(කොළඹ): ශ්‍රී ලංකා වරාය අධිකාරියට අයත් සීමාසහිත මාගම්පුර වරාය කළමනාකරණ පුද්ගලික සමාගම
2014 වසරේදී සිදු කළ බාල තෙල් මිල දී ගැනීමක් හේතුවෙන් වරාය අධිකාරියට අමෙරිකානු ඩොලර් මිලියන 24ක (රුපියල් කෝටි 300කට වැඩි) පාඩුවක් සිදු කර ඇති බව පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේදී (කෝප් කමිටුවේදී) අනාවරණය විය.
මෙම සිදුවීමෙන් වසර දහයක් ඉක්ම ගොස්, පසුගිය ජනාධිපතිවරණයට ආසන්නව 2024 අගෝස්තු මාසයේදී මේ සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට පැමිණිල්ලක් කර ඇති බවද කෝප් කමිටුවේදී තහවුරු විය.
ණය ගෙවීම පැහැර හැරීම සහ නඩු පැවරීම
බාල තෙල් මිල දී ගැනීම සඳහා අදාළ සමාගම මුදල් සපයාගෙන ඇත්තේ වරාය අධිකාරියේ සංස්ථාපිත ඇපකරයකට පෞද්ගලික බැංකුවක් මඟින් ලබා ගත් ණය මුදලකිනි. ඉදිරිපත් වූ තොරතුරු අනුව, එම ණය මුදලෙන් ඩොලර් මිලියන 18.4ක් මෙතෙක් ගෙවා නොමැත. මේ සම්බන්ධයෙන් අදාළ බැංකුව මාගම්පුර වරාය කළමනාකරණ සමාගමට සහ ශ්‍රී ලංකා වරාය අධිකාරියට එරෙහිව 2019 වසරේදී නඩු පවරා ඇති බවද කෝප් කමිටු සභාපති වෛද්‍ය නිශාන්ත සමරවීර පැවසීය.
සමාගම ඈවර කිරීමේ ගැටලුව
ණය මුදල නොගෙවා තිබියදීත්, ඒ පිළිබඳ නොසලකා හරිමින් 2022 ජූනි 1 වැනි දින සමාගම ඈවර කිරීම සඳහා ඈවරකරුවකු පත් කර ඇති බවද කෝප් කමිටුවේදී හෙළි විය.
සමාගමේ ආරම්භය
කෝප් කමිටුවේදී ඉදිරිපත් වූ තොරතුරු අනුව, මාගම්පුර වරාය කළමනාකරණ සමාගම 2013 ජූලි 5 වැනි දින ස්ථාපිත කර ඇත්තේ හම්බන්තොට වරාය කළමනාකරණ කටයුතු භාරවය. ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් ලබාගත් බලපත්‍රයක් මඟින් හම්බන්තොට වරායේ ඉන්ධන සැපයුම්කරුවකු ලෙස මෙහෙයුම් ආරම්භ කර ඇති මෙම සමාගම, බාල තෙල් මිල දී ගැනීම් සිදු කර ඇත්තේ එම බලපත්‍රය භාවිත කරමිනි.
මේ සිද්ධිය පිළිබඳව තවදුරටත් විමර්ශන සිදු කෙරෙන බවට වාර්තා වේ.