මැදපෙරදිග කලාපයේ යුධ තත්වය උත්සන්න වෙමින් ඇත. එසේම රුසියාව විසින් යුක්රේන ආක්‍රමණය සාර්ථක කරගනිමින් තිබේ. ඇමරිකාව විසින් රුසියාව ඉලක්ක කරමින් පෝලන්තයේ න්‍යෂ්ටික අවි රැඳවීමට තීරණය කොට ඇත.
දැනටමත් බෙල්ජියම, ඉතාලිය, ජර්මනිය, නෙදර්ලන්තය, තුර්කිය, වැනි රටවල න්‍යෂ්ඨික අවී රඳවා ඇති නමුත් පෝලන්තය යනු රුසියාවට ආසන්නම රටක් වන බැවින් තත්වය උණුසුම් වීමට නියමිතය. ඉරානයේ න්‍යෂ්ටික මධ්‍යස්ථාන වෙත පහර දෙන බව ඊශ්‍රායලය පවසා තිබේ. ඊට ප්‍රතිචාර ලෙස ඉරානය විසින් පවසා ඇත්තේ තවත් එක් ප්‍රහාරයක් හෝ එල්ල කළහොත් ඊශ්‍රායලය ලෝක සිතියමෙන් මකා දමන බවයි.
චීනය විසින් යුධමය වශයෙන් රටවල් ආක්‍රමණය නොකළ ද ප්‍රධාන වශයෙන් අප්‍රිකානු කලාපය වෙත ද, ආසියානු කලාපයේ පකිස්තානය සහ ශ්‍රී ලංකාව වැනි රටවල් තුලට ද ඇතුල් වී ඇත.
අප්‍රිකානු කලාපයට චීනය ඇතුල් වී ඇත්තේ ප්‍රධාන වශයෙන්ම ණය සහ ආදාර ලබා දීම හරහාය. එසේම චීනය අප්‍රිකාවේ ප්‍රධාන ආයෝජන ප්‍රභවයන් ගණනාවක්, යටිතල පහසුකම් ව්‍යාපෘති, සම්පත් නිස්සාරණය සහ විවිධ කර්මාන්ත සඳහා අරමුදල් සපයයි. චීනය ණය ගිවිසුම් සහ ව්‍යාපෘති පිළිබඳව විස්තර සම්පූර්ණයෙන්ම පාරදෘශ්‍ය නොවන අතර වගවීම පිළිබඳ උත්සුකයන් මතු කරයි. එනම්, චීනය රටවල් වෙත ණය ලබා දෙනුයේ ගමක සිටිනා ගිනි පොලී කාරයෙකු ණය ලබා දෙන අකාරයටයි. ණය ගෙවීමට නොහැකි වූ තැන අදාළ රටෙන් බිම් කොටසක් අත්පත් කර ගැනීම චීනයේ අරමුනයි.
මේ වන විට චීනය බොහෝ අප්‍රිකානු රටවල් සඳහා ප්‍රධාන වෙළඳ හවුල්කරුවෙකු බවට පත්ව ඇත. මෙමගින් චීන අපනයන ඉහල නැංවීමට හැකි වී අතර, අප්‍රිකානු ජාතීන් ප්‍රධාන වශයෙන් චීනයට අමුද්‍රව්‍ය අපනයනය කරන අසමතුලිත වෙළඳ සබඳතාවයකට ද මග පෑදි ඇත. සමහර ආසියාතික රටවල් සමඟ මෙන් බොහෝ අප්‍රිකානු ජාතීන් සමඟ චීනයට විධිමත් හමුදා සන්ධානයක් නොමැත. කෙසේ වෙතත්, චීනය සමහර අප්‍රිකානු රටවලට හමුදා ආධාර සහ පුහුණුව ලබා දෙයි.
චීන මහෙයුම් ක්‍රියාත්මක වන ප්‍රධාන අප්‍රිකානු රටවල් වන්නේ:
ඇන්ගෝලා, ඉතියෝපියාව, කෙන්යාව, යන රටවල්ය. චීනය ඇන්ගෝලාවේ තෙල් කර්මාන්තයේ ප්‍රධාන ආයෝජකයෙකු වන අතර ඇන්ගෝලාව චීනයෙන් විශාල වශයෙන් ණය ලබාගෙන ඇත. යටිතල පහසුකම් ව්‍යාපෘති සඳහා ඉතියෝපියාවට සැලකිය යුතු චීන ආයෝජනයක් ලැබී ඇත. එසේම යටිතල පහසුකම් සහ අනෙකුත් අංශවල චීන ආයෝජනයේ තවත් ප්‍රධාන භූමියක් වන්නේ කෙන්යාවයි. මේ සියලු රටවල සුවිශේෂිතාවය වන්නේ චීන ප්‍රාග්ධනය මත පදනම් වීම තුල මේ රටවල ආර්ථිකය තිබෙන අකාරයෙන් පවත්වාගැනීමට නම් දිගින් දිගටම චීනය මත යැපීමට සිදු වීමයි (එනම්, ඉන් ගැලවිය නොහැකි උගුලක පැටලීමයි). එසේ නොවුනහොත් ලංකාවේ සිදුවූවාක් මෙන් එකවර කඩාවැටීම සිදුවනු ඇත. චීන අදාර සහ ණය වල ස්වභාවය එයයි.
අර්ධ සන්නායක සහ ලිතියම් බැටරි සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය ලබා ගැනීම සඳහා චීනය ආර්ථික සබඳතා ඇති අප්‍රිකානු රටවල් මෙසේය:
කොංගෝව යනු විද්‍යුත් වාහන සහ ඉලෙක්ට්‍රොනික උපකරණවල භාවිතා කරන ලිතියම්-අයන් බැටරි සඳහා තීරණාත්මක මූලද්‍රව්‍යයක් වන කොබෝල්ට් වලින් පොහොසත් දේශයකි. චීනය සිය කොබෝල්ට් වලින් සැලකිය යුතු කොටසක් කොන්ගෝව වෙතින් ආනයනය කරයි.
නැමීබියාව ලිතියම් සම්පත් බහුල තවත් රටකි. ලිතියම් ස්ථාවර සැපයුමක් ලබා ගැනීම සඳහා චීනය නැමීබියාවේ පතල් ව්‍යාපෘති සඳහා ආයෝජනය කර ඇත.
දකුණ අප්‍රිකාවේ ලිතියම් සහ ප්ලැටිනම් කාණ්ඩයේ විශාල ලෝහ (PGM) සංචිත ඇත. ලිතියම්-අයන් බැටරි සඳහා ලිතියම් අත්‍යවශ්‍ය වන අතර වාහන සහ අනෙකුත් කාර්මික ක්‍රියාවලීන් සඳහා උත්ප්‍රේරක පරිවර්තකවල PGM භාවිතා වේ.
ගිනියාව යනු ඇලුමිනියම් නිෂ්පාදනය සඳහා භාවිතා කරන බොක්සයිට් ප්‍රධාන නිෂ්පාදකයෙකි. ඇලුමිනියම් යනු අර්ධ සන්නායක ඇසුරුම් සඳහා තීරනාත්මක ද්රව්යයකි. චීනය ගිනියානු බොක්සයිට් සැලකිය යුතු ආනයනකරුවෙකි.
චීන විසින් සිදු කර ඇති මෙම අත්පත්කොට ගැනීම් මෙම රටවලට පමණක් සීමා නොවේ. මේවා කැපී පෙනෙන උදාහරණ කිහිපයක් වන අතර, චීනයට අදාළ සම්පත් ඇති අනෙකුත් අප්‍රිකානු රටවල් සමඟ ද ආර්ථික සබඳතා ඇත.
පරිඝනක ක්ෂේස්ත්‍රය සහ ශබ්ධ උපකරණ, හැරුනුකොට ඇමරිකාවේ සහ යුරෝපයේ ඉලෙක්ට්‍රොනික නිෂ්පාදන තවමත් පවතිනුයේ සුවිශේෂී වෙළඳපොළක් ඉලක්ක කරගනිමින් පමණි. උදාහරණයකට ඩෙන්මාර්කයේ Bang & Olufsen සමාගම ගතහොත්, එහි ප්‍රධාන නිෂ්පාදනයක් වන රූපවාහිනී මිල ආරම්භ වන්නෙම ඇමෙරිකානු ඩොලර් 19000 පමණ සිටය (අඟල් 65). එනම් එවැනි රූපවාහිනියක් බදු ඇතුලත් නොවී ශ්‍රී ලංකා මුදලින් ලක්ෂ 76ක් පමණ වේ. රූපවාහිනී ඇතුළු මෙවැනි තවත් ඉලෙක්ට්‍රොනික නිෂ්පාදන සමාගම් බ්‍රිතාන්‍යය, ජර්මනිය, බෙල්ගියම වැනි රටවල පවතිනුයේ ඒවායේ ගුණාත්මකව උසස් තත්වය සහ සුවිශේෂී නිමාව හේතුවෙනි. ඇමරිකාවේ ද එවැනි සමාගම් ඇත. නමුත් එම සුවිශේෂී වෙළඳපොල සුවිශේෂී බිලියන පතියන් සඳහාම පමණි. එවැනි නිෂ්පාදන සාමාන්‍ය වෙළඳපොලට නොපැමිණේ.
චීනය මේ වන විට ලෝක ෆැක්ටරිය බවට පත්වෙමින් තිබේ. ලෝක ඉලෙක්ට්‍රොනික වෙළඳපොලේ විශාලතම පංගුව චීනය විසින් අත්පත්කොටගෙන තිබේ. උදාහරණයක් ලෙස රූපවාහිනී පමණක් සලකන්නේ නම්, වෙළඳපොල තුල වැඩිම පංගුව හිමිකොටගෙන තිබෙනුයේ TCL රූපවාහිනය වන අතර සමස්තයක් ලෙස ද විශාලතම කොටස චීනය සතුය.
ඉදිරි වසර තුන තුල තත්වයේ සීග්‍ර වෙනසක් සමගින් චීනය පිමි පනිමින් ඉදිරියට පැමිණීමට නියමිත බව පෙනෙන්නට තිබේ. එම ක්ෂේස්ත්‍ර වන්නේ,
විශේෂයෙන්ම ජංගම දුරකථන ඇතුළු පාරිභෝගික ඉලෙක්ට්‍රොනික උපකරණ ක්ෂේස්ත්‍රයයි (චීනය දැනටමත් ලෝකයේ ස්මාර්ට් ෆෝන්, ටීවී, පරිගණක සහ අනෙකුත් පාරිභෝගික ඉලෙක්ට්‍රොනික උපකරණවලින් විශාලතම පංගුව නිෂ්පාදනය කරයි).
චිප් නිෂ්පාදන තාක්ෂණය සඳහා චීනය ඇමෙරිකා එක්සත් ජනපදයට ළඟා වීමට විශාල වශයෙන් ආයෝජනය කරයි. ඉලෙක්ට්‍රොනික උපකරණ සහ අනෙකුත් උපාංග සඳහා අර්ධ සන්නායක සපයන ප්‍රධාන සැපයුම්කරුවෙකු වීම ඔවුන්ගේ අරමුණයි.
විද්‍යුත් වාහන නිෂ්පාදනයේ සහ බැටරි තාක්ෂණයේ ප්‍රමුඛයා බවට මේ වන විටත් චීනය පත් වී අවසන්ය.
සූර්ය පැනල සහ සුළං ටර්බයින නිෂ්පාදනය කරන ප්‍රධාන නිෂ්පාදකයෙකු වන අතර, පුනර්ජනනීය බලශක්තිය වෙත ගෝලීය සංක්‍රමණයේදී ඒවා ප්‍රධාන භූමිකාවක් ඉටු කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.
චීනයට විශාල අධිවේගී දුම්රිය ජාලයක් සහ එය තැනීමේ තාක්ෂණය ඇත. ඔවුන් මෙම විශේෂඥතාව සහ තාක්ෂණය වෙනත් රටවලට අපනයනය කිරීමට සූදානම් වේ.
වානේ, සිමෙන්ති සහ අනෙකුත් ඉදිකිරීම් ද්‍රව්‍යවල ප්‍රධාන නිෂ්පාදකයෙකි. ගෝලීය යටිතල පහසුකම් ව්‍යාපෘති සඳහා ප්‍රධාන සැපයුම්කරුවෙකු ලෙස පවතිනු ඇත.
කෘතිම බුද්ධිය (AI) පිලිබඳ පර්යේෂණ සහ සංවර්ධනය සඳහා විශාල වශයෙන් ආයෝජනය කරයි. AI බලයෙන් ක්‍රියාත්මක වන නිෂ්පාදන සහ සේවා සංවර්ධනය කිරීමේ සහ අපනයනය කිරීමේ ප්‍රමුඛයෙකු බවට පත්විය හැකි බව මේ වන විට පෙන්නුම්කරමින් තිබේ.
ජෛව තාක්‍ෂණ අංශය වේගයෙන් වර්ධනය වෙමින් පවතී. ඖෂධ සහ ජාන විද්යාව වැනි ක්ෂේත්රවල ප්රධාන තරඟ කරුවෙකු බවට පත්විය හැකිය.
සමෘද්ධිමත් ඊ-වාණිජ්‍ය වෙළඳපොළ සහ මාර්ගගත ගෙවීම් වැනි ඩිජිටල් සේවාවන් ගෝලීය වශයෙන් ඔවුන්ගේ ප්‍රවේශය පුළුල් කරනු දැකිය හැකිය.
චීනය තවමත් ඇතැම් නිෂ්පාදන සඳහා විදේශීය තාක්‍ෂණය මත රඳා පවතී. නමුත් චීනය උත්සාහ දරමින් සිටිනුයේ මෙම පරායත්තතා ජය ගැනීම සඳහාය. ඔවුන් ඒ සඳහා උපක්‍රමික වශයෙන් දීර්ගකාලීනව සැලසුම් සකස් කල බවක් පෙනේ. එනම්, අප්‍රිකානු කලාපයේ සම්පත් චීනයට පමණක් වන ලෙස අත්පත්කොට ගැනීම, ආසියානු කලාපයේ රටවල භූමි භාගයන්, වරාය, ගුවන් තොටුපොල වැනි දෑ හිමිකර ගැනීම, වැනි ක්‍රියාවන් ඒ අතර ප්‍රමුඛ වේ.
විදුලි මෝටර් රථ, ඒවාට අවශ්‍ය බැටරි, අර්ධ සන්නායක සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය වැනි අත්‍යාවශ්‍ය අමුද්‍රව්‍ය සහිත කලාප ලොව වෙනත් කිසිඳු රටකට නොමැති අකාරයෙන් පවතින්නේ චීනය සතුවයි. එබැවින් එම නිෂ්පාදන අඩු මිලට ලබා දීමේ හැකියාව චීනය සතු වීම ඉදිරියේදී නොවැලැක්විය හැකි වනු ඇත. එම තත්වය අනෙකුත් රටවල නිෂ්පාදන සමාගම් වෙත දැඩි ලෙස බලපානු ඇත.
ගෝලීය අර්ධ සන්නායක නිෂ්පාදන ධාරිතාවයෙන් 60%ක් සහ ලෝකයේ වඩාත්ම දියුණු චිප්ස් නිෂ්පාදන වලින් 90% කට වඩා හිමිකම් කියනුයේ තායිවනනයි. 2027 වසර වන විට දී තායිවානය අනීවාර්ය ලෙස චීන රාජ්‍ය වෙත අත්පත් කරගන්නා බව චීනය නිවේදනය කර ඇත. ඒ පිළිබඳව සාකච්චා මේ වන විටත් පැවැත්වේ. තායිවානය චීනයට හිමි වීම යනු ඉන්ටෙල්, ඒඑම්ඩී, මෙන්ම වෙනත් එවැනි චිප නිෂ්පාදනයේ ප්‍රමුඛයා වන ඇමරිකාවට එල්ල වන දැවැන්ත මරු පහරකි. එහි බලපෑම ඇමරිකාවට පමණක් නොවනු ඇත.
චීනය යෝධ ෆැක්ටරියක් (ලෝක ෆැක්ටරිය) බවට පත්වෙමින් තිබේ. එම තත්වය තුල ඇමරිකානු, ජපාන, දකුණු කොරියානු, සහ යුරෝපා සමාගම් කඩා වැටීම හෝ ලාභ රේට්ටුව පහල වැටීම නොවැලැක්විය හැකිය. එවිට අදාළ රාජ්‍යන්හි ආණ්ඩූන් විසින් කුමක් කරනු ඇත් ද? රුසියාව වටකරමින් න්‍යෂ්ටික අවි මානමින් නේටෝ බලය පතුරුවන්නේ ද ඊශ්‍රායලය මූලික වෙමින් මැදපෙරදිග යුධ තත්වයක් ඇති වී ඇත්තේ ද ප්‍රාග්ධන තර්කනය විසින් ඉල්ලා සිටින ප්‍රසාරණය හැකිලී යමින් තිබෙන බැවිනි. ප්‍රාග්ධන තර්කනයට අනුව කිසියම් සමාගමකට පැවතිය හැක්කේ නිරන්තර නිෂ්පාදන ප්‍රසාරණය තුල පමණි (වර්තමාන වෙළඳපොල රඳා පවතිනුයේ නිරන්තර නිෂ්පාදන වල නවීකරණය, නව අංග එකතු කිරීම, සහ නිමාවේ වෙනස් කම් වැනි ලෙස පෙර නිෂ්පාදනය නිශේධ වීම තුලය. උදාහරණයක් ලෙස වසරින් වසර පැමිණෙන දුරකථන මාදිලි සලකා බලන්න). එසේ නොවුවහොත් වර්තමාන තත්වය තුල සමාගම කඩා වැටෙනු ඇත. එසේ නිෂ්පාදනය නිරන්තර ප්‍රසාරණයට ලක්නොවී පැවතිය හැක්කේ සුවිශේෂී වෙළඳපොලක් ඉලක්ක කරනා සමාගම් වලට පමණි (ඉහතින් සඳහන් කල ඩෙන්මාර්ක TV නිෂ්පාදන සමාගම වැනි).
එබැවින් චීනය විසින් සිදුකොට ඇති චීනයට පමණක් ඒකාධිකාරිය සහිතව සම්පත් අත්පත්කර ගැනීම තුල චීන නොවන සමාගම් අර්බුධයට යෑම නොවැලැක්විය හැකිය.
ආර්ථික විද්යාඥයන්, IMF, ලෝක බැංකුව, Adovocata වැනි උපදේශක සංවිධාන විසින් ලංකාවට යෝජනාකරමින් සිටිනුයේ මෙම ලෝක ප්‍රාග්ධන ක්‍රියාවලිය තුලට ඇතුල් වී හැකිතාක් විශාල කුට්ටියක් කඩා ගැනීම සඳහා සැලසුම් සකස් කල යුතු බවටයි. එනම් තවත් රටක් හෝ රටවල් කිහිපයක් සමග තරඟ කරමින් ඒවා උපක්‍රමිකව පරාජය කරමින් තම රටට කෙසේ හෝ ප්‍රාග්ධන කුට්ටියක් ඩැහැ ගත හැකි විය යුතුය. මේ සඳහා ප්‍රමුඛ කාරණයක් වන්නේ අධ්‍යාපනය ඊට ගැලපෙන පරිදි සකස් කිරීමයි. එවැනි අධ්‍යාපනයක් දරා ගැනීමේ අසීරුතාවයන් ශිෂ්‍යයින් සහ මිනිසුන් විසින් විඳිය යුතුව ඇත.
ඒ සියල්ල කල යුතුව ඇත්තේ ධනවාදයටම ආවේනික අසමානතා සහ ලාභය උපරිම කිරීම කෙරෙහි අවධානය යොමු වූ තත්වයක් තුලය. ඒ තත්වය තුල සිදුවන වෙනත් රටක "පරාජය" හුදෙක් ධනේශ්වර ක්‍රමය තුළ පවතින බල ව්‍යුහයන් නැවත නැවතත් ශක්තිමත් කරයි. උදාහරණයකට ජපානය පරයා දකුණු කොරියාවේ නැගී සිටීම ධනවාදයට අවශ්‍ය නව තාක්ෂණික ප්‍රවණතා සහ ධනේශ්වර බල ව්‍යුහයන් ශක්තිමත් කළා පමණක් නොව ලෝක වාසි පොදු ජනයාගේ මෙන්ම ආර්ථික විද්‍යාව තුල ද ඇගයීමට ලක් වේ. නමුත් ඇත්තටම සිදුව ඇත්තේ ප්‍රාග්ධන තර්කනයේ ඉල්ලා සිටීම් වලට අදාළ කොන්දේසීන් තුල, සමාගම් ක්‍රියාත්මක වන ආකාරය තුල යම් විද්‍යා-තාක්ෂණික නිපැයුම් වල සුවිශේෂිතාවයන් තුලින් වෙළඳපොළ ආක්‍රමණය කිරීමයි.
තවත් උදාහරණයක් ලෙස Nokia සමාගම සලකන්නේ නම්, මේ වන විට එය බංකොලොත් වී ඇත. එහි CEO වරයා පසුගිය දිනක හඬමින් ප්‍රකාශ කොට සිටියේ තමන් කිසි වරදක් නොකළ බවත්, නමුත් සමාගම බංකොලොත් වූ බවත්ය. Motorola, Nokia, Ericson, Siemens, Blackberry, වැනි ජංගම දුරකථන ක්ෂේස්ත්‍රරයේ පෙරගමන් කරුවන් සහ වෙළඳපොලේ විශාල කොටස් හිමි කරගෙන සිටි සමාගම් වලට අද අත් වී ඇති ඉරණම අත්වීමට ප්‍රධාන හේතුව දකුණු කොරියානු තාක්ෂනය ඇමරිකාව සමග එකාබද්ධව ඔවුන් අභිබැවීමයි. නමුත් මේ වන විට සමස්තයක් ලෙස ලෝක වෙළඳපොලේ විශාලම කොටස හිමි කරගෙන ඇත්තේ චීන දුරකථන නිෂ්පාදන සමාගම් විසිනි.
තවත්උදාහරණයක් ලෙස Philips සමාගම සැලකුවහොත්, එය ධනවාදයේ ආරම්භක රට වන නෙදර්ලන්තයට අයත් සමාගමකි. එම සමාගම ආරම්භ කරනුයේ 1891 වසරේදීය. සමාගම අද දක්වා පැවත එනුයේ කාලයෙන් කාලයට එම කාල වකවානුවට අදාළ නිෂ්පාදන වෙත මාරුවීමෙන් සහ වෙනත් සමාගම් යටපත් කරමින්, බංකොලොත් කරමින් හෝ ඒවා අත්පත් කොට ගැනීමෙනි. ඔවුනට එම අකාරයෙන් ක්‍රියා කිරීමට හැකි වීමේ ප්‍රධාන සාධකය වූයේ ඔවුන් සතු ප්‍රාග්ධනයයි (ප්‍රාග්ධනය යනු මෘත ශ්‍රමයේ ආධිපත්‍ය ලෙස සැලකෙන මූල්‍ය සාධකය පමණක් නොවේ). එසේ නමුත් යුරෝපීය දැවැන්ත සමාගමක් වූ Philips සමාගමට අද එම දැවන්තභාවය නොමැත. ඔවුන් දැඩි ලෙස කඩා වැටෙන තත්වයට පත්වූයේ 2023 වසරේය. 2022 මූල්‍ය වර්ෂය තුළ යුරෝ බිලියන 1.6 ක පාඩුවක් වාර්තා කිරීමෙන් පසු ඉදිරි වසර දෙක තුළ ලොව පුරා සමාගමෙන් රැකියා 6,000 ක් කපා හරින බව 2023 දී සමාගම නිවේදනය කළේය. 2022 ඔක්තෝම්බර් මාසයේදී ප්‍රකාශයට පත් කරන ලද කාර්ය මණ්ඩල 4,000 අඩු කිරීමට අමතරව මෙම කප්පාදු කිරීම් සිදු විය. මේ වන විට Philips සමාගම ඉලෙක්ට්‍රොනික උපකරණ නිපදවීම අතහැර දමා ඇත. සමාගම මෙසේ කඩා වැටීම වලකා ගැනීම සඳහා ඔවුන් 1980 දශකයේ සිට දැඩි පරිශ්‍රමයක් දරමින් ක්‍රියා කල අතර තවත් යුරෝපීය දැවැන්ත සමාගමක් වූ Grundig සමාගම පවා ඔවුන් විසින් අත්පත්කොට ගන්නා ලදී. එසේම එවකට දැවැන්ත සමාගමක් වූ Sony සමාගම සමග පවා ගිවිසුම් ගත විය.
චීනය මේ ආකාරයෙන් ඉදිරියට පැමිණියේ ප්‍රධාන වශයෙන්ම අසාධාරණ වෙළඳ පරිචයන් හරහා වෙනත් රටවලින් ලාභ සම්පත් ලබා ගැනීමෙනි. ඒ අකාරයෙන් රටක් "ජයග්‍රහණය" කළ හැකිය. නමුත් එම "ජයග්‍රාහී" රට තුළ සිටින සැමට එක සමානව මේ ප්‍රතිලාභ අත්වීම ද සිදු නොවේ.
ලිබරල් සංකේත රටාව තුල නිදහස් වෙළඳ ගිවිසුම් යනු තීරුබදු සහ කෝටා වැනි වෙළඳ බාධක අඩු කිරීම, සහභාගී වන සියලුම රටවල් සඳහා සුමට ජාත්‍යන්තර වෙළඳාම සහ ආර්ථික වර්ධනය ප්‍රවර්ධනය කිරීම අරමුණු කිරීම ව්‍යවස්ථානුකූලව සංස්ථාපනය කිරීමයි. නමුත් සැබවින්ම ඒවායේ අන්තර්ගතයන් සදාචාරමය ප්‍රකාශනයන් පමණි. එම ගිවිසුම් කියවා බැලුවහොත් පෙනී යන්නේ ඒවා ඉතාම සමබර සාධාරණ කොන්දේසීන් ශක්තිමත් කිරීම් ලෙසය. නමුත් ඒවා ක්‍රියාත්මක වන්නේ ඉතාමත් අසමාන තත්වයන් තුලය. එම අසමාන තත්වයන් ඓතිහාසික වන අතර ඒ පිළිබඳව කතා කිරීම තහනම් කොට ඇත.
එබැවින් නිදහස් වෙළඳාම සහ තරඟකාරිත්වය ඇතුළු සමස්ත ආර්ථික පද්ධතියම යටින් පවතිනුයේ ආශාවන් සහ බලය සඳහා අරගල වසං කරන සංකේතාත්මක ගොඩනැංවීමකි. වෙනත් රටක් "පරාජය කිරීම" මෙම සංකේතීය පිළිවෙල තුළ කාර්ය සාධනයක් පමණක් විය හැකි අතර, ආර්ථික යථාර්ථයේ සැබෑ පිළිබිඹුවක් නොවේ.
ඇමරිකාව ප්‍රමුඛ රටවල් සමූහයක්, ගෝලීය ආර්ථික අනුපිළිවෙලෙහි "හෙජමොනික බලය" හිමි කර ගෙන සිටින තත්වය මේ වන විට වෙනස් වෙමින් ඇත. මෙය ඓතිහාසික කාරණයක් වන්නේ කාර්මික ධනවාදයේ ආරම්භයේ සිටම මේ දක්වා හෙජමොනික බලය හිමි ඇමරිකාවට එම තත්වය අහිමි වේදෝ යන ප්‍රශ්නය දැන් මතුව තිබීම තුලයි. මේ නිසා වැඩි වැඩියෙන් (අ)සාධාරණ වෙළඳ නීතිවලට බලපෑම් කිරීම සහ පද්ධතියෙන් වැඩි ප්‍රතිලාභ ලබා ගැනීම කරා ඒ රටවල් යොමු වනු ඇත. එසේ සිදු කරන "ක්‍රියාකාරී යටපත් කිරීම" යනු රටක් ආර්ථික විද්‍යාවේ නීතිරීතිවලට අනුගත වන බවක් පෙනෙන්නට ඇති නමුත් වාසියක් ලබා ගැනීම සඳහා සූක්ෂ්ම ලෙස ඒවා යටපත් කිරීමයි. කෙසේ වෙතත් පහසුවෙන් පරාජය කල නොහැකි ව්‍යුහාත්මක ගොඩනැංවීම් රාශියක් ඇමරිකාව සතුය.
මාක්ස්ගේ ප්‍රාග්ධනය යනු ආර්ථික විද්‍යා කෘතියක් බවත්, මාක්ස් සම්පූර්ණ වශයෙන් යල්පැන ඇති බවත් ප්‍රකාශ කරනා අය ප්‍රග්ධනයේ මෙම වර්තමාන ක්‍රියාකාරීත්වය ගැන කුමක් පවසන්නේ ද?
මාක්ස් විසින් අවධාරණය කරන ලද්දේ මෙම අර්බුධකාරී තත්වය පිලිබඳවය. එහි වර්තමාන අකාරය මාක්ස් අත්දුටු ධනවාදට තුල තත්වයට වඩා බෙහෙවින් වෙනස්ය.
වර්තමාන දේශගුණ විපර්යාස සහ අනාවැකි පල කල නොහැකි කාලගුණය හේතුවෙන් වැඩිම හානිය සිදුවන්නේ වගාවන් වලට බවත්, එබැවින් ලෝකයේ හාමත මේ වසර තුල ඉහල යා හැකි බවත් සකල ලෝක අර්බුධ කළමනාකරණය සඳහා පිහිටුවා ඇති ආයතනය වන එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි.
උෂ්ණ තරංග, නියඟ සහ ගංවතුර වැනි ආන්තික කාලගුණික සිදුවීම් හේතුවෙන් බෝග අස්වැන්න අඩුවීමක් එක්සත් ජාතීන් අපේක්ෂා කරයි. මෙම සිදුවීම් රෝපණ කාලය කඩාකප්පල් කිරීමට, බෝග වලට හානි කිරීමට සහ සමස්ත කෘෂිකාර්මික ඵලදායිතාව අඩු කිරීමට හේතු වන බව පැවසේ. දේශගුණික විපර්යාස තුල වර්ෂාපතන රටා වෙනස් වීම් වලට ලක් විය හැකි අතර සමහර කලාපවල ජල හිඟයක් ඇති විය හැකි බව පවසයි. බෝග වර්ධනය සඳහා ජලය අත්‍යවශ්‍ය බැවින් මේ තත්වය කෘෂිකර්මාන්තයට දැඩි ලෙස බලපෑම් සහගත වනු ඇත. විශේෂයෙන්ම දැනටමත් කුසගින්න සහ මන්දපෝෂණය සමඟ පොරබදමින් සිටින අවදානමට ලක්විය හැකි කලාපවලට අදාලව මෙම සාධක ආහාර අනාරක්ෂිත භාවය වැඩි කිරීමට දායක විය හැකි බව එක්සත් ජාතීන්ගේ විශේෂඥ මතයයි. නිෂ්පාදනය අඩුවීම නිසා ආහාර මිල ඉහළ යාම ගැටලුව තත්වය තවත් උග්‍ර කළ හැකිය.
එම තත්වයට විසඳුම ලෙස කෘෂිකර්මාන්තයේ අනුවර්තන උපාය මාර්ගවල අවශ්‍යතාවය එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් අවධාරණය කරයි. එනම්, නියඟයට ඔරොත්තු දෙන භෝග සංවර්ධනය කිරීම, ජල ඉතිරි කිරීමේ වාරි තාක්‍ෂණ භාවිතා කිරීම සහ දේශගුණයට ඔරොත්තු දීම සඳහා කෘෂිකාර්මික භාවිතයන් වැඩිදියුණු කිරීම වැනි ප්‍රවනතාය. මේ ක්‍රියාවන් විසින් අර්බුධ තත්වය තවත් උග්‍ර කරයි.
උදාහරණයක් ලෙස පොල් ගසට අදාලව විමසා බැලුවහොත්, නූතන විද්‍යාව සංස්ථාපනය වීමට පෙර මිනිසුන් පොල් ගස සමග
ගනුදෙනු කල අකාරය සහ විද්‍යාත්මක පොල් ගස සමග ගනු දෙනු කිරීමට සිදුව ඇති ආකාරය මූලික වශයෙන්ම දෙයාකාරයකි. දැන් ඇත්තේ කලින් තිබූ පොල් ගස නොවන්නේ අපට ඍජුව පංචේන්ද්‍රියන්ට ගෝචර වන "බාහිර" පොල් ගස මෙන්ම විද්‍යාව තුලින් වෙනස් කරන ලද "අභ්‍යන්තර" පොල් ගසට ද අදාලව සංකේත රටාව අලුතින් ගොඩනැගී ඇති බැවිනි (විද්‍යාවට අදාළව). නව තත්වය තුල පොල් ගස යන්න උද්භිද විය්දාත්මකව නැවත අර්ථකථනය වන අතර ඊට අදාලව අනෙකුත් විද්‍යාවන් ද මැදිහත් වේ. එනම්, අභිජනනය හෝ ජාන තාක්ෂනය ඔස්සේ වෙනස් කරන ලද පොල් ගස්, වගා ක්‍රම, ඒවාට අදාළ පොහොර, ගසේ ආයු කාලය, නිරන්තර රෝග සහ රෝග නිරාවරණය සහ රසායනික ප්‍රතිකාර,... ඒ සියල්ල නිසා ඇති වන පස වෙනස් වීම සහ ජීවී විශේෂ මියයාම ඇතුළු නව පාරිසරික ප්‍රතිවිපාක සහ රසායනික පොහොර යෙදීම නිසා පොල් ගෙඩියෙහි අන්තර්ගත රසායනික සංයුතීන් පරීක්ෂාව තුලින් අනුමත ප්‍රමාණයට ඒවා පවතී ද යන්න විමසා බැලීමට සිදු වීම වැනි නව තත්වයන් නිර්මාණය වේ. එය කිසිසේතම කලින් පවතී තත්වය නොවේ.
අපගේ ජීවිත මෙහෙයවනු ලබන්නේ, අපගේ ආශාවන් පෝෂණය කරනා මූලික අඩුවකින්, එනම්, අප තුළ ඇති හිස්බවකිනි. ඒ තුල, ධනවාදය අප ආශා කරන නව වස්තු සහ අත්දැකීම් නිරන්තරයෙන් නිර්මාණය කරමින්, අපගේ තෘප්තිමත් නොවන 'ප්‍රමෝදය' (jouissance) සඳහා (උග්‍ර, අතිරික්ත සංතෘෂ්ටිය) තාවකාලික විසඳුම් ලබා දීමෙන් මෙය (මූලික අඩුව හෝ හිස් බව) සූරකයි. මෙම ආශාවේ (ආශාව යනු සැම විටම අනෙකාගේ ආශාවයි) සහ පරිභෝජන චක්‍රය ධනවාදයේම සදාචාර මානයන් වන 'මානව යහපැවැත්මට' සහ 'පාරිසරික තිරසාරත්වයට' වඩා සූරාකෑම සහ ලාභයට ප්‍රමුඛත්වය දෙන පද්ධතියක අපව සිර කර තබයි.
ආශාව 'සංකේත රටාව' තුල අභිලේඛිත අතර ඒ අනෙකාගේ ක්ෂේත්‍රයයි (ආශාව යනු හැම විටම අනෙකාගේ ආශාවයි). එනම් ආශාවේ වස්තුව අත්පත් කරගන්නා විට එය අත්පත්කොට ගන්නා කෙනා වෙත නොලැබෙන දේ වන්නේ ඊට අදාලව ඔහු තුල තිබූ ෆැන්ටසියයි. ඒ අනුව 'ආශාවේ වස්තු හේතුව' කිසිදා අත්පත්කොට ගත නොහැකිය. ධනවාදයේ සිදුකෙරෙන නව වස්තු සහ සේවා නිෂ්පාදනය විසින් ගසා කන්නේ මෙයයි. සංකේතනය යනු ආශාව නියාමනය කරනා නීතියේ ක්ෂේත්‍රයයි.
නැවතත් පවසන්නේ නම්, භාෂාව, සමාජ ප්‍රතිමාන සහ ආයතනික ව්‍යුහයන් "සංකේත රටාව" ලෙස හැඳින්විය හැකිය. ලෝකය පිළිබඳ අපගේ අවබෝධය හැඩගස්වන්නේ සහ අප ඊට අනුකූල කරවන්නේ සංකේත රටාව තුලිනි. එවිට අලුතින් ගොඩනැගෙන විද්‍යාත්මක ලෝකය යනු ඊටම අදාළ භාෂාවක්, ආයතනික ව්‍යුහයන්, ආයතනික ප්‍රතිමාන (ඒවා ඍජුව සමාජ ප්‍රතිමාන ලෙස හැඳින්විය නොහැකි මුත් ක්‍රම ක්‍රමයෙන් ආයතනගතවීම තුලින්, යම් සීමාකම් සහිතව සමාජ ප්‍රතිමාන බවට පත් වේ), සහ අන්තර් ආයතනික ව්‍යුහයන් තුලින් ගොඩනැගෙන්නකි. එනම් වෙනමම සංකේත රටාවකි. එවිට ගණිතය යනු එම රටාවේ අත්‍යවශ්‍ය කොටසකි. ඒ තුලින් යථාර්ථය ගොඩනැගෙන්නේ ව්‍යුහගත සහ ප්‍රමාණාත්මක රාමුවක් ගණිතය විසින් සැපයීම තුලයි. කෙසේ වෙතත්, මෙම සංකීර්ණ සංසිද්ධීන් මේ අකාරයෙන් සංකේතාත්මකව නිරූපණය කිරීමෙන් සහ ගොඩනැගීමෙන් සංකේතනයෙන් ඔබ්බට ඇති නොදන්නා සාරය, එනම් සැම විටම රෝගලක්ෂණයක් ලෙස ඉස්මතුවන, ව්‍යාකූලත්වය ඇති කරන "යථ" වසං කිරීම මගින් ලෝකය පිළිබඳව අපගේ අවබෝධය සීමා කරමින්, අර්බුධයන් උග්‍ර කරයි. ඒ අනුව පරිසරය පිළිබඳව සැලකුවහොත්, ඒ පිළිබඳ අපගේ විද්‍යාත්මක අවබෝධය අප සහ ස්වභාවික ලෝකය අතර පරතරයක් ඇති කරයි. එබැවින් සංකේතාත්මක අවබෝධය සහ පරිසරයේ සංකීර්ණ යථාර්ථය අතර ඇති පරතරය අකාර්යක්ෂම ප්‍රතිපත්තිවලට හෝ දැනුම සහ ක්‍රියාව අතර විසන්ධි වීමට දායක වන අතර ඉහත සඳහන් කල උදාහරණයට අදාළ වාතය, ජලය, ආහාර යන තුනටම අදාළ ගැටළු උග්‍ර කරයි. එම ගැටළු පමණක් නොව සමස්ත පරිසරයට අදාළව නැවත සංස්කරණය කල නොහැකි, ආපසු හැරවිය නොහැකි අර්බුධයන් ජනිත කරයි. මිනිසුන්, අනෙකුත් ජීවීන්, ගහකොළ ඇතුළු සමස්තය අර්බුධයන් තුල ගිල්ලවයි.
මේ සියල්ල අනුබද්ධිතව ධනවාදය තනි පුද්ගල තරඟය, පරිභෝජනය සහ ආර්ථික වර්ධනය අගය කරන තමන්ගේම නිශ්චිත සංකේත රටාවක් නිර්මාණය කරයි. එය සිදුවන්නේ "ස්වාමි කතිකාවේ" සහ "විශ්ව විද්‍යාල කතිකාවේ" විපරීත සම්භෝගයේ ප්‍රතිඵලයක් වන "ධනවාදී කතිකාව" තුලයි.
සංකේත රටාව සහ යථ අතර පුළුල් වන පරතරය විද්‍යාව මුහුණ දෙන අභියෝග තුළින් පිළිබිඹු වේ. දැනුම සඳහා සහ ප්‍රවීනත්වය තුලින් වන ආධිපත්‍ය සඳහා ඇති ආශාව මගින් මෙහෙයවනු ලබන විද්‍යාත්මක ප්‍රයත්නයන් යථෙහි සංකීර්ණත්වයන්ට අභිමුඛ වන විට සංකේතකරණය එහි ආවේනික සීමාවන්ට මුහුණ දෙයි. විද්‍යාත්මක ලුහුබැඳීම් ඉදිරියට යත්ම, ඇතැම් ප්‍රපංච සහ සංසිද්ධිවල නොපැහැදිලි ස්වභාවය සංකේතාත්මක රාමු තුළට සම්පූර්ණයෙන් ඒකාබද්ධ වීමට ප්‍රතිරෝධය දක්වන අතර පරතරය සදාකාලික කර සංකේතාත්මක නිරූපණය සහ ග්‍රහණය කරගත නොහැකි යථ අතර සහජ ආතතිය අවධාරණය කරයි. මෙම ගතිකත්වය ස්වභාවික ලෝකයේ සංකීර්ණ සහ අනපේක්ෂිත අංගයන් හමුවේ හෝ සංකේතීය භාෂාවේ සීමාවන් පැහැදිලිව පෙනෙන ක්වොන්ටම් යාන්ත්‍ර විද්‍යාව වැනි සංසිද්ධිවලදී විශේෂයෙන් ප්‍රකාශ වේ. දැනුම ප්‍රසාරණය කරන අතරම, විද්‍යාත්මක අවබෝධය ලුහුබැඳීම, සංකේත රටාව (ලැකානියානු අර්ථයෙන්) සහ යථ අතර සම්බන්ධය නිරූපනය කරන අනවරත, නොනැවතී පවත්නා පරතරය එකවර ඉස්මතු කරයි.
එය සිදුවන ආකාරය මෙසේ පැහැදිලි කල හැකිය.
එම ක්‍රියාවලිය තුලදී දෘශ්‍ය රූප වියුක්ත අදහස් මගින් ප්‍රතිස්ථාපනය වේ. මෙයින් සිදුවන්නේ මූලික වශයෙන්, මිනිසුන් සංසිද්ධි ලෝකයක සිරගත කරනු ලැබීමය. එනම් අපගේ සංවේදී ඉන්ද්‍රියයන් හරහා අපට අභිමුඛ වන පාරිසරික ලෝකය (Umwelt) (මිනිසා විසින් ජීවියෙකු ලෙස අත්විඳින ලෝකය) එය (සංසිද්ධි ලෝකය) බවට පත්වේ. නූතන විද්‍යාව අපගේ ඥානවිභාගාත්මක සංරෝධනයන් වෙතින් අපව නිදහස් කරයි. විවිධ ඇස්වලින් ලෝකය දැකීමට අපට ඉඩ සලසයි. ඒ වචනාර්ථයෙන්: තාක්ෂණික උපක්‍රම (දුරේක්ෂ, අන්වීක්ෂ, බැරෝමීටර, හයිග්‍රොමීටර... ආදිය, වර්තමානයේ නම් ඊටත් වඩා දියුණු කරන ලද උපකරණ තුලින්) ආධාරයෙන්, විශ්ලේශනය හෝ පරිමාණය විශාල ලෙස ඉහල දැමීම, “නිරවද්‍යතාව” එකතු කිරීම, ආදිය ලෙසය. ඒ අනුව මෙම ක්‍රියාවලියේ පටිපාටිය තුල, “ජීවන ලෝකය” තුල අප හොඳින් දන්නා, හුරුපුරුදු ස්වාභාවික අස්තිත්වය අහෝසි කිරීම හෝ නිශේධනය කිරීම සිදු වේ. විද්‍යාවේ මූලික විරුද්ධාභාසය මෙයයි.
“දැන ගැනීම” ට ඇති විද්‍යාත්මක කැමැත්ත (දැන ගැනීමට ඇති ආශාව) අරමුණු කරන්නේ ස්වාභාවික දේ පිළිබඳ අපගේ තේරුම්ගැනීම හෑරීමටයි (ගැඹුරු කිරීමයි). නමුත් මෙය නිසි පිලිවෙලින් සාක්ෂාත් කර ගැනීම සඳහා, එය තාක්‍ෂණික විද්‍යාත්මක වස්තුවක් (techno-scientific object), රසායනාගාර මානව ආකෘතික වස්තුවක් (විද්‍යාත්මක පරීක්ෂණයක් හෝ පරීක්ෂණයකදී නිරීක්ෂණය කරන ලද දෙයක් වන එය ස්වාභාවිකවම නොපවතී. නමුත් එය සූදානම් වීමේ හෝ විමර්ශන ක්‍රියා පටිපාටියේ ප්‍රතිඵලයක් ලෙස ඓතිහාසිකව පවතී). බවට රූපාන්තරණය වේ. ආරම්භක දෙය නිශේධ කරනු ලැබේ. ඒ අනුව සිදුවන්නේ “ස්වාභාවික දෙය” සහ තාක්‍ෂණික-විද්‍යාත්මකව නිපදවන ලද අයිතමය (item) අතර ආතතියක් හෝ විසම්බන්ධයක් දක්වා ක්‍රමයෙන් වැඩි වීමක් වශයෙන් පැවතීමය. එනම් සිදුවන්නේ ආරම්භක මාංසමය (fleshy) දෙය වචනාර්ථයෙන් “මකාදැමීම” වන අතර (විද්‍යාව විසින් යොදනු ලබන අකුරු හා ඒ හා සමාන සංකේත මගින් එය ආදේශ කර ඇත) වස්තුව “විශ්ලේෂණය” කර ඇත (වස්තුවට අදාළව තිබූ සංස්ලෙෂණයන් මගහැරේ). එනම් මූලික සංරචක (ජාන, අණු, ප්‍රෝටීන ආදිය) දක්වා ඌනනය වේ. රූපානුදර්ශය ප්‍රවේණිගත කිරීම (ප්‍රවේනිදර්ශය) දක්වා ඌනනය වේ. මෙය විද්‍යාවේ මූලික විරුද්ධාභාශයයි. විද්‍යාත්මක පර්යේෂණයන්හි ආවේනික නිශේධනාත්මක බව මෙයයි. එනම් සංකේතකරණ ක්‍රියාවලියේ පටිපාටිය තුල "මුල් වස්තුව" (original object) වන "ස්වාභාවික අස්තිත්වය" (natural entity) නැති වී යයි. එසේම සමාජය තුල එම වස්තුවට තිබූ සම්බන්ධය ද (යම් කිසි සමාජයක සියලු සමාජ සම්බන්ධතා ජාලය තුල වූ වස්තුව) නැතිව යයි (ධනවාදය සංස්ථාපනය වීමට පෙර හැඟවුම්කාරකය පවතින්නේම ඊට අදාළ සංකේත නීතිය ද සමගිනි. නමුත්, මෙම තත්වය තුල, වර්තමානයේ හැඟවුම්කාරකය යනු අදාළ සංකේත නීතිය අහිමිකොටගත් තත්වයකි). නමුත් මෙය විද්‍යාව තුල අත්‍යවශ්‍ය අත්දැකීමකි. ඒ “ලස්සන ආත්මයේ” ස්ථානය වෙතට පැවත එන ස්වාභාවික අස්තිත්වයන් සමග වන වඩා කාව්‍යමය අන්තර් ක්‍රියාකාරිත්වයක් පවත්වා ගැනීම විසින් මෙම ගතිකයන් වෙතට ඇලීමට වීම ප්‍රතික්ෂේප කිරීම සඳහාය.
@Spartacus.lk