යකුන් සන්සුන් වන්නේ එක්කෝ හති වැටුණු විටය. නැතිනම් ගොදුරකට කුරුමානම් අල්ලන විටය.
ඒ කවරක් වෙතත් මෙවර මැතිවරණය අභිමුව වෙනදාට අවදි වන සියලු යක්ෂයෝ ඇල් මැරුණු සන්සුන් ස්වභාවයක් පෙන්වති. බොහෝ විමානවල දැසි දසුන් ද පිරිහී ගොසිනි.
මැතිවරණයක් අභිමුව ශ්‍රී ලාංකීය දේශපාලනය මෙතරම් සන්සුන් ස්වභාවයක් ගත් කාලයක් මතක නැති තරම්ය. ගැටුම් වැටුම්, ඇනකොටා ගැනීම් සේම, රහස් කතා ද සිදු නොවන්නේ ද නොවේ. ඒ සියල්ල සිදුවන්නේ ඔවුන්ගේ කුටිවලම අඳුරු මුළුවලය.
හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මැතිවරණ වේදිකාව තුළ සීඝ්‍රයෙන් සක්‍රිය වීම ඉකුත් සතියේ නිරීක්ෂණය වූ සුවිශේෂී සිදුවීමක් විය. ඒ අනුව ආන්දෝලනාත්මක ප්‍රකාශ කිහිපයක්ම සිදු කරමින් ඔහු නැවතත් කරළියට පැමිණියේය.
“බහුතරයක් මට ඡන්දය දුන්නේ නැහැ. ඉතින් මම පැරදිලා. ඉතින් එතුමාටත් බහුතරයක් දීලා නැහැ. ඉතින් එතුමාගේ සහ මගේ වෙනස මොකක්ද? මම බහුතරයක් නැති හිටපු ජනාධිපති. එතුමා බහුතරයක් නැති ඉන්න ජනාධිපති. එතුමට වගේම මටත් බහුතරය නෑ. අපි දෙන්නම ඉන්නේ එකට.”
හිටපු ජනාධිපතිවරයා පසුගිය සතියේ ආරම්භයේදීම මීගමුවේ පැවති රැලියකදී එසේ පවසා තිබුණි. එයින්ද නොනැවතුණු ඔහු, සතිය පුරා විවිධ දෑ කියන්නට වූයේ තමා දේශපාලන භූමියේ කොතරම් සක්‍රීය දැයි පෙන්නුම් කරන්නට මෙනි.
මීළඟට රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයා පැටලී තිබුණේ අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය සමඟයි. රාජ්‍ය සේවක වැටුප් වැඩි කිරීම සම්බන්ධව හරිනි අමරසූරිය පාදුක්කේ පැවති රැස්වීමකදී කියා තිබුණේ මෙවන් කතාවකි.
“දැන් රනිල් වික්‍රමසිංහ කිව්වට රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වර්ධනය කිරීමට තීරණයක් ගත්තා කියලා, අපි ඒ කැබිනට් සාකච්ඡාවේ කැබිනට් තීරණය බලනකොට භාණ්ඩාගාරයෙන්වත් මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන්ගෙන්වත් අනුමැතියක් අරගෙන නෙමෙයි ඒ තීරණය අරගෙන තියෙන්නේ. තීරණය ප්‍රකාශ කළා. නමුත් කරන්න ඕනෑ කොටස කරලා නෙමෙයි ඒ තීරණය අරගෙන තියෙන්නේ. එතකොට ඒකෙන් මොකක්ද කියන්නේ? ඒක ඉතාමත්ම පැහැදිලිව ජනතාව නොමග යවන්න මැතිවරණ කාලය තුළ දුන්න බොරු පොරොන්දුවක්.”
කඩිනමින්ම මීට ප්‍රතිචාර දැක්වීම සඳහා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු කළේය.
“මෙතුමිය කියන්නේ නිලධාරීන්ගේ අනුමැතිය ඕනෑ කියලා කැබිනට් මණ්ඩලයට ක්‍රියා කරන්න. කොහෙන්ද ව්‍යවස්ථාව ඉගෙන ගත්තේ? ව්‍යවස්ථාවේ 43 වැනි වගන්තිය කියනවා ජනරජයේ පාලනය මෙහෙයවීම සහ ඒ පාලනය පිළිබඳ විධානය භාර අමාත්‍ය මණ්ඩලයක් වන්නේය.”
ව්‍යවස්ථාව ගැන දන්නේ නැතිනම් තමන්ගෙන් හෝ හිටපු අගමැතිවරයාගෙන් ඒ ගැන ඉගෙනගත හැකි බව හෙතෙම පැවසීය.
ගැටුම මෙයින්ද නොනැවතුණු අතර අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය ද නැවතත් මීට ප්‍රතිචාර දැක්වීය.
“රනිල් වික්‍රමසිංහ කියල තියෙනවා, ව්‍යවස්ථාව ගැන හරිනි දන්නෙ නෑ, ඒ නිසා ව්‍යවස්ථාව ගැන දැනගන්න ඕනෑ නම් එයා කියල දෙන්නම් කියලා. යන්නද මං එයාගෙන් පාඩම් ටිකක් ඉගෙන ගන්න ව්‍යවස්ථාව ගැන? මං දන්නෙ නෑ. එන එන මැතිවරණයෙන් පරාජය වෙනවා. 17 පාරක් ප්‍රතික්ෂේප වෙලා තාම යන්නෙ නෑ. එල්ලි එල්ලි එනවා. ලොකුම විහිළුව රනිල් වික්‍රමසිංහ කියනවා, එයාට පුළුවන්ලු ව්‍යවස්ථාව ගැන කියලා දෙන්න.”
මේ අනුව රනිල් - හරිනි ගැටුම නමින් නව දේශපාලන ගැටුමක් නිර්මාණය වනු ඇති බව බොහෝ දෙනෙක් විශ්වාස කරන්නට වූහ.
මේ අතර උදය ගම්මන්පිලගේ පාස්කු කතාව ද මෙගා ටෙලියක් බවට පරිවර්තනය වන ලකුණු දැකගත හැකි විය. ඔහු නැවතත් වාර්තා එළි දක්වමින් විවිධ දෑ ප්‍රකාශ කළේය. ගම්මන්පිල සඳහන් කරන සියල්ලටම පෙරළා ප්‍රතිචාර දැක්වීමට ආණ්ඩුව සූදානමින් සිටින බවද පෙනී ගියේය. මෙය ද නොනවතින ගැටුමක් බවට පරිවර්තනය වූයේ එලෙසිනි.
අමාත්‍ය විජිත හේරත් ගම්මන්පිලගේ ප්‍රකාශයන්ට නැවතත් පිළිතුරු ලබා දෙන්නට විය.
“ගම්මන්පිල මහත්තයාගේ උවමනාව හරිම පැහැදිලියි. එතුමා ඉලක්ක කරගන්නේ, රවී සෙනෙවිරත්න සහ ශානි අබේසේකර මහත්වරුන්ව. ඒ වගේම එතුමා හමුදා බුද්ධි අංශයේ සමහර අය ඉලක්ක කරලා තියෙනවා, ඒ අය මේකට සම්බන්ධ නෑ කියලා. ඒක තමා ඔය චැනල් 4 නාළිකාවේ වාර්තා වැඩසටහන පිළිබඳව ඉමාම් මහතාගේ මූලිකත්වයෙන් කරපු වාර්තාව. ඒ වාර්තාවේ අවසානයේ ඔහු කියන්න හදන්නේ ඒකනේ. අපි බලමු. ඔය පරීක්ෂණ එක එක්කෙනා කියන ඒවා නෙමෙයි, රජයක් විදියට අපි මේ පිළිබඳ පුළුල් විමර්ශනයක් කරනවා. ඒ විමර්ශනයෙන් පස්සේ, කොතැනද හරි, කොතැනද වැරදි, කවුද වගඋත්තරකරුවෝ කියලා පැහැදිලිව අවසන් තීන්දු ගන්නවා. ඒ නිසා කලබල වෙන්න ඕනෑ නෑ. කවුරු කලබල වුණත් අපි කලබල වෙන්නේ නෑ.”
මීට සමාන්තරවම උදේ ගම්මන්පිල ද අමාත්‍ය විජිත හේරත් ඉලක්ක කරන්නට විය.
“මාලිමා ආණ්ඩුව කිසිම ආයතනයකින් හරි සංවිධානයකින් හරි කිසිම ණයක් අරගෙන නැහැ කියල විජිත හේරත් අමාත්‍යතුමන් කිව්වට ඒක බොරුවක්. අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති ධුරයට පත්වුණාට පස්සෙ ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන දෙසීයක ණයක් මෙරටට ලබාදුන් බව එම ආයතනයේ වෙබ් අඩවියේ තියෙනවා. අල්විස් කමිටු වාර්තාව ප්‍රතික්ෂේප කරපු විදියටම ආණ්ඩුවේ මාධ්‍ය ප්‍රකාශක විජිත හේරත් ඇමැතිතුමා ඉමාම් කමිටු වාර්තාවත් ප්‍රතික්ෂේප කර තිබෙනවා.”
ඒ අනුව උදය - විජිත ගැටුම විකාශනය ද නොනවතින බව තවදුරටත් සහතික විය.
ජනපති අනුරට සජිත්ගෙන් ඇමතුමක්
මේ අතර පසුගිය සතියේ සිදුවූ දේශපාලන අනාවරණ අතරේ ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගෙන් ලැබුණු විශේෂ දුරකථන ඇමතුමක් පිළිබඳ අනාවරණයක් ද දැකගත හැකි විය.
“මේ ඇමතුම ඇවිල්ලා තියෙනවා කියන්නේ ආරුගම්බේ අනතුරු ඇඟවීම් නිකුත් වුණු වෙලාවේ. සජිත් ප්‍රේමදාස මහත්මයා ජනාධිපතිතුමාට කතා කරලා තොරතුරු අහලා තියෙනවා.”
ආරංචි මාර්ග සඳහන් කරන පරිදි සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපතිවරයාගෙන් මේ හා සම්බන්ධ කරුණු රැසක් විමසා ඇතැයි කියැවෙයි.
“අනතුරු ඇඟවීම සඳහා හේතු වූ කරුණු මොනවද?”
“මේ වෙලාවේ අරගෙන තියෙන ක්‍රියාමාර්ග මොනවද?”
එවැනි ප්‍රශ්න සේම තානාපති කාර්යාල සමඟ පවතින සබඳතා සහ අනාගතයේදී සංචාරක කර්මාන්තයට එල්ල විය හැකි බලපෑම් පිළිබඳව ද මෙහිදී සාකච්ඡා වී ඇතැයි කියැවේ.
ඉකුත් සතියේ ජනාධිපතිවරයා පිළිබඳ දැන ගැනීමට ලැබුණු තවත් පුවතක් වූයේ ත්‍රිකුණාමලයේ පැවති දේශපාලන රැස්වීමක් සඳහා ඔහු පැමිණි මොහොතක සිදුවූ සිදුවීමකි. නැගෙනහිර පළාත් ආණ්ඩුකාරවරයා ආහාර වේලක් ලබා ගැනීම සඳහා ජනාධිපතිවරයාට සිය නිල නිවෙසට ආරාධනා කර ඇතැයි කියැවෙයි.
“ඔබතුමා ත්‍රිකුණාමලේ එන නිසා, ආණ්ඩුකාර නිල නිවෙසට එන්න.”
කෙසේ වෙතත් ආරංචි මාර්ග සඳහන් කරන පරිදි ජනාධිපතිවරයා මෙම යෝජනාව ප්‍රතික්ෂේප කර තිබේ.
“මම එන්නේ දේශපාලන රැස්වීමකට. මේ වෙලාවේ එහෙම එන එක හොඳ නෑ.”
තමා රාජකාරිමය කටයුත්තකට පැමිණි අවස්ථාවකදී ආණ්ඩුකාර නිල නිවෙසට පැමිණෙන බවත්, දේශපාලන රැස්වීමක් සඳහා පැමිණ ආහාර වේලක් සඳහා ආණ්ඩුකාර නිල නිවෙසට යෑම එතරම් උචිත නැති බවත් ජනාධිපතිවරයා පැවසූ බවට තොරතුරු වාර්තා හමුවේ.
මේ අතර ජනප්‍රිය නළු රන්ජන් රාමනායක රඟ දක්වන තවත් දේශපාලන රංගනයක් තිරගත වෙමින් තිබුණි. මීට හේතු වී තිබුණේ ඔහු ඉදිරිපත්ව සිටින දේශපාලන පක්ෂයේ හිමිකම පිළිබඳ කතාවකි. රාමනායක මහතා ඇතුළු පිරිස මහ මැතිවරණය සඳහා ඉදිරිපත්ව සිටින එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී හඬ (United Democratic Voice) පක්ෂය මීට පෙර හඳුන්වනු ලැබුවේ එක්සත් කොංග්‍රස් පක්ෂය ලෙස යැයි සමාජ ක්‍රියාකාරියකු වන ඕෂල හේරත් එහි ආරම්භයේදීම හෙළිදරව් කර තිබුණි. ඔහු පවසා තිබුණේ මාධ්‍ය ආයතන අධිපතියකු වන ලයිකා මොබයිල් අධිපති අල්ලිරාජා සුභාෂ්කරන් මෙම ව්‍යාපෘතිය පිටුපස සිටින බවයි. අනතුරුව ඉකුත් සතියේ මෙම සිදුවීම් දාමය පුපුරා යාම ඇරඹුණි.
පසුගිය සතියේ රන්ජන් රාමනායක මැදි වූ ගැටලුව වූයේ ඔහුගේම පක්ෂයේ අපේක්ෂකයකු ඉකුත් සතියේ මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් සිදු කරනු ලැබූ හෙළිදරව්වයි.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හා නළු රන්ජන් රාමනායක සිදු කරනු ලබන්නේ ලයිකා මොබයිල් ආයතනයේ දේශපාලන ව්‍යාපෘතියක් බව කියමින් කරළියට පැමිණියේ එම පක්ෂයේම කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක ප්‍රසන්න අධිකාරිය.
“මේ පක්ෂයේ නායකයා ඇත්තටම රන්ජන් රාමනායකද? ජාතික සංවිධායක ටී.එම්. ඩිල්ෂාන්ද? ඒ ගැන ප්‍රශ්නයක් ආවා. මැතිවරණ දෙපාර්තමේන්තුවේ තොරතුරු හොයා බැලුවා. අන්තර්ජාලයේ පක්ෂය සම්බන්ධව කියන තොරතුරු හොයා බැලුවා. ඒ කිසිම තැනක මේ අයගේ නම් නැහැ. මම කියනවා ඔබටත් හොයා බලන්න කියලා.”
පක්ෂයේ නායකයන් දෙදෙනා මෙය හා සම්බන්ධ නිවැරදි තොරතුරු හෙළිදරව් කළ යුතු බවත්, එසේ නොමැති නම් සිදුවන්නේ නංගි පෙන්වා ආච්චි දුන්නා වැනි වැඩක් බවත් ඔහු කියා සිටියේය.
මේ අතර රන්ජන් රාමනායකගේ නව දේශපාලන බලවේගයට විරුද්ධව තවත් පාර්ශ්ව වෙතින් චෝදනා නැගෙන්නට විය. හොරු අල්ලන්න ආ රන්ජන් රාමනායකව, හොරෙක් විසින් අල්ලාගෙන ඇතැයි කියා තිබුණේ සර්වජන බලවේගයට නායකත්වය ලබාදෙන දිලිත් ජයවීරයි.
පසුගිය සතියේ ශ්‍රී ලංකා දේශපාලනයේ කැළඹීමට පත් වූ තවත් පිරිසක් වූයේ හිටපු ජනාධිපතිවරුන්ය. හිටපු ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද කප්පාදු කිරීමට ආණ්ඩුව විසින් ගනු ලැබූ තීරණයත් සමඟ මෙම කැළඹීම නිර්මාණය විය. මේ අනුව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාව ද අඩු කිරීමට කටයුතු කර ඇතැයි දේශපාලන ආරංචි මාර්ග වාර්තා කළේය. තවදුරටත් සක්‍රීය දේශපාලනයේ නිරත වෙමින් රැස්වීම්වලට පවා යන, යුද ජයග්‍රහණය ලබා ගැනීමට දායකත්වය ලබාදුන් හිටපු ජනාධිපතිවරයාගේ ආරක්ෂාව අඩු කිරීම පිළිබඳ එම පාර්ශ්වය තුළ දැඩි විරෝධයක් මතු වෙමින් තිබුණි.
“මහින්ද රාජපක්ෂ මහත්මයාට දීලා තියෙන්නේ වාහන දෙකයි, මෝටර් බයිසිකල් දෙකයි, ත්‍රීවිල් එකයි. මෙහෙම ආරක්ෂාව තහවුරු කරන්න බෑ. යුද ජයග්‍රහණය ලබපු ජනාධිපතිවරයා විදිහට එතුමගෙ ජීවිතයට තර්ජන තියෙනවා.”
මේ අනුව යමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් ආණ්ඩුවට ද කරුණු වාර්තා කිරීමට සූදානම් වන බව ආරංචි මාර්ග ඔස්සේ දැන ගැනීමට ලැබුණි. ඔහු පෙන්වා දෙන්නේ තමාට කිසිදු වරප්‍රසාදයක් අවශ්‍ය නොවන අතර අනෙක් ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාව පිළිබඳව රජය අවධානය යොමු කළ යුතු බවය.
මේ අතර හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ද ජනාධිපතිවරුන්ට ලබාදුන් වරප්‍රසාද කප්පාදුව පිළිබඳව අදහස් දක්වා තිබුණි.
“ජනාධිපතිවරුන්ගේ ගෙවල් ඉවත් කරනවාලු. මට ප්‍රශ්නයක් නෑ. මම ආණ්ඩුවෙ ගෙදරක නෙමෙයි ඉන්නේ. ඒක මට ප්‍රශ්නයක් නෙමෙයි. මොනවටද චන්ද්‍රිකා මැඩම්ව පන්නන්නේ. එයාට ඔය ගෙදර ඉන්න දෙන්න. මට විශේෂ දෙයක් නෑ. ඒත් මනුස්සකමට මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ජීවිතයට ආරක්ෂාව උවමනා නම්, යුද්ධය අවසන් කරපු කෙනා ගැන ඒක හිතලා බලන්න. අද ඔක්කොමලා කෑ ගහනවා එකම දේ කියලා. ඒක වෙන එකක්. අද ජනප්‍රිය නෑ මිනිස්සු අතර. ආරක්ෂාව ප්‍රශ්නයක් තියෙනවා නම් අපි දෙන්න ඕනෑ කාට වුණත්. ඒක නවත්වන්න එපා. අනිත් අයට දෙන්නකෝ. මගේ ඒවා ඔක්කෝම අයින් කරන්නකෝ.”
මෙම සිදුවීම්වලට අදාළව හිටපු ජනාධිපතිවරුන් අතර කතාබහක් නිර්මාණය වී ඇති බවත්, ආරක්ෂාව අඩු කිරීම පිළිබඳව ආණ්ඩුව දැනුවත් කිරීමට ඔවුන් කටයුතු කිරීමට ඉඩ ඇති බවත් දේශපාලන ආරංචි මාර්ග ඔස්සේ දැන ගැනීමට ලැබුණි.
පසුගිය සතියේ මැතිවරණ වේදිකාවේ අසන්නට ලැබුණු තරමක අමුතු කතා කිහිපයක් ද විය. ඒ අතරින් ජාතික ජනබලවේගය වෘත්තීය සමිතිවලට කරන්න යන දෙය කියා තිබුණේ ජාතික ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු අපේක්ෂක ලක්ෂ්මන් නිපුණආරච්චිය.
“අද මම කිව්වයි කියලා හිතේ තියාගන්න, ඒ ස්ට්‍රයික් ඉතිහාසය නැති වෙනවා ඉස්සරහට. කාට විරුද්ධවද ස්ට්‍රයික් කරන්නේ. ආණ්ඩුවත් එක්ක මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් කතා කරලා බේරගන්න.
අද උපදින දරුවන්ට තව අවුරුදු 10 ක් 15 ක් යනකොට ඒ ළමයින්ට කියලා දෙන්න වෙනවා, පුතේ ස්ට්‍රයික් එකක් කියන්නේ මේකයි කියලා. ඇඳිරි නීතිය කියලා දෙන්න වෙනවා, පුතේ ඇඳිරි නීතිය කියන්නේ මේකයි කියලා. ඒ කිසිත් නැති හොඳ රටක් මේ නිර්මාණය කරන්නේ. බලන්නකො බොරුද කියලා.”
මේ අතර පසුගිය සතියේ බත්තරමුල්ලේ සීලරතන හිමියන් හැටන් ගොස් තිබුණි. වතුකරයේ ජනතාව දීපවාලි උත්සවය සමරන ආකාරය පිළිබඳව සොයා බැලීමට සහ ජනසෙත පෙරමුණෙන් නුවරඑළිය දිස්ත්‍රික්කයට තරග කරන අපේක්ෂකයන්ගේ ජය තහවුරු කිරීම වෙනුවෙන් හැටන් පැමිණි අවස්ථාවේදී මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වීමට ද සීලරතන හිමියෝ කටයුතු කළහ.
“දමිළ මුස්ලිම් ජනතාව සමඟ සහජීවනයෙන් කටයුතු කළ හැකි එකම දේශපාලන පක්ෂය වන්නේ ජනසෙත පෙරමුණයි. මෙවර මහ මැතිවරණයේදී සියලුම ඡන්දදායකයන් ජනසෙත පෙරමුණ වටා එක්වීමෙන් මේ රට ගොඩගන්න පුළුවන්.”
මෙලෙස අදහස් දක්වමින් බත්තරමුල්ලේ සීලරතන හිමියන්, වතුකරයේ දේශපාලන පක්ෂ සහ නායකයන් ජනතාවට බත් පාර්සල්, අරක්කු බෙදමින් ඔවුන් රවටමින් සිටින බවද සඳහන් කොට තිබුණි.
මේ අතර මාධ්‍ය වාර්තා කර තිබුණු පරිදි තවත් අපූරු කතාවක් කියා තිබුණේ ජාතික ජන බලවේගයේ කේ.ඩී. ලාල් කාන්ත මහතාය. ඔහු මෙම කතාව කියා තිබුණේ මෙවර මැතිවරණයට ඉදිරිපත් වී සිටින ලක්ෂ්මන් කිරිඇල්ල මහතාගේ දියණිය පිළිබඳවයි. ඇය සිය මැතිවරණ ව්‍යාපාරය සඳහා “කිරිකෝඩු කිරිඇල්ල” නම් තේමාවක් භාවිත කරමින් සිටී. එම නිසාම මේ දිනවල සමාජ මාධ්‍ය තුළ ද ඇය පිළිබඳ විශේෂ අවධානයක් යොමුව ඇත.
“කිරිකෝඩු හිතට ආල නුඹේ දෑස යා වුණා.. එයාටත් එකක් තියමු. ෆොටෝ එකත් නිකං ගතියක් තියෙනවානේ. මං වාහනේ නතර කරලත් බැලුවා. ඉන්නවා නිකං ජම්බු ගෙඩිය වගේ. හා නැද්ද? මමත් කොල්ලෙක්නෙ තවම. තරුණයෙක්නෙ. මට නිකං බලන්නම හිතුණා. මම රියැදුරු මල්ලිට කීවා, නතර කරපං රිවර්ස් කරපං කියලා. ඇත්තටම බැලුවා.”
ලාල් කාන්ත මහතා මේ බව කියා තිබුණේ මහනුවර ජන හමුවකට සහභාගී වූ අවස්ථාවේදීය.
මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වෙනුවෙන් මැතිවරණය මෙහෙයවීමේ සම්පූර්ණ බර සිය කර මතට ගෙන සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ රට පුරා රැස්වීම් 140 ක් පමණ ආවරණය කිරීමට සූදානම් වන බව ආරංචි මාර්ග ඔස්සේ දැන ගැනීමට ලැබුණි.
පසුගිය සතියේ නාමල් රාජපක්ෂ ද මැදවච්චියේ පැවැති රැස්වීමකට සහභාගි වෙමින් විශේෂ ප්‍රකාශයක් සිදු කර තිබුණි.
“අපිට පුළුවන් දේ අපි පුළුවන් කියනවා, බැරි දේ බැහැයි කියනවා. වර්තමාන ආණ්ඩුවට වුණත් අපි මඩ ගහන්නෙ නෑ. හැබැයි අපි ප්‍රශ්න කරනවා. අපි අද ප්‍රශ්න කරන්න ඕනෑ එතුමන්ලා මේ රටේ අධ්‍යාපනය වෙනස් කරන්න ගන්න ක්‍රියාමාර්ගය මොකක්ද? මේ රටේ අධ්‍යාපනය පස්සට ඇදලා දැම්මෙ ජනතා විමුක්ති පෙරමුණේ ශිෂ්‍ය සංවිධානය සහ ගුරු සංවිධානය. අද ඒ ශිෂ්‍ය සංවිධාන සහ ගුරු සංවිධාන එක මේසයකට ගෙනෙන්න ජනාධිපතිතුමාට වගකීමක් තියෙනවා”
මේ අතර සමගි ජනබලවේගය පාර්ශ්වයෙන් සජිත් ප්‍රේමදාස මහතා දිවයින පුරා ප්‍රධාන රැස්වීම් 30 ක් පමණ ආමන්ත්‍රණය කිරීමට සූදානමින් සිටින බවද එම පක්ෂයේ දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේය.
සජිත් ප්‍රේමදාස මහතා ද පසුගිය සතියේ අපූරු කතාවක් කියා තිබුණි. මහ මැතිවරණයේදී සමගි ජනබලවේග ආණ්ඩුවක් බිහිවිය යුතු බවත්, එසේ නොවුණහොත් IMF ගිවිසුම වෙනස් කළ නොහැකි බවත්, සමගි ජන බලවේගය අවස්ථා කිහිපයකදීම විපක්ෂයේ සිට IMF එකත් සමඟ සාකච්ඡා කර එකඟතාවට එළැඹ ඇති බැවින් එම ගිවිසුම වෙනස් කළ හැක්කේ සමගි ජන බලවේගයට බවත් ඔහු පැවසීය.
සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ මුජිබර් රහුමාන් මහතා විසින් මැද කොළඹදී පැවැත්වූ ජන හමුවකට එක් වෙමිනි.
කෙසේ වෙතත් මෙවර මැතිවරණ දේශපාලනය තරමක් වෙනස් වී ඇති බව ඉකුත් සතිය අවසානයේ පැහැදිලිවම දැකගත හැකි විය. මැතිවරණ ප්‍රචාරණ ව්‍යාපෘතිවල පවතින සන්සුන් බවත්, විපක්ෂයේ පවතින දුර්වලතාත් මේ සඳහා හේතු වී ඇතැයි විචාරකයෝ පවසන්නට වූහ.
@ චමිඳු නිසල් ද සිල්වා
Deshaya