නකල්ස්වලට ආවේණික දුම්බර අඟ කටුස්සා, දුම්බර කුරු බෝදිලිමා අල්ලා පිටරට පැටවීමේ ජාවාරමක්
රාජ්‍ය නිලධාරීන් උත්සාහ කරන්නේ එල්. ආර්. සී ඉඩම් රක්‍ෂිතයට පැවරීම වළක්වන්නයි

පරිසරවේදී සජීව චාමිකර
අවුල් සහගත කලබලකාරී වාතාවරණයක් යටතේ අනෙක් අය කාටත් නොදැනෙන්න තමන්ට වාසියක් සිදු කර ගැනීමට දරන උත්සාහයට අපේ පැරැන්නෝ කීවේ ‘බොරදියේ මාළු බානවා වගේ’ කියාය. අප මේ කියන්නට යන කතාවත් බොරදියේ මාළු බාන්නට දැරූ උත්සාහයක් පිළිබඳ වැඩකි. මෙහි ඇති විශේෂත්වය වන්නේ මේ බොරදියේ මාළු බාන්නට සැරසෙන්නේ එහි ආරක්ෂාවට සිටින පිරිසම වීමය.
නකල්ස් එහෙමත් නැතිනම් දුම්බර වනපෙත සැලකෙන්නේ සංරක්ෂිත වනාන්තරයක් වශයෙනි. වන සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් 2000.05.05 දින අංක 1130/22 දරන අති විශේෂ ගැසට් පත්‍රය මගින් සංරක්‍ෂිත වනාන්තරයක් වශයෙන් ප්‍රකාශයට පත්කර ඇති අතර 1980 අංක 47 දරන ජාතික පාරිසරික පනත යටතේ 2007.07.23 දින අංක 1507/09 දරන අති විශේෂ ගැසට් පත්‍රය මගින් නකත්ස් සංරක්‍ෂණ කලාපයක් ලෙස නම්කර ඇත. එපමණක් නොව 2010 වසරේදී ලෝක උරුමයක් වශයෙන්ද නම්කොට ඇත.
මීට දශක ගණනාවකට පෙර සුදු ජාතිකයන් එම පෙදෙස්වල තේ වගාව සිදුකරගෙන ගියත් දැනට අවුරුදු පනහකට හැටකට ආසන්න කාලය තුළ එහි තේ වගාවක් නැත. කොටින්ම කිවහොත් මිනිස් ක්‍රියාකාරකම් සිදුවන්නේ නැත. සුදු ජාතිකයන් සිය වගාවන්ගේ අස්වැන්න ගෙන එන්නට භාවිත කළ මාර්ග පද්ධතිය අද වන විට අතහැර දමා අවසන්ය. එහෙව් වටපිටාවක් තුළ කළු සුද්දන් පිරිසක් යළි මේ මාර්ග පද්ධතියට පණ පොවන්නට උත්සාහ කරන්නේ එම ප්‍රදේශ ලෝක උරුමයක් බව අමතක කරමිනි. එසේම අධි සංවේදී පරිසර පද්ධතියක් බව තඹ දොයිතුවකට මායිම් නොකරමිනි.
දැනට කලකට පෙර සිටම නකල්ස් රක්ෂිතයේ තංගප්පුව සිට අට්ටාලමෙට්ටුව කෝබට්ස්ගැප් දක්වා වන කිලෝමීටර් අටකට ආසන්න දුර ප්‍රමාණය කාපට් අතුරා සංවර්ධනය කරන්නට උත්සාහ ගත්තේ වරක් දෙවරක් නොවේ. නමුත් ඒ සෑම අවස්ථාවකම පරිසර සංවිධාන ඇතුළු රටේ ජනතාවගෙන් නැගුණු දැඩි විරෝධය හමුවේ ඔවුන්ට පසු බසින්නට සිදුවිණි. මේ උත්සාහයේ මුලටම සිටින්නේ වත්මන් රජයේ මැති ඇමැතිවරුන් දෙතුන් පළකි. එහි නම් ගම් අමුතුවෙන් සඳහන් කළ යුතු නොවන්නේ මේ වන විට ඒ තරමටම ඔවුන් මේ වැඩේ නිසා නෝන්ඩි වී ඇති බැවිනි.
ඊළඟට මේ අකටයුත්තට මුල පුරා සිටින්නේ රාජ්‍ය නිලධාරීන් දෙතුන් දෙනෙකි. අපට දැන ගන්නට ඇති පරිදි නම් ඔවුන් මේ වැඩේට අත ගසන්නේ නිකම් නොවේ. ‘මීයක් කඩන්නේ අත ලෙවකන්නට නොවේ’ යැයි කියමනක් තිබේ. මේ රාජ්‍ය නිලධාරීන් දෙතුන් කට්ටුවත් මේ වැඩේට මේ තරම් උනන්දුවෙන් අත ගසා ඇත්තේ නිකන් නොවන බව කිහිප දෙනෙක්ම අප සමග පැවසුවේ ‘පරිස්සමට තිබූ දේ ඈලියාවට ගියා වගේ’ වැඩක් වුණා යැයි කියමිනි.
ඊළඟට සුන්දර දුම්බර වැනසීමේ පෙරමුණේ සිටින්නේ ප්‍රදේශයේ බෞද්ධ මධ්‍යස්ථානයක ස්වාමීන් වහන්සේ නමකි. ඊට අමතරව සෆාරි ජීප් රථ රියැදුරන් පිරිසක් සහ සංචාරක හෝටල්වල හිමිකරුවන් පිරිසක් මෙම පෙරහරේ ඉදිරියෙන්ම ගමන් කරති. මේ කොයි කවුරුත් මේ වැඩේට සම්බන්ධ වී සිටින්නේ නිකම් නම් නොවන බව පැහැදිලිය. ඒ මෙම වැඩෙන් හැම කෙනාටම අඩු වැඩි වශයෙන් වාසි සැලසෙන බැවිනි. මින් පෙර දැරූ සියලු උත්සාහයන් ව්‍යර්ථ වූ තැන දින කිහිපයක් පසු බැස සිටි මෙම පිරිසට පහල වූයේ අපූරු ඉල්ලමකි.
විපත සැපතක් කරගන්නට දැරූ උත්සාහය
පසුගියදා ඇති වූ ස්වභාවික ආපදාවෙන් වැඩිම හානියක් සිදුවුණේ මධ්‍යම පළාතටයි. මධ්‍යම පළාතේ නාය නොගිය ගමක් සොයාගැනීම නොමළ ගෙයකින් අබ ඇටයක් සොයාගන්නවාටත් වඩා දුෂ්කර විය. මීමුරේ ගම්මානයත් එලෙස විශාල වශයෙන් නාය ගිය ගම්මානයකි. දශක ගණනාවක් හුදෙකලා ගම්මානයක් වශයෙන් පැවැති මීමුරේ රටේ අනෙකුත් පළාත් හා සම්බන්ධ වුණේ හුන්නස්ගිරියේ සිට කාපට් යෙදූ මාර්ග පද්ධතියක් ලැබීමත් සමඟය. නමුත් තැන තැන සිදුවූ නාය යෑම මාලාවත් සමඟ මීමුරේ ගම්මානය යළි හුදකලා ප්‍රදේශයක් බවට පත්විණි. දුම්බර වනසන්නට කැසකවන්නන් එය සිය වාසියට හරවා ගනිමින් සිය සැලසුම අලුත් වටයකින් අරඹන්නට කටයුතු කළේය. ඒ මීමුරේ ගම්මානයට ප්‍රවේශ විය හැකි හුන්නස්ගිරිය මාර්ගය නාය ගොස් ඇති බැවින් තංගප්පුවේ සිට නකල්ස් හරහා අට්ටාලමෙට්ටුව කෝබට්ස් ගැප් දක්වා වන මාර්ගය විවෘත කරන්න ගැනීමටයි. ඒ වෙනුවෙන් ඔවුන් වත්මන් රජයේ කෘෂිකර්ම ඇමැතිවරයාවද සිය දැලට දාගත්තේය. කෘෂිකර්ම ඇමැති කේ. ඩී. ලාල් කාන්ත ආපදා තත්ත්වය හමුවේ මීමුරේ ජනතාවට සහන සැලසීම වෙනුවෙන් පැවැති රැස්වීමකදී අපූරු කතාවක් කළේය. එය පසුගිය රජයේ සෞඛ්‍ය ඇමැතිවරයාගේ කතාවට සමාන විය. ඔහු පැවසුවේ ලෝක උරුමය රැක ගන්නවාද එහෙමත් නැතිනම් මී මුරේ ජනතාව කුසගින්නේ තබනවාද යන දෙකෙන් එකක් තෝරා ගත යුතු බවය.
හුණුවටයේ කතාවේ හැදූ මව සහ වැදූ මව අතරේ ළමයා බෙදා ගන්නට කළ ක්‍රියාවට සමාන ක්‍රියාවක් මතක් කරමින් ගලා ගිය ලාල්කාන්ත ඇමැතිවරයාගේ මේ ජවනිකාව දකින ජනතාවට නම් දැනුනේ අපුලකි. ඒ මීමුරේ ජනතාවට පහසුකම් සලසන්නට මේ පිරිසට වෙනත් විකල්පයක් ඇත්තේම නැද්ද. කිලෝමීටර් 8ක් වන මෙම මාර්ග කොටස විවෘත කර ගත්තත් කෝබට්ස් ගැප් සිට මී මුරේට තවත් කිලෝමීටර් 12 ක් දුරය. එම කොටස ස්ථාන විස්සකට අධික ප්‍රමාණයකින් නාය ගොස් තිබේ. කිඹුල් කඳුළු හෙළන මැති ඇමැති කාටත් ඒ කතාව අමතකව ගොස් ඇත.
එසේම මීමුරේ ගම්මානයේ ජනතාව වැඩිපුරම සිය අවශ්‍යතා සඳහා යන්නේ හුන්නස්ගිරිය සහ උඩුදුම්බර නගරවලටය. තෙල්දෙණියට යන්නේ එහෙමත් කෙනෙකි. මේ ලිපිය ලියන මොහොත වන විට මීමුරේ ගම්මානයට යන මාර්ගය සම්පූර්ණයෙන්ම ශුද්ධ පවිත්‍ර කොට වාහන ගමනාගමනයට හැකි පරිදි සකස් කොට ඇත. නමුත් මැති ඇමැතිවරු සහ රාජ්‍ය නිලධාරීන් ඇතුළු පිරිස තංගප්පුවේ සිට කෝබට්ස් ගැබ් දක්වා වන මාර්ග කොටස විවෘත කර ගැනීමට උත්සාහ දරන අවස්ථාව වන විටත් හුන්නස්ගිරියේ සිට පවතින මාර්ගය විශාල කොටසක් වාහන ගමනාගමනයට සුදුසු ලෙස සකස් කොට තිබිණි. තවත් ඉතිරිව තිබුණේ ඉතාමත් සීමිත දුරක් පමණි. හැකි තරම් වෙර යොදා එම මාර්ගය විවෘත කර ගන්නවා වෙනුවට මේ පිරිසට වුවමනා වී තිබුණේම තංගප්පුව හරහා කෝබට්ස් ගැප් දක්වා වන මාර්ගය විවෘත කර ගැනීමට බව ඕනෑම මොන්ටිසෝරි දරුවකට වුවත් තේරෙන කාරණාව වන්නේය.
පාරට හරස් වෙන පනත් දෙකක්
රටේ වාසනාවට මෙම මාර්ගය විවෘත කිරීමට පනත් දෙකක් හරස් වී තිබේ. ඒ ජාතික පාරිසරික පනත සහ වන සංරක්ෂණ ආඥා පනතය. මේ පනත් දෙකට අනුව කිසිවකුට හිතු මනාපයට මෙම මාර්ගය විවෘත කොට සංවර්ධනය කළ නොහැක. දුම්බර වනපෙතේ ආරක්ෂාව රැඳී ඇත්තේ මෙම පනත් දෙක හේතුවෙනි. එසේ නොවන්නට දුම්බර වනපෙත කීතු කීතු කොට අවසන්ය. මැති ඇමැතිවරු විවෘත කරන්නට උත්සාහ කරන මාර්ගය මාර්ග සංවර්ධන අධිකාරියට, පළාත් මාර්ග සංවර්ධන අධිකාරියට හෝ ප්‍රාදේශීය සභාවට අයත් පාරක් නොවන බැවින් මේ කිසිවකුට ඊට මැදිහත් විය නොහැක.
තංගප්පුව සිට අට්ටාලමෙට්ටුව කෝබට්ස්ගැප් දක්වා වන මාර්ගය සැලකෙන්නේ වතු පාරක් වශයෙනි. නමුත් අදවනවිට එම ප්‍රදේශයේ වතු වගාව සිදුවන්නේ නැත. මේ හේතුව නිසාම කිසිදු තැනක නීත්‍යනුකූල මාර්ගයක් වශයෙන් ලියාපදිංචි වී නැති බව කියන්නේ සජීව චාමිකරය.
දුම්බර වනසන දෙවැනි උත්සාහය පිළිබඳ පරිසරවේදී සජීව චාමිකර අපූරු පැහැදිලි කිරීමක් කළේ මෙලෙසිනි.

“ජාතික ජනබලවේගයේ ජගත් මනුවර්ණ, ඊ. එම්. බස්නායක ප්‍රමුඛ මැති ඇමැති නඩය රංගල බෞද්ධ මධ්‍යස්ථානයේ භික්ෂුන් වහන්සේ සහ රාජ්‍ය නිලධාරීන්, හෝටල් ව්‍යාපාරිකයන්, සෆාරි ජීප් රථ හිමිකරුවන් දැරූ පළමු උත්සාහය පරාජය වුණා. දැන් ආපදාව පාවිච්චි කරල එක ගමකට විතරක් සහන සලසන්න විශාල වශයෙන් නායගිය මේ මාර්ගය විවෘත කරගන්න උත්සාහ කරනවා. මේ මාර්ගයෙන් සහන සලසන්න පුළුවන් මීමුරේ ගම්මානයට විතරයි. නමුත් අනෙක් මාර්ගය පිළිසකර කළානම් නවනගල, කොබෝනිල්ල, හෙයාපාර්ක්, ලූල්වත්ත, කන්දේගම, දෙහිගොල්ල කියන ගම්මාන හැම එකකටම සහන සලසන්න පුළුවන්. මේ ගම්මාන හැම එකක්ම විපතට පත්වෙලා තිබියදී මීමුරේ ගම්මානයට පමණක් ගෙනියන්න වෙනම භාණ්ඩ එකතු කිරීමෙන්ම පේනවා මේ අයගේ වුවමනාව මොකක්ද කියලා.”
මහනුවරම විසාලා මහනුවරක් වී ඇති අවස්ථාවක ඒ සියල්ල අමතක කර නකල්ස් වෙනුවෙන් මෙතරම් වෙහෙසෙන හේතුව වෙන කිසිවක් නොව දුම්බර වනපෙතේ පවතින ඉඩම් කොල්ල කෑමටය. මේ ප්‍රදේශයේ වන සංරක්ෂණ ආඥා පනතට පවරීමට නියමිත ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවට අයත් ඉඩම් විශාල ප්‍රමාණයක් පවතින අතර ඉතා නුදුරේදීම එම ඉඩම් නකල්ස් සංරක්ෂිත වනාන්තරයට ඈඳීමට නියමිතය. ඊට පෙර මෙම වැඩපිළිවෙළ නතර කර ඉඩම් ටික බෙදාගත යුතුය.
රජය සතු ඉඩම් කොල්ලකෑම සම්බන්ධයෙන් සජීව චාමිකර සෘජුව චෝදනා කරන්නේ එහි ග්‍රාම නිලධාරීවරයාටය.
“ඔය ප්‍රදේශයේ සිටින ග්‍රාම නිලධාරීවරයා තමයි සම්පූර්ණයෙන්ම මෙම ඉඩම් ව්‍යාජ ඔප්පු සකස් කොට සන්නස් මගින් පැවරූ ආකාරයට විවිධ පුද්ගලයන්ට විකිණීම සිද්ධ කරන්නේ. ඔහුට විරුද්ධව පරීක්ෂණයක් පවත්වා වාර්තාවක් සකස් කොට ඇතත් තවමත් ඉහළ නිලධාරීන් වෙත එම වාර්තාව යොමු කොට නැහැ. ඔහුට විරුද්ධව විනයානුකූල ක්‍රියාමාර්ගයක් අරගෙන නැහැ. දිස්ත්‍රික් ලේකම් ප්‍රාදේශීය ලේකම් ග්‍රාම නිලධාරී ඇතුළු කණ්ඩායම තමයි මෙම ඉඩම් කොල්ලය පිටුපස සිටින්නේ. මෙම නිලධාරීන්ගේ නම්වලට වගේම ඔවුන්ගේ හිතවතුන්ගේ සහ හෝටල් හිමිකරුවන්ගේ නම්වලට ඉඩම් පවතිනවා. ඔවුන් මේ වන විට විශාල ඉඩම් ප්‍රමාණයක් අත්පත් කරගෙන ඉවරයි. මේ වන විට එම ඉඩම් යළි පවරා ගැනීමේ ක්‍රියාවලියක් සිදුවෙනවා. ඒක වළක්වන්න තමයි මේ පිරිසක් උත්සාහ කරන්නේ.
නකල්ස් යනු එසේ මෙසේ පරිසර පද්ධතියක් නොවේ. ජෛව විවිධත්වය අතින් නකල්ස් කඳුකරයට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයකි. නකල්ස් පාර විවෘත කර ගැනීමට දත කන තවත් පිරිසක් දුම්බරට ආවේණික වූ සතුන් එකතු කොට විකිණීමේ ජාවාරමක නිරත වේ. සජීව චාමිකරට අනුව නම් මේ පිටුපස සිටින්නේ ජා ඇළ ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකි.
“වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් රාත්‍රී කාලයට මෙම ස්ථානයේ රාජකාරි කරන්නේ නැහැ. ඒ බව හොඳින්ම ගන්නා සෆාරි ජීප් රථ රියැදුරන් රාත්‍රි කාලයේ සෆාරි යනවා. ජා ඇල ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයෙක් සමග එකතු වී තමයි සියලුම නීති විරෝධී ක්‍රියාවන් මෙම ජීප් අතර රියැදුරන් විසින් සිදු කරන්නේ. ඔවුන් රාත්‍රි කාලයේ නකල්ස් වනාන්තරයට ඇතුළු වී විදුලි පන්දම් ආධාරයෙන් සතුන් එකතු කිරීම සිදුකරනවා. දුම්බර අඟ කටුස්සා, දුම්බර කුරු බෝදිලිමා කියන සතුන් වර්ග දෙක තමයි මොවුන්ගේ ප්‍රධාන ඉලක්කය. මේ ක්‍රියාවලියට සම්පූර්ණයෙන්ම එකතුවෙලා ඉන්න සෆාරි ජීප් රථ රියැදුරන් කටයුතු කරන්නේ ජාඇල ප්‍රදේශයේ ව්‍යාපාරිකයාට අවශ්‍ය විදිහට. මම එක වරක් සෘජුව මේ සඳහා මැදිහත් මැදිහත් වී අත්අඩංගුවට ගැනීමේ ක්‍රියාවලියක් පවා සිදු කළා.”
මීයක් කඩන්නේ අත ලෙව කන්නට නොවේ යැයි අප කිව්වේ එනිසාවෙනි. එක කණ්ඩායමක් ඉඩම් කොල්ල කන අතරේ තවත් කණ්ඩායමක් දුම්බරට ආවේනික සතුන් අල්ලාගන්න අපනයනය කිරීමේ ජාවාරමකට නිරත වේ. ඒ අතරේ හෝටල් හිමිකරුවන්ගේ බලාපොරොත්තුව වන්නේ මෙම මාර්ගය විවෘත කිරීමත් සමඟ හෝටල් සඳහා පහසු ප්‍රවාහන පද්ධතියක් නිර්මාණය කර ගැනීම සහ එම සංචාරක හෝටල්වල සිට මීමුරේ ගම්මානයට සංචාරකයන් රැගෙන යන වැඩපිළිවෙළකට මුල පුරන්නය.

මෙම ප්‍රදේශයේ කිසිදු පෞද්ගලික ඉඩමක් නැත. පවතිනවා නම් පවතින්නේ විවිධ ආකාරයෙන් ව්‍යාජ ඔප්පු සකස් කොටසක් අත්පත් කරගත් ඉඩම් පමණි. 2004 වර්ෂයේදී එවකට රජයේ කැබිනට් මණ්ඩලය විසින් විශේෂ කැබිනට් පත්‍රිකාවක් අනුමත කරගෙන තිබේ. එහි සඳහන් වන්නේ නකල්ස් සංරක්ෂිත වනාන්තරයේ හෝ වනාන්තරයේ මායිමේ සිට මීටර් පන්සියයක් ඇතුළත ඇති සියලුම වනාන්තර රක්ෂිතයට පැවරීමට අදාළ ක්‍රියාමාර්ග ගන්නා ලෙසය. රජයේ නිලධාරීන් බොහෝම කාර්යක්ෂමය. ඔවුන් මොනතරම් කාර්යක්ෂමදැයි කිවහොත් මේ සඳහා ඔවුන්ට ගතව ඇත්තේ වසර 21ක් පමණි. මේ සමගම සිංහරාජ වනාන්තරයේද මෙවැනි ඉඩම් පවරා ගැනීමකට අනුමැතිය ලැබිණි. එහි ඉඩම් සියල්ල පවරාගෙන අවසන්ය. නමුත් නකල්ස් වනාන්තරයේ එක බිම් අඟලක්වත් තවමත් පවරාගෙන නැත. නිලධාරීන් මේ අයුරින් කටයුතු කරන්නේ ඉඩම් පවරා ගතහොත් ඔවුන්ට කොල්ලකන්නට ඉඩම් නැති වන බැවින් විය හැක. රටේ සාමාන්‍ය ජනතාවට පණවන බද්දක් හෝ වෙන මොනයම් හෝ නීතියක් නම් පැය 24ක් යන්නටත් මත්තෙන් ක්‍රියාවට නංවන්නට කටයුතු කරන නිලධාරීන් රජය සතු සම්පත් ආරක්ෂා කර ගැනීමට මෙතරම් කාලය ගත කරන්නේ මන්ද යන ගැටලුව රටේ සාමාන්‍ය ජනතාවට ඇතිවීම ස්වභාවිකය.
@ සමීර කන්නන්ගර
දිවයින ඉරිදා සංග්‍රහයේ විශේසාංග ලිපියකි.

