මේ කියන්න හදන්නේ හැමෝම එක වගේ ආසාවෙන් කියවයි කියලා හිතන කතාවක් නම් නෙවේ.
ඒත් මට මේක ලියන්නම ඕනී කියලා හිතුනා. මොකද මේ වෙද්දි අපේ රටේ බහුතරයක් ජනතාව ආසාවෙන් බලපු ක්‍රීඩාවක්, ක්‍රීඩකයන්ගේ සහ පරිපාලන වැරදී නිසා එන්න එන්නම වල පල්ලට යන බවට කතිකාවක් තියෙන නිසා.
හැමෝම වගේ මමත් කියන්න හදන්නේ "කොහොමද අපි මේක නගාසිටුවන්නේ, මොනවාද අපි ගත යුතු ක්‍රීයාමාර්ග" වගේ දේවල් නම් නෙවේ. පුංචි කතාවක්. සමහරවිට ආදර්ශමත් කතාවක් කියලා හිතේවී. කොහොම උනත් මේක ඔයාලට කැමති විදිහකට රස විදින්න පුලුවන්.
'ජොනතන් මාක් බෙයාස්ටෝ' එහෙම නැත්නම් බහුතරයක් දන්න එංගලන්ත ක්‍රීකට් කණ්ඩායමේ කඩුළු රකින්නා, ජොනී බෙයාස්ටෝ. ජොනී බෙයාස්ටෝ කියන්නේ අද වෙනකොට ලෝකයේ ඉන්න දක්ෂ ක්‍රීකට් ක්‍රීඩකයෙක්. එංගලන්ත ක්‍රීකට් කණ්ඩායමට නැතුවම බැරි ක්‍රීඩකයෙක්.
ජොනී බෙයාස්ටෝ උපත ලබන්නේ 1989 දී යෝක්ශයර් වලදී. ජොනීගේ පියා ඩේවිඩ් බෙයාස්ටෝ. ඒ කියන්නේ එංගලන්ත පළමු පෙල ක්‍රීකට් ක්‍රීඩාවෙන් උපරිම දක්ෂතා දක්වපු ක්‍රිකට් ක්‍රීඩකයෙක්. ජාත්‍යන්තර තරඟ කිහිපයකට දායකත්වය ලබා දීපු කෙනෙක්. එතකොට මේ ජොනී බෙයාස්ටෝ ගේ අම්මා ජැනට් බෙයාස්ටෝ. ජොනීට ඉන්නවා අයියා කෙනෙක් සහ අක්කා කෙනෙක්. පවුලේ බාල දරුවා හැටියට තමා ජොනී බෙයාස්ටෝ උපත ලබන්නේ.
ජොනී ඉපදිලා වසර කිහිපයක් ගතවෙද්දී ජොනී ගේ අම්මාට පියයුරු පිළිකාවක් හැදෙනවා. ඒ වෙද්දි ජොනී ට වයස අවුරුදු පහක් හයක් වගේ. ජොනී ගේ පියා, එහෙම නැත්නම් ඩේවිඩ් බෙයාස්ටෝ තමන්ගේ බිරිඳ ව බේරගන්න ලොකු උත්සාහයක යෙදෙනවා. ඒ කාලේ වෙද්දි මිළ මුදල් වලින් ගොඩාක් අගහිගකම්වලින් හිටපු ඩේවිඩ්, තමන්ට හැකි සියලුම අයගෙන් ණයට මුදල් ඉල්ලාගෙන තමන්ගේ බිරිඳව මාරයාගෙන් බේරගන්න ලොකු උත්සාහයක යෙදෙනවා. බිරිඳ ලෙඩ ඇදට වැටෙනකොට ඩේවිඩ් බෙයාස්ටෝ පවුලේ සියලුම බර දරුවන්ගේ කටයුතු කරට අරගෙන කරනවා. එහෙත් කාලයක් යද්දී ඩේවිඩ්ට මේ ජීවිත පීඩනය දරාගන්න බැරි වෙනවා. මුදල් අගහිගකම්, ණය ආපසු ගෙවා ගැනීමේ නොහැකියාව නිසා ඔහු මානසිකව අන්තෙටම ඇද වැටෙනවා. ඒකෙන් බේරෙන්න ඔහු තීරණය කරන්නේ මේ ලෝකේ මනුස්සයෙක් ට ගන්න පුලුවන් දරුණුම තීරණය. ඒ සියදිවි නසා ගැනීම.
1998 දී ජොනී බෙයාස්ටෝ ගේ තාත්තා ඩේවිඩ් බෙයාස්ටෝ, තම නිවසෙදිම ගෙල වැලලාගෙන මිය යනවා.
එතනින් පස්සේ මේ හතරදෙනා වැටෙන්නේ ලොකු අමාරුවක. අසනීප මවක්, කුඩා දරුවන් තිදෙනෙකු එක්ක මේ ලෝකේ තනි වෙන එක කොච්චර අපහසුයි ද කියලා ඔයාලට අමුතුවෙන් කියන්න ඕන නෑ.
ඒත් ජොනී ගේ අම්මා ජැනට් මේ කිසි දේකින් වැටෙන්නේ නෑ.තමන්ට පුලුවන් හැකි උපරිමයෙන් තමන්ගේ දරුවන්ට අධ්‍යාපනය දෙනවා, කන්න අදින්න දෙනවා. විශේෂයෙන්ම ක්‍රිකට් ක්‍රීඩාවට පියා වගේම දක්ෂයෙක් වෙච්චි ජොනීට ක්‍රීඩාවෙන් ඉදිරියට යාමට මාර්ගය හදලා දෙනවා. අමතක කරන්න එපා, මේ වෙද්දී ත් ඇය පිළිකා රෝගියෙක්. නමුත් ඇය උත්සාහය අතාරින්නේ නෑ.
පියාගේ මරණය සිද්ධ වෙද්දි ජොනීට වයස අවුරුදු අටයි. ඒත් ජොනීට තමන් සහ පවුලේ අය වැටිලා තියෙන අමාරුව තේරෙනවා. පසු කාලෙක ඔහු කියනවා එක්තරා සම්මුඛ සාකච්ඡාවකදී ඔහු කුඩා කලදි රෑට නිදාගත්තේ පහුවදා ඇහැරෙනකොට තමන් වැඩිහිටියෙක් වෙලා ඉදීවා කියන ප්‍රාර්ථනයෙන් කියලා.නමුත් වැඩිහිටියෙක් වීමට ඔහුට තවත් දශකයක් බලා සිටින්නට සිද්ධ වෙනවා.
මේ වෙද්දි ජොනී ගේ වැඩිමහල් සොහොයුරා ඇන්ඩෲ බෙයාස්ටෝත් ක්‍රිකට් ක්‍රීඩාවේ නිරත වෙනවා. නමුත් තමන්ගේ මල්ලි තරම් දක්ෂතා දක්වන්න ඔහුට හැකියාවක් ලැබෙන්නේ නෑ. ජොනී බෙයාස්ටෝගේ එකම අරමුණ වෙන්නේ කොහොම හරි ක්‍රිකට් ක්‍රීඩාවෙන් උපරිමය කරලා තමන්ගේ අම්මාව සනීප කරගන්න එක. දිනපතා බෙහෙත් පෙති තොග පිටින් ගිල දමා තමන් වෙනුවෙන් කැප වෙන අම්මාව සනීප කරගන්න ජොනීට අධිෂ්ඨානයක් තිබ්බා. සමහරවිට ඒ යහපත් අධිෂ්ඨානය නිසාම වෙන්න ඇති ජොනී බෙයාස්ටෝගේ ක්‍රිකට් ගමන ඉතාමත්ම අනර්ඝ විදිහට ඉස්සරහට යනවා. විස්ඩන් ළමා ක්‍රිකට් ක්‍රීඩකයා ලෙස ඔහු එක් අවස්ථාවකදී පිදුම් ලබනවා. පිතිකරුවෙක් විදිහට සහ කඩුළු රකින්නෙක් විදිහට තමන් නියෝජනය කරපු කණ්ඩායම් සේරටම ඔහු උපරිමයෙන් තම දායකත්වය ලබා දෙනවා. අවසානයේ තමන්ට අවුරුදු 21 වෙද්දි තමන්ගේ පළමු ජාත්‍යන්තර ක්‍රිකට් තරඟයට, එංගලන්ත ජාතික කණ්ඩායම වෙනුවෙන් ඔහු සහභාගි වෙනවා. ඒ 2011 මාර්තු 28 ඉන්දියාවට එරෙහිව. එතැන් පටන් අද වෙනකම් ජොනී බෙයාස්ටෝ තමන්ගේ උපරිම දායකත්වය එංගලන්තය වෙනුවෙන් ලබාදෙනවා. ඔහුගේ සහ පවුලේ අගහිගකම් ටිකෙන් ටික ඔවුන්ගෙන් ඈත් වෙනවා.
විශේෂම දේ තමා පසුගිය වසර තුල ජොනී ගේ අම්මා ජැනට් ගේ රෝගී තත්ත්වය උත්සන්න වෙනවා.වෛද්‍යවරුන් තීරණය කරන්නේ අනිවාර්යයෙන් ම ඇයට සැත්කමක් කල යුතුමයි කියා. එහෙත් ඒ වෙද්දි ජොනී සංචාරක ක්‍රිකට් තරගයක් වෙනුවෙන් රටෙන් පිට ඉන්නේ. නමුත් ඔහු සංචාරය මග නතර කරලා තමන්ගේ අම්මාගේ සැත්කම කරනකොට අම්මා ලගට වෙලා ඉන්න ඕනී නිසා නැවත එංගලන්තය වෙත එනවා. සැත්කම සිදු කරනවා. එය සම්පූර්ණයෙන් ම සාර්ථක වෙනවා. ජොනීට තමන්ගේ අම්මාව අහිමි වෙන්නේ නෑ.
අර මම කලින් කියපු සම්මුඛ සාකච්ඡාවේදී ඔහු ඒ පිළිබඳව මෙහෙම කියනවා.
"මට ඕනී උනා අම්මා ළඟ ඉන්න. ඒ වෙලාවට. ඊටත් වඩා මම දන්නවා අම්මා මගේ සිපගැන්මට ඉතාමත්ම කැමති කියලා. ඒ නිසා මට ඕන උනා සැත්කමට කලින් අම්මාගෙ නළල සිප ගන්න"
ඉතින් මේ හැමදේම කියන්න හිතුන පලවෙනි හේතුව මම අර කලින් සඳහන් කලා වගේම මේ රටේ ක්‍රිකට් අද තියෙන තත්ත්වය. දෙවෙනි හේතුව තමා කාලෙකට පස්සේ ඊයේ IPL මැච් එකක් බැලුවා. ජොනී බෙයාස්ටෝ නියෝජනය කරන SRH කණ්ඩායම සහ DC කණ්ඩායම අතර. ඉතාමත්ම තියුණු තරගයකට පස්සේ ජොනී බෙයාස්ටෝ නියෝජනය කරපු කණ්ඩායම පරාද උනා. ඒත් ඒ පැරදුණු තරගයෙත් ඔහු ඉතාමත්ම ප්‍රවේගකාරී ඉනිමක් සෙල්ලම් කලා. ඒ පන්දු 18 කින් ලකුණු 38 ක් ගහලා.
විශේෂම දේ තමා මේ තරගයේදී සුපර් ඕවර් එකක් ක්‍රියාත්මක කරන්න සිද්ධ උනා. ඒ දෙපාර්ශවයම ලකුණු සම වීම නිසා. ඒ සුපර් ඕවර් එකේදී ජොනී බෙයාස්ටෝ නියෝජනය කරපු කණ්ඩායම වෙනුවෙන් බැට් කරන්න ආවේ ඩේවිඩ් වෝනර් සහ විලියම්සන්. නමුත් ඔවුන් පරාද උනා. එතනදීත් විචාරකයන් කතා කලේ ඇයි ජොනී බෙයාස්ටෝ සුපර් ඕවර් එකට බැට් කරන්න නාවේ කියලා.
හිතන්නකෝ අවුරුදු අටේදී හිටපු ජොනී බෙයාස්ටෝ සහ වයස 31 දී දැන් ඉන්න ජොනී බෙයාස්ටෝ. මම හිතන්නේ මේක තමා අධිෂ්ඨානය සහ කැපවීමට මනුස්සයෙක් ව වෙනස් කරන්න පුලුවන් විදිහට තවත් හොද උදාහරණයක් කියලා.
ගමිඳු ලෝචන.
අඩයාලමෙන්