වායෝ සංගීත කණ්ඩායම ගායනා කරන "හඳ අල්ලන්න ආස ගමනේ" සින්දුව අහන හැමවතාවකම දැනෙන හැඟීම් විශාල ප්‍රමාණයක් තියෙනවා.
බලාපොරොත්තුව, ශක්තිය, උද්වේගය, ආලෝකය (ආලෝකය කියලා හැඟීමක් තියෙනවා කියලා මම විශ්වාස කරනවා.
සමහර මිනිස්සුන්ව දැක්කම, පොත් කියෙව්වම, චිත්‍රපටි බැලුවම, සමහර ගම්මානවලට ගියාම ඒ හැඟීම දැනෙනවා),ජයග්‍රහණය වගේ දේවල් ඒ අතරෙ තියෙනවා. සමාජය විසින් අපිව කොච්චර පාගලා කුඩුපට්ටම් කරත්, ආයෙත් නැගිටින්න පුළුවන් වගේ හැඟීමක් ඒ සින්දුවේ තියෙනවා. අද හවස ඒ සින්දුව අහද්දි මේ හැඟීම් එක්ක මට මතක් වුණේ මාමන්නන්ව.
ජීවිත කාලයක් අනිත් මිනිස්සුන්ව හිනස්සවන නළුවෙක් (නළු රජෙක්) විදිහට අභිෂේක ලබපු වඩිවේලු, මාමන්නන් හරහා මහා සද්දන්තයෙක් වගේ මතුවෙන හැටි දකින්න ඉඩක් මාමන්නන් හරහා අපිට ලැබිලා තියෙනවා. ඉන්දියාව ලංකාවට වඩා හුඟාක් දේවල්වලින් හුඟාක් ලොකු වුණාට ජාතිවාදය, ආගම්වාදය, කුලවාදය වගේ කාරණාවලින් අපි හා සමව හෝ සමහර වෙලාවට අපිවත් පරද්දලා ඉතාම ඉදිරියෙන් අගතිගාමීව වැඩ සිටින සොල්දාදුවෙක් බවට පත්වෙමින් ඉන්නවා. ඉන්දියානු විශ්වවිද්‍යාල පද්ධතිය ඇතුළෙ කුලවාදය නිසා පීඩා විඳින, සාමාර්ථයන් අහිමිවෙන, ඇකඩමියාවට ඇතුල්වෙන්න තියෙන ඉඩ අහිමි වෙන ශිෂ්‍යයො ප්‍රමාණය විශාල එකක්. සමහර චෝදනා කිසිදාක මතුපිටට නොඑන්න තරම් තදින් වහලාදාන්න තරම් පරිපාලනයත් බලවත්. මගේ උසස් අධ්‍යාපන වැඩ කටයුතුවලදි මට මුණගැහුණු සමහර ඉන්දීය මිතුරො ඉන්දියාවෙන් පිටවෙලා ඇවිත් තිබුණෙ ආයේ කිසිදාක තමන්ගෙ රට දිහා හැරිලා නොබලන්න තමන්ටම පොරොන්දු වෙලයි. ලංකාවටත් මේක පොදු කාරණයක් විවිධ හේතු අරභයා. කොහොම හරි ඔය විදිහටයි කුලවාදය මිනිස්සුන්ව හෙම්බත් කරවලා පිටස්තරයො කරන්නෙ.
මාමන්නන් කියන මන්ත්‍රීවරයා, ඌරෝ හදන එක රැකියාව වුණු පරම්පරාවකින් එන, පක්ෂ දේශපාලනය කරන මනුස්සයෙක්. මාමන්නන්ගෙ චරිතය තමන්ගෙ කොටසක්බවට පත් කරගත්තු වඩිවේලු, චිත්‍රපටිය ඇතුළෙ වෙන කිසිකෙනෙක්ට තමන්ට ලැබෙන අවධානය ඒ හා සමව බෙදී නොයන්න වගබලාගන්නවා. එහෙම කියන්න හේතුව වෙන්නෙ ෆහාඩ් ෆාසිල් හෙවත් ෆෆා. ෆෆා කියන්නෙ මේ යුගයේ වඩාත් දක්ෂ සහ ප්‍රඥාසම්පන්න ඉන්දීය නළුවන් අතරින් කෙනෙක් කියන එකට එකඟවෙන්න පුළුවන් පහසුවෙන්ම ( මට පුළුවන්). ෆෆා රඟපාන කිසිම තැනක වෙන කෙනෙක්ට අවධානය බෙදිලා යන්න තියෙන ඉඩ ඉතාම අඩුයි. ඒක තමයි ෆෆාගෙ ස්වරූපය. ඒත් මාමන්නන් ඇතුළෙ ෆෆා හා සම හෝ ඊටවඩා ඉහළට වඩිවේලු තමන්ව ස්ථානගත කරනවා.
සමහර තැන්වලදි ඇස්වලට කඳුළු එන්නෙ මේ චිත්‍රපටියෙ කතාව මාර එකක් නිසා නෙමෙයි. ඒක එහෙම වෙන්නෙ වඩිවේලු කියන ප්‍රහසන නළුවව විශාල වාර ගණනක් දැකපු ළමා සහ නව යොවුන්වියක් හිමි කෙනෙකුට වඩිවේලු කියන නමින් එන, තවත් නළුවෙක්ව දකින්න ලැබෙන ඉඩ නිසයි. ඒ වඩිවේලු හෙවත් මාමන්නන් එක මොහොතක තමන්ගෙ පක්ෂයේ ඇමතිට පොඩ්ඩක් ඉන්න කියලා පොඩි කඳු මුදුනක් උඩට ගිහින් අඬන දර්ශනයක් තියෙනවා. ඒ දර්ශනයෙදි අපි අපේ දේශපාලනික තීරණ ප්‍රශ්න කරන තැනකට වැටෙනවා ( මම වැටුණා). විනිශ්චය කිරීමේ භයානකකම අතට අහුවෙන්න පටන් ගන්නෙ මාමන්නන් එකම දෙබසකින් තොරව තමන්ගෙ ඇස් දෙකෙන් විතරක් කරන රංගනයන් එක්කයි.
මාමන්නන් එක තැනක කියනවා " එයා හැදෙන්නෙ එයාගෙ තාත්තගෙ ආශිර්වාදයෙන්. මම මිනිහෙක් වෙන්නෙ මගේ පුතාගෙන් ඉගෙනගෙන. ඒ නිසා මම මේක කරනවා" වගේ කතාවක්. උඩ පැනලා විසිල් එකක් ගහන්න හිතෙන වෙලාවක් ඒක.
මේ ෆිල්ම් එක බලන්න ප්‍රධාන හේතුව වුණු ෆෆා කිසිම අඩුවකින් තොරව තමන්ගෙ කොටස කරනවා. කොච්චර හොඳට කරනවද කියනවනම්, සමහර කොටස් බලන්න බැරි තරම් disturbing විදිහටම කරලා තිබුණා. සමහර කොටස්වලදි "මේ මොන නරුමයෙක්ද මේ" කියලා හිතෙන එක නවත්තගන්න අමාරු වුණා. චිත්‍රපටියෙ තැන් දෙකකදි ෆෆාගෙ හෙවත් රත්නවේල්ගෙ අභ්‍යන්තරික හැඟීම් ඉතාම බලවත් විදිහට මතුපිටට පේන අවස්ථා දෙකක් තිබුණා. ඒ අවස්ථා දෙක එකිනෙකට බැඳිලයි තියෙන්නෙ. දෙවෙනි මොහොතට මුහුණදෙන්න උවමනා කරන හයිය රත්නවේල් ගන්නෙ කාමරේට හිමින් ඇවිදන් ගිහින් තමන්ගෙ වයිෆ්ව තුරුල් කරගෙන එයාව ඉඹලා, එයා දිහා බලාගෙන ඉඳලයි. ඒ සම්පූර්ණ කොටස එක මොහොතකට කතාව වෙන තානයකට ගන්නවා.
ප්‍රධාන නළුවා වෙන්නෙ උදයනිදි ස්ටාලින්ද කියලා කෙනෙක් මගෙන් ඇහුවොත්, කියන්න ඉතුරු වෙන්නෙ උදයනිදි සහය චරිතයක් විතරයි කියලා.
මේ චිත්‍රපටියෙ සංගීතය A.R. Rahman. චිත්‍රපටිය පුරා වාදනය වෙන බොහෝමයක් ගීතවල වචන දිහා සීරුවෙන් බැලුවොත්, ගීත රචනයෙ පොඩි මැජික් එකක් බලාගන්න පුළුවන්.
මාරි සෙල්වරාජ්ට මේ කතාව තව සීරුවෙන් ලියන්න පුළුවන් වුණානම් කියලා හිතෙන වෙලාවල් කීපයක්ම චිත්‍රපටියෙ තියෙනවා. ඒත් කිසිම හේතුවක් මත ෆෆා සහ වඩිවේල් එකතුවෙලා නිර්මාණය කරන මේ කතාව නොබලා මඟ අරින්න ඒක හේතුවක් නෙමෙයි.
ඉන්දීය දලීත්වරුන්ගෙ සටනෙ නොමැකෙන ආලෝකය සහ ආඩම්බරය අම්බේද්කාර්ගෙ පියසටහන් චිත්‍රපටිය පුරාම පේනවා. හොඳ අවදියකින් බැලුවොත් අවසන් රූපරාමු කිහිපයේ අම්බේද්කාර්ගෙ වචන සහ රූපයත් චිත්‍රපටියට ගේන්න මාරි සෙල්වරාජ් සමත්වෙලා තියෙනවා.
කුලය, ආගම, ජාතිය නිසා ගිණිගනිම්න්, ගිණි තියමින් ඉන්න ඉන්දියාවට මේ කතාව කොයි තරම් වැදගත් වෙයි ද?
මම දන්නෙ නෑ ඒ ගැන.
Maamannan full movie
අදින් අපේ මලයහ දමිළ ප්‍රජාව හෙවත් කඳුකර දෙමළ ජනයා තලෛමන්නාරමේ ඉඳන් මාතලේට ආපු පාගමන අවසන් වෙනවා. අවුරුදු 200ට පස්සෙත් ඔවුන්ගේ අනන්‍යතාවය ඔවුන්ව නොසලකා හරින්න, යටපත් කරන්න, සහ නිහඬ කරවන්න පාවිච්චි කරන රටකට මාමන්නන් බලලා ඉගෙනගන්න යමක් තියෙයි ද?
මම ඒ ගැන දන්නෙත් නැහැ.
දේවාලෙ ළිඳට බැහැපු නිසා ගුටිකාලා මැරෙන 'අඩුකුලේ දරුවො" සහ වෙන ජාතියකට අයිති නිසා මානව හිමිකම් පවා අහිමිවෙන මිනිස්සු ඉන්නෙ චිත්‍රපටිවල විතරක් නෙමෙයි කියලා ජීව උදාහරණ හැටියට අපේ රට තව කොච්චර කාලයක් පවතීද කියලා කල්පනා කරමින් වඩිවේලුට සහ ෆෆාට 11/10ක් දෙන්න මට පුළුවන්.
ඇයි මාමන්නන් හැදුවෙ කියලා ඇහුවම මාරි සෙල්වරාජ් මෙහෙම උත්තර දෙනවා "If something disturbs you, it’s worth talking about" ( යමක් නිසා ඔබ කණස්සල්ලට/කරදරයට පත් වුණානම්, ඒ ගැන කතා කරන එක වැදගත්, ඒක කතා කරන්න තරම් වැදගත් දෙයක්).
Let this be an inspiration for all of us!
මා හෝ අනෙකා වේදනාවට පත්වෙන යමක් ඉදිරියේ අප කිසිදිනෙක නිහඬ නොවුණාවේ!!
Maamannan
Netflix