SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

මෙම ලිපිය තුල අපගේ වෙබ් අඩවියේ ඇති ලිපි වල මාතෘකා පමණක් සඳහන් කර ඇති මුත් ඒවායේ සබැඳීන්

ඒ සමග යොදා නොමැත (එසේ යෙදුව හොත් Facebook වෙතින් සම්පූර්ණ ලිපියම ඉවත් කරන බැවින්). එබැවින් අදාළ ලිපි http://www.spartacus.lk වෙබ් අඩවියට ගොස් කියවිය හැකිය.

 

 

හෙට පැවැත්වෙන මහා මැතිවරණයෙන් ජ.වි.පෙ.ට තුනෙන් දෙකේ බලයක් හිමි විය යුතුය. ඒ මැතිවරණයෙන් පසුව කල යුතු ව්‍යවස්ථා වෙනස්කම් සිදු කිරීම සඳහා සහ ප්‍රාදේශීය සභා මට්ටමේ සිට ඉහළතම තලය දක්වා මෙතෙක් බලය හෙබ වූ ප්‍රභූ තන්ත්‍රය නීතිමය ආකෘතිය තුල හැකි තාක් උපරිමයෙන් මර්ධනය කිරීම සඳහාය. ඔවුන් එය එසේ නොකරන්නේ නම් එහි බරපතල ප්‍රතිවිපාක ඉදිරියේදී අත්විඳිනු ඇත.

 ("ජාතික ජන බලවේගය ජයග්‍රහණය කල යුතු වන්නේ ඇයි?" ලිපිය කියවන්න).

 

 

ලංකාවේ මෙතෙක් පැවති ප්‍රභූ දේශපාලනයේ කේන්ද්‍රීය පවුල වූයේ විජේවර්ධන පවුල ය. ලංකාවේ ද්විපක්ෂ යාන්ත්‍රනය ක්‍රියාත්මක වුව ද එහි දේශපාලන කර්තෘත්වය හිමිවන්නේ UNP ය වෙතය ("වම දකුණ වම" කියවන්න).

 

වර්තමාන ලාංකීය දේශපාලන ප්‍රභූ ස්වරූපය ආරම්භ වන්නේ 1977 වර්ෂයේ UNPය බලය ලබා ගැනීමෙන් පසුවය (මින් අදහස් වන්නේ 1977ට පෙර පැවති ප්‍රභූත්වය වෙතින් පැහැදිලි වෙනසක් සලකුණු වීම පිළිබඳවයි; "අර්බුධයේ අතීතය, වර්තමානය සහ අනාගතය" කියවන්න).

 

 

ජේ.ආර්. විසින් 1982 ජනාධිපතිවාරණයට පෙර වයස 14ක දැරියක් දූෂණය කිරීම ඇතුළු මිනී මැරුම් ගණනාවකට වරදකරු වූ ගෝනවල සුනිල් නිදහස් කරන ලදී. පසුව ජේ.ආර්. විසින්ම සුනිල් හට මුළු දිවයිනටම සාම විනිසුරු තනතුරක් ලබා දෙන ලදී (පසුව සුනිල් එවකට අධ්‍යාපන ඇමතිව සිටි රනිල් වික්‍රමසිංහගේ bodyguard වරයා බවට පත්විය). ගෝනවල සුනිල් ව්‍යාපාරිකයෙකු බවට පත්කළේ රනිල් විසිනි. එසේ කරන ලද්දේ එවැනි අපරාදකරුවන් සහ කල්ලි කුලුගන්න්වා කරලියට ගෙන ඒම සඳහාය. එනම්, සුනිල් නිදහස් කිරීම සංකේතීය ක්‍රියාවකි. එම සංකේතීය ක්‍රියාව තුලින් UNPයට සහය දක්වන විශාල අපරාධ කල්ලි ප්‍රමාණයක් නිර්මාණය විය. ඒවා දීර්ග කාලයකට UNPයට බලය රැකගැනීම සඳහා සහ ලාංකීය ධනවාදයේ සුවිශේෂී කාලපරිච්ඡේදයකට අදාළ සමාජ-ආර්ථික කටයුතුවල අවශ්‍යතා සඳහා උපයෝගී කරගන්නා ලදී. ලාංකීය පාතාලය ප්‍රවර්ධනය වීමේ ආරම්භය එයයි.

("ප්‍රභූ උරුමයේ නිරුක්තිය" කියවන්න).

 

 

දේශපාලන ප්‍රභවරයා යනු බිය විය යුතු චරිතයකි. මෙම භයානකත්වය පවත්වා ගැනීම සඳහා ඔවුන් ප්‍රධාන වශයෙන්ම නඩත්තු කල යුතු සහ තෘප්ත කල යුතු කරුණු කිහිපයක් ඇත.

 

පෙනුම:-

  • වටිනා, අලුත් ඇඳුම් පැළඳුම් සහ ආයිත්තම් වලින් නිරන්තරයෙන් සැරසී සිටීම.
  • දින දෙකකට වරක් කොණ්ඩය (රැවුල තිබේ නම් රැවුල ද) නිසි පරිදි කපා නඩත්තු කිරීම.
  • සමේ පැහැය සඳහා අවශ්‍ය අහාර, ඉහල වටිනාකමින් යුතු විටමින් වර්ග ලබා ගැනීම සහ නිරන්තර සම්භාහන ප්‍රතිකාර ආදිය සිදු කිරීම.

 

චර්යාවන්:-

  • ප්‍රභූ රථයට නගින බසින විට දොර තමන් විසින් විවෘත කර නොගැනීම.
  • පරිවාර ආරක්ෂකයින් සමගින් හරි මැදින් ගමන් කිරීම.
  • ආවතේවකරුවන් තබා ගැනීම.
  • නිරන්තරයෙන් ආගමික නායකයින්ට ගරු කිරීම, ආගමික වතාවත් වල නිරත වීම, ආගමික ස්ථාන වැඳ පුදා ගැනීම.
  • හැකි සෑම අවස්ථාවකම ජාත්‍යන්තර ප්‍රභූන්, සුවිශේෂී පුද්ගලයින්, ව්‍යාපාරිකයින් සමග ගනු දෙනු කරන අකාරය සමාජයට දැකබලා ගැනීමට සැලැස්වීම (මැතිවරණ කාලයට තේ කඩ වලින් රොටී කා තේ බීමේ වැදගත්කම ඉස්මතුවන්නේ ප්‍රභූ චර්යාවේ එකලට අදාළ කොටසක් ලෙස පමණි).
  • අන්තක්පුර තබාගැනීම සහ එසේ තබාගෙන සිටින බව හැඟවීම.

 

ප්‍රභූ බිය නඩත්තු කිරීම:-

  • ප්‍රදේශයේ නම ගිය මැරවරයින් තම අතේවසිකයින් ලෙස ප්‍රසිද්ධියේ තබා ගැනීම.
  • පොලීසිය සහ යුධ හමුදාව පිරිවරාගනිමින් ඩිෆෙන්ඩර් වැනි විශේෂ වාහන, වටිනා වාහන, හැකිතාක් ප්‍රමාණයක් තම ගමන් බිමන් සඳහා යොදා ගැනීම සහ විශාල සන්නද්ධ ආරක්ෂකයින් පිරිසක් තබා ගැනීම.
  • තම උදව්කරුවන්, මැරයන්, පාක්ෂිකයින් සඳහා නිරන්තර නීතිමය ආරක්ෂාව සැපයීම සහ එසේ කරන බව ඒත්තු ගන්වමින් සමාජයට දකින්නට සැලැස්වීම.
  • තමන් ප්‍රශ්න කරන්නන්, විරුද්ධ වන්නන් හට පහර දීම හෝ බැරිම නම් මරා දැමීම සහ එසේ කල බව/කරන බවට සමාජයට දැනගන්නට සැලැස්වීම (නීති විරෝධී ව්‍යාපාර කරන්නන්, මැරයින්, චන්ඩින්, වැනි පිරිස් ප්‍රභූ දේශපාලනඥයා වටා එකතු වන්නේ එවිටය. ඔහුට විශාල පිරිස් බලයක් හිමි වීමේ යාන්ත්‍රනය එයයි).
  • විශේෂයෙන්ම ප්‍රදේශයේ පොලීසිය තමන්ට අවශ්‍ය පරිදි හැසිරවීමේ හැකියාව සහ ප්‍රදේශයේ සියලු රාජ්‍ය ආයතන හැසිරවීමේ හැකියාව තුලින් නිරන්තර අනුග්‍රහකත්වය නඩත්තු කිරීම.

 

 

දේපල සහ වත්කම්:-

  • සුවිසල් නිවාස සහ යාන වාහන තිබීම.
  • අනුන්ගේ නමින් ව්‍යාපාර පවත්වාගෙන යාම.
  • විදේශ රටවල දේපල මිලදී ගැනීම.
  • ඒ සියල්ල සිදු කොට කිසිඳු නීතිමය ප්‍රශ්නයක් ඇති නොවන බව පෙන්වීම.

 

 

ඉහත සඳහන් කල ප්‍රභූ දේශපාලනයේ ස්වර්ණමය යුගය වූයේ ජේ.ආර්.-ප්‍රේමදාස යුගයයි. එකල UNP කාරයින් හට එරෙහිව දේශපාලනය කිරීම පහර කෑමට ලක්වීමට, ගෙවල් ගිනි තැබීම් සිදුවීමට, රාජ්‍ය සේවකයින් හට නම් දුර ප්‍රදේශ වලට මාරුවීම් ලැබීමට හෝ හැකි නම් රැකියාව අහිමි කිරීම වැනි තත්වයන්ට මුහුණ දීමට හේතු වේ. එකල පොලීසියකින් රාජකාරියක් කර ගැනීමට නම් දේශපාලන අනුග්‍රහය නැතුවම බැරිය. මිනී මැරුමක් වුව ද සිදු කර නිදහසේ සිටීමේ හැකියාව උපරිමයෙන් තිබූ කාර්තුව එයයි.

 

 

1994 වර්ෂයේදී චන්ද්‍රිකා බලයට පැමිණීමෙන් පසුව ඉහත සඳහන් කල තත්වයේ යම් ලිහිල්වීමක් සිදුවුව ද මූලික වශයෙන් වෙනසක් සිදු නොවීය.

 

ජේ.ආර්-ප්‍රේමදාස යුගය ස්වර්ණමය යුගය නම් ප්‍රභූ දේශපාලනයේ ප්ලැටිනම් යුගය උදා වන්නේ රාජපක්ෂ පාලනය යටතේය. ලාංකීය පාතාලය, මත් ද්‍රව්‍ය ජාවාරම්, මුදල් විශුද්ධීකරණය, දිනපතා සිදුවන මිනී මැරුම්, සමාජය පාදඩකරණය වීම, පාරිසරික වශයෙන් දැවැන්ත විනාශයක් අත්කර ගැනීම, වැනි මහා පරිමාන ලෙස රටේ තත්වය ඉතාම නරක අතට හැරීම සිදු වූයේ එම යුගයේදීය. නමුත් සිංහල බෞද්ධ ජාතිකවාදීන්ට අනුව "සිංහල බෞද්ධ ජාතිකත්වය" ආරක්ෂා කෙරුනේ ඒ යුගයේදීය.

 

ජ.වි.පෙ. ආගමනයත් සමග සුනු විසුනු වෙමින් යනු පෙනෙනුයේ මේ ප්‍රභූ දේශපාලනයයි (ප්‍රභූ දේශපාලනඥයා වියැකී යාම දරා ගත නොහැකි කාංසා තත්වයක් ලෙස අත්විඳින විශාල පිරිසක් ද සිටී). ලිබරල් පුද්ගල සාධකය ප්‍රමුඛ වීමට එරෙහිව සාමුහික ප්‍රයත්නයක වැදගත් කම ඉස්මතුවීම එහි ඇති සුවිශේෂිත්වයයි. එනම්, පුද්ගල සුවිශේෂිතාවය යන්න පරාජය කිරීමේ දිශානතිය දෙසට ආරම්භයක් ලබා ගත හැකිව තිබේ.

 

තත්වය මෙසේ තිබියදී ජා.ජ.බ ආණ්ඩුව වෙතින් සමාජවාදය බලාපොරොත්තු වීම යනු සමාජවාදය පිළිබඳව කිසිඳු හැඟීමක් හෝ අපේක්ෂාවක් නොමැති ඊට ඡන්දය ලබා දුන් ඡන්ද දායකයාට එරෙහි වීමකි. ජා.ජ.බ. වෙතින් ඊනියා "ජනතාව" බලාපොරොත්තු වන්නේ උපරිම භාණ්ඩ සහ සේවා පාරිභෝජනයක් සහිත සුඛපරමවාදී ලෝකයකි. ජා.ජ.බ. බලය ලබාගන්නේ සොරකම්, වංචා සහ දූෂණ නැති කොට උපරිම කාර්යක්ශ්‍යමතාවයකින් ක්‍රියා කොට එම සුඛපරමවාදී ෆැන්ටසිය සාක්ෂාත් කර දෙන බවට වන පොරොන්දුව මතය. නමුත් ඉන් යම් පමණකට අපගමනය වීමට ප්‍රතිපත්ති ප්‍රකාශනය තුල උත්සහ දරා ඇත (උදාහරණයකට පුද්ගලික වාහන වෙනුවට පොදු ප්‍රවාහනය ප්‍රවර්ධනය කිරීම වැනි).

 

කෙසේ වෙතත් දැන් "ජනතාව" පෙට්‍රල් ලීටරය රුපියල් 50ට ඉල්ලා සිටී ("උද්ඝෝෂකයින් විසින් ඉල්ලා සිටින්නේ කුමක්ද?" සහ “ආදරයේ අරගලය” කියවන්න).

 

 

එබැවින් ජ.වි.පෙ. දේශපාලන සීමාව "ජනතාව" විසින් සලකුණු කොට ඇත. එසේම එහි දිශානතිය වෙනස් කිරීම සඳහා අධ්‍යතන ධනවාදය පිළිබඳව ජ.වි.පෙ.ට අවබෝධයක් ද නොමැත. එම අවබෝධය නොමැත්තේ ජ.වි.පෙ.ට පමණක් නොවේ. ඊට එරෙහි වන පෙ.ස.ප.ට ද ඇත්තේ ජ.වි.පෙ.ට ඇති අවබෝධයම පමණි. එපමණක් නොව, දෙපාර්ශවයම ජනතාවදීය. මෙම තත්වය තුල අපට පෙ.ස.ප. වෙතින් ඇසීමට ප්‍රශ්නයක් ඇත.

 

 

එනම්:-

රටේ පාලනය ඇතුළු සකල කටයුතු සිදු කිරීම සඳහා පෙ.ස.ප. වෙත ජා.ජ.බ. ආරාධනා කළහොත් (ජා.ජ.බ. පක්ෂයේ කිසිඳු බලපෑමක් නොමැතිව) ඔබ එය සිදු කරන්නේ කෙසේ ද? ඔබ එසේ නම් සමාජවාදී ආර්ථිකයක් කරා ගමන් කරන්නේ ද? ඒ කෙසේ ද?

එම ප්‍රශ්නයට පිළිතුරු ලබා දීම සඳහා පෙ.ස.ප.ට බල කිරීම පෙ.ස.ප. සපෝටර්ලාගේ වගකීමකි.

 

 

මොන බයිලා ගැසුව ද වමේ සීමාව සලකුණු වී අවසන්ය. එසේ වී බොහෝ කල් ගත වී ඇත. ජ.වි.පෙ. සහ පෙ.ස.ප. යන පක්ෂ දෙකම තේරුම්ගත යුත්තේ එයයි. අවශ්‍ය වන්නේ දෘෂ්ටිවාදය විචාරය සහ ඒ තුලින් ධනවාදී කතිකාවට එරෙහිව කතිකාව ගොඩනැගීමයි. රාජ්‍ය බලය හිමි ජ.වි.පෙ.ට ඒ සඳහා මහඟු අවස්තාවක් උදා වී තිබේ (ඔවුන් විසින් මුලින්ම කල යුතු කාර්යක් වන්නේ රටේ ජනප්‍රියව පවතින රූපවාහිනී දේශපාලන සංවාද කලාව වෙනස් කිරීමයි. පුද්ගල වටිනාකම් අවධාරණය කරන, පුද්ගල සුවිශේෂිතාවය මත විශ්වාසය තබන, ධනවාදය තුල එදිනෙදා ඇතිවන ප්‍රශ්න ගැන සහ ආර්ථිකය ගැන කතා කරන, ලිබරල් දේශපාලන සංවාද ආකෘතිය වෙනස් කල යුතුව ඇත. නමුත් නැවතත් ප්‍රශ්නය වන්නේ එසේ කිරීමේ ශක්‍යතාව ජ.වි.පෙ. සතු නොවීමයි).

 

 

ඒ අනුව, මහා මැතිවරණයෙන් පසුව කල යුතුව ඇත්තේ ජ.වි.පෙ. ආණ්ඩුවට එරෙහි වී නැවත UNPය බලයට ගෙන ඒම සහ පැවති ප්‍රභූ දේශපාලනය නැවතත් කරලියට ගෙන ඒම නොව දෘෂ්ටිවාදය විචාරය සහ ඒ තුලින් ධනවාදී කතිකාවට එරෙහි කතිකාව ගොඩනැගීමයි. පැහැදිලි ලෙසම උද්දච්ච පෙ.ස.ප. (විශේෂයෙන්ම එහි දාර්ශනිකයා වන ක්වන්ටම් ජයගොඩ) ඒ සඳහා අවශ්‍ය සංවාදයට සූදානම් නොවෙනු ඇත. ජ.වි.පෙ. ද ඊට නොදෙවෙනිය. එසේ නම් ඉතිරිවන්නේ කවුද?

 

 

@මාධව රුවන්පතිරණ

පෙර ලිපි කියැවීම සඳහා http://www.spartacus.lk වෙබ් අඩවියට පිවිසෙන්න.

 

නවතම ලිපි