SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ධුරය සඳහා පත්කිරීමට නුසුදුසු ඇයි දැයි අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කරුණු පැහැදිලි කර තිබේ.

වැඩ බලන පොලිස්පති ධුරය සඳහා පත්කර සිටින දේශබන්දු තෙන්නකෝන්ගේ පත්වීම බල ශූන්‍ය කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා කාදිනල් හිමිපාණන් විසින් (2023 දෙසැම්බර් 29 වැනිදා) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සමේ මේ පිළිබඳව දීර්ඝ ලෙස කරුණු දක්වා ඇත.

 

අදාළ මූලික අයිතිවාසිකම් පෙත්සම තුළින් වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට අධිකරණය හමුවේ එල්ල කර තිබෙන චෝදනා මෙසේ ය.

 

පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරය වළක්වා ගැනීමට පියවර නොගැනීම

ජාතික තව්හිද් ජමාත් සංවිධානයේ නායක සහරන් හෂීම් සහ ඔහුගේ අනුගාමිකයින් විසින් කිතුනු දේවස්ථාන ඉලක්ක කර ප්‍රහාරයක් එල්ල කිරීමට සූදානම් වන බවට බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් ඒ අනුව කටයුතු කර එය වළක්වා ගැනීමට ක්‍රියා නොකිරීම සම්බන්ධයෙන් දේශබන්දු තෙන්නකෝන්ට එරෙහිව අදාළ ත්‍රස්ත ප්‍රහාරය සොයා බැලූ ජනාධිපති කොමිසම විසින් විනය ක්‍රියාමාර්ග ගැනීමට නිර්දේශ කර තිබූ බවත් කාදිනල් හිමිපාණන් සඳහන් කර ඇත.

 

|"ජාතික තව්හිද් ජමාත් සංවිධානය විසින් කිතුනු දේවස්ථාන ඉලක්ක කොට ප්‍රහාරයක් එල්ල කිරීමට සූදානම් වන බවට වන බුද්ධි තොරතුරක් එවකට බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නන්දන මුණසිංහ විසින් 2019 වසරේ අප්‍රේල් මස 11 වැනිදා දේශබන්දු තෙන්නකෝන් වෙත ලබා දී තිබුණා. එහෙත් එම තොරතුර දේශබන්දු තෙන්නකෝන් විසින් තමන් යටතේ සිටි පොලිසි නිලධාරීන් වෙත යොමු කිරීම පමණක් සිදුකර තිබෙන බව පාස්කු කොමිසම හමුවේ කරුණු අනාවරණය වුණා. එසේ තමන් විසින් පහළට යොමු කළ තොරතුර සම්බන්ධයෙන් පසු විපරමක් සිදුකිරීමට දේශබන්දු තෙන්නකෝන් අසමත් වූ බවත් එම කොමිසමේදී අනාවරණය වුණා. මෙවැනි බුද්ධි තොරතුරක් ලැබී තිබියදීත් පාස්කු ඉරුදින තමන් යටතේ පැවැති කිතුනු දේවස්ථාන වලට විධිමත් ආරක්‍ෂාවක් ලබා දීමට හෝ ආරක්ෂක සැලැස්මක් සකස් කිරීමට ඔහු කටයුතු කර නැහැ. ප්‍රහාරයක් එල්ල වීමට නියමිත බව සඳහන් බුද්ධි තොරතුර පවා ඔහු විසින් තමන් යටතේ තිබෙන කිතුණු දේවස්ථානවල සිටි පියතුමන්ලාට දැනුම් දී තිබුණේ නැහැ."

යනුවෙන් ප්‍රකාශ කරන කාදිනල් හිමිපාණන්ම තමන්ට ලැබුණු බුද්ධි තොරතුර සම්බන්ධයෙන් සාධාරණ ආකාරයෙන් පියවර ගැනීමට දේශබන්දු තෙන්නකෝන් අසමත් වූ බවත් අදාළ කොමිෂන් සභා වාර්තාවේ සඳහන්ව ඇතැයි, පෙන්වා දී ඇත.

 

ඒ අනුව අදාළ බුද්ධි තොරතුරු සම්බන්ධයෙන් සාධාරණ පියවර නොගැනීම පිළිබඳව දේශබන්දු තෙන්නකෝන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙස එම ප්‍රහාරය පිළිබඳ සොයා බැලූ ජනාධිපති පරීක්ෂණ කොමිසම විසින් නිර්දේශ කර තිබූ බවත් කාදිනල් හිමිපාණන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ සඳහන් කර තිබේ.

 

බොරැල්ල සියලු ශාන්තුවරුන්ගේ දේවස්ථානයේ තිබී ජීව අත්බෝම්බයක් සොයා ගැනීමේ සිද්ධිය.

|“2022 වසරේ ජනවාරි මස 11 වැනිදා බොරැල්ල සියලු ශාන්තුවරුන්ගේ දේවස්ථානය තුළ තිබී ජීව අත්බෝම්බයක් සොයා ගත්තා. අදාළ දේවස්ථානයේ සේවය කළ සෙල්වදුරේ ෆ්‍රැන්සිස් මුනින්ද්‍රන් නමැති සේවකයෙකු විසිනුයි එය සොයා ගත්තේ. පසුව දේශබන්දු තෙන්නකෝන්ගේ නායකත්වයෙන් යුත් පොලිස් කණ්ඩායමක් පැමිණ විමර්ශන ආරම්භ කළා. ඉන් පසුව අදාළ අත්බෝම්බේ සොයා දුන් දේවස්ථානයේ සේවය කළ සෙල්වදුරේ ෆ්‍රැන්සිස් මුනීන්ද්‍රන් නැමැත්තාව පොලිසිය අත්අඩංගුවට ගෙන රදවුම් නියෝග මත විමර්ශන පවත්වා පසුව නිදහස් කළා. මේ සම්බන්ධයෙන් විශාල මාධ්‍ය ප්‍රචාරයක්ද ලබා දුන්නා. එහෙත් මේ දක්වා මෙම සිද්ධියට සම්බන්ධ මහ මොලකාර සැකකරු අත්අඩංගුවට ගැනීමට හෝ ඔහුට එරෙහිව නඩු පැවරීමට දේශබන්දු තෙන්නකෝන් අසමත් වී තිබෙනවා"

යනුවෙන් කාදිනල් හිමිපාණන් සිය පෙත්සමේ සඳහන් කර තිබේ.

 

 

ගාලු මුවදොර ගැටුම වළක්වා ගැනීමට කටයුතු නොකිරීම

|‘2022 වසරේ මැයි මස 9 වනදා ගාලු මුවදොර අරගල භූමියට පිරිසක් කඩා වැදී ඇති වූ ගැටුමත් සමගම රට පුරා විශාල ගිනි ජාලාවක් මතුවුණා. එම අවස්ථාවේදී ප්‍රදේශයේ භාරව කටයුතු කළ ප්‍රමුඛම ආරක්ෂක නිලධාරියා වන්නේ දේශබන්දු තෙන්නකෝන්ය. එහෙත් එම ප්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු කළේ නැහැ. "ඒ සම්බන්ධයෙන් ඔහුට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙස නීතිපතිවරයා විසින්ද තීන්දු කරනු ලැබු බවත් කාදිනල් හිමිපාණන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙන්වා දී තිබේ’

 

 

හිටපු යුද හමුදා සෙබලෙකු අත්අඩංගුවට ගෙන කෲර වද හිංසාවට ලක් කිරීමේ සිද්ධිය.

2010 වසරේ පාදුක්ක ප්‍රදේශයේ දී රංජිත් සුමංගල නමැති හිටපු හමුදා සෙබළෙකු කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව අත්අඩංගුවට ගෙන කෲර වද හිංසාවට ලක් කිරීම සම්බන්ධයෙන් ඉකුත්දා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දේශබන්දු තෙන්නකෝන් ඇතුළු පොලිස් නිලධාරීන් තුන්දෙනෙකු මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් වරදකරුවන් කෙරුණා.

 

|එම මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම වෙනුවෙන් පෙත්සම්කරුට රුපියල් ලක්ෂ පහ බැගින් සිය පෞද්ගලික මුදල්වලින් වන්දි ගෙවිය යුතු බවත් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දේශබන්දු තෙන්නකෝන් ඇතුළු නිලධාරීන් තුන්දෙනෙකුට නියෝග කරනු ලැබුවා. එම සිද්ධියේදී දේශබන්දු තෙන්නකෝන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ සහතික කර තිබෙන කෲර වද හිංසාවට එරෙහි මූලික මිනිස් අයිතිය සෘජුවම උල්ලංඝනය කර තිබෙන බව ප්‍රමාණවත් සාක්ෂි වලින් ඔප්පු කර තිබෙන බවත් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවේ සඳහන් කර තිබෙනවා"

යනුවෙන් කාදිනල් හිමිපාණන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ සිය පෙත්සමෙන් කරුණු දක්වා ඇත.

 

 

පොලිස් ආඥා පනත

පොලිස් ආඥා පනතේ 20 වන වගන්තිය යටතේ පොලිස් දෙපාර්තමේන්තුවේ සම්පූර්ණ පරිපාලන ජාලය මෙහෙයවීමේ භාරදූර වගකීම පොලිස්පතිවරයා වෙත පැවරී තිබෙන බව කාදිනල් හිමිපාණන් සඳහන් කරයි.

විෂය භාර අමාත්‍යවරයාගේ අනුමැතියට යටත්ව පොලිසියේ බඳවා ගැනීම්, උසස් කිරීම්, පුහුණුවීම්, විනය, පරිපාලන කටයුතු ඇතුළු අතිශය වැදගත් තීන්දු ගැනීමේ සුවිශේෂී බලතල ද පොලිස් ආඥා පනත යටතේ පනත යටතේ පොලිස්පතිවරයා වෙත පැවරී තිබේ.

 

|මෙවැනි තත්ත්වයක් යටතේ බරපතල චෝදනා එල්ල වී තිබෙන දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති දුරයට පත් කරනු ලැබුවොත් ඉන් නීතියේ ආධිපත්‍යය බරපතළ ලෙස අභියෝගයට ලක්ව ඒ තුළින් පුරවැසියන්ට විශාල අගතියක් සිදුවිය හැකි බවද කාදිනල් හිමිපාණන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙන්වා දී ඇත.

 

ඒ අනුව දේශබන්දු තෙන්නකෝන් පොලිස්පතිවරයා වශයෙන් පත් කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් සිදු කර තිබෙන නිර්දේශ හා ඊට අනුමැතිය ලබාදීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින් ලබා දී තිබෙන අනුමැතිය බල ශුන්‍ය කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කාර කාදිනල් හිමිපාණන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබේ.

 

ඊට අමතරව දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ධුරයේ කටයුතු කිරීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් උන්වහන්සේ වැඩිදුරටත් අධිකරණයෙන් අයැද සිටියහ.

 

 

@BBC sinhala