අගතා ක්‍රිස්ටි ජනකාන්ත රහස් පරීක්ෂක නවකතා රචිකාවකි.
නවකතා 66ක් සහ කෙටිකතා 14ක් ලියා පළ කළ ඈ; ලෝකයේ වැඩිම පොත් ප්‍රමාණයක් විකිනුන ලේඛිකාව ලෙස ගිනස් ලෝක වාර්තාවකට ද හිමිකම් කියයි. ප්‍රමාණාත්මකව ඒ බිලියන දෙකකි.
ඈ දෙවෙනිව ඇත්තේ බයිබලය සහ ශේක්ෂ්පියර් ගේ කෘතිවලට පමණි.
වැඩිම භාෂා ගණනාවකට කෘති පරිවර්තනය වී ඇත්තේද අගතා ක්‍රිස්ටිගේය. ඒ භාෂා 103 ය. දීර්ඝතම කාලයක් මුළුල්ලේ වේදිකාගත වන වේදිකා නාට්‍ය පිටපත, ‘මවුස්ට්‍රැප්’ ලියා ඇත්තේද ඈ විසිනි. 1952 සිට මේ වන තෙක් එය වේදිකාගත වේ.
සාහිත්‍ය ලෝකය උඩු-යටිකුරු කළ ඕ, 1976 දී මිය ගියේ ඈ තැබූ වාර්තා එකකටවත් කිසිවකුට ළං වීමටවත් ඉඩක් නොතබමිනි.
ලියන්න අදහස් කොහෙන්ද ගන්නෙ?’ කියලා මගෙන් හැමෝම අහනවා. මට කියන්නෙ හිතෙනවා, කෙළින් ම හැරඩ්ස් බඩු ගබඩාවට ගිහින් ගන්නවා කියලා; ආමි-නේවි ස්ටෝරුවෙන් ගන්නවා කියලා. එහෙමත් නැත්නම්, මාර්ක්ස් ඇන්ඩ් ස්පෙන්සර් ගිහින් ගන්නවා කියලා. ලේඛකයන්ට එහෙම මැජික් අදහස් ගබඩාවක් උපතින් ම පහළ වෙන්නෙ නෑ. මේ අදහස් ඔක්කොම තමන්ගෙ ඔළුව ඇතුළෙනුයි නිෂ්පාදනය කර ගන්න සිද්ධ වෙන්නේ.
සමහර වෙලාවට මගේ ඔළුවට ආකර්ෂණීය අදහසක් ආවොත්, මම කරන්නෙ ඒකට වැඩෙන්න ඉඩ දෙන එකයි, හැඩය වෙනස් කරන එකයි. හරි හැඩයට ආවට පස්සෙයි ලියන්න පටන් ගන්නනෙ.
සමහර වෙලාවට මේ දැන්ම ඒ ලියපු අදහස පාවිච්චියට නොගෙන, තව අවුරුදු දෙක-තුනකට පස්සේ පාවිච්චි කරන්නත් පුළුවන්.
ඒ වගේම, ඇත්ත ජීවිතේ චරිත, නවකතාවලට පාවිච්චි කරන්න මම කැමැති නෑ. වතාවක් බොහොම ජනප්‍රිය චරිතයක් නවකතාවකට පාවිච්චි කළා. ඒක අසාර්ථක වුණා.
මගේ නවකතාවල ඉන්න ඔක්කොම චරිත මම අලුතින් හදපුවා. ඒ අය මම අණ කරන දේ විතරයි කරන්නේ. ඉඳහිට ඒ අයට ඕන දේවලුත් නොකරනවා නෙමෙයි.
ඒ අයට ජීවය දුන්නෙ මම නිසා, නවකතාවල චරිත මගේ පාලනයෙන් මිදෙන්නේ නෑ. නවකතාවක චරිත මගේ වුණාට, එයාලා හැසිරෙන පරිසරය කලින්ම හදලා තියෙන එකක්. එතකොට ඒ පරිසරය සම්පූර්ණයෙන් ම මට පාලනය කරන්න බැහැ
සාමාන්‍ය ජීවිතේ වෙන බොහෝ දේ, පස්සේ පාවිච්චියට ගන්න මම ගබඩා කර ගන්නවා. විශාල යාත්‍රාවක නැඟලා නයිල් ගඟේ සවාරියක් යන අතරේ, නවකතාවකට ඕන කරන එක සිද්ධියක් මගේ ඔළුවෙ මැවෙන්න පුළුවන්. මට ලියන්න ඕන දේ සටහන් පොතක ලියා ගන්න එකයි මම කරන්නේ.
ගෑනු ළමයි දෙන්නෙක් අතරේ රණ්ඩුවක් වෙනකොට, එක්කෙනෙක් අනිත් එක්කෙනාගෙ කෙස් ගස් ටිකක් උදුරලා ගැනීම, නවකතාවකට හොඳ පටන් ගැන්මක් වෙන්න පුළුවන්. මේ හැම වෙලාවකම නවකතාවක් ලියන්න සිද්ධියක් හරි, අදහසක් හරි ඇති වෙන්න පුළුවන්. ඒ කොයි වෙලාවකද? කොහොම දෙයක්ද? කියලා හරියටම කියන්න බෑ.
නවකතාවක් ලියන්න සැලැසුම හදන්න හොඳ ම වෙලාව පිඟන්, කෝප්ප හෝදන වෙලාව කියලයි මම හිතන්නේ. ඒ වගේම, පාරවල් දිගේ තනියෙම ඇවිදින පුරුද්දකුත් මට තියෙනවා. මේ ඇවිදින ගොඩක් වෙලාවල ඊළඟට ලියන අදහස වැඩි දියුණු කරමින්, මම ලියන්න ඉන්න දෙබස් පවා හයියෙන් කියනවා. ලිවීම පහසු දෙයක් නෙමෙයි.
සමහර වෙලාවට ලියන කාමරේ වාඩි වෙලා, පැන්සලේ අග හපමින්, මම වරු ගණන් ගත කරලා තියෙනවා. ටයිප් රයිටරේ දිහා බලමින් සුසුම් හෙළමින්, සෝපාවේ දිග ඇදිලා ඉන්න අතරේ ඔළුව පුපුරලා යනකන් අඬන්න හිතිලා තියෙනවා.
මගේ ළඟ නිතරම සටහන් පොත් දෙක-තුනක් තියෙනවා. නොයෙක් ලේබල්වලින් අදහස් ලියපු තැන් වෙන් කරගෙනයි මම ඉන්නේ. ලියන්න පටන් ගත්තමයි මේ ලේබල් කිරීම වැදගත් වෙන්නේ.
සමහර වෙලාවට නවකතාව පටන් ගන්නෙ මිනීමැරුමක් කරන ක්‍රමයක් විස්තර කරලා. ඊට පස්සේ මිනීමරුවා පැත්තට හැරිලා, ඔහුගේ හෝ ඇයගේ සිත් ඇඳගන්න සුළු අරමුණක් විස්තර කරනවා. ඊළඟටයි සැකකාරයෝ ගැන, එයාලගේ අරමුණු වගේ වැදගත් ඉඟි දෙන්නේ. ව්‍යාජ ඉඟිත් ඒ අතරේ හංගලා, කියවන්නෝ මංමුලා කරන්න මම කැමැතියි.
බොහෝ වෙලාවට ලියන්න අදහස් එන්නෙ හරි ම හදිස්සියේ. වැඩි උනන්දුවෙන් පත්තර කියවන එකෙනුත් නොහිතන විදිහේ අදහස් මතු වෙනවා. කෑම ශාලාවල, හෝටල්වල, සෙනඟ එකතු වෙන පොදු තැන්වලට ගිහින් මම මිනිස්සුන්ගෙ චරිත අධ්‍යයනය කරනවා. මිනිස්සුන්ගේ හැසිරීම වගේ ම, දෙබස්, මම වුවමනාවෙන් ම මතක තියා ගන්නවා.
කොහොමත් සාමාන්‍ය ජීවිතේ හැලහැප්පීම් මැද්දෙදියි හොඳ ම අදහස් එන්නේ. මගේ දෙවැනි පොත ‘ද සීක්‍රට් ඇඩ්වසරි’ ලියන්න අදහස ආවේ තේ ශාලාවක දෙන්නෙක් කතා කර කර ඉන්නවා ඇහුණට පස්සේ. ඒ නිසා ඇහුම්කම් දීම වගේම, හිතන එක නවත්තන්න එපා.
මුල් කාලෙ මම ලියන්න ටයිප් රයිටරයක් පවිච්චි කළේ නෑ. එක දිගට කොළවල ලියාගෙන ගිහින්, ඒ ටික මගේ ලේකම්වරිය, කාලොටා ෆිෂර්ට කියවන එකයි මම කරන්නේ. ෆිෂර් ‘ටක් ටක්’ සද්දෙන් මම කියවන ඒවා ටයිප් කරනවා. පහු කාලෙක අතින් ලියපු පිටපත් මම ම ටයිප් කර ගන්න පටන් ගත්තා. ඒකෙන් මට වෙන ම සතුටක් ලැබුණා.
මම වැඩියම කැමැති වුණේ, ‘රෙමින්ටන් වික්ටර් ටී’ වර්ගයේ ටයිප් රයිටරේ වැඩ කරන්න. සාමාන්‍යයෙන් එකපාර පොත් දෙකක් ලියන එක, මගේ පුරුද්දක්. ඊටත් පහු කාලෙ මගේ ලියන අත බිඳුණා. ඊට පස්සේ කටහඬ ගබඩා කරන මූලික අවදියේ, ටේප් රොකෝඩරයක් පාවිච්චි කරන්න සිද්ධ වුණා. හැබැයි මගේ කටහඬ මටම ඇහෙන එකෙන්, එක දිගට කතාව ගොතාගෙන යන්න බාධා ඇති වුණා. මට හරියටම මගේ අදහස් කියාගන්න බැරිකමක් ඇති වුණා.
;'
ලියන්න ගත්තහම, මට අදහස් ගලාගෙන එන වේගය වැඩියි. එකපාර කතන්දර පහක් විතර මගේ ඔළුව ඇතුළේ වැඩ කරනවා. වෙලාවකට මුලින් ලියන්නෙ කොයි කතාවද කියලා තෝර ගන්නත් අමාරුයි.
ඒ නිසා ම, සමහර වෙලාවට මම නවකතා දෙකක් එකට ලියන්න ගන්නවා. ත්‍රාසය, කුතුහලය වැඩි වෙන තරමටයි පාඨකයෝ කැමැතියි.
ඒ නිසා ම, අනුමාන කරන්න බැරි වස වර්ග හදන්න, මෝඩ පොලිස් නිලධාරීන් නිර්මාණය කරන්න, වතුර හරි ගෑස් හරි පිරෙන්න ඉඩ ඇරලා ගෙදරක බිම්මහලක ගෑනු ළමයින්ව ගැට ගහලා තියන්න මට සිද්ධ වෙනවා .
නාන බේසමේ බැහැලා ඇපල් කන ගමන්, මම සමහර නවකතාවල මිනීමැරුම් සැලැසුම් ඇඳලා තියෙනවා. මුළු කතාවම ඔළුව ඇතුළේ හදාගෙන ඉවර වුණාට පස්සෙයි, මට නාන බේසමෙන් බැහැලා ඇවිත් ඇඟ පිහදාගන්න පුළුවන් වෙන්නේ. ඊට පස්සේ ඉතිරි වෙලා තියෙන්නෙ දිගටම ලියාගෙන යන එකයි.
‘ඔරියන්ට් එක්ස්ප්‍රස් කෝච්චියේ ගමනක් යන්න, ඉස්සර ඉඳන් ම මට ලොකු හීනයකුත් තිබ්බා.’
ඈට මේ හීනය හැබෑ කර ගන්නට ලැබෙන්නේ තරමක් ගල් ගත වූ පසු ය. ඇගේ ඔරියන්ට් එක්ස්ප්‍රස් දුම්රිය ගමනක්, අධික වර්ෂාව නිසා පැය 24ක් පමා විය. හිම කුණාටුවක් ද හමා එන බවට කටකතා පැතිරෙන්නට වුණි. ඈ තමන්ගේ දෙවැනි සැමියාට දීර්ඝ ලිපියක් ලියන්නට පටන් ගත් අතර, දුම්රිය ප්‍රමාදය ගැන මෙන් ම, කැබින් කාමරවල සැලැස්ම, දොර අගුල් සහ විදුලි ආලෝක පහන් සුවිච ගැන පවා පූර්ණ විස්තරයක් ලියා යැවුණි.
පසු කලෙක ලියැවුණු ප්‍රකට නවකතාවක් වූ ‘මර්ඩර් ඔන් ද ඔරියන්ට් එක්ස්ප්‍රස්’ හි මේ සියල්ල අන්තර්ගත විය. ඉස්තාන්බුල් හි අංක 411 හෝටල් කාමරයක සිට මර්ඩර් ඔන් ද ඔරියන්ට් එක්ස්ප්‍රස් ලියූ බව සඳහන් ය. නිකුත් කර කෙටි කලකින්ම ප්‍රකට වූ මේ නවකතාවේ නමින්ම, 1974දී සිනමාපටයක් නිමැවුණි. ඒ වසරේ ඇකඩමි සම්මාන ගණනාවකට ද සිනමාපටය වග කියුවේය. ඇගේ නවකතා බිලියන දෙකකට අධික අලෙවියක් වාර්තා කළ නිසා, ගිනස් ලෝක වාර්තාවක් තබා ඇත.
ඇගේ නවකතා අභිබවා ඇත්තේ, බයිබලය සහ ශේෂ්ක්ස්පියර්ගේ කෘතිවල පරිවර්තන පමණි. එහෙත්, වසර හතරක් මුළුල්ලේ ලියූ ඇගේ පළමු නවකතාව, ප්‍රකාශකයන් කිහිප දෙනෙක් අතින්ම ප්‍රතික්ෂේප විය.
ලියන්න පටන් ගත්ත කාලෙ, වෙන ලේඛකයන්ගේ රචනා ශෛලිවලට කැමැත්තක් දැක්වීම, අගය කිරීම සාමාන්‍ය දෙයක්. හැබැයි, හිතාමතා හරි, නොහිතා හරි ඒ ශෛලි කොපි කරන එක කරන්න නරකයි. සමහර වෙලාවට කෙනෙක් කොපි කරන ශෛලිය, එයාට ගැළපෙන්නෙම නෑ වෙන්න පුළුවන්. ඒකෙන්, ලියන හැම දෙයක්ම අසාර්ථක වෙන්නත් පුළුවන්. ඒත්, කාලයක් ගියහම, අනුන්ගේ ශෛලිවලට ආස කිරීමෙන් ඉබේම ගැලවෙන්න පුළුවන්. එළිසබෙත් බොවන්, මියුරියල් ස්පාර්ක්ස්, ග්‍රැහැම් ග්‍රීන් වගේ ලියන්න පුළුවන් වුණා නම්, ඊට වඩා සතුටක් මට නැහැ. ඒත්, මට එහෙම ලියන්න බැහැ කියලා මම දන්නවා. ඒ වගේම, ඒ අයගේ ශෛලි කොපි කරන්න කිසි ම දවසක මට හිතුණෙත් නෑ. මම කියන්නෙ වෙනත් කෙනෙක් කියනෙක මුල ඉඳන් ම මම දැනගෙන හිටියා.
අගතා ක්‍රිස්ටි දවස් 11 ක් මුළුල්ලේ අතුරුදන්ව සිටීම, ඇගේ නවකතා තරමටම සංත්‍රාසාත්මක ය. 1926 දෙසැම්බර් 03 වැනිදා රාත්‍රියේ ඈ ,මොරිස් කවුලි මෝටර් රථයේ නැගී, බර්ක්ෂයර් හි පිහිටි නිවෙසින් පිටව ගොස් ඇත. අතුරුදන් වූ අයකු සොයන්නට එකල සිදු කළ විශාලම මෙහෙයුම ද මෙයයි. පොලිස් නිලධාරීන් දහසකට අධික සංඛ්‍යාවක්, සාමාන්‍ය ජනතාව සියයක් පමණ, අගතා ක්‍රිස්ටි සෙවීමේ මෙහෙයුමේ නිරතව ඇත.
ඉතිහාසයේ පළමු වතාවට සැහැල්ලු ගුවන් යානා ද මේ සඳහා භාවිත කරනු ලැබීය. සර් ආතර් කොනන් ඩොයිල් සහ ඩොරති එල්. සේයර්ස් පවා අගතා ක්‍රිස්ටි සෙවීමේ මෙහෙයුමට දායකව ඇත. එහෙත්, මේ කිසිවකුට ඇය සොයා ගැනීමට නොහැකි විය. ඈ පැදවූ මොරිස් කවුලි රථය, අතරමඟක තිබී හමු විය. ටැබ්ලොයිඩ් පුවත්පත්වලට සිරස්තල සැපැයූ මේ අතුරුදන්වීම, විසැඳිය නොහැකි අභිරහසක්ව නොපැවතියේ, ඇගේ සැමියාට හදිසියේ ලැබුණ දුරකතන ඇමතුමක් හේතුවෙනි. එයින් කියැවුණේ, අගතා ක්‍රිස්ටි හැරගට් හි හෝටලයක තෙරේසා නීල් නමින් පෙනී සිටිමින්, සුවසේ සිටින බව ය.
මේ අතරම ඇගේ සැමියා, ආර්චි ක්‍රිස්ටි විසින් අගතා ඝාතනය කර ඇති බවට කටකතා මතුව තිබුණි. ආර්චි, වෙනත් ස්ත්‍රියක් සමඟ සබඳතාවක් පැවැත්වීම හා අගතාගෙන් දික්කසාද වීමට ඉල්ලා සිටීමෙන්, මේ කටකතාවලට අත්තටු ලැබී තිබුණි. තම සැමියාගේ පෙම්වතිය වූ තෙරේසා නීල් නමින් පෙනී සිටීමට අගතා කටයුතු කිරීම පිළිබඳ නොයෙකුත් මතිමතාන්තර, පසුකාලීනව ඇති විය.
ඈ අතුරුදන් වූ දින 11 පිළිබඳ මතකයක් නොතිබීම, ඊළඟ විස්මිත කාරණයයි. ඇගේ සැමියා පැවසුවේ, මෝටර් රථ අනතුරෙන් ඇගේ කෙටිකාලීන මතකය අහිමි වී ඇති බවයි. එහෙත්, පසුකාලීනව විචාරකයන් ප්‍රකාශ කරන්නට යෙදුණේ, අගතා ක්‍රිස්ටි සියදිවි නසා ගැනීමේ අරමුණින් මේ ගමන ගොස් ඇති බව ය.
ඇගේ මතකය අහිමි වීම, සැලැසුම් සහගතව ගෙතූ මුසාවක් බවත් ඔවුන් පවසා ඇත.
එක දෙයක් මතක තියාගන්න. නවකතාවක් ලියන්න කලින්, ඒ ගැන කිසි දෙයක් කියන්න යන්න එපා. මුලින් ලියන්න. ඊට පස්සේ ඒ ගැන කතා කරන්න. ඒ වගේම, ඕනවට වඩා කතාව දිග්ගස්සන්නත් එපා.
රහස් පරීක්ෂක නවකතාවක් නම්, වචන 50,000ක් හොඳටම ඇති. ඒ ප්‍රමාණය හොඳටම මදි කියලා, සමහර ප්‍රකාශකයෝ කියනවා. ඒත්, වචන 50, 000 හොඳටම ඇති කියලා මම පුද්ගලිකව හිතනවා.
කාංචනා අමිලානි