SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

 

මේ සතියේදීත් සමාජ දේශපාලන මෙන්ම මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය ක්ෂේත්‍ර උණුසුම් කළ පුවත වූයේ ගල්කිස්ස

අධිකරණ භූමියෙහි සිදු වූ නීතිඥයකු හා පොලිස් කොස්තාපල්වරයකු අතර වූ ගැටුමය. මෙහි නීතිමය පසුබිම හා අධිකරණ ක්‍රියාදාමය පිළිබඳ අපට ගැටලුවක් නැත. එහෙත් මේ සිදුවීම තුළින් අද මේ සමාජය මුහුණ දී තිබෙන දැඩි සාරධර්ම පරිහානියත් පුද්ගල මනස තුළ තැන්පත්ව තිබෙන අධිපතිවාදී මානසිකත්වයත් අපට දැකගත හැකි විය.

 

 

පොලිසියේ සාමාන්‍ය නිලධාරියකු තම වෘත්තියෙහි බල පරාක්‍රමයකින් පෙළීමට හා මර්දනය කිරීමට ගත් අලජ්ජී ක්‍රියාකාරකම නිෂ්ක්‍රීය කිරීමට මෙරටේ පොදු ජනයා දැක්වූ උද්යෝගිමත් ප්‍රතිචාරය අගය කළ යුතුය. පොලිසිය මෙන්ම නීති වෘත්තිය පිළිබඳ අප බොහෝ දෙනකුට විවිධ කියවීම් තිබිය හැකිය. එහෙත් පොලිසිය යනු රටේ නීතිය හා සාමය වෙනුවෙන් පෙනී සිටින නිල ආයතනය ද වේ. එසේ වුව ද පොලිසිය සම්බන්ධයෙන් මාධ්‍යවල පළවන පුවත්වලින් බොහෝවිට පොලිසිය පිළිබඳ වූ චිත්‍රයට හානි සිදුවන බව ද පෙනේ. නීති වෘත්තීය සමස්තයක් ලෙස ශාස්ත්‍රාලීය විනයකින් හා බුද්ධිමය වසයෙන් ද ඉහළ තලයකට අයත් වන්නකි.

 

මෙම කණ්ඩායම් දෙකම මේ රටේ යුක්තිය පසිඳලීමේ කාර්යේදී අධිකරණයට සහාය වන අතර නීතියේ සමානත්ව හා යුක්ති සාධාරණය උදෙසා පෙනී සිටින බවට පොදු පිළිගැනීමක් ද ඇත. ඒ අතරම ඇතැම් පොලිස් නිලධාරීන්ගේ චර්යාවන්, ක්‍රියාකාරකම් නිසා එහි අභිමානයට හානි සිදුවන අවස්ථා ද ඇත. එය ඕනෑම වෘත්තියකට, ආයතනයකට පොදු කරුණකි. එහෙත් මේ සිදුවීම් පෙළගස්වා බලන ප්‍රබුද්ධ පුරවැසියන්ට ඒ පිළිබඳ තිබෙන විවේචනය වෙනස් එකකි. නීතිමය තත්ත්වය ගැන අපට යමක් කිව නොහැක. මෙහිදී අප දුටුවේ පොලිසිය හා නීතිඥ ප්‍රජාව ලෙස පෙනී සිටි අයගේ චර්යාත්මක හා ආධ්‍යාත්මික වසයෙන් ඇති දුබලතාවයන්ය. දේශපාලනයෙන් විසිවී සිටින ඇතැම් නීතිඥයකුගෙන් මේ ගැන විමසූ විට ඔහු ප්‍රශ්න කර සිටියේ එබඳු අවස්ථාවකදී ඔබ වුවත් ආවේගශීලීව ක්‍රියා කරන්නේ නැද්ද යනුයි. එහෙත් උගත් විනිසුරු ප්‍රතිචාරය වූයේ විනය නොමැති වූ විට නීතිඥ වෘත්තියේ ගරුත්වය ද බිඳවැටෙන බවය. ඒ විශිෂ්ට අදහස පවසන ලද්දේ අභියාචනාධිකරණයේ සභාපති විනිසුරුතුමන් විසිනි.

 

ගල්කිස්ස අධිකරණ පරිශ්‍රය වැසෙන තරමට නීතිඥයන් කැඳවා රැහේ ශක්තිය ප්‍රදර්ශනය කිරීමට නීතිඥයන්ට අයිතියක් තිබේ. එහෙත් මේ සිද්ධියෙහි අනෙක් පාර්ශ්වය ලෙස සිටින පොලිස් කොස්තාපල්වරයා දෙස බලනවිට එය සමාජ පන්ති දෙකක චර්යාත්මක වෙනසක් ලෙස කෙනකු වටහා ගන්නේ නම් එහි දොසක් දැකිය නොහැක. මේ සිද්ධියේදී නීතිඥ සංගමයේ බහුතර මතය අදාළ නීතිඥයා රක්ෂිත බන්ධනාගාරගතවීම වැළැක්වීම ද යන්න නිශ්චිතව කිව නොහැක. එහෙත් මෙහිදී සිද්ධියේ චූදිතයකු වී සිටින පොලිස් කොස්තාපල්වරයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරියගේ ධෛර්ය සම්පන්න භාවය කැපී පෙනුණි. සිවිල් සමාජ ක්‍රියාකාරීන් කීපදෙනෙක් ද මෙහිදී මතභේදයකට තුඩු දී තිබෙන නීතිඥයා ගැන අප්‍රසාදය පළ කළහ. පුද්ගලයන් අතින් වැරදි සිදුවන්නේ නූගත්කම, අනවබෝධය හා මමංකාරය නිසා ද විය හැකිය. එහෙත් තමන් අතින් වූ වරද පිළිගෙන විශිෂ්ටයන් ලෙස ඉතිහාසයට එක් වූ අය අතර නීති වෘත්තියේ අය ද සිටිති. සුප්‍රකට මහාධිකරණ විනිසුරුවරයකු වූ (යාපනය) ඉලන්චේලියන් මුළු රටටම ආඩම්බර විය හැකි උදාර චරිතයකි. මේ සිද්ධිය තම වෘත්තියට සිදු වූ අවමානයක් ලෙස දකින සෑහෙන පිරිසක් නීති ප්‍රජාව අතර ද සිටිති. කවුරුන් විසින් කෙබඳු අර්ථකථන ලබා දුන්නත් අපගේ අදහස වන්නේ ද මෙය නීති ප්‍රජාවට මකා දැමිය නොහැකි කැළලක් එක් කළ බවය.

 

 

මේ අශ්ලීල ග්‍රාම්‍ය සිදුවීම් මාලාව සමාජ සංවාදයට ලක්වී තිබියදී එය යටපත් කරමින් තවත් කුප්‍රකට ටෙලියක ජවනිකා කීපයක් සමාජගත විය. ඒ මෙරටේ අධිකරණ භූමිය තුළම ඝාතනයක් සැලසුම් කළ බව කියැවෙන කුප්‍රකට චරිතයක් සමග බැඳී පවතින්නකි. නමින් ඉෂාරා සෙව්වන්දි ලෙස හැඳින්වෙන ඇය ද ව්‍යාජ නීතිඥවරියක් ලෙස පෙනී සිටිමින් මෙම ඝාතනය මෙහෙයවා ඇති බව අනාවරණය වී තිබේ. මේ ඝාතනය සිදුකළ වෙඩික්කරුවා ද නීතිඥ වෙස් ගෙන සිටි බව හෙළි වී තිබේ. එසේ වුව ද මේ සිදුවීම හා ඉහත දැක්වූ පුවත අතර කිසිදු සබඳතාවක් නැත. එහෙත් මෙයින් පෙනී යන්නේ ද අද රටක් වසයෙන් අප ඉදිරිපිට තිබෙන විනාශකාරි හා සාපරාධි ක්‍රියාකාරකම්වල බිහිසුණු ස්වරූපයයි.

 

 

මෙරටේ සාමකාමී ජන ජීවිතය තිගැස්සුමට හා භීතියට පත් කෙරෙන පාතාල අපරාධ රාජ්‍යයකට එරෙහිව මේ ආණ්ඩුව ගෙන යන සටන ද සුළු පටු එකක් නොවේ. ඒ හා සම්බන්ධ කළු දේශපාලනයක් ද ඇත. මේ සතිය උණුසුම් කළ පුවත වූ ඉෂාරා සෙව්වන්දි යනු මේ වනවිට අත්අඩංගුවට පත්ව සිටින බිහිසුණුම පාතාල නඩය සමග සම්බන්ධ වූ කාන්තාවකි. ගණේමුල්ලේ සංජීව නමැති තවත් කුප්‍රකට පාතාලයකු ඝාතනය කිරීමේ සැලසුම ඇය විසින් සකස් කරන ලද්දක් බව ද කියති. විත්තිකූඩුවේ සිටි තවත් අපරාධකරුවකුට අධිකරණය තුළදීම වෙඩි තබා පැනයෑමට තරම් කූට හා ප්‍රයෝගකාරි බුද්ධියක් සෙව්වන්දිට තිබුණි. සියලු ආරක්ෂක වළලු මැදින් ඉදිරියට ගිය අපරාධ මෙහෙයුමක් සැලසුම් කිරීම හුදු ඇගේම ක්‍රියාවක් නම් ඇයට මේ අපරාධ රාජ්‍යයේ කළු රැජිනිය ලෙස අපරාධ කිරුළ පැලඳ ගැනීමට බාධාවක් ද නැත. ගණේමුල්ලේ සංජීව ඝාතනය කළ පිස්තෝලය රැගෙන ඒම සඳහා ඇය විසින් භාවිත කරන ලද උපක්‍රමය අපේ බුද්ධි අංශයේ අය වුව ද විස්මයට පත් කරවන්නකි. සමාජ මාධ්‍ය මෙන්ම පුවත්පත්වල ද සෙව්වන්දි පිළිබඳ විවිධ පුවත් පළවී තිබේ. එහෙත් ඝාතනය හා භීෂණය ඇය විසින් තෝරා ගන්නා ලද්දේ හුදු මුදල් සඳහාම දැයි මෙතෙක් හෙළි වී නැත.

 

ඉෂාරා සෙව්වන්දිට කිසියම් අංශයකින් සමාන කළ හැකි චරිතයක් කලකට පෙර ඉන්දීය චිත්‍රපටයක ඇතුළත් විය. ඒ පුලාන් දේවි නමැති කතකි. ඇය පසුව දේශපාලනයට පවා එක් වූවාය. ‘බැන්ඩිට් ක්වීන්’ (බැන්ඩිට් රැජින) ලෙස නිම වූ ඒ චිත්‍රපටය අනූව දසකයේදී මෙරටේ ද ප්‍රදර්ශනය විය. පුලාන් දේවි ඉන්දියාවේ මංපහරන කණ්ඩායමකට එක්ව ඉහළ කුලවල ධනවත් අයගේ ධනය මංකොල්ල කෑ අපරාධකාරියකි. ඇය ඒ සඳහා යොමු වූයේ ලිංගික අතවරවලට ලක්වීමෙන් හා ඇගේ පවුලට එල්ල වූ අසාධාරණ පීඩාවන් නිසා බව ද කියති. බෙහ්මායි සමූල ඝාතනය ලෙස හැඳින්වෙන අපරාධයට ඇය වරදකාරියක වී සිරගත වූවාය. මිනිසුන් 20 දෙනෙක් ඇගේ අණ පරිදි ඝාතනයට ලක්වී ඇත. පසුව ඇය නිදහස ලබා දේශපාලනයට ද එක්ව ඇත. සමාජවාදී පක්ෂයේ මන්ත්‍රිවරියක් ලෙස ද ක්‍රියා කළ ඇය පසුව ඝාතනයට ලක්වී මිය ගියාය. උත්තර් ප්‍රදේශ්හි උපත ලද ඇය ජනතාවගේ වීරවරියක් වූයේ අසාධාරණයට එරෙහිව සටන් කළ ගැහැනියක් ලෙසය. එහි හොඳ නරක වෙනම කතාවකි.

 

පූලාන් දේවි හා සෙව්වන්දි අතර සබඳතාවක් නැත. සෙව්වන්දි අපරාධ හා පාතාල ක්‍රියාකාරිනියක් වූ ආකාරය ද වෙනස්ය. මෙරටේ පාතාල චරිත මෙන්ම අපරාධකරුවන් ලෙස කුප්‍රකටව සිටි සරදියෙල්, මරුසිරා, උක්කුවා මෙන්ම යකඩයා වැනි චරිත ද චිත්‍රපට ලෙස නිම වී තිබේ. ගිනි අවි හා ගිනිකෙළි එබඳු එක් නිදසුනකි. කුමක් වුවත් අපරාධකරුවන් වීරයන් ලෙස දැක්විය යුතු නැත. ඒවා සමාජ අවධානයට ලක් කළ යුත්තේ අපරාධවල විපාක, සමාජයට වන විනාශය පෙන්වාදීම සඳහාය. මා විශේෂයෙන් මෙය සඳහන් කළේ ඇතැම් සමාජ මාධ්‍ය සෙව්වන්දි සම්බන්ධයෙන් ඉදිරිපත් කෙරෙන අලංකාර රචනා සමාජයට වැරදි ආදර්ශයක් ලබාදෙන නිසාය. සෙව්වන්දිලා මේ සමාජ ක්‍රමයේ දුෂ්ට නිෂ්පාදන විනා වීරවරියන් ලෙස හුවා දැක්විය යුතු නැති බව ද අවධාරණය කළ යුතුය. එසේම මේ විනාශකාරී පාතාලය හා එයට සම්බන්ධ මත්-අයිස් ජාලය වැනසීමට මේ ආණ්ඩුව ගෙන යන ක්‍රියාන්විතය ද පැසසිය යුතුය. සෙව්වන්දි ඇල්ලුවා දැයි ආණ්ඩුවට කීචොක් කළ විපක්‍ෂයට පොලිස් ඇමැතිවරයා ද පොලිස්පතිවරයා ද පිළිතුරු දී තිබේ. රොහාන් ඕලුගල වැනි පොලිස් නිලධාරීන්ට ද අප පැසසුම හිමිවිය යුතුය. එහෙත් පොලිසිය මුරුංගා අතුවල තැබීම ද සුදුසු නැත. මෙරටේ රාජ්‍ය ආයතන සම්බන්ධයෙන් තිබෙන වාර්තා කිසිසේත්ම යහපත් නැත. අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ අධ්‍යක්‍ෂ ජනරාල් රංග දිසානායක පවසන්නේ ද රාජ්‍ය ආයතන වලින් සියයට 60ක් දූෂිත ඒවා බවය. ඒ දූෂණ වංචා මෙන්ම අපරාධ දේශපාලනයට සම්බන්ධ බවට විවෘත චෝදනාවක් ද ඇත.

 

 

ජනාධිපති අනුර කුමාර දිසානායක දින කීපයකට පෙර (14දා) රත්නපුර දිස්ත්‍රික් විශේෂ සම්බන්ධීකරණ කමිටු රැස්වීමකදී ප්‍රකාශ කළේත් රජයේ කාර්ය භාරය ගැන අලුත් කෝණයකින් හිතා පියවර ගත යුතු බවය. සංවර්ධන ව්‍යාපෘති ලෙස ඉදිරිපත් වී තිබෙන බොහෝ සැලසුම්, ඉදිකිරීම් කටයුතුවලදී මෙරටේ මහා ධනස්කන්දයක් අපතේ ගිය ආකාරය රහසක් නොවේ. හම්බන්තොට සාර්ක් සංස්කෘතික මධ්‍යස්ථානය, අනුරාධපුර ශ්‍රවණාගාරය ඇතුළු ඉදිකිරීම් අද නඩත්තු කළ නොහැකි තත්ත්වයක් උදාවී ඇති බව ද මෙහිදී ජනාධිපතිවරයා අවධාරණය කළේය. එසේම රජයට අයත් ඇතැම් සංචාරක බංගලා, තානායම්, පොදු වෙළෙඳ සංකීර්ණ ආදිය විනාශ වන ආකාරය ද ඔහු පෙන්වා දුන් කරුණකි.

 

 

එය සැබෑවකි.

මෙරටේ කොළඹ ඇතුළු ප්‍රධාන නගර සභා ගණනාවකටම අයත් වෙළෙඳ සංකීර්ණ ඉතා වටිනා ස්ථානවල පිහිටා තිබුණත් ඒවා ජරාවාස වී තිබෙන අන්දම පැහැදිලිව දැකගත හැකිය. රාජ්‍ය සතු ගොඩනැඟිලි ආදිය සම්බන්ධයෙන් විනාශ වී යන නඩත්තු වියදම් ගණන් බැලුවොත් ඒවා මිලියන නොව බිලියනවලට ද කිට්ටු වනු ඇත. පෞද්ගලිකරණය මහා විනාශයක් ලෙස දුටු වාමාංශික දේශපාලනය වුව ද අද ජනසතු කිරීම්, රාජ්‍යයේ පාලනය යනාදිය වෙනස් විය යුතුය යන ප්‍රතිපත්තියට එකඟ වේ. එහි තේරුම රාජ්‍ය සම්පත් කුණුකොල්ලයට හිත මිතුරන්ට විකිණීම නොවේ. මූල්‍ය කළමනාකරණය හා මූල්‍ය විනය නොතැකූ දේශපාලනයක් නිසා ඇතිවූ විනාශය කෙබඳු දැයි අමුතුවෙන් විස්තර කළ යුතු නැත. එසේම රාජ්‍ය අංශවල අධීක්‍ෂණය යටතේ ක්‍රියාත්මක විය යුතු මහජන සේවාවන් ද තිබේ.

 

මෙරටේ අධ්‍යාපනය හා සෞඛ්‍ය සේවය මෙන්ම පොදු ප්‍රවාහනය යනු අදටත් ප්‍රශ්න ගොන්නකි. අර්බුද කන්දකි. අධ්‍යාපන ක්‍ෂේත්‍රය සම්බන්ධයෙන් නිබඳව අවධානයට ලක්විය යුතු සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නන්ගර සූරීන්ගේ පදනම හා දැක්ම නොතකා අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සිදුකිරීම දැන් දසකයක පමණ කාලයක් මුළුල්ලේ විවාදයකට ලක්ව තිබෙන්නකි. අධ්‍යාපනයෙන් ජාතික සමගිය ස්ථාපිත කිරීමේ වැදගත්කම ඔහුගේ අගනා අවධාරණයකි. ජාතික හා වර්ගවාදී වෙනස්කම් වෙනුවට පුළුල් හා දූරදර්ශී දැක්මක් අධ්‍යාපන සංශෝධනවලදී තිබිය යුතු බව ද ඔහු පෙන්වා දී ඇත. නූතන අධ්‍යාපන විශේෂඥයන් පිළිගන්නා, ඉගෙනීමට ඉගෙනීම, යමක් අත්දැකීමෙන් ඉගෙනීම, සමාජය සමග ජීවත්වීමට ඉගෙනීම හා තම අභිවෘද්ධිය සඳහා ඉගෙනීම යන අරමුණු කන්නන්ගර අධ්‍යාපන දැක්මේ ද අඩංගු වූ බව පිළිගනී. (මෙය ඉතා පුළුල්ව කතා කළ යුතු ක්‍ෂේත්‍රයක් වන්නා සේම එය මගේ විෂය පථයට අයත් වන්නක් ද නොවේ)'

 

අධ්‍යාපනය, සෞඛ්‍ය ප්‍රවාහන ආදිය මහජන සේවාවන් ලෙස පැවැත්විය යුත්තේ ඒවායේ ප්‍රතිලාභ පොදු ජනතාවට හිමිවිය යුතුය යන සිද්ධාන්තය පිළිගන්නා හෙයිනි. එහෙත් මේ වනවිට සෞඛ්‍ය සේවය මේ රටේ සාමාන්‍ය ජනතාවට ලබාදෙන ප්‍රතිලාභ ඉතා අඩු බව ද කිව යුතුය. එසේම මේ ක්‍ෂේත්‍රවලට අදාළව අණපනත් පැනවීම මෙන්ම සැලසුම් සකස් කිරීම ද ප්‍රවේශමින් කළ යුත්තකි. මේ වනවිටත් අධ්‍යාපන ක්‍ෂේත්‍රය සම්බන්ධයෙන් ඇත්තේ කැළඹීමකි. විශේෂයෙන් දණ්ඩ නීති සංග්‍රහය සංශෝධනය කිරීම ආන්දෝලනයකට තුඩු දුන් පුවතක් වී තිබේ. දින කීපයකට පෙර අභිනව මල්වතු අනුනාහිමියන් ප්‍රකාශ කළේ සංස්කෘතික වටිනාකම් විනාශ කෙරෙන ‘කඳපනු’ සූත්‍රයක් අද සමාජගත වී තිබෙන බවකි. අනුනාහිමියන්ගේ විවේචනය වූයේ බටහිර න්‍යායපත්‍රයකට එබඳු විනාශයන් සිදුවන බවය.

 

මේ අතර සමාජ – දේශපාලන අංශවල අවධානයට යොමු වූ සජබ හා එජාප සමගිය මෙන්ම එජාපය පෙනී සිටින බහු පක්‍ෂ ක්‍රමය තහවුරු කිරීම ගැන ද විශේෂ ප්‍රගතියක් ඇති බවක් නොපෙනේ. සජබ නායක සජිත් පවසන්නේ සිය පක්‍ෂවල අනන්‍යතාව රැකගනිමින් ඉදිකළ යුතු විපක්‍ෂ වේදිකාවක් ගැනය. පලනි දිගම්බරම් මන්ත්‍රීට අනුව මෙය අසාර්ථක වැඩකි. පොහොට්ටුව මේ ගැන කරන ප්‍රකාශ අනුව පෙනී යන්නේ මේ විපක්‍ෂ වේදිකාව ඔවුන්ට දුරස්ථ එකක් බවය. එසේම සජිත් පවසන්නේ ද විපක්‍ෂයක් ලෙස ජනතාවගේ ප්‍රශ්නවලට වැඩි අවධානයක් යොමු කළ යුතු බවය. අද මෙරටේ ක්‍රියාත්මක වන්නේ හැම අතින්ම පීඩාකාරී රාජ්‍ය පාලනයක් බව ද ඔහුගේ චෝදනාවකි.

 

ජනතාවගේ ආර්ථික ප්‍රශ්න උත්සන්න වෙමින් දුප්පත්කම වැඩි වී ඇති බව ද ඔහු පවසයි. ආර්ථිකය සම්බන්ධයෙන් ඔහුගේ අනතුරු ඇඟවීම ද බරපතළය. ඉබාගාතේ යන ආර්ථිකය නිසා 2028 වනවිට රටට භයානක අවදානමකට මුහුණ දීමට සිදුවන බව ඔහුගේ විවේචනයයි. මේ රජය ලබා දුන් විදුලිබිල අඩුකිරීමේ යෝජනාව ක්‍රියාත්මක කරවීම සඳහා ජනතාව සමග වීදි බසින බව ද ඔහු පවසා තිබේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් පනවනු ලබන සියලු කොන්දේසි අනුව ආණ්ඩුව ක්‍රියාකරන බව ද සජිත් සඳශන් කරයි. ජනතාවට බදු පැටවීමට සිදුවන බවත් රටේ දිළිඳු බව ඉහළ යෑම එහි නියත පලයක් බවත් සජබ නායකයා අවධාරණය කරයි. ඉන්දියාවට මූල්‍ය අරමුදලේ බලපෑම් නොතකා ක්‍රියා කළ හැකි වුවත් ශ්‍රී ලංකාවට එබඳු ශක්තියක් නොමැති බව ආර්ථික ක්‍ෂේත්‍රයෙහි ඇතැම් විද්වත්හු ද පවසති. එහෙත් ආණ්ඩුව සිය ආදායම් ඉහළ දමා ගනිමින් එහි වර්ධනයක් අත්කරගත් බව ද සමහරු පෙන්වා දෙති.

 

 

@ගාමිණී සුමනසේකර

ඉරිදා දිවයින

නවතම ලිපි