ජාතික පොලිස් කොමිසමත් වැඩ බලන පොලිස්පතිවරයාත් අතර ඇති අවුල ප්‍රභලය.
එය මෙතෙක් සීතල යුද්ධයක් ව පැවති අතර දැන් දැන් එළිපිටම යුද්ධයක් බවට පත්වෙලාය. දෙපාර්ශවයම මම පොර ජාතකයේය.
වැඩ බලන පොලිස්පතිවරයා පොලිස් කොමිසමට චෝදනා කළේ පොලිස් නිලධාරීන්ගේ ස්ථාන මාරු සහ අභ්‍යන්තර කටයුතුවලට ජාතික පොලිස් කොමිසම බාධා කරන බවය.
නමුත් එම පොලිස් කොමිසම කියන්නෙ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව පොලිස්පතිවරයා හැර පොලිස් නිලධාරීන්ගේ පත්කිරීම්, උසස් කිරීම්, ස්ථාන මාරුකිරීම්, විනය පාලනය කිරීම් සහ ඔවුන් සේවයෙන් පහකිරීමේ බලය ජාතික පොලිස් කොමිෂන් සභාව සතු බලතල බවය. එම බලතල ක්‍රියාත්මක කිරීම පොලිස්පතිවරයා විමසා සිදුකරන බවද ඔව්හු කියති.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට එරෙහිව තීන්දු තීරණ ගැනීමට එම ව්‍යවස්ථාවට අනුකූලව පිහිටුවනු ලැබූ කොමිසමකට හැකියාවක් නැත. එසේ අත්තනෝමතික ලෙස පොලිස් නිලධාරීන්ගේ මාරුවීම්, උසස් කිරීම්, විනය පියවර ගැනීම් සිදු කළහොත් අගතියට පත් නිලධාරීන්ට එම තීන්දු තීරණවලට එරෙහිව උසාවියට ගිය හැක. අනෙක් අතට පොලිස් කොමිසමක් මගින් සිදුකරන්නේ පොලිස් සේවයේ ගුණාත්මකභාවය රැකීමත් පොලිසියේ කාර්යක්ෂමතාව උපරිම ලෙස පවත්වාගෙන යාමත් නිලධාරීන්ගේ සුබසාධන සහ මූලික අයිතිවාසිකම් ආරක්ෂා කිරීමත් පිළිබඳ සැලකිලිමත් වීමය. ඒවායින් බැහැරව කටයුතු කරන්නැයි කොමිසමෙන් ඉල්ලා සිටීමට පොලිස්පතිවරයකුට හැකියාවක් නැති බව ඔව්හු කියති.
මෙම ගැටලුව දැන් ඇත්තේ නීතිපතිවරයා හමුවේය. වැඩ බලන පොලිස්පතිවරයා වරක් ප්‍රකාශ කළේ තමා පොලිස් ස්ථානාධිපතිවරුන්ගේ පත්කිරීම් සම්බන්ධයෙන් බලතල පොලිස්පතිවරයාටද තිබෙන බව නීතිපතිවරයාගෙන් කළ විමසීමකදී දැනගත් බවය. නමුත් ජාතික පොලිස් කොමිසම එය පිළිගන්නේ නැත. කොමිසම ප්‍රකාශ කර තිබුණේ තමන්ද ඉදිරි දිනකදී නීතිපති හමුවී මේ පිළිබඳ පැහැදිලි කරගන්නා බවය.
වත්මන් ආණ්ඩුව බලයට පත් වී නව වැඩ බලන පොලිස්පතිවරයකුද පත්කර ගැනීමෙන් පසුව තමන්ගේ අභිමතයට අනුව පොලිස් ස්ථානාධිපතිවරුන් 180 කට ආසන්න පිරිසක් මාරු කිරීමට ගත් පියවර ඇනහිටියේය. එතැන් පටන් මෙම ගැටුම උග්‍රවිය.
කෙසේ වුවද ඇතැම් මාරුවීම් පොලිස් කොමිසම අනුමත කර තිබුණත් මාරුවීම් 40 කට ආසන්න සංඛ්‍යාවකට අනුමැතිය නොලැබිණි.
මෙහිදී වැඩ බලන පොලිස්පතිවරයා ප්‍රකාශ කර තිබුණේ තමන්ට අවශ්‍ය පරිදි පොලිසිය සංවිධානය කරගැනීමේ වැඩපිළිවෙළට එම මාරුවීම් සිදු නොවීමෙන් බාධා පැමිණෙන බවය.
මෙහිදී ජාතික පොලිස් කොමිසමේ ක්‍රියා පටිපාටිය පිළිබඳව ඇතැමුන් කියන්නේ කොමිසම හේතුවෙන් පොලිසිය නිර්දේශපාලනීකරණය වන බවය. ස්වාධීන ආයතනයක් වන බවය.
නමුත් පසුගිය කාලය තුළදී පොලිසිය වැඩ කළේ එක් එක් ආණ්ඩු යටතේ ඒ ඒ ආණ්ඩුවේ ඕනෑ එපාකම් අනුවය. තමන්ට අවශ්‍ය නැති ස්ථානාධිපතිලා මාරු කිරීමටත් තමන්ගේ පාලන ප්‍රදේශයට තමන්ට අවශ්‍ය ස්ථානාධිපතිලා සහ ඉහළ පොලිස් නිලධාරීන් ගෙන්වා ගැනීමටත් ඒ කාලවලදී පියවර ගනු ලැබීය. එය සිදු නොකළ හැකි වූයේ මැතිවරණයක් ප්‍රකාශ කිරීමෙන් පසු ගතවන කාලය තුළදී පමණි. නමුත් එවැනි අවස්ථාවලදී පවා පොලිස් මාරුවීම් සිදුකිරීම් වුවත් ඒවා නැවැත්වූයේ පොලිස් කොමිසම මගින් නොව මැතිවරණ කොමිසම මගිනි.
ඒ අනුව පොලිස් කොමිසමත් වැඩ බලන පොලිස්පතිවරයාත් අතර මතුව තිබෙන මතභේදකාරී තත්වය හුදෙක් නීතිමට කාරණා වලින් එහාට ගිය කාරණාවක් බව පැහැදිලිය.
කෙසේ වුවද වෙනත් ආණ්ඩු කළ වැරදි වත්මන් ආණ්ඩුවද කළ යුතු නැත.
නමුත් ආණ්ඩුවට පොලිසිය වඩාත් ස්වාධීනව හැඩගස්වා ගැනීමට තිබෙන අවශ්‍යතාව පිළිබඳ පැහැදිලි අදහසක් පොලිස් කොමිසමටද තිබිය යුතුය. ජාතික පොලිස් කොමිසම තිබුණත් සම්පූර්ණයෙන් නිර්දේශපාලනීකරණය වූ පොලිසියක් මෙරට තිබුණේ නැත. යථාර්ථය එයයි.