SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

“ගුරු ගීතය.. කිව්වම කවුද නොදන්නේ.
 
සාහිත්‍යය ගැන අබමල් රේණුවක් තරම් හරි ඇල්මක් ඇති ඕනම කෙනෙක් අහල දැකල කියවලා තියෙන ලස්සන කතාවක් සහිත පුංචි හුරුබුහුටි අපූරු රුසියානු පොත….

 

 

පළමුවරට කියවන ඕනම කෙනෙක් එතැන් පටන් රුසියන් සාහිත්‍යයට ප්‍රේම කරන්න පටන් ගන්නවා. අද අපේ කතා නායකයා උපාලි ගම්ලත් ඊටත් එහාට ගියා. පුංචි කාලෙ හොරණ තක්ෂිලාවේ ඉගෙන ගන්නකොට ගණිත ගුරුවරයා ගෙනවිත් දුන්නු “ගුරුගීතය.." කියවලා උපාලිට නම් හිතුනේ කාටවත්ම නොහිතෙන දෙයක්. කවද හරි දවසක මේ පොතෙන් පිටපතක් ලියලා රුසියාවට ගිහින් චිත්‍රපටයක් කරන්න…

 

පිටපත හා අධ්‍යක්ෂණය උපාලි ගම්ලත්

නිෂ්පාදනය ආචාර්ය ආරෝෂ ප්‍රනාන්දු

 

එක් අතකින් ඒක සිතුවිල්ලක්. ඒත් ඒක හීනයක්. හැබැයි අසමසම අධිෂ්ඨානයක්.

 

කාලයාගේ ඇවෑමෙන් අධිෂ්ඨාන බලයෙන් ඒ හීනය හැබෑ කරගත්තු උපාලි “ගුරු ගීතය” කියලා හීනයක් වගේ ලස්සන චිත්‍රපටයක් හදලා මේ රටේ ප්‍රේක්ෂකයන්ට බලන්න සලස්වලා ජයග්‍රාහී සිව්වෙනි සතියේ අපි සමග කතාබහ කරමින් ඉන්නවා. ඒ හීනය හැබෑ කරගන්න උදව් වුණු ගුරු ගීතය චිත්‍රපටයේ නිෂ්පාදක ආචාර්ය අරෝෂ ප්‍රනාන්දුත් එතන.

 

මේ දෙන්නම එක්වෙලා අපිත් එක්ක කතා කළේ 80 දශකයේ අග භාගයේ කතාව කියවලා, 1998 දී උපාලි අතින් කඩදාසි ගොඩක ලියවුණු “ගුරු ගීතය” පිටපත කාලයාගේ ඇවෑමෙන් චිත්‍රපටයක් බවට පත්වෙලා 2024 හීතල දෙසැම්බරයේ ශ්‍රී ලාංකික ප්‍රේක්ෂකාගාරයේ ප්‍රදර්ශනය වෙන්න සලස්සපු අපූරු කතාන්තරය ගැන…

 

“චිත්‍රපටි පිටපතක් ලියා ගත්තට ඒක අතේ තියාගෙන මම කර කර හිටියේ වෙන වෙන වැඩ. කෙටි චිත්‍රපටි, වාර්තා වැඩසටහන්, ටෙලි නාට්‍ය, වේදිකා නාට්‍ය වගේ දේවල් කර කර ඉන්න කාලෙ තමයි මම නාවල ටී වී ටී ආයතනයට (the video team) නිතර යන්නෙ එන්නේ. මට ආචාර්ය සුනිල් ජයන්ත නවරත්න එතනදී හමුවෙනවා. එතුමා මගෙන් ගුරු ගීතය ගැන විස්තර අහලා ඒක යථාර්ථයක් කරගන්න උදව් කරන්න තමයි මට තරුණ සේවා සභාවට එන්න කියන්නේ. එවකට එතුමා තරුණ සේවා සභාවේ සභාපති. මට එහි රස්සාවක් ලැබෙනවා.

 

guru

 

ඔය අතරේ මට චිත්‍රපටය කරන්න නිෂ්පාදකයෙක් ලෙස ජගත් විජේරත්න 2003 දී උදව් කරන්න සූදානම් වෙනවා. අපි මේ චිත්‍රපටය නුවරඑළියේ රූපගත කරන්නයි සූදානම තිබුණේ. දූයිෂෙන්ගේ චරිතයට රෝජර් සෙනවිරත්න තෝරගන්නවා. ඒත් මේක නුවරඑළියේ කිරීම ගැන බොහෝ විවේචන ආවා. මේ කතාව බොහෝ දෙනකුගේ හදවතේ ඇඳිලා තිබුණ චිත්‍රයක් නිසා ඒ විවේචන සාධාරණ බව මට පෙනුණා. ඒක නිසා පළමු වතාවේ චිත්‍රපටය කරන එක අතර මග නතර වුණා…

 

 

“එතකොට ඔබ ආචාර්ය ආරෝෂව හඳුනාගෙන තිබුණේ නැද්ද..?” අපි උපාලිගෙන් අරෝෂ ගැන ඇහුවා.

 

“ඒක වුණේ පස්සේ. ඇත්තටම මේ චිත්‍රපටයට නිෂ්පාදකයෝ කීපදෙනෙක් මැදිහත් වෙලා කරන්න ගිය වැඩක්. මම ඒ කතාව කියන්නම්.

 

නිර්මාණශීලී තරුණ සිනමාකරුවන්ට චිත්‍රපටි කරන්න ණය දෙන ව්‍යාපෘතියක් පටන් ගත්තා අශෝක සේරසිංහ මහත්තයා චිත්‍රපට සංස්ථාවේ සභාපති වෙලා ඉන්න කාලේ. මම ඒ සඳහා මගේ පිටපත ඉදිරිපත් කළා. අනුමත වුණේ මගේත් චන්න පෙරේරාගේත් චිත්‍රපට පිටපත් දෙකක් විතරයි.

 

ඊට පෙර මට ඉන්දියාවේ මනාලී ප්‍රදේශයේ හා නේපාලයේ කඳු නැඟීම්වලට සහභාගි වෙන්න අවස්ථාවක් ලැබෙනවා. එතකොට තමයි මම දකින්නේ ගුරු ගීතය පසුතල සඳහා රුසියාවෙන් මම බලාපොරොත්තු වෙච්ච පරිසරය නේපාලයේ තියෙන බව. ඒ මතකය හිතේ තබාගෙන ආයෙත් ලංකාවට ඇවිල්ල තමයි මම මේ නිෂ්පාදනය කරපු ගුරු ගීතයේ වැඩ පටන් ගන්නේ 2011 දී.

 

චිත්‍රපටියේ පටිගත කිරීම්වලට අපි තෝරා ගත්තේ නේපාලයේ හිමාලය කඳුකරේ අඩි 11,000ක් පමණ උසින් පිහිටි මනංග් (manang) කියන ගම. මනංග් කියන ගෝත්‍රිකයෝ ජීවත්වුණේ. මම මුලින්ම අත්‍යවශ්‍යම ශිල්පීන් සමග ඒ ගමට ගිහින් පසුතල හොයා ගත්තා. ඊළඟට ඒ ගමේ මිනිස්සු තෝරගෙන චිත්‍රපටියේ පසුබිම් චරිත සඳහා පුහුණු කිරීම් පටන් ගත්තා. අත්‍යවශ්‍යම ප්‍රධාන නළු නිළියොයි කාර්මික ශිල්පීනුයි විතරක් අවශ්‍ය වෙලාවට ලංකාවෙන් ගෙනියන්නයි සැලසුම් කළේ.

 

ඔය විදියට සැලසුම් කරලා නළු නිළි කණ්ඩායම අරගෙන යනකොට නොසිතූ විරූ ප්‍රශ්නෙකට මුහුණපාන්න සිදුවුණා. ලොකේෂන්වලට යන්න අඩි 800 ක් උස බෙසියාර් කියන පළාතේ ඉඳලා කඳු දිගේ කිලෝ මීටර් 90ක් දින දහයක් තිස්සේ පයින් යන්න ඕන. දින තුනක් යන්න පටන් ගත්තාම හිම තියෙන පළාත් හමුවුණත් අධික කඳු බෑවුම් නිසා චිත්‍රපටියට උචිත නෑ.

 

අපේ කණ්ඩායම මුලදී ඉතාම විනෝදයෙන් හිම ක්‍රීඩා කරමින් ගමන ගියත් අතර මැදදී හදිසියේ හිම කුණාටුවකට අහුවුණා. අපි නතර වෙලා හිටපු ලොජ් එකේ වහල ගාණට හිම වැටුණා. ඒ වෙලාවේ අසහනයට පත්වුණු අපේ නළු නිලි කණ්ඩායමේ පස් දෙනෙක්ම එතනින් එහාට එක අඩියක් තියන්නේ නැතුව බය වෙලා ආපහු හැරුණා. දුයිෂෙන්ගේ චරිතය රඟපාපු රොෂාන් රවීන්ද්‍ර යි ප්‍රධාන නිළි කල්පනා ජයසිංහයි තව කීප දිනෙකුයි හැරුණාම අනික් අය ඔක්කොම ආපහු ආවේ චිත්‍රපටයේ එක තප්පරයකටවත් දායක නොවී. අපි කීප දෙනා විතරක් උඩට ගිහින් දුෂ්කරතා රැසක් මැද සැලසුම් කරලා අපිට පුළුවන් කොටස රූපගත කළා.”

 

ගුරු 4

 

ඒ වතාවෙ උපාලි ලංකාවට ආවේ කරන්න ගිය වැඩේ භාගෙට කරගෙන. හැබැයි ඒකට විශාල වියදමකුත් ගිහින්. සංස්ථාවෙන් ණයට ලැබුණු මුදල ඉවරයි. අන්තිමේ උපාලිට උදව් කළේ කැනඩාවේ හිටපු ෆ්‍රෙඩී සෙනවිරත්න කියලා යාලුවෙක්. එහෙම කරලත් චිත්‍රපටයේ වැඩ ඉවර කරගන්න බැරුව උපාලි ළත වෙනකොට තමයි ආචාර්ය අරෝෂ ප්‍රනාන්දු උපාලිට හමුවෙන්නේ. ඒකත් එක්තරා දෛවෝපගත හමුවීමක්. ඒ ගැන කියන්න මේ වෙලාවේ අරෝෂත් අපි ළඟම හිටියා…

 

“මම පුංචි කාලේ ඉඳලාම චිත්‍රපටි කර්මාන්තයට බොහොම ලැදියි. ඒකට හේතුව ගෙදරින් ලැබුණු ආභාෂය. මගේ සීයා ව්‍යාපාරිකයෙක්. අනුර අම්බලන්ගොඩ, ප්‍රියංකර නාරාහේන්පිට වගේ සිනමා ශාලා කිහිපයක් සීයා සතුව තිබුණා. ඉතින් මම කොළඹ ආනන්දයේ පාසල් යනකොටත් නිතර චිත්‍රපට සංස්ථාවට යනවා එනවා. මොකද මම තමයි පාසල් චිත්‍රපට සංගමයේ සභාපති. සැරින් සැරේ චිත්‍රපටි සංස්ථාවට ගිහින් චිත්‍රපටියක් ගෙනැවිත් පාසලේ පෙන්වන පුරුද්දක් අපිට තිබුණා. ඒක නිසා මම ගොඩක් අය එතන දන්නවා.

 

පසුකාලීනව මම උසස් අධ්‍යාපනය ලබන්න ඔස්ට්‍රේලියාවට ගිහින් ස්වීසබර්ග් යුනිවසිටි එකෙන් ටෙලි කොමියුනිකේෂන් ඇතුළු ක්ෂේත්‍ර ගණනාවකින් අධ්‍යාපනය ලබනවා. ආචාර්ය උපාධියකුත් ලබාගෙන මම “එරික්සන්” කම්පැනියේ රැකියාවකුත් කරනවා. අවුරුදු දහයකට පස්සේ තමයි මම ලංකාවට එන්නේ…

 

ඒ ඇවිල්ලා බිස්නස් කරන ගමන් මට සිනමාව පිළිබඳ මගේ හීනය සැබෑ කරගන්න චිත්‍රපට කර්මාන්තයට දායක වෙනවා නිෂ්පාදකයෙක් හැටියට. ඔය විදියට මම චිත්‍රපට තුනක් නිෂ්පාදනය කරලා ඉන්න වෙලාවක තමයි චිත්‍රපටි සංස්ථාවේ හර්ෂ කේමින්ද කියලා ඉන්න මගේ මිත්‍රයෙක් මාර්ගයෙන් උපාලි ගම්ලත්ව අදුනාගන්නේ.

 

ඒ වෙලාවේ උපාලි හිටියේ ගුරු ගීතය කියන අපි වඩාත් ආස කරන පුංචි රුසියානු කතාව චිත්‍රපටයට නඟලා අවසන් කරගන්න ක්‍රමයක් හොය හොයා. ඉතින් මම ඒ වගකීම සතුටින් භාර ගත්තා…”

 

 

ගුරු 22

 

 

“ඇත්තටම ඒ වෙලාවේ චිත්‍රපටියේ රූපගත කිරීම්වලින් යම් සාධනීය කොටසක් අවසන් කරලා තිබුණා. ඩොක්ට අරෝෂ ඒ කොටස් දැක්කා. මං හිතනවා ඒ ගැන ලොකු විශ්වාසයක් එතුමන්ට ඇතිවුණා කියලා බය නැතුව මේ අභියෝගය භාරගන්න…”

උපාලි ඒ ගැන විස්තර කළේ එහෙම.

 

 

“2012 අවුරුද්දේ වසන්ත කාලේ උදා වෙන්න ගනිද්දි පෙබරවාරි මාර්තු අපි නැවතත් ගියා. සමහර තීරණාත්මක සංවේදී ජවනිකා ගණනාවක් තිබුණා අපිට පටිගත කරන්න. අපි මේ චිත්‍රපටයට අත්‍යවශ්‍ය පසුබිම් හා පසුතල දර්ශන රූපගත කරන්න සමහර අවස්ථාවල අඩි 16,000 දක්වා ඉහළ ලොකේෂන්වලට ගියා. ඒවට කත්මන්දුවල නේපාලයේ ජාතික චිත්‍රපටි අධිකාරියෙන් අවසර ගන්න ඕනා වුණා. ඒ සඳහා අපි අපේ චිත්‍රපටයේ පිටපත ඇතුළු සියලු විස්තර භාරදෙන්න ඕන. එතනදී ඔවුන් අපිට තරයේ අවවාද කළා ඔච්චර ඉහළ පසුතලයක මෙච්චර කලක් කවුරුවත් වෘත්තාන්ත චිත්‍රපටි කරලා නැහැ. එහේ යන්න එපා. තේරුමක් නැහැ. කරන්න බැහැ කියලා. හැබැයි බොහොම අමාරුවෙන් අපි ඔවුන්ගේ අවසර ගත්තා. ඔවුන් කියන විදියට අපි තමයි ඒ වෙනකොටත් ලෝකයේ ඉහළම පසුතලයක වෘත්තාන්ත චිත්‍රපටියක් රූගත කිරීම් කරලා තියෙන්නේ.

 

පස්සේ මම ඒ ගැන හොයලා බැලුවා. නොබෙල් ත්‍යාගලාභී චිත්‍රපටියක් තියෙනවා “caravan” කියලා. බලනකොට ඒක කරල තියෙන්නෙ අඩි 6000ක් උස පරිසරයක. ඊළඟට තවත් “කම්බෙකි” කියලා චිත්‍රපටියක් තියෙනවා. ඒගොල්ලෝ උස අඩි 8000කට ගිහින්. අපි රූපගත කිරීම් කළ “ට්‍රිලීචෝලේ” ප්‍රදේශයේ අපේ පසුතලවල උස අඩි 11,000ත් 16,000ත් අතර වුණා. මං හිතන්නේ මේක වාර්තාවක්. ඒ වගේම අභියෝගයක්.

 

ගුරු ගීතය සාහිත්‍ය කාව්‍යයේ “අයිලය” ගමේ පුංචි දරුවන්ට අකුරු කියාදෙන්න දූයිෂෙන් කියන අසමසම ගුරුවරයා එකවර අභියෝග දෙකකට මුහුණ දෙනවා. සියලු කාලගුණික දේශගුණික හා පාරිසරික සාධක සතුරුව තිබියදී දරුවන් වෙනුවෙන් පාසලක් තැනීමට භෞතිකව ඔහුට මුහුණ දෙන්න සිදුවුණ අභියෝගය එකක්. ඒ සඳහා ගැමියන්ගේ නූගත්කම හා අසරණකම මත තිබූ අකමැත්ත හා විරෝධය පරාජය කරමින් පාසල්වලට දරුවන් එවන මට්ටමට ඔවුන්ගේ ආකල්ප සංවර්ධනය කිරීම තව අභියෝගයක්. දුයිෂෙන් ඒ අභියෝග දෙකම ජය ගන්නවා. මෙන්න මේ පොතේ කතාව රූපයට නඟන්නට උපාලි අපමණ වෙහෙසක් දරා තිබුණා…”

 

ගුරු 5

 

 

“ඇත්තටම ඒක තමයි මට ලොකුම ප්‍රශ්නය වුණේ? මේ කතාව කවුරුත් බලලා තියෙනවා. ඉතින් මේ හැම කෙනෙක්ගේම ඇතුළාන්තයේ කතාව පිළිබඳ චිත්‍රපටයක් තියෙනවා. අන්න ඒ චිත්‍රපටයට හානියක් නොකර මේ වෘත්තාන්තය ප්‍රතිනිර්මාණය කිරීම තමයි මට තිබුණු ලොකුම අභියෝගය. අන්න ඒ නිසා තමයි මම නුවරඑළියේ චිත්‍රපටය නොකර අපමණ දුෂ්කරතා හා වියදමක් දරාගෙන නේපාලයේ කඳු අතරටම ගියේ.

 

ඇත්තටම මේ චිත්‍රපටයේ ප්‍රධාන නළු රොෂාන් රවීන්ද්‍ර, ප්‍රධාන නිළි කල්පනා ජයසිංහ කලා අධ්‍යක්ෂ පූර්ණ ජයසිංහ ඇතුළු මගේ ශිල්පීන් හැමෝම මේ චිත්‍රපටය කරන්න ගිහිල්ලා ඒ කළ කැපකිරීම මිල කරන්න බෑ. ජීවිත අවදානමක් අරගෙනයි ගියේ. උදේ 9.00න් පස්සේ හැන්දෑවේ 3.00 පමණ වෙනකන් විතරයි අව්වක් කියල දෙයක් වැටෙන්නේ. ඒ වෙලාවෙත් එළියේ උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් අංශක ඝෘණ හතරයි පහයි. හවස තුන පහුවෙනකොටම ඒක ශීඝ්‍රයෙන් අඩු වෙලා අංශක ඝෘණ විස්සට විතර යනවා. ඒ වෙලාවට ඇතුළකට වෙලා උණුසුමෙන් ඉන්නවා හැර වෙන විකල්පයක් නෑ.

 

අපි එක හවසක රූපගත කිරීමක් කරන්න ගිහිල්ලා කල්පනී ජයසිංහට සීතල දරාගන්න බැරුව ලොකු අපහසුතාවකට පත්වුණා මට මතකයි.”

 

ගුරු 6 

 

වෙනස් වෙනස් පසුතල චිත්‍රපටය ඇතුළෙ තිබුණ නේද…?

 

“ඔව් අපි මේ චිත්‍රපටය රටවල් හතරක රූපගත කළා. හිම සහිත පසුතල ඔක්කොම තියෙන්නේ නේපාලයේ. දුම් කෝච්චියක් සහිත දර්ශන කීපයක් තියෙනවානේ. ඒ දර්ශන ටික රුසියාවේ ලුමුම්බා සරසවියේ ඉන්න මගේ මිත්‍රයෙක් හරහා සයිබීරියාවේ පටිගත කරලා ගෙන්න ගත්තා. අර හිම අතරින් දුම්කෝච්චි යන්නේ. කෝච්චි ඇතුලේ දර්ශන ඔක්කොම ඉන්දියාවේ මනාලිවල. ඒ හැරුණාම ගොඩක් ඇතුලත දර්ශන අපි ලංකාවේ සෙට් හදලා ෂූට් කළා. කලා අධ්‍යක්ෂ පූර්ණ ජය ශ්‍රීට වැඩ වැඩිවුණා වගේම නිෂ්පාදකට වියදමත් ඩබල් වුණේ ඕව නිසා.”

 

සමහර ඇතුළත දර්ශනවල නේපාල දරුවෝ සහ නේපාල ජාතිකයෝ සිටියනේ….?

 

“ඔව්… අපට ඒ සඳහා එහේ අය පුහුණු කරලා යොදාගන්න සිද්ධ වුණා. මාස එකහමාරකට වඩා කාලයක් ඔවුන්ව පුහුණු කළා. ඔවුන් ඉන්න ඇතුලත දර්ශන එහේ කරපුවා…”

 

උපාලි ගුරු ගීතයේ පිටපත 98දී ලිව්වට චිත්‍රපටිය පටන් ගන්නේ 2011 වසරේ. අන්තිමේ ආචාර්ය අරෝෂගේ දායකත්වයෙන් වැඩ අවසන් කරලා ප්‍රදර්ශනයට ඉදිරිපත් කරන්නේ 2024 දෙසැම්බරයේත් මැද…

අපි ප්‍රශ්නයක් ඇහුවේ අරෝෂගෙන් මේ වගේ චිත්‍රපටවලින් ලාභ ගන්න පුළුවන්ද කියලා.. චිත්‍රපටියේ වැඩ භාර ගන්න කොට අරෝෂ විනෝදෙට වගේ අනිත්‍යා, රූපාන්තරණ, ඉගිලෙන්නයි දඟලන්නේ… වගේ චිත්‍රපට තුනක් විතරයි කරලා තිබුණේ. හැබැයි 2024 ගුරු ගීතය ප්‍රදර්ශනය කරන්න පටන් ගන්නකොට ඔහු ඒ විනෝද මාවතේ දුරදිග ගිහින් චිත්‍රපට 17ක් නිෂ්පාදනය කරලා…? “තමන් වියදම් කරන මුදලට සාධාරණ ප්‍රතිලාභයක් ලබන්න බැරි නම් ඇත්තටම කෙනෙක් චිත්‍රපට කර්මාන්තයට සල්ලි යොදවන්නේ නැහැ. හැබැයි මම කරපු අනිත් චිත්‍රපට ඔක්කොමත් එක්ක ගන්නකොට මේක මට අමුතුම වින්දනයක් සහ අත්දැකීමක්. විශේෂයෙන් මේ චිත්‍රපටය රූපගත කරන්න අවසාන වශයෙන් මම නේපාලයට හා ඉන්දියාවට ගිය ගමන. ඒක මුදලින් තක්සේරු කරන්න බෑ. මුදලින් අපි චිත්‍රපටයට ලක්ෂ 250කට වඩා වියදම් කළා. උපාලි ඇතුළු ශිල්පීන් වැය කරපු ශ්‍රමය ගණන් හැදුවොත් ඒ වටිනාකමත් ලක්ෂ 250ට වඩා වැඩියි. සමහරවිට මූල්‍ය වශයෙන් අපිට ඒ මුදල හොයන එක දුෂ්කර වෙයි. හැබැයි මේ චිත්‍රපටය අවසන් කරලා මුල්වරට ප්‍රදර්ශනය කරපු දවසේ තමයි මට තේරුණේ මම වියදම් කරපු මුදල දැන් මම හම්බ කරලා ඉවරයි කියලා. ඒ තරම් සතුටක් එදා මම වින්දා. ඒක මිල කරන්න බෑ…”

 

ගුරු ගීතය හදවතේ දෝංකාර දෙන ප්‍රේක්ෂකයෝ සිනමා ශාලාවලට ගොඩ වුණේ දුයිෂෙන් හොයාගෙන. දුයිෂෙන් පාදා දුන් මං පොත ඔස්සේ හුඟක් දුර ඈතට ගිය අල්තීනාත් දුයිෂෙන් හොයාගෙන අයිලයට ආවෙ හුඟ කාලෙකට පස්සේ. ඒත් දුයිෂෙන් අයිලයේ නෑ. යුද්දෙට ගියපු දුයිෂෙන්ට ආයෙ ගමට එන්න යුද්ධය ඉඩ පාදා දී නෑ. ඒ වෙනුවට අල්තීනයි දුයිෂෙනුයි වෙන්වෙන මොහොතේ අයිලයේ තබපු මතක සටහන්, පොප්ලර් ගස් දෙක අතු ඉතිලා වැඩුණු මහා වෘක්ෂ දෙකක් වෙලා. හරියට අල්තීනගෙ අනාගතය වගේ. දුයිෂෙන්ගෙන් ජීවිතය කියවපු අල්තීනට දුයිෂෙන් නැති සාංකාවක් අයිලයේ නෑ. ඒ මොකද අල්තීනා පොප්ලර් ගස් දෙක අතරින් දුයිෂෙන්ව දැක්කා.

 

@ බුලිත ප්‍රදීප් කුමාර

දිවයින ඉරිදා සංග්‍රහය

 

නවතම ලිපි