SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

නව වසරක් උදාවන විට අලුත් බලාපොරොත්තු, නව සැලසුම් ඇති කර ගැනීම සාමාන්‍ය දෙයකි.

සෑම කෙනෙක්ම පාහේ තම පෞද්ගලික ජීවිතය සම්බන්ධයෙන් මෙසේ සුබවාදී අපේක්ෂා ඇති කරගනු ලබයි. නව වසරක් අභිමුව ඒ අපේක්ෂා ජය ගැනීමට සැලසුම් ද ඇතිකර ගනී.

 

 

මෙසේ පුද්ගලයින් පමණක් නොව රටක ආර්ථිකය සම්බන්ධයෙන් ද වසරක් මුල නොයෙකුත් අපේක්ෂා සහ බලාපොරොත්තු ඇති කර ගනී. ඒවා ප්‍රකාශයට පත් කරන්නේ රජය සහ ශ්‍රී ලංකා මහ බැංකුව විසිනි.

 

මූල්‍ය අරමුදලේ වැඩසටහන ඉදිරියට..

සියයට 3.5ක ආර්ථික වර්ධනයක්..

ආර්ථික ස්ථාවරත්වය තවත් තහවුරු වන වසරක්!

 

 

ඒ අනුව මේ අප පිවිස සිටින්නේ 2022 වසරේ අප මුහුණ දුන් ලංකා ඉතිහාසයේ දරුණුතම ආර්ථික අර්බුදයෙන් පසු ආර්ථිකය යථා තත්ත්වයට පත් කර ගැනීමේ ක්‍රියාවලියේ තවත් තීරණාත්මක කඩඉම් වසරකටය. මේ නිසා අනෙකුත් සියලු දේටම වඩා වැදගත් සහ ප්‍රමුඛ කාරණය වන්නේ මේ වන විට තරමක් දුරට ස්ථායි කරගෙන ඇති අපේ ආර්ථිකය යථා තත්ත්වයට පත්කර ගැනීමේ ක්‍රියාවලිය සාර්ථකව ඉදිරියට ගෙන ඒමයි. ජනතාව මුහුණ දී සිටින ආර්ථික පීඩනය ක්‍රමයෙන් සමනය කරගත හැකිවනු ඇත්තේ එවිටය. රටක ආර්ථිකයේ තත්ත්වය, පොදුවේ ඒ රටේ පුරවැසියන්ගේ ජීවන තත්ත්වයට ද තීරණාත්මක ලෙස බලපානු ලබයි. පසුගිය ආර්ථික අර්බුදය හමුවේ 2022 වසරේ මෙන්ම ඉන්පසුවත් ජනතාව විශාල බඩු මිලකට හා බදු බරේ පීඩනයකට මුහුණ දී සිටින බව රහසක් නොවේ. එහෙත් එයට සාපේක්ෂව ජනයාගේ ආදායම් මට්ටම් වැඩි නොවූ නිසා ඔවුන්ගේ ජීවත් වීමේ ප්‍රශ්නය උග්‍ර වී රටේ දුප්පත් ජනගහනයේ ප්‍රමාණය ද සියයට 25 ද ඉක්මවා යමින් විශාල ලෙස වැඩි වී ඇත. ඒ නිසා රටේ ජනතාවගෙන් හතරෙන් එකකට වැඩි පිරිසක් දිවි ගෙවන්නේ ඉතාමත් අමාරුවෙන් බව, දරිද්‍රතාවයේ ගිලී බව පැහැදිලිය.

 

මේ නිසා ආර්ථික අර්බුදයෙන් රට මුදාගැනීම තුළ රටේ දුප්පත්කමේ ඇලී ගැලී සිටින ජනතාවගේ ප්‍රතිශතය අවම කර ගැනීමට සහ එමගින් පොදුවේ රටේ ජනතාවගේ ජීවන මට්ටම උසස් කර ගැනීමට ද අවකාශ සැලසේ.

 

එමගින් රටේ ආර්ථික ක්‍රියාකාරිත්වය ද වර්ධනය වී රටේ ආර්ථික වර්ධනය ද වේගවත් වනු ඇත. ඒ සමග රටේ ජනතාවගේ ආදායම් මට්ටම වර්ධනය කර ගැනීමට ද හැකියාව ලැබේ. එහෙත් මේ කිසිවක් ඉබේම සිදුවන්නේ නැත. 2022 වසරේ විදේශ ණය ගෙවීම අත්හිටුවීමට පෙර අපේ ආර්ථික බලධාරීන් කියා සිටියේ විදේශ ණය ගෙවීමට කිසිම ප්‍රශ්නයක් නැති බවයි. ඒවා කලට වෙලාවට ගෙවාගෙන යෑමට හැකියාව පවතින බවයි. එවකට සිටි රාජ්‍ය පාලකයා වූ ගෝඨාභය රාජපක්ෂට මේ ආර්ථික කරුණු කාරණා ගැන හරිහැටි දැනුමක් නොතිබුණි. ඒ නිසා එවකට ඔහු මහ බැංකුවෙන් කියන දේ එලෙසම පිළිගෙන අයිඑම්එෆ් සහාය පවා නොගෙන, දිනෙන් දින ආර්ථික අර්බුදය තවත් උග්‍ර කරගත්තේය. අවසානයේ සිදු වූයේ රටේ විදේශ විනිමය අර්බුදය වර්ධනය වී, රජය ගත් විදේශ ණය ගෙවීමට ප්‍රමාණවත් නොවන දුර්වල තැනකට අපේ විදේශ සංචිතය පිරිහීමට පත් වීමයි. රටේ තෙල්, ගෑස් ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය රටට ගෙන්වාගත නොහැකි ඉතාමත් දුෂ්කර මට්ටමට රටත් ආර්ථිකයත් පත් වීමයි. මේ නිසා, විශේෂයෙන් 2022 සහ 2023 වසර දෙකේ දී පෝලිම් තත්ත්වයන්ට පවා මුහුණ දෙමින් ජනයා අසීමිතව දුකට පත් වූ බව අපි සියලු දෙනාම දන්නා කාරණයකි.

 

මෙවැනි තත්ත්වයක සිට අද පවතින මට්ටමට ආර්ථිකය ස්ථායි කර ගැනීමට අප සමත් වී ඇත්තේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ සහාය ද ගෙන දියත් කළ ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය නිසාය. එම වැඩසටහන යටතේ අප විසින් ඉටු කළ යුතු නොයෙකුත් කොන්දේසි සහ ඉලක්ක තිබේ. ඒවා ඉටු කර ගනිමින් අප මේ වන විට සැලකිය යුතු කාලයක් පැමිණ ඇති අතර, එසේ පැමිණි දුරට වඩා තවත් බොහෝ දුරක් ඉදිරියට යෑමට ද තිබේ. බොහෝ ප්‍රමාද වී හෝ අයිඑම්එෆ් සහාය පැතීමට අවසානයේ කටයුතු කළේ ද ගෝඨාභය රාජපක්ෂගේ රාජ්‍ය පාලනයේ අවසාන කාලයේ දීය. මේ නිසා අයිඑම්එෆ් ගියේ ගෝඨාභය රාජපක්ෂගෙන් පසු ජනාධිපති වූ රනිල් වික්‍රමසිංහ නොවේ. එසේම එම අයිඑම්එෆ් සහාය මෙරටට ලබා ගැනීමට කටයුතු කළේ, රජයට පවා මඟ පෙන්වමින් එසේම රජයේ සහාය ද ඇතිව මහ බැංකු අධිපති ධුරයට පත් ආචාර්ය නන්දලාල් වීරසිංහ විසින් බව අපගේ විශ්වාසයයි. ඔහු මහ බැංකු අධිපති ධුරයට පත්වීමත් සමගම මහ බැංකුවේ සේවය කළ, මුදල් අමාත්‍යංශයේ ද වැඩකර පළපුරුද්දක් තිබූ මහින්ද සිරිවර්ධන මහතා ද මුදල් අමාත්‍යාංශ ලේකම් ධුරයට පත් විය. පසුව රජයන් මාරු වුවත් මේ නව රජය යටතේ ද මහ බැංකු අධිපති ධුරයේ සහ මුදල් අමාත්‍යාංශ ලේකම් ධුරයේ කටයුතු කරන්නේ එම නිලධාරීන්මය. මේ ලියුම්කරුට දශක දෙකකට අධික කාලයක් තිස්සේ මේ නිලධාරීන් දෙදෙනා ගැන වැටහීමක් තිබේ. ඔවුන් කිසිවිටෙකත් දේශපාලනය පසුපස ගිය නිලධාරීන් නොවේ. ගෝඨාභය රාජපක්ෂගෙන් පසු රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා යටතේ මෙන්ම දැන් අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා යටතේත් එම ඉතාමත්ම වගකිව යුතු ධුරයන් දෙක හොබවන්නේ ආචාර්ය නන්දලාල් වීරසිංහ සහ මහින්ද සිරිවර්ධන යන දෙදෙනාමය.

 

අනිත් අතට ස්වාධීන මහ බැංකුවක අධිපතිවරයෙකු රජයන් මාරු වූ පමණින් ඉවත් විය යුතු ද නොවේ. මීට පෙර නම් ජාතික මැතිවරණයකින් පැවති ආණ්ඩුව පරාජය වූ විට මහ බැංකු අධිපතිවරු ඉවත් වී ඇත. කෙසේ හෝ මේ නිලධාරීන් දෙදෙනා අයවැය ප්‍රතිපත්තියේ සහ මුල්‍ය ප්‍රතිපත්තියේ අදාළ වගකීම් හොබවන නිසා කවර රජයක හෝ සහාය නිසි පරිදි ලැබෙන්නේ නම් අයිඑම්එෆ් වැඩසටහන ඉදිරියට ගමන් කිරීම සම්බන්ධයෙන් කිසිදු ගැටලුවක් නැත. ඒ අයිඑම්එෆ් ක්‍රියාවලිය ඉදිරියට යෑම ගැන එසේ අවදානමක් නැතත් රාජ්‍ය පාලනය සම්බන්ධයෙන් නම් විවිධ ගැටලු ඇති විය හැකිය. ආචාර්ය, මහාචාර්ය, ඉංජිනේරු හෝ වෛද්‍ය වැනි සුදුසුකම් තිබුණත් (ඇතැමුන් නම් තමන්ට ඔප්පු කර ගැනීමට පවා නොහැකිව ආචාර්ය. යන්න තම නමට භාවිතා කර තිබේ.) පාර්ලිම්න්තුවේ නීති සම්පාදන ක්‍රියාවලිය යනු එසේ උගත්කම්වලින් පමණක් කළ හැකි දෙයක්ම ද නොවේ. ඒ සඳහා අත්දැකීම්, පළපුරුද්ද සහ ප්‍රවීණත්වය ද වැදගත් වනු ඇත. එහෙත් එවැනි අය ද පසුගිය කාලයේ, තම මහජන නියෝජිත භූමිකාව හරිහැටි ඉටු නොකර නොයෙකුත් වංචා හා දූෂණ සිදුකර ඇති බවට ද චෝදනා තිබේ. මේ නිසා අප විශ්වාස කරනුයේ මේ නව රජය කෙරෙහි මේ රටේ අතිමහත් බහුතර ජනතාව තැබූ විශ්වාසය අකුරටම සුරකිමින් රාජ්‍ය පාලන ක්‍රියාවලියට ද මේ මහජන නියෝජිතයින් හරිහැටි දායක වන්නේ නම් මේ වසරේ (2025) ආර්ථික ගමන්මග සුබ කරගත හැකිවනු ඇති බවයි. එහෙත් ඒ සඳහා රජයට නිසි සැලසුම් සහ උපායමාර්ග තිබිය යුතු අතරම ඒවා නිසි පරිදි කාර්යක්ෂම ලෙස ක්‍රියාත්මක කිරීමට හැකියාව මෙන්ම එම ක්‍රියාත්මක වැඩපිළිවෙළ ගැන නිසි පසුවිපරමක් ද තිබිය යුතු වේ. කෙසේ හෝ අපගේ ප්‍රාර්ථනය වන්නේ අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාගේ නව රජයට රාජ්‍ය පාලන ක්‍රියාවලිය හරිහැටි ඉටු කරමින්, මහජන අපේක්ෂා ඉටු කිරීමට මෙන්ම ආර්ථිකය තවදුරටත් යථා තත්ත්වයට පත්කර ගැනීමේ ගමන සාර්ථක කරගැනීමට ද හැකි වේවා යන්නයි. එහිදී ඇතැම් විට ජාතික ජනබලවේගයේ අය පසුගිය කාලයේ දේශපාලන වේදිකාවේ කියන ලද ඇතැම් දේවල් එලෙසම ඉටු කළ නොහැකි බව ද ප්‍රායෝගික යථාර්ථයයි. මෙලෙස රටකට මෙන්ම පුද්ගලයින්ටත්, මේ වසරේ (2025) තම අපේක්ෂා ජයගත හැකි වනු ඇත්තේ නිසි ලෙස සැලසුම්සහගතව කැපවීමෙන් වැඩ කිරීමෙනි. සාර්ථකත්වය තමා කරා ඉබේම පහළ වන්නේ නැත. අප එය හඹා යායුතු වේ. ආණ්ඩුවේ අඩුපාඩු සහ වැරදි තිබිය හැකි වුවත් හැම දේටම ආණ්ඩුවටම බැන බැන සිටීමෙන් ද ඵලක් නොවේ. එහෙත් පෙර සඳහන් කළ පරිදිම රාජ්‍ය පාලකයන් අනාගතය ගැන නිසි දැක්මක් නැත්නම්, එසේම දූරදර්ශීව රාජ්‍ය පාලනය හා ආර්ථික කළමනාකරණය නොකරන්නේ නම් සහ මහජන ධනය සොරා කනවා නම් පොදුවේ එවැනි රටකට ජනයා දුකට පත්වෙන බව ද සැබෑවකි.

 

සාමාන්‍යයෙන් නව වසරක් උදා වූ විට ‘සුබ නව වසරක් වේවා. යැයි අප ප්‍රාර්ථනය කළත්, උදා වූ මේ නව වසර සැබෑ ලෙසම සුබ කරගත හැක්කේ අපටමය. රට පැත්තෙන් මෙන්ම පුද්ගලයින් සම්බන්ධයෙන් ද යථාර්ථය එයයි. අපගේ ජීවිත සාර්ථකව ගත කිරීමට ධනය, මිල මුදල් යනාදිය අවශ්‍ය වේ. නැතහොත් අපගේ යුතුකම් පවා හරිහැටි ඉටු කිරීමට අපහසු වේ. ඒ නිසා බුදු දහමට අනුව ගත්තත් ධනය ඉපයීමේ කිසිදු වැරද්දක් නැත. එහෙත් ඒ ධනය අප උපයාගත යුතු වන්නේ ධාර්මිකවය. මේ අතරම බුදුරජාණන් වහන්සේ දේශනා කර ඇත්තේ හිතේ සතුට උතුම්ම ධනය බවයි. අපට කෙතරම් මිල මුදල්, යානවාහන සහ වෙනත් දේපළ තිබුණත් හිතේ සතුටක් නැත්නම් ඵලක් නැත. මේ නිසා හිතේ සතුට යනු ධනය හෝ දේපළ මත පමණක් තීරණය වන දෙයක්ම නොවේ.

 

එසේ වුවත් ගෘහස්ථ ජීවිතයක් ගත කරන ගිහියාට ජීවත් වීම සඳහා ධනය ,මිල මුදල් අවශ්‍යය. එසේම ගිහියාට දිළිඳුකම දුකක් බව ද බුදුන් වහන්සේ දේශනා කර තිබේ. එසේම රටක් ආර්ථිකමය වශයෙන් පිරිහීමට පත්ව දිළිඳුකමට හෝ බංකොලොත්භාවයට පත්වන්නේ නම් එය රටවැසියාට ද බලපානු ලබයි. එය ජනයා දුකට පත්වීමට ද හේතුවන කරුණකි. 2022 වසරේ දී මේ රටේ ජනයාට බලවත් ආර්ථික පීඩාවන්ට මුහුණ දීමට සිදු විය. එනම් රටේ ආර්ථිකයේ යහපත් හෝ අයහපත් තත්ත්වය ද ඒ රටේ ජනයාගේ පෞද්ගලික ජීවිතය සුබ කර ගැනීමට ප්‍රධාන වශයෙන් හේතුවන කරුණක් බවයි.

 

ආර්ථික අර්බුදය හමුවේ බලවත් ලෙස පසුබෑමට ලක්ව තිබූ ආර්ථිකය මේ වන විට ආර්ථික ක්‍රියාකාරිත්වය ඉහළ යමින්, ආර්ථිකය වර්ධනය වෙමින් තිබේ. 2022 වසරේ ආර්ථික විපත නිසා ආර්ථිකය සියයට 7.3 කින් පමණ පසුබෑමට ලක් විය. එය ලංකා ඉතිහාසයේ වාර්තා වූ වැඩිම ඍණ ආර්ථික වර්ධනයයි. ඉන් පසු 2023 වසරේ දී ආර්ථිකය සියයට 2.3 කින් පසුබෑමට ලක් විය. එනම් 2022 වසරේ දී වාර්තා වූ සියයට 7.3 ක ඍණ ආර්ථික වර්ධනය 2023 වසරේ දී සියයට 2.3 ඍණ ආර්ථික වර්ධනයක් දක්වා අඩු කර ගැනීමට සමත් වූ බවයි. මේ ගැන මහ බැංකුව සිය 2023 වසරේ වාර්ෂික වාර්තාවෙන් පවසන්නේ ශ්‍රී ලංකා ආර්ථිකය 2022 වසර තුළ මුහුණ දුන් උග්‍රතම ආර්ථික අර්බුදයෙන් අනතුරුව, 2023 වසරේ දී යථා තත්ත්වයට පත්වීමේ මාර්ගයට පැමිණි බවයි. මේ නිසා 2022 වසරේ දී ආර්ථික වර්ධනය ඍණ අගයක් වාර්තා කළත්, පැවති සියයට 7.3 ක ආර්ථික පසුබෑම අවම කර ගනිමින් ආර්ථිකය යථා තත්ත්වයට පත්වීමේ මාර්ගයට රට පිවිස ඇති අතර ගෙවීගිය 2024 වසරේ දී මේ තත්ත්වය තවත් හොඳ අතට හැරී ඇත. එනම් මුලින් මහ බැංකුව පුරෝකථනය කළේ, ගිය වසරේ (2024) ආර්ථිකය සියයට 3 කින් පමණ වර්ධනය වනු ඇති බවයි. ඒ බව 2023 වසරේ මහ බැංකු ආර්ථික විවරණ වාර්තාවේ 122 වැනි පිටුවේ මෙසේ සඳහන් විය.

 

‘ලිහිල් මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය සහ අඩු උද්ධමනකාරී පරිසරයේ ප්‍රතිලාභ අඛණ්ඩව ආර්ථිකයවෙත ගලා යෑම හේතුවෙන් 2024 වසර තුළ දී ආර්ථිකය සියයට 3 කින් වර්ධනය වනු ඇතැයි අපේක්ෂා කෙරේ.’

 

එහෙත් මේ වන විට මහ බැංකුවේ නවතම පුරෝකථන අනුව පවසන්නේ 2024 වසරේ දී ශ්‍රී ලංකා ආර්ථිකය සියයට 4.5 ත් සියයට 5ත් අතර අගයකින් වර්ධනය වනු ඇති බවයි. මේ නිසා මුලින් අපේක්ෂා කළාට වඩා වැඩි වේගයකින් රටේ ආර්ථික ක්‍රියාකාරකම් වර්ධනය වෙමින් තිබේ. එසේම ලෝක බැංකුවේ පුරෝකථන අනුව මේ වසරේ (2025) දී ශ්‍රී ලංකා ආර්ථිකය සියයට 3.5 කින් වර්ධනය වනු ඇතැයි අපේක්ෂා කෙරේ. ආර්ථික වර්ධනය පමණක් නොව අනෙකුත් ආර්ථික දර්ශක අනුව ගත්තත් මේ වන විට රටේ ආර්ථික ස්ථාවරත්වයක් ඇතිව තිබෙන බව පිළිගත යුත්තකි. මෙහි ගෞරවය ප්‍රධාන වශයෙන් හිමිවිය යුත්තේ අයිඑම්එෆ් වැඩසටහනට සහ එය මෙහෙය වූ අයටය. ආර්ථිකය යනු ක්‍රියාවලියකි. ඒ නිසා දැන් ලැබෙන යහපත් ආර්ථික ප්‍රතිඵල මේ ආණ්ඩුව නිසා ක්ෂණිකව උදා වූ දේවල් නොවේ. එහෙත් මේ රජයත් අයිඑම්එෆ් වැඩසටහන ඉදිරියට ගෙන යමින් සිටින නිසා මේ වසරේ (2025) දී 2024 වසරේ දී අත්කරගත් ආර්ථික ස්ථාවරත්වය තවත් තහවුරු කරගත හැකිවනු ඇතැයි අපේක්ෂා කළ හැකිය. මේ සම්බන්ධයෙන් එක්සත් ජනරජ පෙරමුණේ නායක පාඨලී චම්පික රණවක මහතා පසුගිය මාධ්‍ය හමුවක දී සඳහන් කර තිබුණේ, ශ්‍රී ලංකාව ස්ථාවර කළේ අයිඑම්එෆ් ප්‍රධානී ක්‍රිස්ටලිනා ජෝජියේවා මිස වත්මන් ආණ්ඩුව නොවන බවයි. ඔහු එම මාධ්‍ය හමුවේ දී මෙසේ ද කියා ඇත.

 

‘මේ රට ස්ථාවරකරණය කළේ මේ කවුරුවත් නෙවෙයි. අර අයි එම් එෆ් එකේ ප්‍රධානියා, ක්‍රිස්ටලිනා ජෝජියේවා. අන්න එතුමිය තමයි මේක කළේ. එහෙම නැතුව මේ අනුර – හරිනි ආණ්ඩුව නෙමෙයි ස්ථාවර කළේ. ප්‍රශ්නෙ තියෙන්නේ අයි.එම්.එෆ් වැඩ විවේචනය කරලා ආපු අය ඒක දිගටම කරගෙන යෑම. මහ බැංකු අධිපති වීරසිංහ මහත්මයා, මුදල් අමාත්‍යාංශයේ ලේකම් සිරිවර්ධන මහත්තයා, ඒගොල්ලෝ තමයි මේක කරගෙන යන්නේ..’

 

මේ කියන දෙයෙහි විශාල ඇත්තක් තිබේ. මේ නිසා මේ ලියුම්කරු නම් සිතන්නේ ආර්ථිකය යථා තත්ත්වයට පත්කර ගැනීම සඳහා අනුර කුමාර දිසානායක යන්නේ රනිල්ගේ මාර්ගයේ යැයි කියනවාට වඩා නිවැරදිම කියවීම වන්නේ රනිල් ගියේත් අනුර යන්නේත් අයිඑම්එෆ් මාර්ගයේ බවයි. එහෙත් විවිධ ජනාධිපතිවරුන් යටතේ රාජ්‍ය පාලන ක්‍රියාවලියේ වෙනස්කම් ඇති බව සත්‍යයකි. ඒ බව ගෝඨාභය රාජපක්ෂ, රනිල් වික්‍රමසිංහ සහ අනුර කුමාර දිසානායක යන ජනාධිපතිවරුන්ගේ රාජ්‍ය පාලනයන්ගෙන් රටට ප්‍රදර්ශනය වෙමින් තිබේ.

 

මේ කතා මෙසේ වුවත් මේ වන විට ආර්ථිකයේ සුබවාදී තත්ත්වයන් වාර්තා වෙමින් තිබේ. මහ බැංකුව මේ වන විට අයිඑම්එෆ් ඉලක්කයන් ද ඉක්මවා යමින් ඇමෙරිකානු ඩොලර් බිලියන 6.5 ක් දක්වා විදේශ සංචිත ගොඩනැගීමට සමත්ව ඇත. ආර්ථිකය අපේක්ෂා කළාට වඩා වැඩි වේගයකින් වර්ධනය වෙමින් තිබේ. ශ්‍රී ලංකා ප්‍රාග්ධන වෙළෙඳපොළ ඉතිහාසයේ පළමු වරට කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය පසුගිය ජනවාරි 02 වැනිදා ඒකක 16,000 සීමාව ඉක්මවා යමින් ඒකක 16,348.55 ක් දක්වා ඉහළ ගියේය. එසේම සංචාරක පැමිණීම් ද 2018 වසරෙන් පසුගිය වසරේ (2024) දී මිලියන දෙක ඉක්මවා යෑමට සමත් විය. ඒ අනුව 2018 වසරින් පසු වසරක් තුළ ශ්‍රී ලංකාවට පැමිණි වැඩිම සංචාරකයින් ප්‍රමාණය සනිටුහන් කරමින් 2024 වසර තුළ සංචාරකයින් 2,053,465ක් මෙරටට පැමිණ තිබේ. 2018 වසරේ මෙරටට පැමිණි මුළු සංචාරකයින් සංඛ්‍යාව 2,333,796 ක් විය. ඒ නිසා සංචාරක පැමිණීම්වල වේගවත් වර්ධනයක් තිබුණත්, අප තවමත් සංචාරක පැමිණීම් අතින් සිටින්නේ 2018 වසරට පසුපසිනි. අපගේ සංචාරක කර්මාන්තය තවදුරටත් වර්ධනය කර ගැනීමේ විශාල විභවතාවක් අප රට සතුව ඇත. මේ නිසා නව රජයේ අවධානය එම අංශය කෙරෙහි දැඩිව යොමු විය යුතුව ඇත. මේ සුබවාදී තත්ත්වයන් මේ වසරේ (2025) තවත් වර්ධනය වෙමින් අප විශ්වාස කරන්නේ දැනට යන ගමන්මාර්ගයේ යන්නේ නම්, දැනට ඇතිව තිබෙන ආර්ථිකයේ ස්ථායි තත්ත්වය තවත් තහවුරු කර ගැනීමට හැකිවනු ඇති බවයි.

 

 

@ ශ්‍යාම් නුවන් ගනේවත්ත
divaina