SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

හැමෝම කියන්නේ එහෙම. දැන් මාත් කියන්නේ එහෙමයි. මොකද මට නම් එහෙම කියන්න ශුද්ධ වූ අයිතියක් තියෙනවා.

මේ කාලේ වගේ අවුරුදු කියන්නේ රෙදි වසන්තයක් නෙමේ. නිමි ඇඳුම්නම් ඇත්තෙම නෑ. රෙදි කඩේකින් රෙදි ගෙනත් ඇඳුම් මහනවා. අපිට මැහුවේ එකම ජාතියෙන්. අම්මා තමා මහන්නේ.
අම්මට තියෙන අනිකුත් වැඩ අස්සේ නිෂ්පාදිත නිකුත් වෙන්නේ ඉතිං එක එක වෙලාවට. එක එක දවසට. එකින් එක. හැම ගෙදරම මැෂින් සද්දේ…

ඔය අස්සේ මමත් අම්මා කෙනෙක්. මටත් හිටියා ළමයි බමයි අවුරුදු ඇඳුම් දෙන්න.
තට්ට බබා.
පොට්ට බබා.
ජැනට්
ක්‍රිස්ටල්
වාන්යා….
තට්ට බබා කියන්නේ අර ලොකු තට්ටෙ තියෙන බබාට. එයා නැතුව මං නිදියන්නෙවත් නෑ. මං නාන්නේ එයත් නාවන ගමන්. පොට්ටි කියන්නේ කොන්ඩෙ උඩට ගෙඩියක් ගහපු එක්කෙනා. එයාගෙ ඇස් හැට්ට කට්ටකින් උගුල්ලන්න පුලුවන්. එහෙම උගුල්ලලා උගුල්ලලාම එක ඇහැක් වැටිලා. ඒ උනාට ආදරේ අඩුවෙන් නෑනේ.

ඔය ලමයි ඔක්කෝටම ගවුම් මහන්න ලේසි කියලා නම් හිතන්නෙ එපා.
රෙදි…? හ්ම් මංම හොයා ගන්න එපායෑ
ඒ සැරේ අවුරුද්දට අම්මා ගෙනාවේ ළා කොල පාට රෙදි. රෑට රෑට අම්මා මහනවා. මං දවල්ට මගේ ඉඳිකට්ටෙන් මහනවා.

 

 

new year 800 1000



අර ඇන්ග්‍රී බර්ඩ්ස්ලට බබාලා නෑ. ඒ ගොල්ල කැවුම් කනවා. කොකිස් කනවා. මගේ ළමයින්ගෙ ඕපාදූප හොයනවා. පද හදනවා. ඔය තට්ටි පොට්ටි කියන්නෙත් ආං එහෙම හදපු නම්. නැත්තම් අම්මා කෙනෙක් දායි යෑ එහෙම නම්.
අපි යන්න ලෑස්ති උනා පරණ අවුරුද්දට අපේ නැන්දා බලන්න. ඒ යන්නේ කාර් එකෙන්. හැම අවුරුද්දම එහෙම ගියාද මතක නෑ. හැබැයි ඒ ගමන අපේ අම්මා යන්නේ මහ ගාම්බීරෙට. අම්මගේ නෑනනේ නැන්දා කියන්නේ.

අපේ වත්තේ පිටියේ කුඹුරේ වෙලේ ඔක්කෝම යල මහ නැන්දට පේන පරිදි තමා යන්නේ.
කෝකියාට කියලා රටකජු කේක් එකකුත් හදවනවා. මුං කැරලි, හැදි කැවුම්, ආස්මි ඔය හැමදේම.
ඔය පෙට්ටිය කාර් එකට දා ගැනීමේ වගකීම අපිට දුන්නා. එහෙම තමා අපේ පවුල් රීති. වගකීම්.
මම නම් ඕවට නෑ. මට ඊට වඩා කොච්චර වැඩද.

ඉතිං කලින් දා මහ රෑ ගෙදර යුද්දයක්. අම්මා තමා සේනාධිනායක. මං නින්දෙන් ඇහැරුනේ අම්මගේ හටන් කවි ඇහිලා.
" කෝ මේක…?
" ඒක කෝ…?
" ඒක නෑ..!
මං කං දීගෙන හිටියා මොකද්ද ඒ නැති එක කියලා. ඕං ඒපාර අන්තිම ගවුමේ එක අතක් නෑලු. ඔය ඉතිං මගේ ගවුමෙනේ.
ඒකනේ අන්තිම එක..

මට දැන් හෙට අඳින්න අවුරුදු ගවුම නෑ එහෙනං. …
මට ඇහුනා අම්මා සටස් සටස් විටක් විටක් කිය කියා කොස්ස දානවා ඇඳන් අස්සේ පවා. ඒ හැම වාරේකම කෝ මේක කෝ නෑනේ කියනවා. කම්මැලි නැද්ද මංදා. මට ඇහුනා බොත්තම් පෙට්ටියත් ස්ලාං.. ගාලා බිම වැටුනා.

 

 

new 12

 


අනේ දෙයියනේ…. මගේ ලමයිනුත් ඇහැරෙනවනෙ මේ යුද්දෙට… ගවුං අතක්වත් තියාගන්න බැරිහැටි….
මං නම් ඔක්කෝටම ඇඳුම් මැහුවා. මෙහෙම නැටුවේ නෑ.
හැබැයි මං නිදා ගත්තේ අඬ අඬා. මගේ ගවුම නෑ එතකොට.

ඕං ඒ සැරේ එකම විදියට ඇඳන් යන්න බැරි උනා. දෙන්නෙක් එක විදියට. අනික් දෙන්න කලින් ඇඳපු වෙන විදියක ගවුම්. මට විතරක් ගවුම නැති එක සාධාරන වෙන්න ඇග්රියෙකුටත් ගවුම නෑ.
මං මූනත් බකුසු කරං ඇසුත් රතු කරං කාටත් කතා නොකර ගිහිං කාර් එකේ ඉඳ ගත්තා.
අන්තිමට මහා රාජිනීන්නාන්සෙත් සැපත් උනා. කාර් එකේ එලියේ ඉඳන්ම
" හා මේ තියෙන්නේ ගවුම් අත…!!! පොච්චියේ මුලු රෑම හෙව්වා…… මදැයි.." කිව්වා. මං බැලුවා මේ මොකද්ද කියන්නේ ඒපාර කියලා. අම්මා බලං හිටියේ මගේ උකුලේ හිටපු තට්ටි දිහා.
" ගවුම් අතෙන් බෝනික්කන්ට මහලනේ මුංදෑ…. !!!!!

අම්මා මගේ තට්ටි දැකලා යස්ස පැටියෙක් දැක්කා වගේ කෑ ගැහුවා.
ඩැයිවරුත් හිනා උනා.
අනේ මහලොකු විහිළුව.!
" ආ…. තට්ටිට මහලා…!!!
" හා...නේ ඔය ගවුං අත !!!!
" ආ හා හා හෑ…!!!!! ඇන්ග්රියෝ අත්වලින් හොටවල් වහ වහා කෑ ගැහුවා.
මං තට්ටියි පොට්ටියි වාන්යයි අරයයි මෙයයි බදාගත්තා.
" මොන ගවුම් අතක් ද…? මේ රෙදි කෑල්ල මං හොයා ගත්තේ… අමාරුවෙන් " කියලා හිමීට කිව්වා.
" හා හොඳයි හොඳයි. බබාලට අවුරුදු කියන්නේ අම්මටත් අවුරුදු තමා. …"
" ඔක්කොම ගත්තද….? අම්ම හුස්මක් අල්ලගෙන ටිකක් වෙලා ඉඳලා ඇහුවා.
" ඔව්." මං කිව්වා. අම්මා කාර් එකේ ඉඳ ගත්තා.
" ඔක්කොම අර ගත්තද…? ආයෙත් ඇහුවා.
" ඔව් " මං ආයෙත් කිව්වා. ටිකක් සද්දෙන්.
" අර ගත්තා ද. ? හැමෝම වගේ ඇහුවා. ඒක හරියටම මගෙන් ඇහුවා නෙමෙයි. තම තමන්ගෙන් ඇහුවා වගේ.
" ඔව් ඔව්….!!!! ඔව්.! මං තදින් කිව්වා. ආයේ ඇහුවොත් බලාගෙනයි කියන සුවරෙන්.
මං ඔක්කොම ලමයි ගත්තානේ. ඒකයි මං එහෙම කිව්වේ.
කාර් එක ගියා. අලුත් ගවුම නැතිවට මට දුකයි. මං දිගටම මූණ එල්ලං තමා ගියේ.
අපි යනකොට නැන්දා අලුත් ඔහරියක් එහෙම ඇඳලා ඔප දා ගෙන හිටියා.
අපි හතරදෙනා හතරමහ නිධානෙ වගේ බැබලි බැබලි කාර් එකෙන් බැහැලා නැන්දා ඉදිරියට ගියා.
මම පෙනී හිටියේ සුරබි දෙන වගේ…. මගේ දරු පරම්පරාවත් එක්කම.
එදා අපේ නැනී නෑ. අවුරුදු නිවාඩු.

අපි ගිහිං තේත් බීලා ටික වෙලාවකින් අම්ම ටිකක් හෙමින් ඇහුවා ගෙනාපුවා බෑවද කියලා. මගෙන් ඇහුවෙ නෑ. අනික් අය ගල් ගිලලා වගේ ඉන්න නිසා මං ඔව් කිව්වා. තැනකට ගියාම අම්මා ප්‍රශ්නයක් අහනකොට ඇඹරෙන් නැතුව උත්තර දෙන්න එපැයි.
" ඔක්කොම…?
"ඔව්…! මං කෙටියෙන් කිව්වා.
ඇන්ග්රිලා එතන හිටියට ඒවගේ අහක යන පන්දුවලට ඒ ගොල්ල බැට් කරන්න ගියේ නෑ.
ඒ වගේ වෙලාවට ඒ ගොල්ල සීලවන්තං ගුනවන්තං….. වනිතා කටයුතු අමාත්යාංසෙන් පදක්කම් දෙයි වගේ.
මට එහෙම ප්රශ්න මඟ හැරීමේ කැත ගති නෑ . මං ඔක්කොම ළමයි බා ගත්තා. මං කිව්වේ මං ගෙනාපුවා ඔක්කොම බා ගත්තා. ලමයි ඔතන පැනල් රෙද්ද බෑවේ නෑ. ඒක මේ වෙලාවේ ඕනෙත් නෑනේ.
අම්මා වටයක් ගිහිං ඇවිත් කොහෙන්ද තිබ්බේ කියලා රහසින් වගේ ඇහුවා.

 

 

new 1234



" ඇද උඩ…" මාත් රහසින් කිව්වා. ඒ වෙලාවේ තට්ටියි වාන්යායි නැන්දලාගේ ඇඳ උඩ තිබ්බා උනාට ජැනට් අතේ නින්ද යාගෙන එන ගමන් හිටියේ. ඒකයි රහසින් කතා කරේ.
" හ්ම්" අම්මා අනික් පැත්තෙන් රවුමක් ගියා.
ඉතිං නැන්දා මහ ඉහළින් සැලකුවා.
දවාලේ කිරිහොද්දක ගිල්ලෝපු බිත්තරේකුත් දුන්නා. මං ඒක කඩ කඩා බබ්බුන්ට කවනවා දැකලා තව එකකුත් දුන්නා. අපි හතර දෙනාටම ගවුමුත් තෑගි දුන්නා.
හොඳම දේ ආයේ එද්දි පොල් ද දෙල් ද හාල් ද වැලිතලපද කජු ඇටද එකී නොකී දේවල් කාර් එකට පැටෙව්වා. මට ඉඳගන්නත් ඉඩ මදි.
ගෙදර එද්දි ලොකු ලොකු කතා.

" අපි ගෙනිච්චා මදිද මංදා…. අපිට තව තේ කොල ටිකකුත් ගෙනියන්න තිබ්බේ….ශාහ්…!!!!
" අපි ගෙනිච්චා ඒ ගමන්ම අරං තියා ගෙන… ඇහැටවත් දැක්කෙ නෑ. "
" ලිහලා බැලුවේවත් නෑ හැබැයි…"
" අපේ රටකජු කේක් එක මැදැයි ගමටම බෙදන්න…"
" හොඳ වෙලාවට ආස්මි හදවා ගත්තේ… නැත්තම් මදිකම වගේ…."
මට නම් නින්ද ගියා එන කල්ම. ඔය පම්පෝරි කාටද… මට පුරුදු නෑනේ ඕවා.
ගෙට ආවා විතරයි අම්මා " දෙයියෝ සාක්කි…!!කිව්වා.
ඒ වෙලාවේ අම්මගෙ ඇස් තිබුනේ සීලිමේ.
දත් තිබුනේ මේසේ උඩ.. තෙල් බැදුම් කාලා අමු සොහොනෙ ගියා වගේ. මාත් බැලුවා මොකද මේ අම්මට උනේ කියලා.
ගෙනියන්ඩ හදාගත්තු පෙට්ටගං ඔක්කොම මේසේ උඩ. ආස්මි පෙට්ටියත් විලිස්සාගෙන හිටියා. ඇයි රටකජු කේක් එක..
" මේවා දාගත්තේ නැද්ද එතකොට….?
කවුරුවත් උත්තර දුන්නෑ. ඒ අහක යන පන්දුවට නම් මං බැට් කරන්න ගියේ නෑ.
" කී පාරක් ඇහුවද…. ඔක්කොම ගත්තා කිව්වේ…?
" මෙයානේ ගත්තා කිව්වේ….".
ඇන්ග්රියෝ කෑ ගහුවා.
" මං කිව්වේ මගෙ බබ්බු ඔක්කොම ගත්තා කියලානේ...මට වැඩක් යෑ කැවුං…? මාත් කිව්වා.
"මෙයාගේ මේ බබ්බු තමා ඔක්කොම සමයං… ඔව් ම කිව්ව තාලෙට අපි හිතුවේ දාගෙන කියලා…."
" ඇඳ උඩ තිබ්බා කිව්වෙත් මුංද එතකොට…?
කවුරුත් කතා නෑ. වටේ රතිඤ්ඤත් පත්තු උනේ හුටස් හුටස් ගාලා. මං බෙල්ලො ටිකත් හොල්ල හොල්ල නයි කාඩ් එක ගාව හිටියා. නයි කාඩ් සෙල්ලම් කරන්න කවුරුහරි එයි කියලා.
ඔය ඔක්කොම දෝස දූරිං භූතවෙන්න.
එකෙක්වත් ආවේ නෑ. සෙට් එකම මං හිංද තමා ඔක්කොම වැරදුනේ වගේ අඟවන්න අම්ම වටේ ඉඳගෙන හිටියා.

" දයා මොනවා හිතුවද දන්නෑ… චී විතරක්! හතර විළි ලැජ්ජාව…!!!!!
අන්න හරි… හතර විලි ලැජ්ජාව කිව්වාම අර ඇන්ග්රියෝ තුන්දෙනාටත් එක්ක නේ.
හ ත ර විළි ලැජ්ජාව..
යේ……!!!!
උදේ නැගිටිනකොට අම්මා හංස පිහාටු වගේ ලේස් අතක් දාලා ගවුම මහලා තිබුනා.
අම්මා නැන්දට ලියුමක් දැම්මද බඩු පෙට්ටිය ආපහු කාර් එකක යැව්වද දන්නෑ.
අපේ කාලේ අවුරුදු කෑවේ ආං එහෙමයි.
සියලු සෞභාග්යයෙන් සපිරුනු සුභ අලුත් අවුරුද්දක් වේවා.

 



මනෝහරී ජයලත්