SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ශ්‍රී ලංකාවේ කඳුකර මනාලිය සරසන මීදුම් සළුව යටින් ගත වෙව්ලන

සීතලේ යා හැකි මන නන්දනීය පෙදෙස හෝර්ටන් තැන්නයි. අතීතයේ මෙය මහ එළිය, මහ තැන්න, විල්මන්තලව, හා ගෝන තැන්න යන නම් වලින් ද හඳුන්වා තිබේ. 

 

 

දෙස් විදෙස් කාගේත් නෙත් සිත් ආකර්ෂණය කළ මෙම දර්ශනීය භූමිය - යටත් විජිත යුගයේ වර්ෂ 1831 සිට 1837 දක්වා කාලය තුළ ලංකාවේ ආණ්ඩුකාරවරයා ලෙස කටයුතු කළ ශ්‍රීමත් රොබට් විල්මට් හෝර්ටන් ආණ්ඩුකාර වරයා සිදුකළ සංචාරයෙන් පසු, එනම් ක්‍රි.ව. 1836 පමණ කාලයෙන් පසු “හෝර්ටන් තැන්න”‍ ලෙස ඔහුගේ නමින් කොටසක් ගෙන නම් කරනු ලැබීය.  

 

 

ශ්‍රී පාද අඩවියේ නැඟෙනහිර කෙළවරේ පිහිටි හෝර්ටන් තැන්න උස් තැනි තලාවන් ගෙන් හා හුදෙකලා කඳුවැටි වලින් සමන්විත සුවිශේෂී භූමියකි. උතුරින් වැලිමඩ සානුවෙන් ද, ගිනිකොනින් කොස්ලන්ද සානුවෙන් ද, නිරිත දිගින් මහවෙලතැන්න සානුව හෙවත් බළංගොඩ සානුවෙන් ද වෙන් වූ මධ්‍ය කඳුකරයේ නැගෙනහිර කෙළවරේ මේ සුවිශේෂී භූමිභාගය පිහිටා තිබේ. මෙලෙස හුදෙකලා වූ මධ්‍ය කඳුකරයේ පිහිටි හෝර්ටන් තැන්න ඊට ම ආවේණික ජෛව ප්‍රජාවක් දරා සිටින පරිසර පද්ධති සංකීර්ණයකි. 

 

 

එමෙන්ම හෝර්ටන් තැන්න මෙරට ආදි මානවයන් ගේ නිජබිමකි. අදින් වසර 18,000ත් 24,000 ත් අතර කාල වකවානුවේ දී අවසන් ග්ලැසියර අවදියේ දී ප්ලයිස් ටොසීන හා මුල් හොලෝසීන අවධියේ දී මෙම ප්‍රදේශය ජනාවාසව පැවති බවත්, එම ආදි මානවයා දඩයමින් හා ගොවිතැනෙන් ජීවත් වන්නට ඇති බවත්, ආචාර්ය රත්නසිරි ප්‍රේමතිලක ගේ පර්‌යේෂණ වලින් තහවුරු වී තිබේ. පාංශු ස්ථර මත තැම්පත් වී ඇති ශාක පරාග ඇසුරින් සිදු කරන ලද පර්‌යේෂණ මගින් සනාථ වී ඇත්තේ - මීට වසර 13,000 කට ප්‍රථම හෝර්ටන් තැන්නේ ජීවත් වූ ආදි මානවයන් ඕට් හා බාර්ලි ගොවිතැන සිදු කර ඇති බව ය. 

 

වර්ෂ 1960 දී හෝර්ටන් තැන්නේ සමහර ප්‍රදේශ එළි පෙහෙළි කර අර්තාපල් වගාව සිදු කර තිබේ. මේ හේතුවෙන් සිදු වූ පාරිසරික හානිකර තත්ත්වය අවබෝධ කරගත් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව වන සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනතට අනුව 1969 දෙසැම්බර් 05 වන දින අංක 14,883 දරන ගැසට්‌ නිවේදනය මඟින් හෝර්ටන් තැන්න ස්වභාවික රක්ෂිතයක් ලෙස නම් කෙළේය. පසුව 1988 මාර්තු 16 වන දින අංක 497/10 දරන ගැසට්‌ නිවේදනය මගින් හෝර්ටන් තැන්න ජාතික වනෝද්‍යානයක් ලෙස මෙම පනතේ 2(1) වගන්තියට අනුව ප්‍රකාශයට පත් කෙරිණි. එසේ ප්‍රකාශයට පත් කළ මුළු භූමි ප්‍රමාණය හෙක්ටයාර 3,159.8 කි. මේ ප්‍රදේශය නුවර එළිය දිස්ත්‍රික්කයේ මීටර 1,800 සිට 2,395 දක්වා වූ උච්චත්ව පරාසය තුළ ව්‍යාප්තව ඇත. අද වන විට හෝර්ටන් තැන්නේ පාරිසරික, ජෛව විද්‍යාත්මක, භූ විද්‍යාත්මක, ජල විද්‍යාත්මක හා පුරා පාරිසරික වටිනාකම අන්තර්ජාතික වශයෙන් ද අවධානයට ලක් වී ඇත. එබැවින් 2010 ජුලි 30 වන දින හෝර්ටන් තැන්න ඇතුළත් මධ්‍ය කඳුකරය ලංකාවේ දෙවන ස්වාභාවික ලෝක උරුම ප්‍රදේශය ලෙස UNESCO - United Nations Educational, Scientific and Cultural Organization  මගින් ප්‍රකාශයට පත් කර තිබේ.

 

hor 2

 

 

හෝර්ටන් තැන්න ජාතික වනෝද්‍යානය තුළ ලංකාවේ උසින් දෙවන හා තෙවන ස්ථාන හිමි කඳුවැටි පිහිටා තිබේ. හෝර්ටන් තැන්නේ බටහිර මායිමේ උසින් දෙවන කන්ද වන කිරිගල්පොත්ත පිහිටා ඇත. මෙහි උස මීටර් 2,395 කි. උතුරු මායිමේ උසින් තෙවන ස්ථානය හිමි තොටපල කන්ද පිහිටා තිබේ. එහි උස මීටර් 2,357 කි. දකුණු මායිම වන්නේ බළංගොඩ සානුව යි. මීටර් 277 කින් යුත් කුඩා ලෝකාන්තය හා මීටර් 884 කින් යුත් මහ ලෝකාන්තය වනෝද්‍යානයේ දකුණු මායිම ලෙස තිබේ. හෝර්ටන් තැන්න ලංකාවේ වඩාත් ශීත හා සුළං වැඩිම ස්ථානයයි. මෙය කඳුකර සදාහරිත වනාන්තර, තෘණ බිම්, වගුරුබිම් හා ජලජ පරිසර පද්ධතියක් ලෙස පවතී. මුහුදු මට්ටමේ සිට මීටර් 2,100 පමණ ඉහළින් පිහිටා ඇත. මෙය ලංකාවේ වඩාත්ම වැදගත් ජල පෝෂක ප්‍රදේශයක් ලෙස පවතී. එමෙන්ම ඉතා පොහොසත් ජෛව විවිධත්වයකින් සමන්විත වන අතර අධ්‍යාපනික හා පර්‌යේෂණ කටයුතුවලයෙදී සිටින්නන් සදහා වටිනා ස්ථානයකි.

 

 

හෝර්ටන් තැන්නේ කාලගුණය නොසිතන පරිදි වෙනස් වන අතර, හොඳින් ඉර එළිය පායා ඇති විටක පිනි වැසිද බලාපොරොත්තු විය හැකිය. ඇතැම් විට පැහැදිලිව අවට පරිසරය දිස්වුවද, මොහොතකින් මුළු පරිසරයම ඝන මීදුමකින් වැසී යන අවස්ථාද තිබේ. වැස්ස පවතින අවස්ථාවක ක්ෂණයකින් හිරු එළිය පතිත වීමද හෝර්ටන් තැන්නේ සංචාරයක නිරත වන ඔබට විඳිය හැකි විවිධ කාලගුණික ලක්ෂණ වේ. 

 

හෝර්ටන් තැන්න කඳුකර තෙත් වනාන්තරවලට අයත් වේ. එහි සාමාන්‍ය වාර්ෂික වර්ෂාපතනය මිලි මීටර්  2000 ත් 5000 ත් අතර වේ. මෙය මහවැලි, කැලණි, වලවේ යන ගංගාවල පෝෂක ප්‍රදේශය ද වේ. හෝර්ටන් තැන්නට අයත් කිරිගල්පොත්ත කන්ද (මීටර් 2389) හා තොටපල කන්ද (මීටර් 2357) යන කඳු අතර උසින් දෙවන හා තුන්වන ස්ථානවලට අයත් වේ. ගැඹුර මීටර් 900ක් පමණ වන ලෝකාන්තය ද හෝර්ටන් තැන්නේ පිහිටා ඇත. දර්ශනීය ස්ථාන වන බේකර්ස් ඇල්ල හා චිමිනි ඇල්ල ද මෙහි දක්නට ලැබේ.

 


හෝර්ටන් තැන්නේ සංචාරය කරන දෙස් විදෙස් සංචාරකයන්ගේ ආකර්ෂණය දිනාගත් ස්ථාන අතර ලෝකාන්තය හා පුංචි ලෝකාන්තය ඉදිරියෙන්ම ඇත. දැඩි බෑවුම් සහිත ප්‍රදේශයක් වන හෙයින් මෙම ස්ථානයෙන් පහළ බැලූ විට අඩි 3000කට ආසන්න ප්‍රපාතයක් දැකගත හැකි බැවින් එය ලෝකාන්තය යැයි හඳුන්වයි. එය නරඹා මඳ දුරක් බේකර්ස් ඇල්ල දක්වා ගමන් ගන්නාවිට පුංචි ලෝකාන්තය හමු වේ. මෙම ප්‍රපාතය අඩි 900ක් පමණ තරම් වූ ප්‍රපාතයකි.

 

 

hortn 3

 

 

හෝර්ටන් තැන්න යනු පරිසර විශ්ව විද්‍යාලයකි. මෙහි ශ්‍රී ලංකාවට ආවේණික ශාක හා සත්ත්ව විශේෂ බහුලය. එබැවින් හෝර්ටන් තැන්න සංකීර්ණ ජෛව විවිධත්වයකින් සන්නද්ධ සොබාදහම් ආකරයක් ලෙස ලෝ වැසි පරිසරවේදීන් ගේ සම්භාවනාවට පත් වී තිබේ. හෝර්ටන් තැන්න වන සතුන්ගේ පාරාදීසයකි. මේ පෙදෙසෙහි බහුලව දැකිය හැකි වන්නේ ගෝන රංචු ය. “ගෝන තැන්න”‍ ලෙස නම් ලබා තිබෙන්නේ ද මේ හේතුව නිසාය. හෝර්ටන් තැන්නට පිවිසෙන මාර්ගයේ ඈතින් ගෝන්නු රංචු පිටින් ගැවසෙමින් සිටීම නිතර දකින සිද්ධියකි. සමහර ගෝනුන් මිනිසුන් ගැවසෙන ප්‍රදේශයට ද පැමිණ සැරිසැරීම පුදුමයට කරුණකි. ගෝනුන්ට අමතරව රතු උණහපුළුවා, ලංකා දිවියා, දිය බල්ලා හා දඬුලේනා වැනි සතුන්ද ඊට අමතරව කළු වඳුරා, රිළවා හා වළසා මෙහිදී දැකගත හැකිය. 

 

හොර්ටන් තැන්නේ ලංකාවට ආවේණික දේශීය ශාක වර්ගයන් බහුලය. එහි එක් විශේෂත්වයක් වන්නේ ද මෙය නිතර දක්නට නොලැබෙන ශාක කිහිපයක වාසස්ථානය වීම හේතුවෙනි. එහිදී වඩාත් අවධානය සහ සිත් ගත් අලංකාර පුෂ්පයක් සහිත මහරත්මල සුවිශේෂී තැනක් ගනී. වසරේ අප්‍රේල් - ජූලි කාලයේ මලින් බරවන මෙම ශාකයන්හි තද පැහැති පුෂ්පය පක්ෂීන් මගින් පරාගණය සිදු කරයි. මධ්‍යම පළාතේ පුෂ්පය ද මහරත්මලයි. 

 

කුරුඋණ ශාකය ද මෙහි පවතින අලංකාරයට තවත් අපූර්වත්වයක් දෙන පැළෑටියකි. ඔය දෙපස වගුරු බිම්වල මේ පඳුරු දැකගත හැකි අතර, ගෝනුන්ට මෙම දලු‍ රසවත් ආහාරයකි. මෙහි ජම්බු ගස්වල හටගන්නා ගෙඩි සහ කොළ නිසා පෙබරවාරි මාර්තු මාසවලදී වනාන්තර රතු සහ කහ පැහැවලින් දිස් වේ. 

 

 

hortn 4

 

 

ගොටුකොළ, ගවරමාන, මහතුත්තිරි, මහදසුන, කුඩා දසුන, ස්ට්‍රෝබෙරි, සුදු බිනර, නිල් බිනර, බෝවිටියා වැනි පැළෑටි වර්ග මෙහි බහුලය. ශ්‍රී ලංකාවට ආවේණික සිතැඟියාද හෝර්ටන් තැන්න වාසස්ථානය කරගත් පක්ෂියෙකි. අරංගයා, කැහැබෙල්ලා, මයිල ගොයා, වලිකුකුළා වැනි පක්ෂි විශේෂ කීපයක්ම මෙම සුන්දර වන පියස අලංකාර කරති. 

 

 

හෝර්ටන් තැන්න නැරඹීම සඳහා පිටත්වන කවුරුත් වැහි කබා හෝ සීතල සඳහා වන උණුසුම් කබා හැඳ ගනිති. ගමන දුෂ්කර වුවත් විනෝදජනකය. විටෙක ගමන් කරන මඟ මීදුමින් වැසී යයි. 

 

 

විටෙක ගසාගෙන යන තරම් වේගවත් සුළඟ සංචාරකයින්ව ත්‍රාසයට පත් කරයි. මීදුම හා සීතල සුළඟ සිහි ගන්වන්නේ නඳුන් උයන ලෙස සාහිත්‍යයේ වර්ණනා කළ ශක්‍ර දෙවියන්ගේ උද්‍යානයි. මෙම වන භූමිය අභියස පවතින සුන්දරත්වය ආරක්ෂා කර ගැනීම සංචාරකයන්ගේ වගකීමක් මෙන්ම යුතුකමකි. 

 

@ශෂිකා අබේරත්න

නවතම ලිපි