උමතු රෝගීන්ගේ තොරොම්බල් ඉවත් කර, කොණ්ඩ රැවුල් කපා, පිළිවෙලට ඇඳුම් අන්දා,
තොරොම්බල් අයින් කිරීමෙන් ඔවුන්ගේ මානසික ව්‍යාධිය ඉවත් නොවන්නා සේම, පොදු ප්‍රවාහනය මතුපිටින් කිසියම් ආකාරයකට යම් වෙනස්කම් කිරීමෙන් පමණක් අභ්‍යන්තර වෙනසක් සිදු නොවන බව එක්සත් ජනරජ පෙරමුණේ නායක, හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක කියයි.
ආණ්ඩුවේ Clean Sri Lanka වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමේ දී පොදු ප්‍රවාහන මාධ්‍ය වන බස් රථ සහ ත්‍රි රෝද රථවලට සවිකර තිබෙන අමතර අංගෝපාංග ඉවත් කිරීම ඉතා ම හොඳ දෙයක් බව ඔහු පෙන්වා දෙයි. එහෙත් මෙම ක්‍රියාවලියට රටේ පොදු ප්‍රවාහන ප්රශ්නය විසඳිය නොහැකි පොදු ප්‍රවාහනයේ ගැඹුරු ප්‍රශ්න මීට හසු නොවන බවත්, ඔහු පෙන්වා දෙයි.
ජනරජ නායකයා මේ බව ප්‍රකාශ කළේ ‘පොදු ප්‍රවාහනය’ පිළිබඳ එක්සත් ජනරජ පෙරමුණ විසින් සංවිධානය කරන ලද මාධ්‍ය හමුවකට එක්වෙමිනි.
“ආණ්ඩුව බලයට පත්වුණාට පස්සේ මේ අනුර හරිනි ආණ්ඩුව ප්‍රථම සහ බලගතු ව්‍යාපෘතිය හැටියට මෙය ජනවාරි පළවෙනිදා අඳුන්වලා දීලා තියෙනවා. ඒ සඳහා කාර්ය සාධන බලකායක් නම් කර තියෙනවා. ජනාධිපතිතුමාගේ ප්‍රකාශයට අනුව, Clean Sri Lanka කියන්නේ, හුදු කසල කළමනාකරණ ව්‍යාපෘතියක් නෙවෙයි. විශේෂයෙන්ම රටේ ප්‍රවාහන ක්ෂේත්රය, රටේ දූෂණ සහ අක්‍රමිකතා ක්ෂේත්‍ර මේ සියලුම රාජ්‍ය අංශය, පුද්ගලික අංශය ඇතුලත් මේ ක්‍රියාවලීන් සියල්ලම ඇතුලත් ව්‍යාපෘතියක් හැටියට තමයි මේ හඳුන්වලා දීලා ක්‍රියාත්මක වෙන්නේ.
ජනාධිපතිවරණයට කලින් ජනාධිපතිතුමා සිය ප්‍රවාහන ප්‍රතිපත්තිය ඉදිරිපත් කළේ සෑම තරුණයෙකුටම ජපන් මෝටර් සයිකලයක් ගන්න ඉඩ දෙනවා. ඒ වගේම මධ්‍යම පාන්තික පවුල්වලට මෝටර් රථයක් ලබා ගැනීමට හැකි පරිසරය ඇති කරනවා වගේ පොරොන්දු වලියක් තමයි ලබා දුන්නේ. ඊට අමතරව තෙල් වලට ගහලා තියෙන අධික බදු ඉවත් කරනවා. විදුලි ගාස්තු තුනෙන් එකකින් අඩු කරන බව තමයි ප්‍රකාශ කළේ. දැන් ඒ කිසිවක් ඉටු වෙලා නැති තත්ත්වය තුළ මං හිතන්නේ මේ පොදු ප්‍රවාහනය පිළිබඳ විධිමත් සාකච්ඡාවක් අවශ්‍යයි රටට.”
පාඨලී පෙන්වා දෙන්නේ රටේ පොදු ප්‍රවාහන පද්ධතියේ ගැටළු රාශියක් පවතින බව ය; බස් රථවල ගුණාත්මකභාවය පහළ මට්ටමක පවතී. බස් රථ හිමිකරුවන් අතර තරඟයක් නොමැති අතර බලපත්‍ර ලබා ගැනීමේ දී දුෂණ සිදුවේ. විධිමත් බස් සමාගම් පද්ධතියක් නොමැත. බස් රථ සේවකයින්ට සුදුසු පුහුණුවක් හා වැටුපක් නොලැබේ. බස් ගාස්තු අධික වන අතර බස් හිමියන්ට පමණක් මින් ප්රතිලාභ ලැබෙන බව ද හෙතෙම ප්‍රකාශ කරයි.
“අද පොදු ප්‍රවාහනයේ ප්රශ්නය පලවෙනි එකම මගී ප්‍රවාහන බස් රථ ඇණියක් ලංකාවේ නැහැ. අපේ ලංගම සතුව තියෙන බස් පන්දහසකට ආසන්න ප්‍රමාණයක් පුද්ගලික අංශය සතුව තියෙන බස් විසිදහසකට ආසන්න ප්‍රමාණයක් මේ බස් නෙවෙයි මේවා ලොරි බොඩි. උඩ දුවන වාහන. මේවා අපිට සපයන ඉන්දියාවේ අද මේ බස් රථ දිල්ලි නගරයේ හෝ බැංගලෝර් නගරයේ හෝ නෑ. ඒ නිසා පළවෙනි දේ තමයි දැන් වාහන ආනයනය කරන්නත් සූදානම් වෙන වෙලාවේ මිනිස්සුන්ට මිනිස්සු හැටියට යන්න පුළුවන්, මගීන් හැටියට යන්න පුළුවන්, මගී බස්රථ ඇණයක් හඳුන්වා දෙන්න. ඒක තමයි කළ යුතු දේ.
දෙවැනියට මේ දැනට තියෙන ලොරි බස් ඇණිය ක්‍රමානුකූලව මාර්ගවලින් ඉවත් කරන්න කටයුතු කරන්න. මොකද මගී බස් රථයක කරුණු කිහිපයක් තියෙනවා. දුර ගමන් සේවා යද්දි වාඩිවෙලා යන්න පුළුවන් ප්‍රතිශතය වැඩි වෙන්න ඕනේ. ළඟ ගමන් තියෙද්දි හිටගෙන තමන්ගේ ගමනාන්තය කරා යන්න ඉඩකඩ තියෙන්න ඕනේ. ඒ වගේම ලෝ ෆ්ලෝ වෙන්න ඕනේ. ඒ කියන්නේ පහළින් තියෙන්න ඕනේ. ඒ වගේම බස් එකේ සීට් එක වඩා පළල් තැනක් බවට පත්වෙන්න ඕනේ. මේ සම්බන්ධයෙන් වෙච්ච අංග සම්පූර්ණ වැඩපිළිවෙළක් අපි ඉදිරිපත් කළා. ඒ වගේම අපේ හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර මැතිතුමා අපි බස් රථ හිමියෝත් එක්ක කතා කරලා ඔවුන්ට මේ බස් ගෙන ඒම සඳහා විශේෂ ණය යෝජනා ක්‍රමයක් 2019 දී හඳුන්වලා දුන්නා. මේ ලොරි බස් ක්‍රමානුකූලව ඉවත් කරලා මගී බස්රථ හඳුන්වාදීමේ ක්‍රමවේදයක්. අනික තමයි මේ අද මේ ඇතිවෙලා තියෙන ලොකුම ප්රශ්නය බස්රථ විසිදාහකට ආසන්න ප්‍රමාණය. පහළොස් දහසක් පමණ අයිතිකරුවන් ඉන්නවා. එතකොට මේ හැම අයිතිකරුවෙකුටම ප්‍රශ්නයක් තියෙනවා මේ බස් එකට ආයෝජනය කළාට පස්සේ වැඩි ලාභ උපයන්නේ කොහොමද බස් රථ සේවය පවත්වාගෙන යන්නේ කොහොමද කියලා. මේ නිසා බලපත්‍ර ලබාගැනීමේ ලොකු තරඟයක් තියෙනවා. කිසියම් ආකාරයක මාෆියාවක් තියෙනවා. සමහරු බලපත්‍රය ගත්තට බස් එක පාරට දාන්නෑ. බලපත්‍ර විකුණනවා. ඒ වගේම විධිමත් කාලසටහනක් නෑ. විධිමත් නියාමනයක් ඔය අ දැනට තියෙන මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ දැනට ක්‍රියාත්මක වෙන්නේ නෑ. ඒ නිසා කළ යුතු දේ තමයි අපි ඒ කාලේ යෝජනා කළ පරිද්දෙන් යහපාලන සමයේ මේ රටේ වෘත්තීයවේදී පිරිස් යෝජනා කළ පරිද්දෙන් කොන්ත්‍රාත් සැලසුමට අනුව බස් සමාගම් පිහිටවන්න".
ශ්‍රී ලංකාව වැනි ජනාකීර්ණ රටක ප්‍රවාහන ගැටලුව විසඳීම සඳහා කුඩා වාහන පමණක් භාවිතා කිරීම ප්‍රායෝගික නොවේ. වාහන ලක්ෂ 8ක් පමණ දැනටමත් රට තුළ තිබීම මෙයට හේතුවක් වේ. එබැවින් පොදු ප්‍රවාහන පද්ධතිය ශක්තිමත් කිරීම අත්‍යාවශ්‍ය වේ. බස් සේවා වැඩිදියුණු කිරීම සඳහා වන ප්‍රධාන යෝජනා ලෙස බස් රථ ඇණිය සමාගම්කරණය කිරීම, බස් රියදුරන් සඳහා විධිමත් පුහුණුවක් සහ සහතිකයක් අනිවාර්ය කිරීම, රියදුරන්ගේ රැකියා සුරක්ෂිතභාවය සහතික කිරීම සඳහා EPF, ETF වැනි පහසුකම් ලබා දීම ඇතුළුව බස් සේවා වඩාත් කාර්යක්ෂම ලෙස ක්‍රියාත්මක කිරීම සඳහා විධිමත් පද්ධතියක් ඇති කිරීම ඔහු පෙන්වා දෙයි. ඊ-මොබිලිටි තාක්ෂණය තුළින් දුම්රිය, බස් රථ, ත්‍රීරෝද රථ, පෞද්ගලික මෝටර් සයිකල් සහ කාර් යන සියලුම ප්‍රවාහන මාධ්‍ය සඳහා ඊ-මොබිලිටි ඇප් එකක් හඳුන්වා දීම. මෙම ඇප් එක මගින් සියලුම ප්‍රවාහන සේවා එකම වේදිකාවකට ගෙන ඒමේ අවශ්‍යතාව ද, හෙතෙම අවධාරණය කරයි.
“මූලික ගැටළු හඳුනාගන්නේ නැතුව වහාම තියෙන තොරොම්බල්, බුදු පිළිම අයින් කරන්න ගිහිල්ලා ඒ බස් රථ හිමියෝ එක්කත් එහෙම නැත්නම් රියදුරන් එක්කත් එහෙම නැත්නම් ත්‍රිවිල් හිමියන් එක්කත් ගැටුම් ඇති කරගන් නැතුව අභ්‍යන්තරයෙන් මේ ප්රශ්නය විසඳා ගැනීම සඳහා රජය විද්‍යානුකූලව එළඹිය යුතුයි.”
“ඩීසල් බද්ද රුපියල් අනූවක් ලීටරයකට, ඒක අඩු කරන්න. අඩු කරලා මේ පොදු ප්‍රවාහනය ශක්තිමත් කරන්න. බස් වල තොරොම්බල් ගැලෙව්වයි කියලා, බස් රථ වලට මිනිස්සු මගීන් එන්නේ නැහැ. අද 40% කට ආසන්න ප්‍රමාණයක් මේ බස් රථ වල යන්නේ. මේක 80% ක් තිබුණා. පහුගිය කාලේ 52% ක් තිබුණා. දැන් මේක හතලිහට වැටිලා තියෙන්නේ මේ බස් ගාස්තුව ගෙවාගන්න බැරුව මිනිස්සුන්ට. ඒක නිසා කරුණාකරලා තව කතා පවත්වන්නේ නැතුව මේ ඩීසල් බද්ද අයින් කරලා යම් කිසි ප්‍රමාණයකට හෝ අයින් කරලා ප්‍රවාහන ගාස්තු අඩු කරන්න. එතකොට බස් එකට මිනිස්සු එයි. මෙහෙම සංයුක්ත වැඩ පිළිවෙලකින් තොරව එතනින් මෙතනින් ක්‍රියා නිසා සියල්ල අවුල් කරගන්න එපා ගෝඨාභය රාජපක්ෂ මහත්තයා කලා වගේ කියන එක අපි මේ Clean Sri Lanka එකෙන් ඉල්ලනවා.”
එමෙන්ම, ශ්‍රී ලංකාවේ කසල කළමනාකරණය සඳහා විද්‍යාත්මක පදනමක් මත ක්‍රියාත්මක වන වැඩපිළිවෙලක් අවශ්‍ය බව ද, පාඨලී චම්පික රණවක පවසයි.
“මේ රටේ විද්‍යාත්මක කසළ කළමනාකරණයකට බොහෝවිට විශාල බාධාවක් කරපු පක්ෂයක් තමයි ජනතා විමුක්ති පෙරමුණ ඒක කියන්නම ඕනේ. මොකද වග කරු ජයසූරිය මහත්තයා හදන්න ගියා විද්‍යාත්මක කසල රඳවනයක්. ඒකට විරුද්ධව එදා 1997 දී පාරට බැස්සා. ඊළඟට මීපේ හදන්න ගියා අපි. ඒකට විරුද්ධව පාරට බැස්සා. දොම්පේ හදන්න ගියා. උපවාස කළා. කඩාකප්පල්කාරී ක්‍රියා කළා. හැබැයි ඒක අපි හැදුවා. අරුවක්කාරු වල හදන්න ගියාම මේක බෝම්බයක් කිව්වා ඇවිල්ලා ජවිපෙ ක්‍රියාකාරිකයෙක්. කියලා පළාතේ මිනිස්සු කරලා ඒ ස්ථානයට පහර දුන්නා. දැන් ඒවා අපි අමතක කරමු.”
ශ්‍රමදාන මගින් එතනින් මෙතනින් කසල ඉවත් කරන්න අවශ්‍ය නොවන අතර, සෑම ප්‍රාදේශීය සභාවකම නගර සභාවකම කසල සම්බන්ධයෙන් වැඩපිළිවෙළක් තිබේ. ඒ වැඩපිළිවෙළ විධිමත් කරන්න මීතොටමුල්ලේ ඛේදවාචකයෙන් පස්සේ විධිමත් වැඩපිළිවෙළක් තම පාලන කාලය තුළ කොළඹ නගරය හා අවට කලාපයට හඳුන්වා දුන් බවත්, ඒ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන ලෙසත් රණවක මහතා ආණ්ඩුවෙන් ඉල්ලා සිටියේය.
“අරුවක්කාරු ව්‍යාපෘතිය කරුණාකරලා ක්‍රියාත්මක කරන්න, ඒකට අවශ්‍ය ඒ දුම්රිය පද්ධතිය එක්ක ඒ කටයුත්ත කලානම් ඔය දැන් ගොඩනැගෙන කසල කදු විශේෂයෙන්ම මේ පිළියන්දල ප්‍රදේශයේ නවත්තන්න පුළුවන්. කසළින් විදුලිය නිපදවන ව්‍යාපෘති තුනක් අපි අඳුන්වලා දුන්නා. එකයි ක්‍රියාත්මක වුණේ. අනිත් එක ඒ ව්‍යාපාරිකයා බංකොලොත් වීම නිසා නැති වුණා. අනිත් එක බලපත් ප්‍රශ්නයක් මත නැති වුණා. කරුණාකරලා ලංකා විදුලිබල මණ්ඩලයත් එක්ක අලුතෙන් ටෙන්ඩර් කැඳවලා ඔය වේරහැර ප්‍රදේශයේ කසළ ප්රශ්නය විසඳීම සඳහා කසළින් විදුලි ව්‍යාපෘතීන් නැවත ගේන්න.”
මෙහිදී මාධ්‍යවේදීන් විසින් නගන ලද ප්‍රශ්නවලට පිළිතුරු දුන් පාඨලී චම්පික රණවක;
ප්රශ්නය:
2015 පමණක් නෙමෙයි පහුගිය වසරේ අපි දැක්කා රනිල් වික්‍රමසිංහ මහත්තයා ඉන්නකොටත් ඔය කෑලි ගලවන එක බස් වල නිල් රැජන හිටියා, ගම් රැජින හිටියා, දුඹුරු ලමිස්සි හිටියා අපි දැක්කා එකසිය ගානක් පිටකොටුවට ගෙනල්ලා කෑලි ගලවනවා එදා සමහරක් අය විරුද්ධ වුනා රනිල්ට වෙන දෙයක් කරන්න නැද්ද, මේ කෑලි ගලවන එක ලංකාවේ තියෙන දැවෙන ප්රශ්නය කියන්න, දැන් එහෙම කියපු අය දැන් කෑලි ගලවනවා, මොකක්ද මේ වෙනස එතකොට එදා හොද නැති වෙච්ච රනිල්ගේ වැඩපිළිවෙළ නෙමෙයිද මේ ගෙනියන්නේ?
පිළිතුර:
රනිල් වික්‍රමසිංහ කලත්, ගෝඨාභය රාජපක්ෂ කලත්, අනුර දිසානායක කලත් ඒවායින් යම්කිසි ප්‍රයෝජනයක් තියෙනවා නම් ඒවායින් මගීන්ට යම්කිසි ආකාරයක කරදරකාරී, ඝෝෂාකාරී තත්වයක් මගී ප්‍රවාහනයේ තියෙනවා නම්, ඒවා ඉවත් කිරීම කළ යුතුයි වගකිවයුතු රජයක් හැටියට. අනිත් පැත්තෙන් මේ මගී ප්‍රවාහන වාහන වලට බලපත්‍ර දෙද්දී ඒ බලපත්‍රයේම ලියලා තියෙනවා බස් රථය පවත්වාගෙන යා යුතු ආකාරය ගැන. එතකොට ඒක නියාමනය කිරීමට ඒ ඒ ආයතන බැඳිලා ඉන්නවා. ඉතින් මෙතන වැදගත් ප් රශ්නය අපි අඳුනාගන්න ඕකෙන් මේ ප්‍රවාහන ප්රශ්නය විසඳෙන්නේ නැහැ, විසඳන්න මේ ලොරි බස් අයින් කරන්න. මගී බස් සේවයක් අඳුන්වලා දෙන්න. බස් හදන්න. නියාමනය කරන්න. ඊමොබිලිටි එක හඳුන්වලා දෙන්න. ඒ ඇප් එක හඳුන්වලා දෙන්න. පොදු ප්‍රවාහන මධ්‍යස්ථාන හදන්න. දැන් අපි ඔය කාරණා කරගෙන යන කොට අපි බස්වල දේව රූප ගලවන්න ගියෙත් නැහැ. බුද්ධ රූප ගලවන්න ගියෙත් නැහැ. තොරොම්බල් ගලවන්න ගියෙත් නැහැ. අපි විධිමත් වැඩසටහනක් එක්ක තමයි ගියේ. ඒ නිසා පදනම හැදුවට පස්සේ නියාමනය කළාට පස්සේ, බස් රථයක් පාරට දාන්නම බැහැ. ඔය වගේ කාර්ය දාමයක් එක්ක.
ප්රශ්නය:
දැන් පසුගිය කාලයේ ඊට පස්සේ විරෝධතා ආවට පස්සේ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව විසින් නීත්‍යානුකූල අයිතියක් දුන්නා. සල්ලි ගෙවලා මේ තොරොම්බල් හයි කරගන්න පුළුවන් කියලා. දැන් එහෙම වෙච්ච මිනිස්සුන්ට මොකද වෙන්නේ?
පිළිතුර:
එන්. ටී. සී. එක මේ කොමිෂන් එක තමයි නියාමනය කරන්නේ. මෝටර් රථ කොමසාරිස්ලා බලන්න ඕන ඒ කියන්නේ මාර්ගයේ අවහිරතා ආදී දේවල් ගැන. මගී ප්‍රවාහනය ගැන තීරණ ගන්නේ එන්. ටී. සී. එක. පුළුවන් බලපත්‍ර ලබා දෙද්දී කවර ආකාරයේ බස් රථයක්ද පාරේ දුවන්නේ කියලා තීරණය කරන්න. ඒකට පටහැනිව ක්‍රියා කරනවා නම්, ඒගොල්ලන්ගේ බලපත්‍ර අහෝසි කරන්න.
ප්රශ්නය:
ඔබ හොඳ යෝජනාවක් ගෙනාවා. මේ ලොරි බස්නේ තියෙන්නේ?
පිළිතුර:
ඔව්. ලොරි බොඩි ගහන්නේ ලංකාවට ගෙනල්ලා. මේවා නෙමෙයිනේ බස්. අපි දැක්කා සමාජ මාධ්‍යවල දාලා තියෙනවා මේ බස් එකයි ජපානයේ තියෙන බස් එකයි පෝලිම් දෙක ගහලා. එතකොට ඒ බස් හරි ලස්සනයි. ඒ බස් ගේන වැඩපිළිවෙලක් අපි ගෙනාවනේ. මංගල සමරවීර ඇමතිතුමත් එක්ක අපි කතා කරලා ඒ සඳහා ණය යෝජනා ක්‍රමයකුත් දුන්නා. දැන් වෙලා තියෙන්නේ මේ බස් දැනට තියෙන ලොරි බස් වගේ තුන් ගුණයක් විතර ගණන් ඔය කියන බස්. ඒ වගේම අනිත් හැම රටකම ඉන්දියාවේ, චීනයේ හැම රටකම මේ විදුලි බස් රථ, එහෙම නැත්නම් ගෑස් බස් රථ පාරට දාන්න විශේෂ ඒගොල්ලන්ට සහන ක්‍රියාවලියක්, බදු සහන ආදිය ලබා දෙනවා. කෙටි කාලයකට. එහෙම නැතුව සියලු බදුත් එක්ක මේක කරන්න බැහැ. උදාහරණයක් හැටියට අපි බස් ගෙන්නන්න තීරණය කළාට පස්සේ කස්ටම් ඩියුටි එකෙන් නම් රට දුවන්න යන්නේ ඒවයේ බස් වලින් බදු ගහලා එතකොට ඔය වැඩේ වෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා අපේ ඉල්ලීම බදු සහන ක්‍රියාවලියක් ඇති කරන්න. ඇත්තටම විදුලි බස් රථ ගැන කිව්වොත් බොහොම පැහැදිලිව කියන්න ඕනේ අපේ ගල් අඟුරු බලාගාරය රෑ නමය හමාරෙන් පස්සේ කරලා දුවන්නේ. ඔය කවුරු මොනවා කිව්වත්. එතකොට ඒ බලාගාරය පැහැදිලිව දුවවන්න නම් යම්කිසි වාහන ප්‍රමාණයක් ආරෝපණය කරන්න ඕනේ චාර්ජ් කරන්න ඕනේ. යම් වැඩපිළිවෙලක් අපි මේවත් එක්ක අඳුන්වලා දුන්නා. හැම තැනකටම. ඒ වැඩපිළිවෙල ගෙනියන්න. දැන් මං කිව්වේ දැන් අර කඩවත තියෙන ඇප් එක රටේම ඇප් එක බවට පත් කරන්න. ඒක කරන්න ඔය ගෝඨාභය මහත්තයා වටේ හිටපු අයට ප්‍රශ්නයක් තිබුණා. නම්බුව එයාට එන්නෙ නෑ කියලා. ඒක මං හිතන්නෑ අනුර දිසානායකට එහෙම ප්රශ්නය තියෙනවා කියලා. ඒ නිසා එතුමාට පුළුවන් ජනාධිපතිවරයා හැටියට ඒ පරණ වැඩපිළිවෙල, හොඳ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන්න.
ප්රශ්නය:
පොදු ප්‍රවාහනය මුලින්ම පෞද්ගලික අංශයට දෙනකොට පොඩි වෑන් තිබ්බා. බට්ටා වෑන්. ඊට පස්සේ ඒක ඊට පස්සේ තනි දොරේ රෝසා බස් තිබ්බා. ඒකත් කොළඹින් අයින් කරා. ඊට පස්සේ මේ දිග දොර දෙකේ බස් වලට විතරක් අයිතිය දුන්නා. දැන් ඒක කරලා සෑහෙන කාලයක්. තාම හැම ආණ්ඩුවක් ආවම කියනවා අපි ගේනවා ලක්සරි බස් ගේනවා. සිංගප්පූරුවේ බස් දුවනවා වගේ ගේනවා. අයින් කරනවා. හොඳ කාර් ගේනවා. ටැක්සි වලට ඒක දෙනවා. ඒවා දියුණු කරනවා කියලා. කවුරුත් ඒක කළේ නෑනේ.
පිළිතුර:
නෑ මෙහෙමයි. දැන් ඒක තමයි අපි කියන්නේ ඇත්ත නමුත් අපි වැඩපිළිවෙළක් හදලා තිබුණා බස් දෙදාහක් අඳුන්වලා දෙන්න. මේ බස් දෙදාහක්. ඒකට තමයි බස් ඔබට මතක ඇති බස් ප්‍රමුඛතා මංතීරු අපි හඳුන්වලා දුන්නේ. ඒ වගේම ඒක බස් වලින් විතරක් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. දුම්රිය සේවයත් නවීකරණය වෙන්න ඕනේ. අද දුම්රියෙන් යන්නේ මගීන්ගෙන් සියයට පහක් විතර. ඉතින් නමුත් දුම්රිය තමයි වඩාත්ම සුදුසු සේවය මේ ප්‍රධාන මගීන් ප්‍රමාණය අරගෙන යන්න. ඒකට තමයි අපි කැළණිවැලි දුම්රිය නවීකරණය යෝජනා කළේ. එතකොට ඒ ඒවා මග නැවැත්තුවානේ. ඉතින් ඒවා ආරම්භ කරලා කරන්න පුළුවන් සැලකිය යුතු ප්‍රමාණයකට මේවා විසඳගන්න පුළුවන්. ඒවා මේ රටේ වැරදි. රටේ මිනිස්සු උඩ පැනගෙන ඡන්දේ දීලා තමන්ම ඔලුවට වතුර හලාගත්ත වැඩපිළිවෙළ තමයි ඔය ඔය වැඩපිළිවෙලවල් නතර කිරීම. නමුත් ඒවා බුද්ධිමත්ව සලකා බලලා, නැවත රටේ අවශ්‍යතාව වෙනුවෙන් බලලා, කටයුතු කිරීමයි කළ යුත්තේ. ඔය වගේ තාවකාලික වැඩ වලින් ප්රශ්නය නිකන් ඇවිලෙනවා විතරයි.
ප්රශ්නය:
පොදු ප්‍රවාහන සේවය දිහා බලනකොට අපිට දැන් වල මේ දවස්වල සැරිසරන, පින්තූර දැක්කහම දත් මදින ගමන් බස් එළවන අය, එතකොට උඩුකය නිරාවරණය කරගත්ත රියදුරෝ, මේවා වෙනස් වෙන්න ඕන නැද්ද?
පිළිතුර:
අනිවාර්යෙන් වෙනස් වෙන්න ඕනේ. අනිවාර්යයෙන්ම ඒකයි අපි කිව්වේ, බස් රියදුරෙකුට බලපත්‍රය ලස්සන වෙනවා වගේම, බලපත්‍රය දෙන්න ඕනේ ඔහු යම් පුහුණුවක් ලබලා, ඔහුට නියමිත නිශ්චිත නිල ඇඳුමක් තියෙන්න ඕනේ. නිශ්චිත වැටුපක් තියෙන්න ඕනේ. ඒ වගේම විශ්‍රාම වැටුපක් තියෙන්න ඕනේ. ඊ. පී. එෆ්., ඊ. ටී.එෆ් එක තියෙන්න ඕනේ, සේවා සුරක්ෂිතභාවයක් තියෙන්න ඕනේ, රක්ෂණයක් තියෙන්න ඕනේ, මේ වගේ කාරණා ගණනාවක්ම ඔහු ඔහුගේ පැත්තෙන් තියෙන්න ඕනේ. අද මේක මේ පාරේ ඉන්න කෙනෙක්ව දාගෙන යනවා ගෝලයා හැටියට. හෙට උදේ වෙන ඩ්‍රයිවර් කෙනෙක් එනවා. ඒ වෙනුවට නිශ්චිත වෘත්තීය රියදුරෙක්, වෘත්තීය බස්රථ භාරගන්නේ, වෘත්තීය කාර්මිකයෙක් බිහිකරගන්න ඕන. අන්න ඒ අඩුපාඩුව, ලංකාවේ මේ පහුගිය අවුරුද්දේ ඇත්තටම කිව්වොත් හැත්තෑ හතෙන් පස්සේ අපි ආපස්සට ගිහින් තියෙන්නේ පොදු ප්‍රවාහනයේ. බස් රථය ලස්සන වෙනවා වගේ ලස්සනට ඉන්න ඕනේ. පැහැදිලිව ඉන්න ඕනේ. අනිත් එක මේ මගීන්ගෙන් අහන්නෙ නැතුව මගීන්ගේ අකමැත්ත මත විශාල සද්ද දාගෙන විශාල තොරොම්බල් දාගෙන, ඇස් කඩා වැටෙන ආලෝක සංදර්ශන දාගෙන ඒවා කරන්න බෑ. ඒවා ඒක තමයි මේ එකේ වගකීම බස් රථයක ප්‍රමිතිය ආරක්ෂා කිරීම. ඒ ප්‍රමිතිය දැන් ඒ අයට අවසර දීලා ඒගොල්ලෝ විශාල ගමනක් ගිහිල්ලා දැන් ඕක වටේ කර්මාන්තෙකුත් ගොඩනැගිලා තියෙනවා නේ. ඒ කර්මාන්තත් හැදුනට පස්සේ දැන් ඒක හරවන්න හදනවා හදන එකේ තමයි මේ ප්‍රශ්නෙ ඇවිල්ලා ඒ නිසා කරුණාකරලා අලුත් බස් ඇණියක් ඔය දැන් ලබන මාර්තු මාසේ ඉඳන් වාහන ගෙන්වීම සඳහා අවසර දෙනවනේ. ඒ දෙනකොට ණය යෝජනා ක්‍රමයක් හා බදු සහන ක්‍රියාවලියක් එක්ක හරි, විදුලි වාහන හරි, විදුලි බස් රථ හරි ගේන්න අපේ ව්‍යාපාරිකයන්ට අවස්ථාව දෙන්න. ඒ වගේම කොම්පැනි පද්ධතියක් ඇති කරන්න. එහෙම නැත්නම් මේ අයිතිකාරයෝ පහළොස්දාහක් එක්ක මේක නියාමනය කරන්න බෑ. ආරම්භයේදීම නිකන් හරි ක්‍රමයකට රට ගේන්න යනකොට මොකක් හරි එකක්. ඒක ඕන රටක වෙනවා. අපිටත් වුනානේ. මට තාම මතකයි අපි ඔය බස් ප්‍රමුඛතා මංතීරු දැම්මම පළවෙනි දවස් දෙකේ විශාල තදබදයක් ඇති වුණා. අපේ ජනප්‍රිය ක්‍රිකට් ක්‍රීඩකයෙකුත් බොහොම තියුණු විදියට මේක විවේචනය කළා. ගොඩාක් දෙනෙක් අපිව විවේචනය කළා. විශේෂයෙන්ම ජනතා විමුක්ති පෙරමුණේ අය ලොකුවට විවේචනය කළා. නමුත් අපි දවස් තුනක් ඇතුළත තත්ත්වය සාමාන්‍යකරණය කරලා මාසයක් යනකොට ප්‍රතිඵල පෙන්නුවා මේ බස් ප් රමුඛතා මංතීරු නිසා ඇතිවෙන ප්‍රතිඵලය පෙන්නුවා. ඉතින් ඒවා වෙනවා. අලුතෙන් යමක් කරන්න ගියාම අනිවාර්යෙන්ම ඕන සමාජයක, ඕන තැනක ප්‍රශ්න ඇතිවෙනවා. හැබැයි ඒක කරනවා නම් ගොඩක් ප්‍රශ්න විසඳෙනවා. අපි ඔය බස් හිමිකරුවෝ සියලු දෙනාම පාහේ අපේ අමාත්‍යාංශයට ගෙනල්ලා ඒගොල්ලොත් එක්ක සාකච්ඡා කරලා තමයි ඔය ණය යෝජනා ක්‍රමය ගෙනාවේ. ඒගොල්ලන්ට කොච්චර මුදල් ප්‍රමාණයක් යනවද? කොච්චර නඩත්තු වෙනවද කියලා. මේක කරන්න නම් අනිවාර්යයෙන්ම බදු සහන අවශ්‍යයි. ටික කාලයකට මේ බස් ව්‍යාපාරය පවත්වාගෙන යන්න බස් හිමියන්ට.
ප්රශ්නය:
සමහරු කියනවා මේ ආණ්ඩුව සිංගප්පූරුවේ ක්‍රමවේදය කරනවා කියලා. මොකද සිංගප්පූරුවේ පටන් ගත්තේ ඔය විදිහට ඔය එක එක ගලවලා එහෙම එකකට ගන්න. ඒකමද මේ වෙන්නෙ?
පිළිතුර:
නෑ. සිංගප්පූරුවට නිශ්චිත ප්‍රතිපත්තියක් තිබුණා. සිංගප්පූරුවේ ලී ක්වාන් යූ කොහෙවත් කිව්වේ නෑ තරුණයින්ට ජපන් මෝටර් සයිකල් දෙන්න යනවා කියලා. එක ගෙදරකට එක කාර් එක දෙන්න යනවා කියලා. සිංගප්පූරුවේ හැම සිය දෙනාගෙන්ම පහළොස් දෙනෙකුට විතරයි වාහනයක් තියෙන්නේ. ලංකාවේ සිය දෙනාගෙන් තිස්පස් දෙනෙකුට වාහන තියෙනවා. ඒ වගේ පෞද්ගලික ප්‍රවාහන ප්‍රතිපත්තියක් උඩ තිබූ ඔහු දැක්කා රට පොඩියි. රටේ ජන ඝනත්වය වැඩියි. ඒ නිසා කලයුතු වන්නේ දියුණු පොදු ප්‍රවාහනයක් සකස් කිරීම. සිංගප්පුරුවේ බස් කම්පැනි තියෙනවා. සිංගප්පුරුවේ දුම්රිය කම්පැනි තියෙනවා. සිංගප්පුරුවේ ලයිට් රේල් වේ තිබෙනවා. සිංගප්පුරුව නෙමෙයි ලංකාව. ලංකාව ඊට වඩා ලොකු රටක්. නමුත් තායිවානය, හොංකොං, සිංගප්පූරුව වැනි රටවල් පොදු ප්‍රවාහනයට තැන දීලා තියෙන්නේ රට පොඩි නිසා. ලංකාව කරන්න ඕනේ මේ ජපන් බයික් හීන හොඳයි. ළමයින්ට එහෙම ලබා දෙන්න. හැබැයි පොදු ප්‍රවාහනය දියුණු ක්‍රියාවලියක් බවට පත් කරන අඩිතාලමක් එක්කයි සිංගප්පූරුව ගියේ. එහෙම නැතුව බස්වල තොරොම්බල් ගලවලා නෙවෙයි පටන් ගත්තේ. දියුණු අඩිතාලමක් මත. දියුණු පොදු ප්‍රවාහන වැඩපිළිවෙළක් යටතේ තමයි හොංකොං, සිංගප්පූරුව හිටියෙ. ලන්ඩනය ගත්තත් ඔය හැමතැනම ගත්තත් ඒවා සාර්ථක කරගත්තේ.
@මාධ්‍ය ඒකකය