මාර්තු 16 කල එලි බැසීමට විළිලන "ජන බලය" සංවිධානයට අනුව ජවිපෙ
බලයට පත්වන්නේ ගෝල්ෆේස් අරගලයේ ප්‍රථිපලයක් ලෙසය.
නමුත් අපට අනුව මධ්‍යම පාන්තික ගෝල්ෆේස් අරගලය සහ මැයි 9 ප්‍රභූ විරෝධී ප්‍රහාරය - ඉන් පසුව ජනාධිපති මන්දිරය අල්ලා ගැනීම දක්වා ඉදිරියට යන අරගල මාලාව යනු පැහැදිලිවම සමාජීය, පන්තිමය සහ දේශපාලනමය වශයෙන් සිද්ධීන් වර්ග දෙකකි (මැයි 9 ප්‍රහාරයට ආසන්තම හේතුව වූයේ ගෝල්ෆේස් අරගලයට පහරදීම බව සැබෑය). ඒ පිළිබඳව දීර්ගව කිහිප විටක්ම ලියා ඇත. නමුත් "ජන බලයේ" අවශ්‍යතාවය වී ඇත්තේ මධ්‍යම පාන්තික ගෝල්ෆේස් අරගලය නැවතත් මුදුන් කිරීමයි.
කැරලි බොහෝ විට මතුවන්නේ සංකේත රටාවෙහි (නීති, ප්‍රතිමාන ඇතුළු සමාජ ව්‍යුහයන්) බිඳවැටීමකින් වන අතර, සමාජ කණ්ඩායමක දුක් වේදනා, පීඩනය හෝ කලකිරීම තවදුරටත් ආධිපත්‍යක කතිකාව (dominant discourse) තුළ අන්තර්ගත කළ නොහැකි තත්වයක් යටතේය (අරගලයෙන් පසුව කතිකාව වෙනස් වන අකාරය ඡන්ද ප්‍රතිඵල වල උදාහරණ ඇසුරින් ලියා ඇති ලිපියේ සබැඳිය: https://web.facebook.com/100070974895380/videos/1276695953519663 ).
ලැකානියානු අර්ථයෙන් පවසන්නේ නම් යථ යනු සංකේතනයට ප්‍රතිරෝධය දක්වන දෙයයි. එවිට කැරලි යනු යථ විදාරණය වීමක්, එසේ නැති නම් යථ ඉස්මතුවීමක් ලෙස දැකිය හැකි අතර, එහිදී සමාජ තත්වයන් පිළිබඳ අවරෝධිත සත්‍යයක් ප්‍රචණ්ඩත්වය සහ කඩාකප්පල් කිරීම් හරහා බලහත්කාරීමය ලෙස ප්‍රකාශ මාන කිරීම සිදු වේ. නමුත් "ගෝල්ෆේස් ආතල් ගම" තුල තිබුනේ එවැනි තත්වයක් නොවේ. එය හුදු "සින්දු කියන අරගලයකි". එනම්, ගෝල්ෆේස් ආතල් ගම යනු කන, බොන, රමණයේ යෙදෙන, චිත්‍රපටි නරඹන, පොත් කියවන, සින්දු කියන, නාට්‍ය රඟ දක්වන, විදුලි ආලෝකයෙන් දිදුලන ලද, ඒ සියල්ලන්ගෙන් ප්‍රීති වූ සහ ප්‍රීතිය උතුරා ගිය අගනුවර පැවති මහා සැණකෙළියකි (ගුත්තිලියේ "උදේනි පුර සැණකෙළිය" සිහිගන්වයි).
මනොවිශ්ලේෂණයට අනුව කැරැල්ලක් යනු රෝග ලක්ෂණයකි. එනම්, රෝග ලක්ෂණ යනු ආත්මයක් හෝ සමාජයක් තුළ අවරෝධිත ප්‍රතිවිරෝධතාවල (contradictions ) ප්‍රකාශනයන්ය. ඒ අනුව කෝලාහලයන් සහිත කැරැල්ලක් යනු ගැඹුරු සමාජ-ආර්ථික, පන්ති හා දේශපාලන ප්‍රතීඝතා (antagonisms) වල රෝග ලක්ෂණයකි.
(ගෝල්ෆේස් "ආතල් ගම" සහ මැයි 9 ප්‍රහාරය අතර වෙනස පිළිබඳව 2022/05/18 ලිපිය: http://www.spartacus.lk/%e0%b6%b8%e0%b7%99%e0%b6%ad.../2022/ )
ප්‍රමෝදය-Jouissance (විනෝදය, නමුත් දුක් විඳීමේ අංගයක් සහිත) විසින් කැරලි තුල ඉටු කරන භූමිකාවක් තිබේ. ඒ කෝපය මගින් ඇවිලෙන කැරලි-කෝලහාල සහ සමහරුන් විසින් අධිකාරිය විනාශ කිරීමෙන් හෝ ඊට අදාළ උල්ලංඝනය කිරීම් මගින් සොයා ගන්නා සංතෘෂ්ටිය යන දෙකෙම තුලය. ඇතැම් ආකාරයේ විප්ලවයන් මෙන් වන කැරලි තුල තාර්කික දේශපාලන අරමුණු ඉක්මවා යාම් පවා අන්තර්ගත නීති කඩ කිරීමේ සංතෘෂ්ටියක අතිරික්තයේ අංගයක් අඩංගු වේ.
මනොවිශ්ලේෂණයේ බෙදුණු ආත්මය පිළිබඳ සංකල්පයෙන් ඇඟවෙන්නේ පුද්ගලයන්ට කිසි විටෙකත් ඔවුන්ගේ ආශාවන් සම්පූර්ණයෙන්ම පාලනය කළ නොහැකි බවයි. ඔවුන් අනෙකා (සමාජය, අධිකාරීත්වය, දෘෂ්ටිවාදය) විසින් හැඩගස්වා ඇත. කැරලි වලදී, පුද්ගල ආත්මීයත්වය සමූහයා තුළට ආත්මයක් ලෙස දිය විය හැකි අතර, එහිදී මිනිසුන් ක්‍රියා කරන්නේ හුදකලා තාර්කික ජීවීන් ලෙස නොව අවිඥානික ශක්තීන් විසින් මෙහෙයවනු ලබන සාමූහික බලවේගයක් ලෙසය.
ගෝල්ෆේස් අරගලය යනු කුමක් ද යන්න විශ්ලේෂණය කර ඇති ලිපිය:
http://www.spartacus.lk/%e0%b6%8b%e0%b6%af%e0%b7%8a.../2022/