ලාල් කාන්ත සහෝදරයා වගාවන්ට හානි කරන වන සතුන් ගැන තරමක් ආවේගශීලී ව
පාර්ලිමේන්තුවේ දී කතා කළේ ගොවීන් ගැන ඔහු තුළ කකියන අප්‍රමාණ ආදරයෙනි. කම්පාවෙනි. ඒ ගැන අබමල් රේණුවක සැකයක් නැත.
වැරදිලාවත් මෙසේ බඩගින්න නිසා ස්වකීය පැවැත්ම උදෙසා කඩා පනින්නේ රිලවුන් නොව මිනිසුන් නම්, මේ ප්‍රකාශය කරන්නේ ලාල් කාන්ත නොවේ. එසේ නම් ලාල් කාන්ත ඉන්නේ රිලවුන් බවට පත්වන මිනිසුන්ගේ ගොඩේ ය.
එසේනම් කෝප වන්නේ ජේ. ආර්. ගේ හෝ ප්‍රේමදාසගේ පන්නයේ උන් ය. එහෙනම් රිලවුන් මැරෙන්නේ වධකාගාරවල කන් දෙකේ පරාල ඇණ ගහගෙන, අධෝ මාර්ගයට කටුකම්බි බස්සාගෙන, ඇට කූට්ටම් තලාගෙන ය. පිළිස්සෙන්නේ ටයර් සෑයේ ය.
ඒ නිසා රිලවුන් හා මිනිසුන් පටලවා නොගත යුතු ය.
එහෙත් රිලවුන්ටවත් වධකාගාර වධකයන් හෝ අළුහෝසුවන් නොවීමට අපි උත්සාහ කරමු. මොකද, 88-89 මහා භීෂණ සමයේ දී අපි රිලවුන්ටත් අන්තවූ බැවිනි.
ආං ඒ හැඟීමෙනි මේ කවිය.....
" මහත්තයා තාමත් නොපැමිණි හින්දා
රෑත් බලා පැටවුන් තුරුලට කැන්දා
හූල්ලමින් වැලපී පොළොවට වැන්දා
ලාල් කාන්තට දුක ඇහුනද මන්දා
අහුලා කන්ට දේකුත් නැති උදෑසනේ
උහුලා ගන්ට බැරි ලෙස බඩගින්න දැනේ
කපනා කලට අපට ම හුරුපුරුදු වනේ
පැනලා හිඟාගෙන කෑමට පුරුදු වුණේ
හනුමා වන්නමේ තාලෙට නොගියාට
බැඳුණා පෙමින් සංසාරේ අපි එකට
බලමින් ගසෙන් ගස සතුටින් පැන්නාට
අවමන් එපා අපි හෙළුවෙන් උන්නාට
පණනල ගැටගහගෙන හෙනහුරු කාලේ
ලියගොමුවක තුරුලේ හද බැඳි ලීලේ
ඔබ දන්නෑ මැතිඳුනි රිලවගෙ ආලේ
අනුකම්පාවෙන් බලපන් හොඳ ලාලේ
මගෙ මිනිහා නියවාගෙන ආවාද
අඹු දරුවන් සිහිවී දුක කීවාද
ගිනිකඳයෙක් පැන අණසක පෑවාද
පුනරුදයක් දැක දැක වෙඩි කෑවාද "
@ කුමාර හෙට්ටිආරච්චි