SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

වගාවට හානි කරන වන සතුන් හේතුවෙන් ශ්‍රී ලංකාවේ ගොවීන්ට දැඩි බලපෑම් එල්ල වන අතර, පැය කිහිපයක් රටට ම විදුලිය අහිමි කළ 'වඳුරෙකු' පිළිබඳව ද දැඩි කතාබහක් ඇති විය.

වසර ගණනාවක් පුරා රිළවුන් ඇතුළු සතුන්ගෙන් වගාවන්ට සිදු වන හානි

අවම කිරීම සඳහා විවිධ විසඳුම් සහ අත්හදා බැලීම් ගණනාවක් සම්බන්ධයෙන් අවධානය යොමු වී තිබේ.

 

 

වඳුරන් චීනයට ගෙන ගොස් දැමීම, රිළවුන් වන්ධ්‍යාකරණයට ලක්කිරීම ද එවැනි යෝජනා අතර විය.

 

වත්මන් රජය විසින් ද, වන සතුන්ගෙන් වගාවට සිදුවන හානි පිළිබඳව මෙන් ම ඒ පිළිබඳව ගත හැකි ක්‍රියාමාර්ග සොයා බැලීමට කමිටුවක් ද පත් කරනු ලැබී ය.

 

 

ඒ අතරතුර, මාර්තු 15 වන දා පැවැත්වීමට නියමිත, මිනිසුන් වාසය කරන පෙදෙස්වලට පැමිණෙන වන සතුන් පිළිබඳ සංගණනයක් සිදු කරන බව කෘෂිකර්ම සහ පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මාර්තු 01 වන දා අනාවරණය කළේ ය.

 

"රිළවා, දඬුලේනා සහ මොනරා, විනාඩි 5ක කාලයක් දෙනවා, ග්‍රාම නිලධාරී වසම්වල ඉන්න සියලු ම නිලධාරීන් මේකට සම්බන්ධ වෙනවා. මේ විනාඩි 5 ඇතුළත තමුන්ගේ වත්තේ, තමන්ගේ ගොවිපළේ රිලවු කීයක් හිටිය ද, දඬුලේන්නු කීයක් හිටිය ද, මොනරු කීයක් හිටිය ද, වෙනත් සත්තු විශේෂ කීයක් හිටිය ද, ඒගොල්ලො ගණන් හදන්න ඕනේ," යැයි නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

'මෙතෙක් ලංකාවේ මේ වගේ සංගණනයක් කෙරිලා නැහැ'

 

 

එම වන සතුන් සංගණනය සිදුවන ආකාරය පිළිබඳව බීබීසි සිංහල සේවය තවදුරටත් කරුණු විමසා බැලීය.

 

"මෙච්චර කල් ලංකාවේ මේ වගේ සංගණනයක් කෙරිලා නැහැ. මොකක් හරි පාලන ක්‍රමයක් සැලසුම් කරනකොට, අපි ගාව විද්‍යාත්මක දත්තයක් තියෙන්න ඕන නේ. ඒක නිසා තමයි මේ වගේ සංගණනයක් කරන්න තීරණය කළේ," කෘෂිකර්ම අමාත්‍යංශයේ, කෘෂි සංවර්ධන අතිරේක ලේකම් දිස්නා රත්නසිංහ සඳහන් කළා ය.

 

වනජීවී සංරක්ෂණ දෙපාර්තුමේන්තුව, කෘෂිකර්ම අමාත්‍යංශය, කෘෂිකර්ම දෙපාර්තුමේන්තුව, ආරක්ෂක අංශ, සංඛ්‍යා ලේඛන දෙපාර්තුමේන්තුව ඇතුළු පාර්ශවවලින් සැදුම්ලත් වන සත්ව හානි පාලනය කිරිමේ කමිටුවේ තීරණයකට අනුව මෙම වැඩසටහන සිදුකරන බව ද ඇය පැවසුවා ය.

 

'උදේ 8 ඉඳලා 8.05 තමයි අපි තීරණය කරපු වෙලාව'

 

රිළවා, වඳුරා, මොනරා සහ දඬුලේනා යන සතුන් මෙම සංගණනයේදී ගණනය කිරීමට නියමිතව ඇත.

 

"මාර්තු 15 සෙනසුරාදා අපි යොදාගෙන තියෙන්නේ. මොක ද සෙනසුරාදා ගොඩක් අය ගෙදර ඉන්නවා කියලා අපි හිතනවා," කෘෂිකර්ම අමාත්‍යංශයේ, කෘෂි සංවර්ධන අතිරේක ලේකම් දිස්නා රත්නසිංහ පැවසීය.

 

"උදේ 8 ඉඳලා 8.05 තමයි අපි තීරණය කරපු වෙලාව. එහෙම නැතිනම් අල්ලපු වත්තට ගියා ම ආයෙ සැරයක් ගණන් කරනවා නේ. හැමෝම 8 ඉඳලා 8.05 වෙලාව ඇතුළත තමන්ගේ වත්තට එන සත්තු හතර වර්ග, හතරෙන් කී දෙනෙක් ඉන්නවා ද කියලා ගණන් කරලා දෙන්න ඕනේ."

 

"සතුන් උදේ ම එළියට එන නිසා වනජීවී එකෙන් තමයි ඒ වෙලාව වඩාත් සුදුසු යි කියලා කිව්වේ. අපි පෙර පුහුණවට ගියාමත් ඒක තහවුරු වුණා," යැයි අතිරේක ලේකම්වරිය කියා සිටියා ය.

 

දිස්ත්‍රික් ලේකම්වරුන් හරහා මෙම සංගණනය ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති අතර, ප්‍රදේශීය ලේකම් හරහා ග්‍රාම නිලධාරින්හට තම වසම තුළ වගකීම පවරා ඇති බව ද ඇය සඳහන් කළා ය.

 

 

සංගණනය සිදුකරන ස්ථාන මොනවා ද?

 

ගෙවත්තට, ගොවි බිම්වලට මෙන් ම පාසල්, රෝහල්, සිද්ධස්ථාන වැනි පොදු ස්ථාන තුළ ක්‍රියාත්මක මෙම සංගණනය ලංකාව පුරා ම සිදු කිරීමට සැලසුම් කර තිබේ.

 

"මම දැකලා තියෙනවා යුනිවර්සිටි එකක උළු ගලවලා විසි කරනවා රිළවු. හොස්පිට්වල වාට්ටු ඇතුළට ගිහිල්ලා ඉන්නවා රිළවු. ඒක නිසා පොදු තැනුත් ඔක්කොම ගන්න කිව්වා වනාන්තර හැර. වනාන්තර පරිසර පද්ධතියේ සත්තු හිටියාට කාටවත් ප්‍රශ්නයක් නෑනේ."

 

"සමහර වෙලාවට ඉඩමේ අයිති කෙනා ඒ ප්‍රදේශයේ නැතිනම් එහෙම වෙලාවට අපි බලාපොරොත්තු වෙනවා ඒ තැන වගකීම කාට හරි පවරලා ඒ ස්ථානවල සංගණනය කරන්න."

 

"අපි මේකේ පෙර පුහුණුවක් කලා ඉංගිරියේ ගමක් තෝරගෙන එතනදි තේරුණේ ග්‍රාම නිලධාරින්ට මේක කරන්න අමාරු පැතිවල එයාගේ උදව්වට සමෘද්ධි සංවර්ධන නිලධාරි සහ ආර්ථික සංවර්ධන නිලධාරීන් යොදා ගන්න කියලා."

 

ග්‍රාම නිලධාරීවරුන් ලබා ගන්නා දත්ත ප්‍රදේශීය ලේකම්වරුන් හරහා දිස්ත්‍රික්ක ලේකම්වරුන් මාර්ගයෙන් කෘෂිකර්ම අමාත්‍යංශයට ලබා දීමට කටයුතු කරනු ලැබේ.

 

එම ලැබෙන දත්ත හරහා මිනිස් වාසස්ථානවලට වන සතුන් පැමිණෙන ප්‍රදේශ සිතියම්ගත කරනු ලබන බව අතිරේක ලේකම් දිස්නා රත්නසිංහ පැවසුවා ය.

 

මෙම දත්ත ලබාගෙන ඒවා සිතියම්ගත කර වන සතුන්ගෙන් සිදුවන හානි පිළිබඳ අවබෝධයක් ලබා ගැනීමට මෙන් ම ඉදිරියේ අවශ්‍ය පියවර ගැනීම වෙනුවෙන් සංගණනය සිදු කරනු ලබන බව ද අතිරේක ලේකම්වරිය සඳහන් කළා ය.

 

'වැරදි පූර්වාදර්ශයක් වගේ ම සම්පූර්ණයෙන් අසාර්ථක වැඩක්'

 

මෙම සංගණනය "සම්පූර්ණයෙන් ම අසාර්ථක" කාර්යයක් බව පරිසරවේදී නීතිඥ ජගත් ගුණවර්ධන පවසයි.

 

 

ඔහු පැවසුවේ, "සම්මත ක්‍රමවේදය අනුගමනය නොකර කරන කිසි ම සමීක්ෂණයක් සාර්ථක නෑ. සම්මත ක්‍රමවේදයකට නම්, ඒ සංගණනයට පුහුණු වෙච්ච පිරිසක් ඉන්න ඕනේ. ඊළඟට විශ්වාසනීයත්වය තියෙන්න ඕනේ මෙයා මේ සංගණනය කරයි ද කියන එක. ඒ ටික නැතුව ඉතුරු දේවල් කතා කරලා වැඩක් නෑ," යනුවෙනි.

 

 

දේශපාලන අත පෙවීම මත මෙවැනි දේවල් සිදු කිරීම වැරදි පූර්වාදර්ශයක් විය හැකි බවට ද ඔහු අනතුරු ඇඟවීය.

 

"කෘෂිකර්ම අමාත්‍යංශය නෙමෙයි කරන්න ඕනේ, කෘෂිකර්ම පර්යේෂණ ආයතනයක්. එහෙම ආයතනයක් තියෙනවා නේ. පර්යේෂණ ආයතනවලින් කරන්න ඕන දේවල් මේ විදියට දේශපාලනය මැදිහත් වෙලා කරන එක වැරදි පූර්වාදර්ශයක් වගේ ම සම්පූර්ණ අසාර්ථක වැඩක් වෙනවා."

 

පර්යේෂණ ක්‍රමවේදයක් හා නිර්ණායක පද්ධතියක් පර්යේෂණයක් සඳහා අත්‍යවශ්‍ය බව අවධාරණය කළ පරිසරවේදී නීතිඥ ජගත් ගුණවර්ධන, මහජනයා වෙත පොදු නිවේදන කර සිදුකරන මෙවැනි දේ සම්බන්ධව කතා කිරීම පවා ඵල රහිත දෙයක් බව සඳහන් කළේ ය.

 

මේ අතර, පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල සඳුදා (මාර්තු 03) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී මෙම වන සත්ව සංගණනය උපහාසයට ලක් කළේ මෙසේ ය.

 

"අද ලෝක වනජීවී දිනයේදී මම රිළවුන්ට, වඳුරන්ට මොනරුන්ට සහ දඬුලේනුන්ට කාරුණික ආයාචනයක් කරන්න කැමති යි. අපේ කෘෂිකර්ම නියෝජ්‍ය ඇමතිතුමා මාර්තු 15 දා උදෑසන විනාඩි පහක් තුළ රට පුරා ම මේ සතුන්ගේ සංගණනයක් කරන්න සූදානම් කරලා තිබෙනවා. තමන් වගාවට හානි කරන රිළවෙකු, වඳුරෙකු මොනරෙකු හෝ දඬුලේනෙකු නම් මාර්තු 15 උදෑසන 9.00ට වගාවක් තිබෙන වත්තකට පැමිණ හොඳ සතෙකු වගේ වෙනත් වතු වලට පනින්නේ නැතිව නිසොල්මනේ සිටිමින් ඇමතිතුමාගේ සංගණනයට සහයෝගය දක්වන මෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා. විනාඩි පහ අවසන් වුණා ම නැගිටලා යන්න එපා. මොක ද කෘෂිකර්ම නියෝජ්‍ය ඇමතිතුමා විනාඩි පහක සංගණනයක් ප්‍රකාශ කළත්, පොල් සංවර්ධන අධිකාරියේ සභාපති ප්‍රකාශ කරලා තිබෙන්නේ, විනාඩි දහයක සංගණනයක්. ඒ නිසා එතුමාට අනුකම්පා කරලා තවත් විනාඩි පහක් තමන් සිටින වත්ත තුළ ම රැඳී සිටින ලෙස මේ සතුන්ගෙන් මම ඉල්ලා සිටිනවා."

 

'සංගණනයක් කිරීම හොඳ යි. ඒත් කරන ක්‍රමය ප්‍රශ්නසහගත යි'

 

වන සතුන් සම්බන්ධයෙන් කිසිදු දත්තයක් නොමැති තත්ත්වයකට වඩා මූලික සංගණනයක් සිදු කිරීම යහපත් උත්සහයක් බව කොළඹ විශ්වවිද්‍යාලයේ සත්ව හා පරිසර අධ්‍යයනාංශයේ මහාචාර්ය සම්පත් සෙනෙවිරත්න‍ පවසයි.

 

එහෙත්, ඔහු ප්‍රකාශ කළේ, සාර්ථක සංගණනයක් සිදු කිරීමේදී අනුගමනය කළ යුතු ජාත්‍යන්තර වශයෙන් සම්මත පියවර ගණනාවක් ඇති බව ය.

 

"මූලිකව තෝරා බේරා ගන්න වෙනවා සංගණනයේදී අවධානය යොමු කරන සත්තු කවුරුන් ද යන එක. ඊට පස්සේ, සංගණනය සිදු කරන නිලධාරීන්ට නිසි පුහුණුවක් ලබා දිය යුතු යි. මොක ද සංගණනය සිදු කරන අයට ඒ සතුන් ගැන අවබෝධයක් තිබිය යුතු යි. ඊට පස්සේ, ඒ නිලධාරීන්ට සංගණනය සිදු කිරීම සම්බන්ධයෙන් අනුගමනය කළ යුතු රාමුවක් සකස් කරන්න ඕනේ. දත්ත එක්රැස් කිරීමේ ක්‍රමවේදය කොපමණ දුරට විද්‍යානුකූල ද කියන එක මත තමයි, දත්තවල විශ්වසනීයත්වය තීරණය වෙන්නේ," මහාචාර්ය සම්පත් සෙනෙවිරත්න පැවසීය.

 

ඔහු ප්‍රකාශ කළේ, වන සතුන්ගෙන් බහුලව ම හානි සිදුවන කලාප හඳුනා ගැනීම සඳහා මෙම සංගණනය සිදු කරන්නේ නම් ඉන් සාර්ථක ප්‍රතිඵල ලබා ගත හැකි වනු ඇති බව ය.

 

"මේ වගේ ග්‍රාම නිලධාරීන් වැනි අය යොදවලා නිවැරදි දත්ත ලබා ගන්න පුළුවන්කමක් නෑ. ඔවුන් යොදවලා වගාවට හානි කරන සත්තු බහුල ම ප්‍රදේශ මොනවා ද කියන එක නම් තීරණය කර ගන්න පුළුවන්. එහෙම නැතුව සතුන්ගේ සංඛ්‍යාත්මක දත්ත ලබා ගැනීමක් කරනවා නම් ඒ දත්ත නිවැරදි බවට පිළිගන්න තියෙන ඉඩකඩ ඉතා අඩු යි."

 

@BBC

නවතම ලිපි