ඊයේ සහ අද වෙන්වෙලා ඇත්තේ ගල්කිස්ස හෝටල් පරිශ්‍රයේදී ABBA ලාගේ ප්‍රසංගය නරඹමින්
ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් ද සිල්වා ඇතුළු ජවිපෙ මාලිමා පිරිසක් විනෝද වීමේ සිදුවීම වෙනුවෙන් පෙනී සිටීම් සහ නොසිටීම් වෙනුවෙනි.
විවිධ දායක පිරිස් විවිධ පාර්ශ්වයන් ගෙන ඒ වෙනුවෙන් සාධාරණීකරනයන් කරමින් විශාල වෙහෙසක් ගන්නා අතර සහභාගීවූවෝ ඒ සම්බන්ධයෙන් නෑසු කන්වලා සිටින්නෝය.
මේ අතර ඒ පිළිබඳව අද සවස් භාගයේ ගල්කිස්ස මහ හෝටලේ පරිපාලනය විසින් ප්‍රකාශයක් ද නිකුත් කර තිබුණි.
කෙසේ වුවත් අපක්ෂපාතී යැයි කියාගන්නා දේශපාලන විචාරකයින්ගේ එක් අදහසක් වන්නේ ලිබරල් දේශපාලනය ගැන උනන්දුවක් ඇති හරිනි අමරසූරිය සහෝදරිය ඉටියෙන් හෝ මැටියෙන් ජවිපාවරුන්ගේ අවිඥානික ආසාව අවුස්සා ලිබරල් මාලිමාව ජවිපෙ අතික්‍රමණය කර බලය අල්ලනු ඇති බවය.
එහෙත් ජවිපෙ යනු මේ පෙනෙන, රඟන, කියවන නායකත්වයෙන් එහාට විහිදුනු බොල්ෂෙවික් පක්ෂයක්ය යනු තවත් විචාරක මතයකි. එය කාලය විසින් අවබෝධ කෙරෙනු ඇති බවත්, බොල්ෂෙවික් පක්ෂය එය සුදුසු කල්හි කරනු ඇති බවත් ඔවුන්ගේ මතයය.
රසික ජයකොඩි යනු උග්‍ර ලිබරල්වාදියෙකු ලෙස තමාව හඳුන්වාගැනීමට උනන්දුවක් දක්වන දක්ෂිනාංශික කඳවුර යළි පන ගස්වන්නට උත්සාහ දරන කණ්ඩායමකට අයත් වූවෙකි.
මේ ඡායාරූපයක් ගැන ඔහුගේ සටහනකි.
කොළඹ තිබුණ ABBA Tribute ප්‍රසංගයක මාලිමා ආණ්ඩුවේ නායකයන් විනෝද වෙන ඡායාරූප ගැන ඊයේ ලයිව් පොඩ්කාස්ට් එකේ අහපු වෙලාවේ මට දෙන්න තිබුණේ එක පිළිතුරයි.
"මේ වෙලාවේ ටිල්වින්ලා, විජිතලා වගේ පරණ ජේවීපී නායකයෝ මුහුණ දෙන්නේ කොට කලිසමක් ඇඳන් වත්ත අයිනට වෙලා අඹ ගහට පොලු ගහමින් හිටපු කොල්ලෙක් පස්සෙ කාලෙක දියුණු වෙලා විශාල අඹ වත්තක අයිතිකාරයා වුණාට පස්සේ මුහුණ දෙන්න වෙන සංස්කෘතික ප්රශ්නයටයි.."
වත්තේ අයිතිකාරයා වුණාට පස්සේ ගෙවන්න වෙන සමාජ-සංස්කෘතික ජීවිතයක් තියෙනවා. කන්න බොන්න, අඳින්න පළඳින්න ඕනෙ විදියක් තියෙනවා. ඉටු කරන්න ඕනෙ වගකීම්, යුතුකම් තියෙනවා. ඒක අඹ වත්තට පොලු ගහන කොලු ගැටයා කාලේ ගෙවන ජීවිතය තරම් සරල එකක් නෙවෙයි. අඹ වත්තේ අයිතිකාරයා වුණාට පස්සේ එතැන ඉන්නේ අර ඉරිච්ච කොට කලිසමක් ඇඳන් අඹ ගෙඩිවලට පොලු ගහමින් හිටපු කොලු ගැටයාත් නෙවෙයි. ඒ පරිවර්තනය විශාලයි. ඒ වගේ ම එය අනිවාර්යයෙන් ම සිදුවිය යුතුයි. වත්තේ අයිතිකාරයා වුණාට පස්සෙත් අර කොලු ගැටයා කාලේ වගේ හවසට ගහක් යට වාඩි වෙලා ඩොලැක්කි ගහමින් "පවන" සිංදු කියයි කියලා බලාපොරොත්තු වෙනවා නම් ඒක මෝඩයි.
කාලයක් අඹ වතු අයිතිකරගෙන හිටපු, වතු අයිති කරගැනීම තමන්ට උත්පත්තියෙන් එන උරුමයක් විදියට හිටපු පරණ වලව්කාරයන්ට මේ කොලු ගැටයාගේ පරිවර්තනය රුස්සන්නේ නැහැ. ඔවුන් ඒ දිහා උපහාසාත්මකව බලනවා. ඒ කොලු ගැටයා අර පරණ ජීවිතයටම, පරණ ඇවතුම් පැවතුම්වලට ම බැඳලා තියාගන්න උත්සාහ කරනවා. ඒත් ඒ කෝචොක් දාන පරණ ගරාවැටෙන වලව්කාරයන්ට වඩා මේ කොල්ලාගේ ශක්තිය දැන් හුඟක් වැඩියි. ඕනෙ නම් ඒ හැම පරණ වලව්කාරයෙක්ම පාරට ඇදලා දාන්න මේ කොල්ලාට දැන් පුළුවන්. ඇත්තට ම පාර අයිනට වෙලා අඹ ගහට ගල් ගහමින් හිටපු කාලේ තමන්ටත් කවදාහරි විශාල අඹ වත්තක් පාලනය කරන්න ලැබෙයි කියලා කොල්ලා හීනෙන්වත් හිතන්න නැතුව ඇති. එහෙම හිතුවා නම් ඒ කාලෙ ඊට වඩා වගකීම් සහගතව, මැදහත්ව හැසිරෙන්න ඉඩ තිබුණා.
කොහොම වුණත් අඹ ගහට පොලු ගහමින් හිටපු කාලේ වගේ "කකා බිබී නටන අතර නරුම යහළු යෙහෙළියන්.." කිය කිය දැන් ඉන්න ලැබෙන්නේ නැහැ. ඉස්සර වගේ "IMF - ලෝක බැංකුව - ඇමෙරිකන් අධිරාජ්‍යවාදය භංග වේවා" වගේ ලාභ සටන් පාඨ දැන් කියන්න පුළුවන්කමක් නැහැ. දැන් විශාල අඹ වත්තක් පාලනය කරන්න තියෙනවා. වැඩ කරන මිනිස්සුන්ගේ පඩිනඩි වෙලාවට බේරන්න තියෙනවා. යන්ත්‍ර සූත්‍ර, පොහොර මිලදී ගන්න තියෙනවා. බැංකු ණය වාරික වෙලාවට බේරන්න තියෙනවා. විශාල වගකීම් සහ අවදානම් දරන්න වෙනවා. මේ හැම දෙයක් ම කරද්දි විශාල වෙහෙසක්, ආතතියක් සහ පීඩනයකුත් දැනෙනවා. මේ වෙහෙසෙන්, ආතතියෙන් මිදෙන්න කලාව, විනෝදාස්වාදය සහ හොඳ සංස්කෘතික ජීවිතයකුත් අවශ්‍ය වෙනවා.
මම පුද්ගලිකව කැමතියි ඒ කොලු ගැටයා ඉරිච්ච කලිසම ගලවලා හොඳට කාලා, බීලා, ඇඳලා, සිංදුවක් අහලා, නටලා, විනෝද වෙලා ඉන්න එකට.. මේ පරිවර්තනය මම සතුටු සිතින් වින්දනය කරනවා. ඒ වගේ ම මේවාට කෝචොක් කරන අර ගරා වැටිච්ච පරණ වලව්කාරයෝ පාරටම ඇදලා දැම්මත් මට කමක් නැහැ. හැබැයි මේ හැම දෙයක් ම " සුන්දර" වෙන්නේ කොන්දේසි දෙකක් සැපිරෙන තාක්කල් විතරයි. වත්ත හරියට පාලනය වෙලා වෙලාවට ගෙඩි කැඩිලා, පඩි නඩි බේරලා, හොරකම් නාස්තිය නැවතිලා සල්ලි අතට එන්න ඕනෙ. ඒ වගේ ම කලින් අඹ වත්තෙ වෙච්ච මහා පරිමාණ හොරකම් අල්ලලා ඒවාට වගකිවයුතු වරදකාරයෝ දඬු කඳේ ගහන්න ඕනෙ.
The clock is ticking..
(රසික ජයකොඩිගේ මුහුණුපොතෙන් උපුටාගති).