(බීබීසී) – ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් රුසියාවට එරෙහිව තවත් දැඩි සම්බාධක පැනවීමට සූදානම් බවත්,
ඒ සඳහා නේටෝ (NATO) සංවිධානයේ රටවල් විසින් යම් යම් කොන්දේසි සපුරාලිය යුතු බවත් පවසා තිබේ. එම කොන්දේසි අතර රුසියාවෙන් තෙල් මිලදී ගැනීම සම්පූර්ණයෙන්ම නැවැත්වීම ප්‍රධාන වේ.
සිය 'ටෲත් සෝෂල්' (Truth Social) සමාජ මාධ්‍ය වේදිකාවේ පළ කරන ලද සටහනක, ට්‍රම්ප් සඳහන් කර ඇත්තේ, නේටෝ රටවල් "එකඟ වී, ඒ දේම කිරීම ආරම්භ කළ විට" තමන් "රුසියාවට ප්‍රධාන සම්බාධක පැනවීමට සූදානම්" බවයි.
ඔහු රුසියානු තෙල් මිලදී ගැනීම "කම්පනයට කරුණක්" ලෙස හඳුන්වා දී ඇති අතර, නේටෝව විසින් චීනයට සියයට 50 සිට 100 දක්වා තීරුබදු පැනවිය යුතු බවටද යෝජනා කර ඇත. චීනයට එරෙහිව එවැනි පියවරක් ගැනීම රුසියාව කෙරෙහි එහි ඇති "දැඩි පාලනය" දුර්වල කරනු ඇතැයි ට්‍රම්ප් පවසයි.
නේටෝ රටවලට යැවූ "ලිපියක්" ලෙස ඔහු හඳුන්වා දී ඇති සටහනේ මෙසේ සඳහන් වේ: "ඔබ සූදානම් නම්, මම යන්නට සූදානම්ය. කවදාද කියා කියන්න?"
තවදුරටත් ඔහු සඳහන් කර ඇත්තේ,
"සමහර රටවල් විසින් රුසියානු තෙල් මිලදී ගැනීම කම්පනයට කරුණක්! එය රුසියාව සම්බන්ධයෙන් ඔබගේ සාකච්ඡා තත්ත්වය සහ කේවල් කිරීමේ බලය විශාල ලෙස දුර්වල කරයි."
රුසියානු බලශක්ති මිලදී ගැනීම් නැවැත්වීම සහ යුද්ධයෙන් පසුව ඉවත් කර ගැනීමට හැකි වන පරිදි චීනයට දැඩි තීරුබදු පැනවීම "යුද්ධය අවසන් කිරීමට මහත් රුකුලක්" වනු ඇතැයිද ට්‍රම්ප් කියා සිටී.
යුක්රේනයට රුසියාව විසින් සම්පූර්ණ පරිමානයේ ආක්‍රමණයක් දියත් කළ 2022 වසරේ සිට යුරෝපයේ රුසියානු බලශක්තිය මත යැපීම නාටකාකාර ලෙස අඩු වී තිබේ. 2022 දී යුරෝපා සංගමයට අවශ්‍ය ගෑස්වලින් සියයට 45ක් පමණ රුසියාවෙන් ලැබුණි. මෙම වසර වන විට එය සියයට 13ක් දක්වා පහත වැටෙනු ඇතැයි අපේක්ෂා කරන නමුත්, ට්‍රම්ප් ගේ ප්‍රකාශවලින් පෙනී යන්නේ ඔහු එම සංඛ්‍යාව ප්‍රමාණවත් නොවන බව සලකන බවයි.
පසුගිය බදාදා රුසියානු ඩ්‍රෝන යානා දුසිමකට වැඩි ප්‍රමාණයක් පෝලන්ත ගුවන් සීමාවට ඇතුළු වීමෙන් පසුව නේටෝ සහ රුසියාව අතර ආතතිය ඉහළ ගොස් ඇති මොහොතක ඇමරිකානු ජනාධිපතිවරයාගේ මෙම පණිවිඩය නිකුත් විය. වෝර්සෝව (පෝලන්තය) එම ආක්‍රමණය හිතාමතා සිදු වූවක් බව ප්‍රකාශ කළද, මොස්කව් එය සුළු කොට තැකූ අතර, පෝලන්තයේ පහසුකම් "ඉලක්ක කිරීමට කිසිදු සැලසුමක් නොමැති" බව කියා සිටියේය. ඩෙන්මාර්කය, ප්‍රංශය සහ ජර්මනිය නේටෝ සංවිධානයේ නැගෙනහිර කොටස ශක්තිමත් කිරීම සඳහා නව මෙහෙයුමකට එක් වී ඇති අතර, හමුදා සම්පත් නැගෙනහිරට ගෙන යනු ඇත.
පසුගිය සතියේ යුක්රේන ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි ද රුසියානු තෙල් සහ ගෑස් මිලදී ගැනීම සම්බන්ධයෙන් යුරෝපීය ජාතීන්ගෙන් ඉල්ලීමක් කළේය. ඒබීසී නිවුස් (ABC News) සමග සම්මුඛ සාකච්ඡාවකදී ඔහු කියා සිටියේ, "අපි රුසියාවෙන් ඕනෑම ආකාරයක බලශක්තියක් මිලදී ගැනීම නැවැත්විය යුතුයි. ඒ විතරක් නෙවෙයි, රුසියාව සමඟ ඕනෑම ගනුදෙනුවක් නවත්වන්න ඕනෑ. අපිට ඔවුන්ව නවත්වන්න ඕනෑ නම්, කිසිදු ගනුදෙනුවක් කරන්න බැහැ."
එනර්ජි ඇන්ඩ් ක්ලීන් එයාර් පර්යේෂණ මධ්‍යස්ථානයට (Centre for Research on Energy and Clean Air) අනුව, 2022 වසරේ සිට යුරෝපීය ජාතීන් රුසියානු තෙල් සහ ගෑස් සඳහා යුරෝ බිලියන 210 ක් පමණ වැය කර ඇති අතර, එයින් විශාල කොටසක් යුක්රේන ආක්‍රමණය සඳහා මුදල් සැපයීමට යොදවා ඇත. යුරෝපා සංගමය 2028 වන විට එම මිලදී ගැනීම් අදියර වශයෙන් නැවැත්වීමට දැනටමත් කැප වී සිටී. නමුත් ඇමරිකාව ඊටත් වඩා වේගයෙන් එය සිදු කිරීමට අපේක්ෂා කරයි.
ට්‍රම්ප් ගේ මෙම පණිවිඩය නිකුත් කර ඇත්තේ යුරෝපා සංගමයට නොව, නේටෝ සංවිධානයටයි. එම සංවිධානයේ ප්‍රධාන රුසියානු තෙල් ගැනුම්කරුවෙකු වන තුර්කිය වැනි රටවල්ද ඊට ඇතුළත් වේ. තුර්කිය අනෙකුත් සාමාජික රටවලට වඩා මොස්කව් සමඟ සමීප සබඳතා පවත්වාගෙන යයි. එබැවින් තුර්කියට රුසියානු සැපයුම් කපා හැරීමට බලපෑම් කිරීම වඩාත් අසීරු කාර්යයක් විය හැකිය.
යුක්රේනයට එල්ල වූ දරුණුතම බෝම්බ ප්‍රහාරයෙන් පසුව, සැප්තැම්බර් මස මුලදීද ට්‍රම්ප් රුසියාවට එරෙහිව දැඩි සම්බාධක පැනවීමට සූදානම් බවට ප්‍රකාශ කළේය. මොස්කව්ට දඬුවම් කිරීමේ "දෙවන අදියරට" යාමට සූදානම්දැයි මාධ්‍යවේදීන් විමසූ විට ට්‍රම්ප් පිළිතුරු දුන්නේ, "ඔව්, මම සූදානම්" කියායි. කෙසේ වෙතත්, ඔහු ඒ පිළිබඳව වැඩිදුර විස්තර ලබා දුන්නේ නැත.