"ආණ්ඩුව මූල්‍ය විනයක් ඇතිව වැඩ කරනවා"
- පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක
ජාතික ජන බලවේගය ආණ්ඩුවේ මංගල අය – වැය පිළිබඳ ඇත්තේ කුමන අදහසක් ද? එම අය වැය රටේ යහපත සහ ආර්ථික ස්ථාවරය වෙනුවෙන් කෙතෙක්දුරට බලපාන්නේ ද? ඇතුළු කාලීන දේශපාලන කරුණු කාරණා පිළිබඳව හිටපු මුදල් ඇමැතිවරයකු ද වන නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක සමඟ දිනමිණ පුවත්පත සිදු කළ සාකච්ඡාවක් මේ.
මෙවර ආණ්ඩුව ඉදිරිපත් කළ අය – වැය පිළිබඳව ඔබේ අදහස කුමක් ද?
අපි පසුගිය කාලයේ අනුගමනය කළ ක්‍රියාමාර්ග හා ආර්ථික පිළිවෙත් ලොකු වෙනස්කම්වලට භාජනය නොකරමින් සිදු කළ අය – වැය යෝජනාවලියක් විදිහට තමයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරිපත් කළ 2025 අය – වැය පිළිබඳව මූලික වශයෙන් නිරීක්ෂණය කරද්දී පැහැදිලි වන්නේ ඇත්තෙන්ම මේ අවස්ථාවේ පවා රටේ තිබෙන්නේ සියයට සියයක් ස්ථාවර ආර්ථික තත්ත්වයක් නොවෙයි. ඒක අප සියලු දෙනා පක්ෂ භේදයකින්, මතවාද භේදයකින් තොරව පිළිගත යුතු කරුණක්. ඒ නිසා මේ අවස්ථාව කියන්නේ, සීරුමාරුවට කටයුතු කළ අවස්ථාවක් විදිහටයි මම දකින්නේ. ඒ තත්ත්වය තුළ මූල්‍ය විනයක් සහිතව ඉදිරිපත් කළ අය – වැයක් විදිහට හඳුන්වාදීමේ වරදක් නැහැ.
මූල්‍ය විනය කියන දේ රටකට අත්‍යවශ්‍ය දෙයක් විදිහටයි මම දකින්නේ. සිදු කරගෙන පැමිණි ප්‍රතිපත්ති රාමුව එකවර වෙනස් නොකර කටයුතු කිරීම තුළ රටට ආර්ථික වශයෙන් සිදුවිය හැකි හානිකර තත්ත්වයන් වළක්වා ගැනීමට පුළුවන්කම ලැබීම ගැන යම් ඇගැයුමක් කළ යුතුයි.
2015 වර්ෂයේදී අප අනුගමනය කළ ආර්ථික ක්‍රියාමාර්ග 2019 දක්වා ඉදිරියට ක්‍රියාත්මක වුණා. නැවතත් 2023 සහ 2024 සඳහාත් මේ ආකාරයේ ආර්ථික සහ අය – වැය ක්‍රියාමාර්ගයක් අප අනුගමනය කළා. ඒ ක්‍රියාමාර්ගයේම ඉදිරියක් විදිහටයි අනුර කුමාර දිසානායක මහතා ඉදිරිපත් කළ මෙම වර්ෂය සඳහා අය – වැය හඳුන්වා දෙන්න පුළුවන්කම තිබෙන්නේ.
ඔබ කියන්නේ 2025 අය – වැය තුළ නිර්මාණශීලී භාවයක් නැති බවද ?
ඔව්. අපි ක්‍රියාත්මක කළ පිළිවෙතම අනුගමනය කිරීම නිසා අපට කියන්න බැහැ මේ අය – වැය තුළ නිර්මාණාත්මක දෙයක් තියෙනවා කියලා. අපේ ආණ්ඩු කාලයේ ක්‍රියාත්මක කළ ප්‍රතිපත්තිවල දිගුවක් විදිහටයි මම මෙම අය – වැය දකින්නේ. ඒත්, මම මේ අවස්ථාවේ දකින්නේ රටේ ආර්ථිකය ලොකු වෙනස්කම්වලට භාජනය නොකර කටයුතු කිරීම හොඳ දෙයක් කියලා. එය රටට සුබදායක දෙයක් විදිහටයි මම විශ්වාස කරනවා.
ජේ. ආර්. ජයවර්ධන මහතාගේ ආණ්ඩුව විසින් ආරම්භ කළ විවෘත ආර්ථිකය ක්‍රියාත්මක කිරීමත් ඒ ක්‍රියාමාර්ග සහ පිළිවෙත් ඉදිරියටත් ක්‍රියාත්මක කිරීම හොඳ දෙයක්, අනෙක රට ආර්ථික අර්බුදයක් වෙත මුහුණදී නැවත ස්ථාවර වෙමින් සිටින මොහොතක හදිසි වෙනස්කම් අත්හදා බැලීම් කිරීමට වඩා පවත්වාගෙන යන ක්‍රමය ඉදිරියටත් පවත්වාගෙන යාම රටට හොඳ දෙයක් විදිහට සඳහන් කරන්න පුළුවන්.
මේ අවස්ථාවේදී අපි අවධානයෙන් බැලිය යුත්තේ, අපේ රටේ ආර්ථිකය ස්ථාවර ලෙස ඉදිරියට අරන් යන්නේ කොහොමද කියන කාරුණයි. ඒ ස්ථාවරත්වය ඇති කරද්දී අපේ පක්ෂය මොකක්ද අපි නිල්ද කොළද රතුද කියන භේදයෙන් නොවෙයි වැඩ කළ යුත්තේ.
අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ පදයට අපේ රට නැටවෙන බවට ඇතැමුන් ප්‍රකාශ කරනවා. මේ ගැන ඔබට යම් අදහසක් වෙත්ද?
අන්තර්ජාතික මූල්‍ය අරමුදල අප රටට කොන්දේසි දෙකක් දමා තිබෙනවා. ඒ කොන්දේසි නරක කොන්දේසි නොවෙයි. ඒ කොන්දේසි අතර අපට රටක් විදිහට වියදම් කළ හැකි මුදල් ප්‍රතිශතයක් තිබෙනවා. ඒක ජාතික ආදායමෙන් සියයට දහතුනක ප්‍රමාණයක් පමණයි. ආදායම බිලියන සියයක් හෙව්වත් වියදම් කිරීම සියයට දහතුනකට සීමා වෙලා තිබෙනවා. ඒ තත්ත්වය තුළ අපට රටක් විදිහට යම් සීමාවක් ඇතිව කටයුතු කිරීමට සිදුවීම තුළ මූල්‍ය විනයක් ඇති කර ගැනීමට පුළුවන්කම ලැබී තිබෙනවා. ඒ නිසා අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ මැදහත්වීමේ වරදක් මා නම් දකින්නේ නැහැ. මම මුදල් ඇමැතිවරයා විදිහට සිටියදී ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ඉතුරුම් සඳහා පොලී අනුපාතය සියයට පහළොව දක්වා වැඩි කළා.
රජයේ සහ පෞද්ගලික අංශයේ වැටුප් ඉහළ දැමීම පිළිබඳ සමාජය තුළ ලොකු කතාබහක් තිබෙනවා. මේ ගැන ඔබේ අදහස කුමක්ද ?
රජයේ වැටුප් වැඩිවීම සාමාන්‍යක් විදිහට ගත්තාම මාසිකව රුපියල් පන්දහසකින් වැඩි වෙලා තිබෙන්නේ. එහෙත් පෞද්ගලික අංශයේ වැටුප් වැඩි කළ යුතු බව රජය යෝජනා කරන්නේ රාජ්‍ය අංශයේ වැටුප් වැඩි වීමටත් වැඩියෙන්. එහෙත් මේ විදිහේ වැටුප් වැඩිවීමක් සහිතව පෞද්ගලික අංශය පවත්වාගෙන යන්නේ කොහොමද කියන එක ගැටලුවක් විදිහටයි මට වැටහෙන්නේ. මම කියන්නේ නැහැ පෞද්ගලික අංශයේ සේවකයන්ට වැටුප් වැඩි කරන්න එපා කියලා. ඒත් මේ වගේ තීරණ ගනිද්දී වඩාත් දුර දිග බලා වැඩ කළ යුතුයි.
තරුණ තරුණියන් සහ කාන්තාවන් ව්‍යවසායකයන් ලෙස ශක්තිමත් කිරීම අය – වැය තුළ සඳහන් කර තිබෙන ප්‍රමාණය පිළිබඳව ඔබේ අදහස මොකක්ද?
අවංකවම මම අපේක්ෂා කළා තරුණ තරුණියන් ගැන. කාන්තාවන් ගැන. අය – වැය යෝජනාවල යම් තැනක් ලැබෙයි කියලා.
එහෙත් අය – වැය යෝජනා කරද්දී පැහැදිලිවන දෙයක් තමයි, තරුණ තරුණියන් කාන්තාවන් ගැන දක්වා තිබෙන අවධානය ප්‍රමාණවත් නෑ. ඇත්තෙන්ම අපේ රට දියුණු වෙන්න නම් අලුත් තරුණ ව්‍යවසායකයන් වෙත අවස්ථාව ලැබෙන්න ඕනෑ. කාන්තා ව්‍යවසායකයන් වැඩි වැඩියෙන් බිහිවෙන්න ඕනෑ.
ඒක ඉබේ සිදුවන දෙයක් නොවෙයි. එයට ආණ්ඩුව පාර්ශ්වයෙන් සහායක් ලැබෙන්න ඕනෑ. තරුණ ඡන්දවලින්, කාන්තා ඡන්දවලින් ජය ගත් ආණ්ඩුවට මේ පිරිස් ගැන අවධානය මීට වඩා යොමු කළ යුතුව තිබුණා. එහෙත් ඒක නිසියාකාරව සිදු නොවීම ගැන කනාගාටුවට පත්වෙනවා.
අප රට නැවත ණය ගෙවීම් සිදු කරන්නේ 2028 වර්ෂයෙන් පසුවයි. ඒ ණය ගෙවීම් තුළ අප නැවතත් සිරවීමකට ලක්වීමට ඉඩ තිබෙනවා. මේ සඳහා අප රටක් විදිහට සූදානම් විය යුත්තේ කොහොමද?
අපේ රට වැටෙනවාට අපි කැමැති නැහැ. අපේ රට මේ ආර්ථික අර්බුදයෙන් ගොඩ ගොස් සාර්ථක රටක් වීම තමයි අපේ අපේක්ෂාව. අපි ඉදිරියේදී ණය ගෙවීම සඳහා වැඩපිළිවෙළක් කඩිනමින් ආරම්භ කළ යුතුයි. සැලසුම් කළ යුතුයි. 2028දී නොව අප දැන්ම තියා මේ ණය ගෙවන්නේ කොහොමද කියන සැලසුම් ක්‍රියාත්මක කළ යුතුයි.
නාස්තිය නතර කිරීමේ ක්‍රමවේදය පිළිබඳ ඔබට ඇත්තේ කුමන අදහසක්ද ?
ඇත්තෙන්ම නාස්තිය නැවැත්වීම හොඳයි. හොඳ දේ අගය කිරීම තමයි අපේ ප්‍රතිපත්තිය. ඒත්, නාස්තිය නිසා ඉතිරිවන මුදල් ප්‍රමාණය යොදවන්නේ මොනවාටද කියන දේ සොයා බැලිය යුතුයි. එසේ කිරීම මඟින් නාස්තිය පිටුදකින මේ වැඩපිළිවෙළට වැඩි අගයක් ලබා ගැනීමට පුළුවන්කම තිබෙනවා.
ආයෝජන දිරිගැන්වීම රට නැවත නඟා සිටුවීමට ගත යුතු ප්‍රධාන ක්‍රියාමාර්ගයක් විදිහටයි සඳහන් වෙන්නේ?
අනිවාර්යෙන්ම ආයෝජකයන් දිරිගැන්වීම සඳහා කටයුතු කළ යුතුයි. ඒ සඳහා ක්‍රියාමාර්ග ගන්න ඕනෑ. බදු ප්‍රතිපත්තිය තුළ වෙනස්කම් වගේම දූෂණයෙන් තොරව මේ කාර්ය ඉදිරියට කරගෙන යාමට හැකි වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීමට කටයුතු කළ යුතුයි. නැඟෙනහිර යුරෝපයේ යම් කාර්යක් සඳහා ෆයිල් එකක් යොමු කර එයට දින තුනක් තුළ ප්‍රතිචාරයක් ලැබුණේ නැතිනම් එම ෆයිල් එක පිළිගැනීමක් විදිහටයි සලකනු ලබන්නේ. අපත් මේ ආකාරයේ රැඩිකල් තීරණවලට යා යුතුයි. එහෙම කළොත් තමයි අපට ආයෝජකයන් වෙත රට වඩාත් පහසු තැනක් බවට පත්කර ගැනීමට පුළුවන්කම ලැබෙන්නේ.
මේ ආණ්ඩුව ගමන් කරන ආර්ථික දිශානතිය ගැන ඔබට ඇත්තේ කුමන අදහසක්ද ?
ඇත්තෙන්ම ආණ්ඩුව මූල්‍ය විනයක් ඇතිව කටයුතු කරනවා. මම ඒ ගැන පෙරත් සඳහන් කළා. ඉලක්ක ගත ගමනක් යන බවත් පෙනෙනවා. ආණ්ඩුවේ ගමන මෙසේ වේ යැයි සිහින දකින්නන් සිටියා. ඒත් ඔවුන්ගේ සිහින ගමන නොවෙයි යථාර්ථවාදිව මූල්‍ය විනයක් ඇතිව ගමනක් යාමට මේ ආණ්ඩුව උත්සාහ කරන ආකාරයක් අපට පෙනෙනවා.
දේශීය නිෂ්පාදන ආර්ථිකය ගොඩනැඟීම වැනි අදහස් නැවත මතුව ඇවිත්. ඒවා කෙතෙක් දුරට ප්‍රායෝගිකද ?
මම නම් කියන්නේ තරගකාරීත්වය තුළින් පාරිභෝගිකයාට වාසියක් සලසා දීමයි විය යුත්තේ. එසේ වීම තුළිනුයි හොඳ ක්‍රියාවලියක් ගොඩනැඟෙන්නේ. කෘෂිකර්මාන්තය වුවද වඩාත් ඵලදායක, වැඩි අස්වැන්න, ඉහළ තාක්ෂණය වෙත අප යොමු විය යුතුයි. අලුත් නිෂ්පාදන ආර්ථිකයක් වෙත ගමන් කිරීමට එවැනි ක්‍රියාමාර්ගවලින් පුළුවන්කම ලැබෙනවා.
වාහන ආනයනය තුළ මෙරට ආර්ථිකයට ලොකු බලපෑමක් වීමට ඉඩක් තිබෙනවාද?
වාහන ආනයනය පිළිබඳව මම දරන්නේ ජනප්‍රිය මතයක් නොවෙයි. පනස්දහසක ලක්ෂයක පිරිසකට වඩා අපට වටින්නේ කෝටි දෙකකට වැඩි පොදු ජනතාවයි.
ඒ නිසා වාහන ගෙන එනවා නම් කළ යුතුව තිබුණේ සාමාන්‍ය ජනතාවට ප්‍රතිඵලදායක වාහන ආනයනය කිරීමයි. අද වෙන්නේ විදේශ රටවල ලක්ෂ විස්සක වාහනයක් අපේ රට තුළ රුපියල් කෝටි දෙකකට කිට්ටුව විකිණීමයි.
ඒ නිසා කළ යුතුව තිබෙන්නේ සාමාන්‍ය ජනතාවට ප්‍රයෝජනවත් වාහන ප්‍රමාණයක් ආනයනය කිරීමයි. ඒත් මේ ආනයනය කිරීම් ඉතාමත් කල්පනාවෙන් කළ යුතු දේවල්.
සාකච්ඡාව - උදිත ගුණවර්ධන
ඡායාරූපය :- රුක්මාල් ගමගේ
@dinamina