ශ්‍රී ලාංකේය ජනසමාජයේ බහුතර ජන කොටස සංයුක්ත වන්නේ සිංහලයන්ගෙනි.
ඔවුන්ගේ පුරුදු හැටියට වර්ෂයකට නියමිත වූ උත්සව ගණනාවකි.
ඒවායේ විවිධ චාරිත්‍ර විධි අනුගමනය කරනු ලැබේ.
එමෙන්ම දේශපාලන පක්ෂවලටද වර්ෂයක් තුළ නියමානුකූල වූ උත්සව හා සැමරුම් ගණනාවකි. ඒවා නම් මැයි දිනය, හර්තාල් සැමරුම, පක්ෂ සංවත්සරය ආදිය වේ. අද නම් හර්තාල් සැමරුමක් නැතුවා වගේය. 53 හර්තාලය ගැන වඩාත් වැදගත් ලෙස සැලකුවේ සමසමාජ සහ කොමියුනිස්ට්කාරයන්ය. ශ්‍රී ලංකාකාරයන් නම් සැප්තැම්බර් 26 වැනිදා හොරගොල්ලේදී බණ්ඩාරනායක සැමරුමක් පවත්වයි. පසු කලෙක උතුරේ එල්.ටී.ටී.ඊ. විරුවන් මෙන්ම තිලීපන්ගේ සැමරුම් දක්නට ලැබිණි.
සාම්ප්‍රදායික වමට පිටින් බිහිවූ ජවිපයේ දේශපාලන ක්‍රියාකාරකම් ලැයිස්තුවේ උත්සව හා සැමරුම් ගණනාවකි. ඒ අතර ප්‍රමුඛ තැනැක් ගත්තේ ඉල්මහ විරු සැමරුමයි. එයින් ජවිපෙ සමරනු ලබන්නේ එම ව්‍යාපාරය වෙනුවෙන් ජීවිතය කැපකළ සහෝදර සහෝදරියන් සිහිකිරීමයි. කාඩර්වරුන්ගෙන් සැදුණු ජවිපෙට ව්‍යාපාරය වෙනුවෙන් ජීවිතය පරදුවට තැබූවන් පිළිගැන්වීම විශේෂ දේශපාලන ක්‍රියාවකි.
ඉල් විරු දිනය ලෙස ජවිපෙ නියම කර ගත් දිනය වන්නේ නොවැම්බර් 13 වැනිදාය. පසුගිය වසරේ නොවැම්බර් 13 වැනිදා නම් ඉල් සැමරුවක් නොමැතිය. මෙම වසරේ නොවැම්බර් 13 වැනිදා ඉල් සැමරුමක් පිළිබඳ හෝඩුවාවක් නැත. රාජ්‍ය පාලනයේ රස බලන ජවිපෙට ඉල් විරුවන් අමතක වෙලා වගේය. ජවිපෙ ඉල් විරුවන්ගේ ප්‍රධානතම සහෝදරයා වන්නේ විජේවීර ය.
මාක්ස් – ලෙනින් විසි වේ
පසුගිය වාර ගණනාවකදී ජවිපෙ මැයි දින සමරු උත්සවවලදී කාල්මාක්ස්, ලෙනින්, එංගල්ස් හා විජේවීරගේ ෆොටෝ දක්නට ලැබුණේ නැත. රාජ්‍ය බලයේ රස බලන ජවිපය දැන් සොයාගෙන ඇත්තේ විජේවීරගෙන් තොර වූ තියරියක්ද? එදා නම් ජවිපෙ සහෝදරයන්ට පන්ති පහ දිව්‍ය රසයකි? රාජ්‍ය පාලනයේ රස විඳින ජවිපෙය තෝරාගෙන ඇත්තේ කවරෙක් දැයි කියන්නට සමතෙක් නැත. ඒ අන් කවර හේතුවක් නිසාවත් නොව ඡන්ද බලයෙන් ජයගෙන රට කරවන විට, තියරියෙන්ම ගොඩයා නොහැකි බව තේරුම්ගෙන විය හැකිය. මෙවන් පසුබිමක ජවිපෙ පැරැණි විධි ක්‍රම කොපමණ ප්‍රමාණයක් වෙනස් වන්නේ දැයි ඉදිරියේදී බලාගත හැකිය.
ජවිපෙ පැරැණි විධි ක්‍රම එසේම පවත්වාගෙන යෑමට හෝ විජේවීරගේ පුතු උවිඳු දෙවැනි පරපුර නම් දේශපාලන ව්‍යාපාරයක් පටන්ගෙන ඇත. එවැන්නක් උවිඳු පටන් ගත්තේ තම පියාගේ දර්ශනය පළමු පරපුරෙන් ඉටුනොවන නිසා විය හැකිය.
@බෙනට් රූපසිංහ
ඉරිදා මව්බිමෙන්.