මාර්තු 10 වැනි දිනට යෙදී ඇති මර්ධනයට එරෙහිව ටිබෙට් වැසියන්
නැගී සිටීමේ දිනය සමරනු ලබන්නේ "1959 වර්ෂයේදී ටිබෙටයේ ලාසාහි සිදු කෙරුණු කොමියුනිස්ට් චීන පාලනයේ මර්ධනයට එරෙහිව ක්‍රියා කළ අයට විරුවන්ට පුදන උපහාරයක් වශයෙනි."
කෘෂිකර්මාන්තයෙන් හා ස්වභාවික සම්පත්වලින් පොහොසත් රටක් වන ටිබෙටය, චීන දේශපාලන අධිකාරියේ ඇස ගැටුණු අතර, ඔවුන් ටිබෙටයට ආධාර උපකාර කරන මුවාවෙන් එරටට ඇතුල් විය.
අනතුරුව චීන දේශපාලන අධිකාරිය ටිබෙටයේ අභ්‍යන්තර පාලන කටයුතුවලටද අත පොවන්නට විය. එමෙන්ම විශාල වශයෙන් චීන හමුදා කඳවුරු ද එරට තුළ ස්ථාපිත කරමින් පැවතියහ.
විශේෂයෙන්ම ටිබෙටයේ ආධ්‍යාත්මික නායකයා වූ 14 වැනි දලයි ලාමා වහන්සේට විරුද්ධව චීනය කටයුතු කරන්නට වූයේ උන්වහන්සේ සිටින තාක් ටිබෙටය යටත් කර ගැනීමට නොහැකි වන බවට ඔවුන් බිය වූ හෙයිනි.
අවස්ථා ගණනාවකදීම දලයි ලාමා වහන්සේව ග්‍රහණය කර ගැනීමට උත්සාහ දැරූමුත් එය සාර්ථක නොවූ තැන ඔවුන් කූට උපක්‍රමයක් යොදා උන්වහන්සේව ග්‍රහණය කර ගැනීමට උත්සාහ දරන ලදී.
ඒ අනුව චීන දේශපාලන අධිකාරිය නියෝජනය කරන චීන හමුදා නායකයන් දෙපළක්, ඔවුන්ගේ හමුදා මූලස්ථානයක සංවිධානය කර ඇති විශේෂිත ප්‍රසංගයක් නැරඹීම සඳහා දලයි ලාමා වහන්සේට ආරාධනා කළහ. ආරාධිත දිනය 1953 මාර්තු 10 වැනි දිනය වූ අතර, දලයි ළමා වහන්සේට ඔවුන් විශේෂ කොන්දේසියක් ද පැනවීය.
"කිසිදු ආරක්ෂකයෙකු නොමැතිව, තනිවම ප්‍රසංගයට සහභාගී විය යුතුයි!"
දලයි ලාමා වහන්සේ ද මෙම කූට ආරාධනාව මනාව තේරුම් ගත් මුත්, තමා නිසාවෙන් සිය ජනතාවට යම් පීඩනයක් චීන දේශපාලන අධිකාරිය විසින් සිදු වෙන්නේ නම් ඒ වළක්වාලීම උදෙසා එම ආරාධනය භාර ගැනීමට කැමැත්ත පළ කළේය.
මෙම අද්භූත ආරාධනය ටිබෙට් වැසියන් අතර වේගයෙන් පැතිර ගියේ ඔවුන් අතර භීතියක් ඇති කරමිනි. මෙය දලයි ලාමා වහන්සේව විනාශ කිරීමට චීනය විසින් ගන්නා නීච උත්සාහයක් බව වටහා ගත් ටිබෙට් වැසියන් දලයි ලාමා වහන්සේට සිදුවිය හැකි අනතුර වළක්වාලීමට අධිෂ්ඨාන කරගන්නා ලදී.
ඒ අනුව 1959 මාර්තු 10 වැනි දින සිය දහස් ගණන් ටිබෙට් ජාතිකයන් දලයි ලාමා වහන්සේගේ නෝබුලින්කා මන්දිරය අසලට රැස්වූහ.
දලයි ලාමා වහන්සේට නෝර්බුලින්කා මාලිගයෙන් පිටතට නොයන ලෙස ඉල්ලා සිටි ජනයා උන්වහන්සේ සහ සමස්ත ටිබෙට් සම්ප්‍රදාය රැක ගැනීමේ අරමුණින් මාලිගය වටා මිනිස් පළිහක් සාදා ගත්හ.
නමුත් ඉන් දින කිහිපයකට පසු එනම් 1959 මාර්තු 23 වෙනි දින චීන රජය විසින් ලාසාහී පාලනය අල්ලා ගන්නා ලදී. චීන කොමියුනිස්ට් පාලනයේ නායකයා වූ මාවෝ සියවසේ මහා ඝාතකයා වෙමින් ලක්ෂයක අධික ටිබෙට් භික්ෂූන් වහන්සේලා ද, දස දහස් ගණන් ටිබෙට් ජාතිකයන්ව ඝාතනය කොට ඔවුන්ගේ ලේ මතින් ඔවුන්ගේ අවසන් ඉලක්කය වූ දලයි ලාමා වහන්සේ සොයා නෝර්බුලින්කා මාළිගයට ඇතුල් විය.
නමුත් ඒ වන විටත් දලයි ලාමා වහන්සේ රහසිගතව මාලිගයෙන් පිටව ගොස්, ටිබෙට් දේශ සීමාවෙන්ද ඔබ්බට ගොස්, ඉන්දියාවට ඇතුල් වෙමින් තිබුණි. උන්වහන්සේගේ මෙම නික්මයාම ටිබෙට් ඉතිහාසයේ සංධිස්ථානයක් සනිටුහන් කළේය.
මෙලෙස ටිබෙටයේ පාලනය චීන දේශපාලන අධිකාරිය විසින් බලහත්කාරයෙන් උදුරා ගත් අතරින් පසු ටිබෙට් ජනයාට ජීවත්වීමට සිදුව ඇත්තේ දැඩි ප්‍රචණ්ඩකාරී මර්දනයක් යටතේය. "ආගම විෂක්" ලෙස සලකන චීන දේශපාලන අධිකාරිය විසින් ඔවුන්ට සිය ආගම, සංස්කෘතිය පවා බලහත්කාරයෙන් අහිමි කරවන ලදී.
තවමත් චීන දේශපාලන අධිකාරිය, දලයි ලාමා වහන්සේ ප්‍රධාන ටිබෙට් සම්ප්‍රදාය විනාශ කිරීමේ අරමුණින් ඍජු හා වක්‍ර උපාය මාර්ග ගනිමින් සිටින්නේ "රතු රුධිරය දිගේ හෝ ගොස් ලෝක පාලනය අතට ගැනීමේ ඔවුන්ගේ සිහින උදාකරගැනීමට ය."
දලයි ලාමා වහන්සේ තවමත් ටිබෙට් ජනතාවගේ නිදහසේ සිහිනය ඉටුකර ගැනීම උදෙසා සිය කාලය හා ශ්‍රමය කැප කරන අතර, ටිබෙට් ජනතාවගේ ආත්මය නොබිඳී පවත්වාගෙන යාමට උන්වහන්සේ තවමත් කටයුතු කරයි.
වර්තමානය වන විට ලෝකය පුරා ටිබෙටයට නිදහස ඉල්ලා අඛණ්ඩ සහයක් ගොඩනැගී ඇති ඇත්තේ, චීනයේ සත්‍ය මුහුණ ලෝකය දැන් වඩාත් හොඳින් දන්නා හෙයිනි.
නමුත් ශ්‍රී ලාංකිකයන් වශයෙන්, ශ්‍රී ලාංකික භික්ෂූන් වහන්සේලා වශයෙන් අප චීනය ගැන නිසියාකාරව දැනුවත් ද?
දැනටමත් චීනය නොයෙක් ආකාරවලින් අප රට තුළට ඇතුලු වී අවසාන ය. අප රටටත් ටිබෙටයට 1959 අත් වූ ඉරණම අත් නොවේවි යැයි කිව හැක්කේ කා හටද?
එදා ටිබෙට් භික්ෂූන් වහන්සේලා මෙන්, නුදුරු දිනකදී අප මහා සංඝ රත්නය විනාශ කර, අපගේ දන්ත ධාතූන් වහන්සේ, ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ, රුවන්වැලි මහ සෑ වහන්සේ අප හට අහිමි කොට, අපගේ ආගමික නිදහස, දේශපාලන, සංස්කෘතික නිදහස අහිමි කළහොත් අප කියන්නේ කා හටද?
එබැවින් මෙවන් දිනකදී අප ටිබෙටයෙන් ආදර්ශ ගැනීම අගනේ ය. මන්ද "ඉතිහාසය විසින් වර්තමානයට කියා දෙන පාඩම්, අනාගතයට ඔබින බැවිනි."