SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

මේ සිස්ටම් එක ඇතුලේ ශ්‍රමය වගුරුවන ධනය උත්පාදනය කරන්නෙ මානව සංහතියෙ සාතිශය බහුතරය උනාට ඒ ධනය රාශිභූත වෙන්නේ ඉතාමත් සුළුතරයක් අත.

ඒකෙ ප්‍රතිඵලය තමයි ධනය උත්පාදනය කරන බහුතර උන්ගෙ ජීවිත මත දුක පැටව් ගහද්දි ධනය ඒකාරාශී වන සුළුතරයගෙ ජීවිත මත සතුට පැටවු ගැහිල්ල.

ධනය උත්පාදනය කරන උන්ගෙන් සාතිශය බහුතරයක් තමන්ගේ ජීවිතවල පැටව් ගහන දුක්, ප්‍රශ්න විසඳ ගන්න ණයට ගන්නව. පොලියට ගන්නව. එහෙම ණයට පොලියට, කා නොකා, මැරි මැරී නොමැරී ජීවත් වෙන එකට , උන් කියන්නේ ගෞරවාන්විතව ජීවත් වෙනවා කියල.

ඒත් මේ ගෞරවාන්විත ජීවිතයෙන් පිට පැනල, තමන්ගෙ ජීවිත මත පැටව් ගහන ප්‍රශ්න විසඳ ගන්න ධනය රාශීභූත වෙලා තියෙන තැන් වලින් සොරකම් කරන චෞරයො බිහිවෙනව.

එතකොට අර ගෞරවාන්විත පුරවැසියො ඒක දකින්නෙ මහා අපාධයක්, වරදක් විදියට.

එතකොට ධනය රාශිභූත කරගෙන ඉන්න උන්ට අවශ්‍ය වෙනවා තමන්ගෙ ධනය රකින්න මුර බල්ලො. මේ පුරප්පාඩුව පුරවන්න අර මුලින් කියපු පීඩිත ගෞරවාන්විත මිනිස්සු උදව්වට එනව.

එහෙම එන එකාට ධනය ඇති එකා නිල ඇඳුමක් දෙනව. තුවක්කුවක් දෙනව.නමක් දෙනව. තමන් උපයන ධනයෙන් සැප විඳින අනෙකා ආරක්ෂා කරන එකා පීඩිතයන්ටම "විරුවෙක්" වෙනව.

මට අනුව නම් අර ගෞරවාන්විත පුරවැසියට, විරුවට වඩා චෞරයා රැඩිකල් ප්‍රගතිශීලී පොරක්.

මොකද සිස්ටම් එක වෙනස් කරන්න බැරි උනත්, අවුල් කරන එක හරි මේ චෞරයන් කරන නිසා.

මේ ගැඹුරු සමාජ සංසිද්ධිය ගද්‍ය කාව්‍යමය නිර්මාණයක් ලෙස කරපු කෙටි කතාවක් ප්‍රින්ස් සේනාධීරගෙ "උස කළු මනුස්සයෙක්" කෙටිකතා සංග්‍රහයෙ තියෙනව."සීසීටීවී" කියල.

ගුණපාල සහ ප්‍රේමරත්න 50 වත්තෙ ඉපදිච්ච අර ගෞරවාන්විත පුරවැසියො දෙන්නෙක්. හොඳම මිත්‍රයො. මේ දෙන්නා ප්‍රශ්න වැස්සෙ තෙමෙමින් ඇතිදැඩි වෙන්නෙ එකට. දෙන්නටම තියෙන්නෙ එකම ජීවිතය මේ දෙන්නා ප්‍රශ්න වැස්සෙ තෙමෙමින් ඇතිදැඩි වෙන්නෙත් එකට.

ගුණපාල සහ ප්‍රෙමරත්න මුහුණ දෙන ප්‍රශ්න වැස්ස මුරුගසං වර්ෂාවක් බවට පත් වෙන්නෙ විවාහ වීමත් එක්ක. ඒක ප්‍රින්ස් අපූරු කාව්‍යමය භාෂාවකින් ගෙත්තම් කරනව.

"සයිමන් මුදලාලිගෙ සති වැටුප සම්පූර්ණයෙන්ම පොතේ ණයට හිලව් වුණා. විසඳ ගන්න බැරි ප්‍රශ්න ගේ ඇතුලෙ අඳුරු අහුමුලු වල එකතු වෙන්න පටන් ගත්ත. කාලයත් සමග සමහර ප්‍රශ්න මකුළුවන් විසින් බිත්තියට, අත්තිවාරමට තබා දැල් වලින් බැඳල දැම්ම. කොස්සක් දමාවත් කඩා දාන්න බැරි විදියට."

මේ ප්‍රශ්න මුරුගසං වර්ෂාව තවත් දරුණු වෙන්නෙ පවුලට දරුවො එකා දෙන්න එකතු වෙද්දි.උන්ට උගන්වන්න වෙද්දි. විශේෂයෙන්ම පේමරත්නට රුපියල් විසි දහස් ගනණක බෙහෙත් වලින් නඩත්තු කළ යුතු රෝගී දරුවෙක් උරුම වෙද්දි.

මේ තත්වය ප්‍රින්ස් නිර්මාණය කරන ආකාරය හරි අපූරුයි

"ගෙදර යන කොට එළිපත්ත ළඟ ඉඳලම තිබුණෙ ප්‍රශ්න මාගල"

"පොඩි පොඩි වැඩ වලින් විසඳන්නෙ නැති ප්‍රශ්න වහලෙ යට ලීයේ එල්ලෙන්න පටන් ගත්ත කාලය ඒක"

ප්‍රශ්න එල්ලිලා එල්ලිලා ඒවයෙ බරට යට ලීය සමග වහලය කඩා වැටෙන කොට ඒකට යට වෙලා ගෞරවාන්විත පුරවැසි චරිතය ඇතුලෙ මිය යනවද? නැත්නම් ගෞරවාන්විත හැව ඇරල චෞරයො වෙනවද? කියල ගුණපාලට සහ පේමරත්නට තීරණය කරන්න වෙන්නෙ මේ අවස්ථාවෙ.

ගුණපාල සහ ප්‍රේමරත්න දෙවැන්න තෝර ගන්නව. ඔවුන් චෞරයො වෙන්නෙ එහෙම.

ඔවුන් "ලොකු ලොකු වැඩ"පටන් ගන්නව.

සමීර වයින් ස්ටෝර්ස් , විජේසිංහ ස්ටෝර්ස් , අනුපමා හාල් මෝල බිඳීම ඔවුන්ගෙ "ලොකු ලොකු වැඩ"

හැබැයි ගුණපාල සහ ප්‍රේමරත්න "ලොකු ලොකු වැඩ" කළේ දරුවන්ගෙ බේත් ටික ගන්න. කෙල්ලට පොත්පත් ටික ගන්න. ගෙදරට යන කොට එළිපත්තෙ ඉඳල එළල තියෙන ප්‍රශ්න මාගල අකුල ගන්න. යට ලීයේ එල්ලිලා තියෙන ප්‍රශ්න ටික ලිහා ගන්න විතරයි.

එහෙම නැතුව මධුෂ් කෙනෙක් හරි වීරප්පන් කෙනෙක් හරි වෙන්න නෙවෙයි. තමන්ගෙ ප්‍රශ්න මාගල අකුල ගත්තට පස්සෙ යට ලීයේ එල්ලිලා තියෙන ප්‍රශ්න ටික ලිහා ගත්තට පස්සෙ ආයෙ ඒව එනකං ඔවුන් ලී මෝලෙ ශ්‍රමය වැගුරුව.

ඔහොම යද්දී ගුණපාලගෙ දුවට මේ ප්‍රශ්න ලිහන "ලොකු ලොකු වැඩ" ගැන ඉව වැටෙනව. ඈ ආස කරන්නෙත් සිස්ටම් එක ඇතුලෙ ගෞරවාන්විත පුරවැසිභාවයට. ඒකයි ඈ "ලොකු ලොකු වැඩ" ගැන තමන්ගෙ අපුලෙන් ගුණපාලට දමල ගහන්නෙ.

"තාත්තා ඔය ජරා වැඩේ නවත්තන්න මම කොහොම හරි ඉගෙන ගන්නම්... ඕන දුකක් විඳින්නම්. ඒත් ඔය නින්දාව මට විඳින්න බෑ..."

ගුණපාල තමන්ගෙ ප්‍රශ්න ලිහා ගන්න මේ සිස්ටම් එක කෙනිත්තුවට, ඔහුත් මේ සිස්ටම් එකේ නිර්මාණයක්. ගුණපාලත් කැමති මේ සිස්ටම් එකේ ගෞරවාන්විත පුරවැසිභාවයට. ඒකයි දූගෙ දමල ගැහිල්ල ගුණපාලගෙ කඳ හරහට වදින්නෙ. ඒ වැදීමේ වේදනාව ප්‍රින්ස් ප්‍රකාශ කරන වචන අපිටත් හොඳටම වදිනව.

"ගුණපාල හිටියෙ සීනි ඇටයක් හප හපා තේ එකක් බොන ගමන්. ඇඹලයෙක් හැපීමෙන්ඇති වුණ ඇඹුල් රසය දිව දිගේඋගුරෙන් පහලට ගලාගෙන ගිහින් ගුණපාලගෙ කේශ නාලිකා දක්වාම හිරි වැටීමක් ඇති වුණා."

ගුණපාලගෙ කේශ නාලිකා හිරි වැටෙන්නෙ මං අර කියපු ගෞරවාන්විත පුරවැසි සංස්කෘතිය ඇතුලෙ.

ගුණපාල සිස්ටම් එක කොනිහල ප්‍රශ්න ලිහා ගත්ත ක්‍රමයට තිත තියෙනව. සිස්ටම් එක කොනිහනවුන්ගෙන් සිස්ටම් එක ආරක්ෂා කරන "විරුවෙක්" වෙනව. ගුණපාල තමන්ගෙ ඒ වෙනස තෘප්තියෙන් විඳින්නෙ මෙහෙම.

"ගෙදර ප්‍රශ්න කොයි තරම් අහුමුලු වල එකතු වුණත්, දැන් තමන් ලස්සන ඇඳුමක් අඳින, තුවක්කුවක් දරන, වගකීම සහිත පුද්ගලයෙකු බව ගුණපාලට අමතක කරන්න බෑ. ලොකුම ගැටලුවත් විසඳුනා. ඒ ලොකු දුව වෙනදාට වඩා තමන් දිහා ආදරෙන් සතුටෙන් බලන එක.

ගුණපාලගෙ ගෞරවාන්විත රැකියාව වෙන්නෙ සුපිරි වෙළෙඳ සැලක් මුර කිරීම. ඒ වැඩෙන් වුණේ ප්‍රෙමරත්නට ප්‍රශ්න ලිහා ගන්න "ලොකු ලොකු වැඩ" කරන්න ඉඳපු දක්ෂ වෘත්තීය සගයා අහිමි වීම.ප්‍රේමරත්නට ඒක දරාගන්න බෑ.තමන්ගේ දුව බේත් නැතුව මැරෙන්න පුළුවන්.

ප්‍රේමරත්න ගුණපාල තුවක්කුවක් තියන් මුර කරන සුපිරි වෙළෙඳ සංකීරණයට රෑට රෑට ගිහින් ගුණපාලගේ තීරණය වෙනස් කරන්න බලකරන්නෙ එ්ක නිසා.

"උඹ ඔය කරන්නෙ උඹට අයිති නැති වැඩක්"

"ඇයි උන්ට බැරි උන්ගෙ දේවල් උන්ටම ආරක්ෂා කරගන්න. එහෙම වුනානම් අපිට තිබුණා එකතු වෙලා උන්ගෙ දේවල් හොරා ගන්න."

"උඹේ දුව හොරකම් කරයි කියලා තියෙන බයට නෙවෙයිද උඹ ඇතුලෙ තියෙන පොත්පත් මුර කරගෙන ඉන්නෙ."

"උඹ ගාව පතුරොම් කීයක් තියෙනවද?"

"එකයි"(ගුණපාලගේ උත්තරය)

"නිකං හිතපන් ගුණො එකම දවසක එකම වෙලාවක උඹේ දුවයි, මගේ දුවයි හොරකමේ එනව. උඹේ දුව නම් පොත්පත්, මගේ එකී බෙහෙත්. ඒ වෙලාවට ඔය එක පතුරමින් උඹ වෙඩි තියන්නෙ කාටද?

ප්‍රේමරත්නගෙ මේ හද සසල කරන ප්‍රශ්න කිරීමට වුණත් ගුණපාලගේ හිත සැලෙන්නෙ නෑ. ඒකට හේතුව මේ සිස්ටම් කොනිහල හරි ඉඳපු එකා මේක රකින්න ගියාම ආයෙ පුනරාගමනය කරන්නේ නෑ. සිස්ටම් එක හොඳටම රකින එකා ඌ.

ඒකයි ගුණපාල මෙහෙම කියන්නෙ

"වේස කතා කියන්න එපා ප්‍රේමෙ. උන් දෙන්නම එහෙම එන්නෙ නෑ. එහෙම වෙන්නෙත් නෑ"

"උඹට ගංජා මතේ"

ආයෙ මේ සිස්ටම් එක ඇතුලෙ "ලොකු ලොකු වැඩ" කරල ප්‍රශ්න ලිහාගන්න ගුණපාල එන්නෙ නැති බව ප්‍රේමරත්න වටහා ගන්නව.

"ගුණා එහෙම වැඩකට හැම එකාම හරියන්නෙ නැහැ හරියනවනං පළවෙනි එක හිත හොඳ වෙන්න ඕනෙ. දෙවැනි එක ඌට ඔලුවක් තියෙන්න ඕන."

තම දක්ෂ වෘත්තිය සගයා අහිමි වුණාට ප්‍රේමරත්නට මේ "ලොකු ලොකු වැඩ" වලින් ගැලවෙන්න බෑ. තමන්ගේ රෝගී දියණිය ගේ බෙහෙත් අහවරයි.ඔහුට ඒ ප්‍රශ්නය ලිහාගන්න ඕන.

ආධුනික වෘත්තීය සගයෙක් සමග "ලොකු ලොකු වැඩකට" ප්‍රෙමරත්න සෙට් වෙනව. ඒ දරුවට බේත් ටික ගන්න පාමසියක් කඩන්න. අලුත් වෘත්තීය සගයගෙ ආධුනිකත්වය හේතුවෙන් පේමරත්න පොලීසියට කොටු වෙනව.

ඒ පිළිබඳ ළතැවිල්ල ප්‍රෙමරත්න ප්‍රකාශ කරන්නෙ මෙහෙම.

"මෝඩයෙක් එක්ක වැඩකට ගිය එක මගේ වරද ගුණා. පොලීසිය නිකං පාරේ ගියෙ.ඌ ටෝච් එකක් ගහගෙනම දුවන්න ගත්ත."

මම හිටිය නම් මේක වෙන්නෙ නෑ ගුණපාලට ප්‍රථම වරට වරදකාරී හැඟීමක් දැනුනා.

පාමසිය කඩද්දි ප්‍රේමරත්න පොලීසියට කොටු වුණා. සුපිරි වෙළෙඳ සංකීර්ණයෙ ඉඳලා රෑට රෑට ප්‍රේමරත්න යන ආකාරය සීසීටීවී කැමරා වලින් දකින පොලීසිය ගුණපාලව ප්‍රශ්න කරන්න පොලීසියට කැඳවනව.

ගුණපාල බිය වෙනව. සැක කරනව.තමන් ගැන හෙළි කරයි කියල.  ඒක මේ සිස්ටම් එකට අනුගත හැම එකාටම දැනෙන බයක්. උන්ට තමන් ළඟම ඉන්න අඹු දරුවෝ ගැනවත් පූර්ණ විශ්වාසයක් නෑ. සැකයි.

ඒත්, මේ සිස්ටම් එක කොනිහන එකා ඊට වඩා විශ්වාසවන්තයි. ඒකයි ප්‍රේමරත්න මෙහෙම කියන්නෙ.

" පරිස්සමෙන් කතා කරපන් ගුණා. මං උඹ ගැන මොකුත් කියල නෑ. කියන්නෙත් නෑ".

පොලිසියෙ ඉඳලා ඇවිත් සුපිරි සංකීරණය මුර කරන ගුණපාලට, අතීතය ස්මරණය කරන්න බල කරන්නෙ ඒ ප්‍රකාශය. ඔහුගෙ හිත ප්‍රේමරත්න තමන් සොයා මේ රාත්‍රියේ එනු ඇතැයි සිතන්නට පොළඹ වන්නේ ඒ ප්‍රකාශය

නමුත්, ප්‍රෙමරත්න පොලිස් කූඩුව ඇතුලෙ.

සරල සමාජ සංසිද්ධියක්, ප්‍රබල මානවීය දෘෂ්ටියකින්, ගැඹුරු දේශපාලන විවරණයක් සහිතව කාව්‍යාත්මකව මෙතෙක් වියාගෙන එන ප්‍රින්ස් මතුපිටට ඇවිත් බකිටි ගහන්න පටන් ගන්නව කතාව අන්තිමේදි.

ඒ මෙහෙම

"ඒ පාපැදියෙ ආවේ ප්‍රේමරත්න වෙනුවට ඔහුගෙ පුතා. ගුණා මාමෙ, නංගිට ලෙඩේ හැදිල.අම්මා කියන්න කිව්වා"

ගුණපාල වෙළෙඳ සංකීරණයට සමීප වුණා ඒ සුවිශාල වීදුරු බිත්තිය ඉලක්ක කිරීමට අමුතු පුහුණුවක් හෝ ඉලක්කයත් අවශ්‍ය නෑ. එකම එක පාරට හාල් ඇට වගේ කැඩුණු වීදුරු කෑලි අතරින් ගුණපාල ඇතුලට පැන්නා. ඔහු නැවත එළියට ආවේ දෑතට බෙහෙත් පෙට්ටි පුරවගෙන.

ප්‍රින්ස්, උඹෙත් මගෙත් ලාලසාව ඒක උනාට, ඒක කවදාවත් වෙන්නෙ නෑ. මේ සිස්ටම් එක මුලදී කොනිත්තලා, පහුරු ගාලා, පස්සේ මේක රකින්න ගිහිපු එකා, කවදාවත්ම එහෙම ආපහු හැරෙන්නෙ නෑ. සිස්ටම් එක නිර්මාණය කරපු උන්ට වඩා උන් තමයි මේ සිස්ටම් එක රකින්නෙ. මේ සිස්ටම් එකට වැඩියම ආදරේ උන්.

මට හිතෙන්නෙ මේ කතාව ඉවර කරන්න තිබුනෙ අර පොඩි එකා පොලු පාරක් ගහල වෙළඳ සංකීර්ණට කඩා වදිද්දී ගුණාගෙ ඇඟිල්ල තුවක්කුවෙ කොකා ස්පර්ශ කිරීමෙන්.

ප්‍රින්ස් ආයෙත් "අවුරෝරා" නැව් වලින් වෙඩි හඬ ඇහෙන එකක් නෑ. එච්චරයි!!!!

විඳ ගන්න පුළුවන් කතාවක් ලිව්වට උඹට ගොඩක් ස්තුතියි!!!

 

අතුල සමරනායක