බටහිර සහරා අර්බුදය යනු සියවස් ගණනාවක් එපිටට විහිදුණු, අදටත් සක්‍රීයව පවතින කතාන්දරයක් වන අතර,
එහි මූලයන් පවතින්නේ 19 වන සියවසේ ස්පාඤ්ඤ යටත් විජිතවාදයේ ය.
1884 දී ස්පාඤ්ඤ යටත් විජිත තත්ත්වයට ග්‍රහණය වූ මෙම ප්‍රදේශය, 1975 දී ස්පාඤ්ඤයෙන් නිදහස් වීමත් සමඟම නව අර්බුදයකට මුහුණ දුන්නේය. වහාම මොරොක්කෝවේ සහ මෝරිටේනියාවේ ආක්‍රමණයන්ට ලක්ව නැවතත් භූමිය බෙදීමකට ලක්වීම වත්මන් ගැටුමේ මූලික සාධකය විය. ඉන් අනතුරුව, ආදිවාසී බටහිර සහරානු (Sahrawi) ජනතාව නියෝජනය කරන Polisario Front විමුක්තිකාමී ව්‍යාපාරය සහ මොරොක්කෝ රාජ්‍යය අතර වසර 16ක් පුරා (1975-1991) ප්‍රබල යුදමය තත්ත්වයක් පැවතිණි.

Polisario Front හි විමුක්ති අරගලයට ඇල්ජීරියාවේ සහයෝගය දිගින් දිගටම ලැබීම හේතුවෙන්, බටහිර සහරාව භූමි ප්‍රදේශය, ප්‍රධාන වශයෙන් මොරොක්කෝව හා ඇල්ජීරියාව අතර ගැටුම්කාරී භූ-දේශපාලනික කලාපයක් බවට පරිවර්තනය වන්නට විය. 1991 දී එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මැදිහත් වීමෙන් සටන් විරාමයක් ඇති කර ගත්ත ද, එමඟින් අපේක්ෂා කළ සහරානු ජනතාවගේ ස්වයං නීර්ණ අයිතිය තහවුරු කිරීමට තිබූ ජනමත විචාරණය, ඡන්දදායකයින් කවුරුන්ද යන්න පිළිබඳ ඇති වූ මතභේද හේතුවෙන් ක්‍රියාත්මක කිරීමට නොහැකි විය. මේ හේතුවෙන්, බටහිර සහරාවේ ආදිවාසී ජනතාවගේ ස්වයං නීර්ණ අයිතිය උදෙසා වූ අරගලය වසර ගණනාවක පටන් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය තුළ මෙන්ම ජාත්‍යන්තර අධිකරණය (ICJ) තුළ ද සාකච්ඡාවට බඳුන්වන්නකි.

මෙම අර්බුදයට ස්ථාවර සහ අන්‍යෝන්‍ය වශයෙන් පිළිගත හැකි විසඳුමකට ඒම මූලික අරමුණ කරගත් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය, 2025 ඔක්තෝබර් 31 දින යෝජනාව 2797 සම්මත කරමින් වැදගත් පියවරක් තැබීය. මෙම යෝජනාව මගින්, එක්සත් ජාතීන්ගේ සාම සාධක මෙහෙයුමෙහි අධිකාරිත්වය සමඟ මොරොක්කෝවේ ස්වෛරිත්වය යටතේ බටහිර සහරාවට ස්වයංපාලනය (Autonomy) හිමි වන මොරොක්කෝ යෝජනාව, ඉදිරි සාකච්ඡා සඳහා 'පදනමක්' ලෙස ප්‍රථම වතාවට පැහැදිලිව සඳහන් කර ඇත. මෙම යෝජනාව මගින් MINURSO මෙහෙයුමේ කාලය 2026 ඔක්තෝබර් 31 වන තෙක් දීර්ඝ කරන ලදී.

තවද, මෙම යෝජනාව මගින් ස්වයංපාලනය ලබාදීමේ මොරොක්කෝ සැලැස්ම 'යථාර්ථවාදී සහ විශ්වාසනීය' පදනමක් ලෙස සැලකෙන බව එක්සත් ජාතීන්ගේ සාකච්ඡාවලදී සඳහන් වීම විශේෂත්වයකි.
මෙයින් අදහස් කරන්නේ, දීර්ඝ කාලයක් තිස්සේ සාකච්ඡාවට බඳුන් වූ ජනමත විචාරණයක් වෙනුවට, දෙපාර්ශවයටම පිළිගත හැකි දේශපාලන විසඳුමක් කෙරෙහි ජාත්‍යන්තර අවධානය යොමු වී ඇති බවයි. මේ අනුව, 19 වැනි සියවසේ පටන් දිගු කලක් ඉදිරියට ආ මේ දරුණු අර්බුදයට ස්ථාවර විසඳුමක් සෙවීමට අවශ්‍ය රාජ්‍ය තාන්ත්‍රික පදනම, එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය ප්‍රකාරව, දැන් සම්පාදනය වෙමින් පවතින බව මනාව පැහැදිලි වේ.


