉන්පසු ඇය සිංහල වේදිකාවටද පිවිසුනා. හෙන්රි ජයසේනගේ අපට පුතේ මගක් නැතේ, ධම්ම ජාගොඩගේ වෙස් මුහුණු, පෝරිසාදයා වැනි නාට්‍ය ඉන් කිහිපයක්.
අයිරාංගනී එංගලන්තයේ නාට්‍ය කලාව හදාරන සමයේ එරට මාධ්‍යවේදියකු ලෙස කටයුතු කළ ලෙස්ටර් ජේම්ස් පීරිස් හඳුනා ගන්නට ලැබුණා. පසු කලෙක ලෙස්ටර් ලංකාවට පැමිණ රජයේ චිත්‍රපට අංශයට සම්බන්ධ වුණා. ඇය මුලින්ම කැමරාවක් ඉදිරියේ රඟපෑවේ රජයේ චිත්‍රපට අංශය මගින් නිර්මාණය කළ ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ ‘බී සේෆ් ඕ බී සොරි’ නමැති වාර්තා චිත්‍රපටයේ. එහි ඇය රියැදුරුවරියක ලෙස රඟපෑවා.
ලෙස්ටර් තම ප්‍රථම වෘත්තාන්ත චිත්‍රපටයට වූ රේඛාව සඳහා ඇයට ඇරියුම් කළේ ඇයගේ රංගන කුසලතාව මැනවින් හඳුනාගත් නිසා. ඒ පිළිබඳව ඇය වරක් මෙලෙස සඳහන් කළා. “මට ඒ දවස කවදාවත් අමතක වෙන්නෙ නැහැ. ඒ පිළිබඳ සිතනකොට දැනුත් කිසියම් ආස්වාදජනක හැඟීමක් ඇති වෙනවා. සිංහල සිනමාවේ හැරවුම් ලක්ෂයක් බඳු රේඛාවේ රඟපාන්න ලැබීම මහත් භාග්‍යයක්.”
රේඛාවෙන් පසු ඇය ලෙස්ටර්ගේ සන්දේශය, දෙලොවක් අතර, රන්සළු, ගෝඩ් කිං, අවරගිර, වෑකන්ද වලව්ව වැනි චිත්‍රපටවලට දායක වූණා. ගම්පෙරළිය චිත්‍රපටයේ මාතර හාමිනේ ලෙසද ඇය තෝරාගත් නමුදු ඇගේ සිරුරේ හැඩය එම චරිතය සඳහා නොගැලපුනු හෙයින් ලෙස්ටර් ශාන්ති ලේඛා තෝරා ගත් බව වරක් ඇය සඳහන් කර තිබුණා.
ඇය වෙනත් අධ්‍යක්ෂවරුන්ගේ චිත්‍රපට රැසකටද දායක වුණා. දයානන්ද ගුණවර්ධනගේ බක්මහ දීගේ, ටයිටස් තොටවත්තගේ තෙවත, අමරනාත් ජයතිලකගේ ප්‍රියංගා, ගාමිණී ෆොන්සේකාගේ සාගරයක් මැද, එච්. ඩී. ප්‍රේමරත්නගේ දෙවැනි ගමන, වසන්ත ඔබේසේකරගේ දඩයම, චන්ද්‍රන් රත්නම්ගේ ආදර කතාව සහ පොරොන්දුව, සුමිත්‍රා පීරිස්ගේ ලොකු දුව, සුනිල් ආරියත්නගේ සුදු සෙවනැලි, රන්ජිත් කුරුප්පුගේ පවන රළු විය වැනි චිත්‍රපටවලට ඇය රංගනයෙන් දායක වුණා. ඒ අතර ස්ටීවන් ස්පීල්බර්ගේ ඉන්ඩියානා ජෝන්ස් ටෙම්පල් ඔෆ් ඩූම්, දීපා මේතාගේ වෝටර් වැනි ජාත්‍යාන්තර චිත්‍රපටද වනවා. 1950 රේඛාවෙන් ඇරඹි ඇයගේ සිනමා දිවියේ මේ වන විට රඟ පා ඇති චිත්‍රපට සංඛ්‍යාව 37ක්. 2019 තිරගතවූ සුළඟ අප රැගෙන යාවි චිත්‍රපටයේද ඇය අත්තම්මා ලෙස අපූරු චරිත නිරූපනයක යෙදෙනවා.
ඇයගේ රූපවාහිනි අගමනය සිදු වූයේ පරාක්‍රම නිරිඇල්ලගේ යශෝරාවය ටෙලි නිර්මාණයෙන්. එහිදී සුදු හාමිනේ ලෙස අති ප්‍රබල රංගනයක යෙදෙමින් ඇය දැක්වූ දක්ෂතා සුවිශේෂයි. ජී. ඩබ්ලිව්. සුරේන්ද්‍ර වැනි දක්ෂ චරිතාංග නළුවකු සමග ජීවිතයේ දුක් ගැහැට විඳින මවකගේ චරිතය ඇය අපූරුවට නිර්මාණය කළා. එතැන් සිට ඇය පුංචි තිරයේ නොමැකෙන සුළු චරිතයක් බවට පත් වුණා. යශෝරාවයෙන් පසු ඇයගේ රංගන කුසලතා ප්‍රේක්ෂකයන් අතරට ආවේ නාලන් මෙන්ඩිස්ගේ දූදරුවෝ ටෙලි නාට්‍යයේ ඩල්සි ආච්චිගේ චරිතයෙන්. බර්ට්‍රම් නිහාල්ගේ ගම් පෙරළිය, නෑදෑයෝ, අම්මයි තාත්තයි, සත්පුර වැසියෝ, මුතු කිරිල්ලී, අමන්දා, සහ තාත්තා යන ටෙලි නාට්‍ය රැසකට ඇය දායක වුණා.
අයිරාංගනී සේරසිංහ මියුසියස් විද්‍යාලයේ ඉංග්‍රීසි සහ ඉතිහාසය පිළිබඳ ගුරුවරියක ලෙසත්, ටයිම්ස් පුවත්පතේ හා ගුවන්විදුලියේ මාධ්‍යවේදිනියක ලෙසත් සේවය කළා. පසුව සංචාරක කර්මාන්තයට එක් වූ ඇය මැක්වුඩ්ස් ආයතනයේ කනිෂ්ඨ විධායක නිලධාරිනියක ලෙස ද කටයුතු කළා. 1960 දී මෙරට සිටි දක්ෂ වේදිකා නළුවකු වූ වින්ස්ටන් සේරසිංහ හා විවාහ වූ අතර ඔවුන් දෙදෙනා ලෙස්ටර්ගේ රේඛාව චිත්‍රපටයේ රඟ පෑවා. ඇය පුතුන් දෙදෙනකුගේ මවක්. එක් පුත්‍රයකු අකාලයේ මිය යෑම ඇගේ ජීවිතයට විශාල වේදනාවක් ගෙන දුන් කරුණක් වුණා.
පරිසරයට බෙහෙවින් ආදරය කරන ඇය පරිසරය රැකගැනීමේ අරමුණින් ‘රුක් රැකගන්නෝ’ නමින් සංවිධානයක් 1975 දී ආරම්භ කළා. ස්වේච්ඡා සේවයක් වූ එය ගස්වැල් රැකගැනීම පිළිබඳව බිම් මට්ටමින් ජනතාව දැනුම්වත් කරන සංවිධානයක්.
ඇය තවමත් ගමේ නිසංසල පරිසරයට කැමතියි. තම මෝටර් රථය පැදවිය හැකි සමයේ මද විවේකයක් සොයා ඇය බෙලිහුල්ඔය පඹහින්නේ පිහිටි නිවහනට ගොස් වෙහෙස නිවාගන්නට කැමැත්තක් දැක්වූවා. එහි ඇති විසල් රුක් ගොමු අතර හුදෙකලාවේ සිටින්නට ඇය කැමති වූවා. එහෙත් ඇයට දැන් තනිව එහි යා නොහැකියි. නගරයේ ඝෝෂාවෙන් මිදී සිත නිවන තැනක රැඳෙන්න ඇය තවමත් කැමතියි.
කලා කීර්ති සහ 2017 ශ්‍රී ලංකන් ඔෆ් ද ඉයර් සම්මානයෙන් පුදලද මේ ගෞරවාන්විත මාතාව රිදී තිරයේ හා රූපවාහිනියේ අම්ම සහ අත්තම්මා. වසර 70කට ආසන්න කාලයක් රංගන ක්ෂේත්‍රයේ නිරත වන ඇය මෙරට නිළි පරපුරටම ආදර්ශයක් ගෙන දුන් කාන්තාවක්.
ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා