මාක්ස්ගේ විවේචක ව්‍යාපෘතිය නැවත නැවතත් පෙන්නුම් කරනුයේ
අර්ථකතනය වෙතින් දේශපාලන ක්‍රියාකාරීත්වය වෙතට මාවතක් සම්බන්ධ කරනුයේ දාර්ශනික නිෂ්පාදනය (දර්ශනය කාල් ගෑම), දේශපාලන සහ ආගමික ලෝක දැක්මවල් වෙතින් ඉවත් වීම තුළ ය යන්න යි. සරල ව ම මාක්ස් ලෝක දැක්මවල් ප්‍රතික්ෂේප කරයි (මාක්ස්වාදය ලෝක දැක්මක් නො වේ). පසු කාලීන ෆ්‍රොයිඩ් (පරිනත ෆ්‍රොයිඩ්) මේ දාර්ශනික කාල් ගෑම හාස්‍යයට ලක් කළේ දාර්ශනිකයන් කාලය ගත කරමින් සිටින්නේ යථාර්ථයේ හිදැස් පිරවීම සඳහා බව පවසමිනි. එහෙත් මෙයට සපුරා වෙනස් ව භෞතිකවාදී අර්ථකථනය සිදුකරමින් ඉන්නේ පවතින ලෝක දැක්මවල් (දාර්ශනික සහ ආගමික) විසින් පෙරවරණය ( foreclose ) කිරීමට මහත් පරිශ්‍රමයක් දරනා හිදැස් නිරාවරණය කිරීම ය (දෘෂ්ටිවාදයන් විසින් සිදුකරනුයේ හිදැස් පිරවීම ය). මෙම ව්‍යුහමය හිදැස් නිරාවරණය කරගැනීමෙන් භෞතිකවාදී විධික්‍රමය විසින් සලසා දෙන්නේ ධනවාදී සමාජ බන්ධනය දරා සිටිනා තාර්කික සම්බන්ධයන් පිළිබඳ ව බරපතල තෙරුම්ගැනීමකි.
මාක්ස්ගේ හා ෆ්‍රොයිඩ්ගේ විවේචනයේ විවිධ ඉලක්ක අතර දර්ශනය ප්‍රධාන තැනක් ගනී. ඒ පිළිබඳ ව ඔවුන් විසින් මතුකරනුයේ දර්ශනය පිළිබඳ ව වන අතිශය ගැටලු සහගත තත්වයක් සහ එය යල්පැන ගොස් ඇති බව පෙන්වන සංකල්ප රූපයකි. නමුත් ඔවුන්ගේ විවේචනයේ සැබෑ වස්තුව වන්නේ ආගම සහ දේශපාලන ආර්ථිකයයි. ඔවුන්ගේ තරඟකාරීත්වය ඇත්තේ දාර්ශනික අර්ථකතනයන් සමග ය. දාර්ශනික අර්ථකතනයන් පැහැදිලි ව ම ධනවාදී විශ්වය තුළ සංස්ථාපිත වන්නේ වඩා නරක ස්ථානක ය. එසේ ම ඒවා ගර්හිත වී ඇත්තේ ස්වයං-කේන්ද්‍රීය (self-centered) සහ ප්‍රයෝජනයක් නොමැති ලෙස ය. එනම් දර්ශනය පැහැදිලි ව ම සාර්ථක නො වන්නේ එය තෘප්තිකර ආශාව වෙතට පැමිණෙන විට ය.
එහෙත් මාක්ස්ට එරෙහි ව නැගෙන ප්‍රමුඛ චෝදන්වක් වන්නේ ඔහුගේ න්‍යායික ඉදිරිපත් කිරීම් එක විට ම යුතෝපියානු ද කඩාකප්පල්කාරී ද වන්නේය යන්න යි (එනම් එක් පැත්තකින් යුතොපියාවක් ගොඩ නගන අතර ම අනෙක් අතින් පූර්ණ කඩාකප්පල්කාරිත්වයක් ඉදිරිපත් කරන්නේ ය යන්න යි). මේ චෝදනාවට අනුව මාක්ස් යනු “සුභාරංචියකට” සමාන දෙයක් සම්පාදනය කරන ලද කෙනෙකි. එම “සුභාරංචිය” තුළ ධනවාදී නිෂ්පාදන මාදිලිය අහෝසි කොට දැමීමට සහ සියලු අකාරයේ සමාජ ප්‍රතීඝතා (antagonisms) නැති කර දැමීමට වන පොරොන්දුවක් අඩංගු වෙයි. මාක්ස්ගේ ප්‍රාග්ධනය කියවන අයෙකුට නිතර මුණ ගැසෙනුයේ මාක්ස් විසින් කියන මැදිහත් නො වූ (unmediated) සහ සත්‍යවත් මිනිස් සම්බන්ධතා (authentic human relations), එනම් නිදහස් මිනිසුන්ගේ පයුරුපාසනය පිළිබඳ ව මුත් මාක්ස්වාදීන් ඒවා පැහැදිලි කිරීමට අසමත් වී ඇත. එසේ ම එවන් තත්ත්වයක් ඇතිවීමට නම් සිදු විය යුතු සියලු ආත්මීය විවිධත්වයන් සහ සමාජ පරාරෝපනයන් අහෝසි වන ආකාරය පැහැදිලි කිරීමට ද වම අසමත් වී ඇත.
මාක්ස්ගේ විවේචනාත්මක ව්‍යාපෘතිය මානවවාදී මාක්ස්වාදීන් සහ මනොවිශ්ලේෂකයින් (පළමුවත් ප්‍රමුඛවත් ෆ්‍රොයිඩ් විසින්) යන දෙගොල්ලන් විසින් ම වටහාගත්තේ ඒ ආකාරයට ය. ඔවුන් විසින් ස්ථිර ව ම කියා සිටියේ මාක්ස් විසින් කෙසේවත් කිසි දිනක කොමියුනිස්ට් ලෝක දැක්මක් පිළිබඳ ව විස්තර විභාග දැක්වීමට අදහස් කොට නොමැති බව ය. එසේම අනාගත සමාජ පිළිවෙලක් පිළිබඳ ව සමපෙක්ෂණයක් ඔහුගේ පරිනත ඉදිරිපත් කිරීම් තුළ නොමැති බව ය. ඊට අමතර ව “ප්‍රාග්ධනය” තුළ විවෘත ව ම මාක්ස් විසින් ෆොයාබක් පිළිබඳ ව වන 11 වන තීසිසය ගැන ගොඩනැගී ඇති කියවීම (ජනප්‍රිය කියවීම) වන න්‍යාය සහ ව්‍යවහාරයේ ප්‍රතිපක්ෂය, එනම් අර්ථකථනය සහ විප්ලවීය වෙනස්වීම අතර ප්‍රතිපක්ෂය ප්‍රතික්ෂේප කරයි.
මාක්ස්ගේ ඥානවිභාගාත්මක සහ දේශපාලන ඛණ්ඩාංක සම්බන්ධයෙන් වන විවාදයට ලකාන් මැදිහත්වන්නේ නිශ්චිත ව ම මෙම ස්ථානයේ දී ය. ලකාන් යෝජනා කළ මාක්ස් කියවීම, සම්මත මාක්ස් කියවීමට වෙනස් කියවීමකි. ඔහු විසින් යෝජනා කරන ලද්දේ රැඩිකල් ව්‍යුහාත්මක මාක්ස් කියවීමකි.ලකාන් පැහැදිලි ව ම පවසන්නේ “මම විසඳුමක් තිබේ යයි නො කියා සිටිනවාට වඩා විනාශකාරී දෙයක් මගේ කතිකාව තුළ බලාපොරොත්තු නො වන්න” කියා ය. ඉන් අදහස් වන්නේ සියලු පරිකල්පනීය විසඳුම් ලකාන් විසින් ප්‍රතික්ෂේප කරනා බව ය.
ඒ අනුව මනොවිශ්ලේෂණය යනු “සුභාරංචියක්” හෝ ලෝක දැක්මක් නො වේ (මාක්ස්වාදය ද එසේ ය). එසේ ම මාක්ස් පිළිබඳ ලකාන්ගේ කියවීම් සඳහා වන අපගමනය යනු මාක්ස්ගේ දේශපාලන ආර්ථිකයේ විවේචනය, කොමියුනිස්ට්වාදයේ ඓතිහාසික ඉරණම පිළිබඳ ව වන වීරාඛ්‍යානයක් ලෙස නො සැලකීම ය. එපමණක් නො ව එය ප්‍රාග්ධනයේ රීරි පීසාචවාදය වෙතින් ජීව ශ්‍රමය නිදහස් කර ගැනීමට දරනා ජීවාත්මවාදයක් ද නො වේ (වාමාංශික දේශපාලනය තුළ මාක්ස්වාදය ලඝු වී ඇත්තේ මෙම ස්ථානයටය).
සැබවින් ම මාක්ස්ගේ ෆොයාබාක් පිළිබඳ ව වන තිසීස පරිණත බවට පැමිණෙන්නේ ප්‍රාග්ධනය කෘතිය තුළ ය. ෆොයබාක් තීසිස ගැන සඳහන් කළ යුතු අත්‍යවශ්‍ය ම කරුණක් තිබේ. එනම් මාක්ස් විසින් ෆොයබාක් තිසිසවල දී ද භාවිත කරන ලද්දේ ආත්මය පිළිබඳ ඔහුට පෙර පැවති විවේචක න්‍යායන් තුළ භාවිත කළ වචන මාලාව ම බව ය. ආත්මය පිළිබඳ ව වන පූර්ව විවේචක න්‍යායන් දිගින් දිගට ම ඥානනය සම්බන්ධ විඥානවාදී වචන මාලාව (contemplation, consciousness) භාවිත කළේ ඒවායේ අත්‍යන්ත සමුද්දේශය ලෙස අනුභූතිඋත්තර හා මධ්‍යගත ආත්මීයත්වය තබාගනිමින් වන අතර දේශපාලනික ආර්ථිකයේ විවේචනය මෙම විඥානවාදී ආත්මයේ අවරෝධිත අනෙක් පැත්ත වෙතින්, සෑම කතිකාමය ක්‍රියාවක් තුළ ම ක්‍රියාත්මක පරාරෝපිත ආත්මයෙන්, වෙන් ව යයි. දේශපාලනයේ තාර්කික ආත්මය මෙය යි. මෙය අත්පත් කර ගැනීම සඳහා කතිකාව ද හුදු චින්තන උපකරණයකට වැඩියෙන් කල්පනය කිරීම අවශ්‍ය වෙයි.
මාක්ස් ඔහුගේ භෞතිකවාදය තර්ක සහ ව්‍යුහය සමග සම්බන්ධ කර එය සංස්ථාපනය කරනුයේ පරිකල්පනීය ප්‍රක්ෂේපනය වෙතින් පරාරෝපනය වෙන් කිරීම මත ය. මෙහි සුසමාදර්ශීමය උදාහරණය වන්නේ වෙළඳ භාණ්ඩ භාෂාවේ වක්‍රොර්තිය සහ මිනිස් භාෂාව ය. භෞතිකවාදී දිශානතිය ආනුෂංගික ව සංස්ථාපනය වී ඇත්තේ මිනිසා වෙතට යොමු ව සහ එහි අනුභූතිඋත්තර සාරය සමග ආත්මය වෙතට යොමු ව ය. එනම් ස්වායත්ත සවිඤ්ඤාණය ලෙස තේරුම් නොගත් නමුත් ස්වායත්ත හැඟවුම්කාරකයේ සැබෑ සංවිපාකයක් ලෙස ය. “ප්‍රාග්ධනය” තුල ව්‍යක්තභාවයට පත්වන ෆොයාබක් පළිබඳව මාක්ස්ගේ තිසීසයන්හි තේරුම් ගත යුතු තවත් අනීවාර්ය කාරණයක් වන්නේ මෙය යි.
ශ්‍රමය පිළිබඳව මාක්ස්ගේ විශ්ලේෂණයේ අරමුණ ඒ අනුව ලේ උරා බොන ප්‍රාග්ධනය වෙතින් ජීව ශ්‍රමය සරල ලෙස ගලවා ගැනීම නො ව ධනවාදයේ සැබෑ ආත්මය, ශ්‍රම ශක්තිය සම්බන්ධයෙන් වන තද බල නිශ්චය කිරීමකි. එය අහෝසි කිරීම සමස්ත නිෂ්පාදන මාදිලියේ ව්‍යුහාත්මක පරිවර්තනයක් සහ ආත්මයෙහි පරිවර්තනයක් බවට පත්වෙයි. එවිට වෙනස් කම් වල ස්වයං පාලක පද්ධතියේ තාර්කික ආත්මය ධනවාදය මගින් ආරෝපිත පාරිභෝගිකරණය වූ ආකෘතිය වෙතින් වෙන් වන ලද වීමට නියමිත බැවිනි.
ඉහත විස්තර කිරීම ෆොයාබක් පිළිබඳ ව මාක්ස්ගේ තිසීස සාකච්චා කිරීම සඳහා වන ප්‍රවේශයකි. මීට පෙර ෆොයාබාක් පිළිබඳ ව තිසීසවල සිංහලට පරිවර්තන කිහිපයක් පළ වී ඇතත් අපට අනුව ඒවා සදොස් සහගත ය. ඒවා පරිවර්තනය කළ අයගේ න්‍යායික ආස්ථානයන්ට අනුව පරිවර්තන වෙනස් වී ඇත (මය තරමක් විවාද සහගත අදහසක් බව සැබෑ ය. කෙනෙකුට අපගේ පරිවර්තනය ද ඒ අකාරයෙන් ම අපගේ න්‍යායික ආස්ථානයට අනුව සකස් වී නැත දැයි ප්‍රශ්න කළ හැකි ය. මේ ගැටලුව විසඳා ගත හැක්කේ මාක්ස්ගේ විවේචනයෙහි සමස්ත සන්දර්භය තුළ තබා දේවල් විග්‍රහ කිරීම මගිනි. අවශ්‍ය අයෙකුට ඒ සියලු පරිවර්තන සහ පැහැදිලි කිරීම් අපගේ පරිවර්තන සහ පැහැදිලි කිරීම් සමග සසඳා බැලිය හැකි සේම යම් විවේචනයක් ඇතොත් එය ද අප වෙත ඉදිරපත් කළ හැකි ය).
හේගලියානු දර්ශනය තුළින් ප්‍රකාශ වන්නේ නිරපේක්ෂ ආත්මය (Absolute Spirit) තුළ පරම යතාර්ථය (ultimate reality) යන්න යි. හේගල් වෙතින් මාක්ස් පිළිගන්නා දෙය වන්නේ මිනිස් පුද්ගලභාවය යනු සමාජ සත්තාවක් (social being) බව සහ ඉතිහාසය පිළිබඳ ඔහුගේ අදහස වන එය දයලෙක්තික ක්‍රියාවලියක්ය යන්න යි. නමුත් මාක්ස් හේගලියානු විඤ්ඤාණවාදය සහ ස්වයං පරාරෝපනය (self alienation ) ප්‍රතික්ෂේප කරයි. මාක්ස්ට අනුව හේගලියානු දාර්ශනික ක්‍රමය තුළ සැබෑ මිනිසා සහ සැබෑ ස්වභාවය ආත්මීය යථාර්තයේ හුදු සංකේතීය සහ මිනිස් ස්වයං සවිඤ්ඤාණකත්වයේ පරාරෝපිත ආකාරයන් ලෙස භෞතික, වාස්තවික සහ සංයුක්ත පදනම් නොසලකා හරිමින් ඒවා මානසික යථාර්ථයේ ක්ෂේස්ත්‍රය තුළ බැහැර කොට ඇත (මාක්ස් කියා සිටියේ ඔහුගේ භෞතිකවාදී පූර්වගාමීන් අපොහොසත් වන්නේ පරාරෝපනය සහ ව්‍යුහය අතර තාර්කික සම්බන්ධය න්‍යායගත කිරීමට ය යන්නයි. අවසාන වශයෙන් ෆොයබාක් ගැන සඳහන් කරමින් මාක්ස් කියා සිටින්නේ ඔහුගේ භෞතිකවාදය ප්‍රමාණවත් නො වන්නේ දෙවියන් සහ මිනිසා අතර සම්බන්ධය හුදෙක් අනෙක් අතට හැරවීමට අසමත් වූ නිසාවෙන් බව ය. දෙවියන් යනු මිනිසාගේ ආශාවේ ප්‍රක්ෂේපනයක් ය යන්න ප්‍රකාශයට පත්වන්නේ ෆ්‍රොයිඩ් වෙතිනි).
මාක්ස් විසින් ෆොයාබාක් තිසීස ලියනු ලැබුයේ 1845 ඔහු බ්‍රසල්ස්හි වාසය කළ සමයේ දී ය. ඒ පිළිබඳ ව එංගල්ස් ප්‍රකාශ කොට සිටියේ නව ලෝක දැක්මක දීප්තිමත් ජීවානුව ප්‍රක්ෂිප්ත වී ඇති ප්‍රථම ලේඛනය මෙය බව ය. පසු ව මාක්ස් සහ එංගල්ස් මෙය වඩාත් පුළුල් කොට “ජර්මානු දෘෂ්ටිවාදය” නම් පොත බවට පත් කරන ලදී. මෙහි දී සඳහන් කළ යුත්තේ මාක්ස්ගේ අවබෝධයට අනුව, හේගලියානු දර්ශනය වනාහි සහේතුක ආගමක් සහ මිනිසුන් යනු දෙවියන්ගේ ස්වයං පරාරෝපනයක්ය යන්න ෆොයාබාක්ගේ තර්කය වෙතින් ජනිත වන්නකි යන්නයි. එහි දී ෆොයාබාක් අනෙක් අතට තර්ක කොට සිටියේ දෙවියන් යනු මිනිසුන්ගේ ස්වයං පරාරෝපනයක් ය යන්න ය. මෙහි දී සිදුවන්නේ ෆොයාබාක්ගේ කාර්ය මත විශ්වාසය තබනා මාක්ස් ඒ මත පිහිටා හෙගලියානුවාදය විවේචනය කිරීමකි. එනම් මාක්ස් තර්ක කොට සිටියේ එය ප්‍රාථමික ව ම වියුක්ත මානසික ශ්‍රමය නො ව, සැබෑ වස්තූන් සමග සහ මනුෂ්‍යත්වය සංස්ථාපිත කරනා අනෙකුත් මිනිසුන් සමග වන ස්වභාවික අන්තර්ක්‍රියාවක් බව ය. කෙසේ නමුත් මාක්ස් කියා සිටියේ ෆොයාබාක් හේගල් පිළිබඳ විවේචනයේ දී ඓතිහාසික සංවර්ධනය යන්න අමතක කරනා බව ය. බොහෝ දුරට ෆොයාබාක් යනු ඉතිහාසය සමග ගනු දෙනු නො කරනා විට භෞතිකවාදියෙකු සහ භෞතිකවාදී නොවනා විට ඉතහාසය ගැන සැලකිලිමත් වන්නෙකු විය. ෆොයාබාක්ගේ භෞතිකවාදය සහ හේගල්ගේ ඓතිහාසිකවාදය පිළීබඳ මාක්ස්ගේ සංස්ලේෂණය බොහෝ විට යොමු වී ඇත්තේ “ඓතිහාසික භෞතිකවාදය” (මෙම යෙදුම ප්ලෙකනොව්ගේ නිර්මාණයකි) නමින් ප්‍රචලිත සංවාදය වෙත ය. නමුත් සත්‍ය වශයෙන් ම මාක්ස්ට අදාළ ව එය ඉතිහාසය පිළිබඳ ව භෞතිකවාදී විවරණයකි. ඒ කෙසේ නමුත් ඉතිහාසය පිළිබඳව ග්‍රස්තියෙන් මාක්ස් ගැලවී ගන්නේ ප්‍රාග්ධනය කෘතිය තුළ ය.
I තිසීසය
“ෆොයාබාක් ද ඇතුළු ව මෙතෙක් පැවති සියලු භෞතිකවාදයන්ගේ මූලික වරද වී ඇත්තේ දෙය, යථාර්තය, ඉන්ද්‍රිය ගෝචරත්වය වස්තුවෙහි හෝ සහජඥානයෙහි (intuition – Anschauung කාන්ට්ට සහ හේගල්ට අනුව ඉන්ද්‍රියන් තුළින් දැනුවත්කම (වැටහීම) හෝ ඍජු දැනුම යන්න හේගල්ගේ සහ කාන්ට්ගේ කෘතීන්හි ඉංග්‍රීසි පරිවර්ත්නයන්හි පරිවර්තනයවී ඇත්තේ intuition යනුවෙනි. මෙම අර්ථය (හැඟීම) තුළ මාක්ස් විසින් භාවිතා කරන වචනය වනුයේ Anschauung යන වචනයයි. ඔහු විසින් එය භාවිතා කරනුයේ contemplation යන වචනයෙහි අර්ථය තුළ නො වේ. කෙසේ වුවත් එය වැරදි සහගත ලෙස contemplation යනුවෙන් පරිවර්තනය වී ඇත. ඒ අනුව සිදුවී ඇත්තේ මාක්ස්ගේ අදහස සම්පූර්ණයෙන්ම විකෘති වීම ය.) රූපකාරයක් (ආකෘතියක්) ලෙස පමණක් වටහාගන්නවා මිස මිනිස් ඉන්ද්‍රිය මූලික ක්‍රියාකාරිත්වය ලෙස, ව්‍යවහාරික ලෙස, ආත්මීය ලෙස නො ගැනීමත් ය. එම නිසා සිදු වූයේ භෞතිකවාදයට ප්‍රතිපක්ෂ ව ක්‍රියාකාරී පක්ෂය විඥානවාදය විසින් වර්ධනය කරනු ලැබීමය. නමුත් එය සිදු කෙරුනේ වියුක්ත ව ය. ඒ සැබවින් ම විඥානවාදය යථ, ඉන්ද්‍රිය මූලික ක්‍රියාකාරීත්වය ඒ අකාරයෙන් නො දන්නා නිසා ය. ෆොයබාක් ට ඉන්ද්‍රියගෝචර වස්තූන් චින්තනයේ වස්තූන්ගෙන් සැබෑ ලෙස වෙන් කිරීමට අවශ්‍යය වූ නමුත් මනුෂ්‍ය ක්‍රියාකාරීත්වයම යනු වස්තුබද්ධ (objective) ක්‍රියාකාරීත්වය බව ඔහු නො දනී. ඒ අනුව “ක්‍රිස්තියානියෙහි සාරය” හි දී ඔහු න්‍යායාත්මක අකාරය එකම අවසන් මානව ආකාරය ලෙස ගන්නා අතර ව්‍යවහාරය එහි අපිරිසිදු යුදෙව් විද්‍යාමාන වීම තුළ පමණක් වටහාගෙන ස්ථාපිත කරයි. එම නිසා ඔහු ග්‍රහණය කර නොගන්නේ ව්‍යවහාරික-විවේචනාත්මක ක්‍රියාකාරීත්වයෙහි “විප්ලවකාරී” අර්ථාන්විත භාවය යි.”
මාක්ස් මේ පළමු වන ප්‍රවාදයෙහි පැහැදිලි ව සඳහන් කරන පරිදි ෆොයාබාක්ගේ ඇතුළු මෙතෙක් පැවතුණු සියලු භෞතිකවාදයන් ඔහු විසින් ප්‍රතික්ෂේප කරයි. එම සියලු භෞතිකවාදයන්හි මූලික ම වරද ලෙස ඔහු දකින්නේ දෙය, යථාර්ථය සහ ඉන්ද්‍රීයගෝචරත්වය සංකල්ප ගත වී ඇත්තේ වස්තුවෙහි හෝ සහජඥානයෙහි (intuition) ආකෘතියක් තුළ පමණක් ය යන්න යි. මෙතෙක් පැවති මූලික දාර්ශනික සම්ප්‍රදායන් දෙකක් පිළිබඳව අප ඉහතින් (පෙර ලිපි වල) දක්වා ඇත. එනම් අනුභූතිවාදී සහ බුද්ධිවාදී දාර්ශනික සම්ප්‍රදායන් ය. මාක්ස්ට අනුව මිනිසා සහ සොබාදහම අතර ඒකත්වය (ෆොයාබාක්ට සත්‍යවශයෙන් ම සංකල්පිත වස්තුන්ගෙන් වෙනස් වන ඉන්ද්‍රියගෝචර වස්තුන් අවශ්‍ය කරන මුත් ඔහු තේරුම් නො ගන්නා දෙය නම් මිනිස් ක්‍රියාකාරීත්වයම යනු වස්තුබද්ධ ක්‍රියාකාරීත්වය බව යි) අව්‍යවහිත (immediate) නො වේ. එනම් එය ව්‍යවහාරය තුළ නිර්මාණය වන්නකි. වස්තුවක ඇති නෛසර්ගික ගුණයක් ඉන්ද්‍රියන් තුළින් අපගේ මොලයේ (මොලය යනු මනස නො වේ. පැහැදිලි කර ගැනීමේ පහසුව තකා මෙහිදී මොලය යන්න යෙදෙනුයේ වර්තමාන ඥානවිභාගාත්මක අර්ථයකිනි. එකල සහජඥානය පිළිබඳව පැවතියේ සද්භාවත්මක අර්ථයකි.) පරාවර්තනය වනවා හෝ අප හට සහජයෙන්ම ලැබී ඇති ඥානයක් (දැනුමක්) හේතුවෙන් අපට එම වස්තූන් ඒවා යයි හඳුනා ගැනීමට ඇති හැකියාවක් ලැබෙනවා හෝ නො වේ.
උදාහරණයක් ලෙස පොල් ගස ගත හොත් එය ලංකාවේ සිංහලයන්ගේ පැවැත්ම තුළත් ඉංග්‍රීසි ජාතිකෙයෙකුටත් අදාළ ව දෙකක් මිස එකක් නො වේ. සිංහල සංස්කෘතිය තුළ පොල් ගස යනු ජීවිතයට අදාළ ප්‍රධානතම ශාඛයකි. සිංහලයාගේ අහාර සංස්කෘතියේ ප්‍රධාන අංගයක් වන්නේ පොල් ය, පොල් කිරි, පොල් තෙල්, පොල් කුඩු, පොල් කටු, පොල් ලෙලි, පොල් කොහු, පොල් කෙඳි, පොල් ලී, පොල් මල්, වෑවර, පොල් රා, පොල් පැණි, පොල් හකුරු මෙන්ම ආගමික සංස්කෘතික උරුමයන් වන බලි තොවිල්, යාග හෝම, වස්කවි සෙත් කවි වැනි මෙකි නොකී පොල් ගසට අදාළ සියලු දෑ සිංහල බෞද්ධයින්ගේ ජීවිතයට අදාළ වන ආකාරය සමග ගත් විට ඉංග්‍රීසි ජාතිකයාට එම වස්තූන් ඒ ආකාරයෙන් අදාළ නො වේ. කෙටියෙන් කියතොත් ඉංග්‍රීසි ජාතිකයාගේ “coconut tree” සිංහල බෞද්ධයින්ගේ “පොල් ගස” නො වේ. එනම් coconut සහ පොල් යනු එකක් නොව දෙකකි. සිංහල බෞද්ධයාට අදාළ ව පොල් ගස පවතින්නේ සිංහල බෞද්ධයන්ගේ ප්‍රයුක්තතාවය (praxis) තුළ ය. එනම් පොල් ගස පොල් ගස වන්නේ ඉන්ද්‍රිය මූලික ක්‍රියාකාරිත්වයක් තුළින් අප විසින් පොල් ගසට ලබා දී ඇති අර්ථය නිසා මිස පොල් ගස සතු එහිම වූ නෛසර්ගික ගුණයක් (මාක්ස් පවසන වස්තුවේ අකාරය එනම් අනුභූතිවාදීන් පවසන දෙය) නිසා නො වේ. ඉංග්‍රීසි ජාතිකයාට එය “පොල් ගසක්” නො වන්නේ එම නිසා ය. මෙය හේගල් විසින් සාකච්ඡා කරන පරමාත්මයේ ප්‍රපංච විද්‍යාවෙන් වෙනස් වේ. “පොල් ගස” යන සංකල්පයෙන් තොර ව එම වස්තුව නො පවතී.
එසේ ම වස්තුවක් එම වස්තුව ම බව හඳුනා ගැනීම සඳහා සහජඥානය (intuition) තුළින් සංකල්ප නිපදවේ යන ආකෘතිය අඅයත් වන්නේ බුද්දීවාදී (Rationalism ) දාර්ශනික ප්‍රවනතාවයටය. ඔවුන් ප්‍රකාශ කොට සිටි ප්‍රධාන කාරණය වුයේ මූලාකෘතික බුද්ධියක් (an archetypal intellect) ඇතැයි යන්න යි. වස්තූන් හුදෙක් බුද්ධියෙහි “ප්‍රතිභානය” (intuition of the intellect), එනම් සහජඥානය නමැති මූල ස්වභාවය මත රඳා පවතින බව ඔවුන් විසින් ප්‍රකාශ කොට සිටින ලදී. ඔවුනට අනුව දැනීම (ඥානය) හුදෙක් මනස තුළින් ම, එනම් සහජ සංකල්ප මගින් ඇති වෙයි. නමුත් මාක්ස් විසින් කියා සිටිනා ප්‍රයුක්තතාවය තුළ වස්තූන් ග්‍රහණය කර ගන්නා සහජ සංකල්ප යනුවෙන් දෙයක් නොමැත. ඔහුට අනුව මනුෂ්‍යයා ම යනු ප්‍රයුක්තියේ නිර්මාණයකි. ඒ අනුව යථාර්ථය යනු ප්‍රබන්ධයකි. මාක්ස්ට අනුව එය අප නිර්මාණය කරනුයේ මිනිස් ඉන්ද්‍රිය මූලික ක්‍රියාකාරිත්වය ලෙස, ව්‍යවහාරික ලෙස, ආත්මීය ලෙස ය. එසේ නොමැති ව විඥානවාදය විසින් සිදු කලාක් මෙන් ඉන්ද්‍රිය මූලික ක්‍රියාකාරිත්වයක් හෝ යථාමය වස්තූන් අදාළ කරගැනීමකින් තොර ව නො වේ. මෙහි දී මාක්ස් සඳහන් කරනා වැදගත්ම කාරණය නම් “ෆොයාබාක්ට සත්‍යවශයෙන්ම සංකල්පිත වස්තුන්ගෙන් වෙනස් වන ඉන්ද්‍රියගෝචර වස්තුන් අවශ්‍ය කරන මුත් ඔහු තේරුම් නො ගන්නා දෙය නම් මිනිස් ක්‍රියාකාරීත්වය ම යනු වස්තුබද්ධ(objective) ක්‍රියාකාරීත්වය බවයි.” යන්නයි. මෙහිදී ෆොයාබක් ආත්මීය විඥානවාදයෙන් සහ සාමාන්‍ය සාම්ප්‍රදායික ද්‍රව්‍යවාදයෙන් බැහැර වීමට උත්සාහ දරන මුත් ඔහුගේ දර්ශනය තුළින් ප්‍රකාශ වන්නේ ද්‍රව්‍ය යනු යතාර්ථය බව යි. ඒ ගැන මාක්ස් මෙසේ ප්‍රකාශ කරයි. “එම නිසා “ක්‍රිස්තියානියෙහි සාරය” තුළ න්‍යායික අකාරය නියම (සත්‍යමය) වශයෙන් එකම මිනිස් ආකාරය හැටියට පමණක් සලකන්නේ ව්‍යවහාරය සංකල්ප ගත වී ඇත්තේ සහ ස්ථාපිත වී ඇත්තේ එහි අපිරිසිදු යුදෙව් ව්ද්‍යාමාන වීම තුළ ය යන්න සලකන අතර තුර ය. එම නිසා ඔහු ග්‍රහණය කර නොගන්නේ ව්‍යවහාරික-විවේචනාත්මක ක්‍රියාකාරීත්වයෙහි “විප්ලවකාරී” අර්ථාන්විත භාවයයි”. මේ අනුව ෆොයාබාක්ගේ උත්සාහය වන්නේ අධිගෘහිත දෙවියෙකු (transcendent) නොමැති බවත් දෙවියන් යනු මිනිසුන් අතර සම්බන්ධ කම් තුළ ( immanent ) පවතින්නක් බවත්, නමුත් එම න්‍යායික අකාරය අපිරිසිදු වී ඇත්තේ එහි ව්‍යවාහාරය වන යුදෙව් විද්‍යාමාන වීම තුළ ය යන්න පෙන්වා දීම යි. ෆොයාබක්ට අනුව ආගම වනාහි මිනිස් නිර්මාණයකි. නමුත් ෆොයාබාක්ගේ උත්සාහය වූයේ එම ආගමික න්‍යායික (ආචාරධර්මීය) අකාරය මිනිස් සමාජයක් නිර්මාණය කිරීමේ එකම අකාරය ලෙස පෙන්වා දීම ය. “ක්‍රිස්තියානියෙහි සාරය” නමැති කෘතිය තුළින් ෆොයාබක්ගේ කාර්ය වන්නේ යුදෙව් දේවධර්මයෙන් අපිරිසිදු වී ඇති සැබෑ ක්‍රිස්තියානි ආගම ඉස්මතු කර ගැනීම ය. බයිබලයේ පැරණි තෙස්තමෙනතුවට අනුව දස පනත වනාහි දෙවියන් වෙතින් උරුම වන්නකි. ඒ අනුව ක්‍රිස්තියානි ආගමෙහි න්‍යායික අකාරය, එනම් ආචාර ධර්මීය පැවැත්ම එක ම මිනිස් ආකාර හැටියට පිළිගන්නේ එය යුදෙව් විද්‍යාමාන වීම තුළ සංකල්ප ගත වී ව්‍යවහාර වන හෙයින් එය අපිරිසිදු වී ඇති බව පවසමිනි. එහිදී ෆොයාබාක් තර්ක කොට සිටියේ දෙවියන් යනු මිනිසුන්ගේ ස්වයං පරාරෝපනයක්ය යන්න ය. එනයින් ෆොයාබාක්ගේ දර්ශනය මානවවාදී වීම හේතුවෙන් එය ස්වභාවිකවාදයක්ද වේ. එවිට එය නැවතත් සහජඥානන භෞතිකවාදයකි.
මාක්ස්වාදය හැර බටහිර අනෙකුත් සියලු දාර්ශනික සම්ප්‍රදායන් අඩු වැඩි වශයෙන් සහ මිශ්‍රිතව අයත් වන්නේ බුද්ධිවාදී (සහජඥානය පිළිබඳ) හෝ අනුභූතිවාදී දාර්ශනික සම්ප්‍රදායට ය. මෙහිදී විශේෂයෙන් සඳහන් කළ යුත්තේ intuition යන්න වෙනුවට contemplation යන්න ෆොයාබක් තිසීස ඉංග්‍රීසියට පරිවර්තනය කිරීමේදී යොදාගෙන තිබීම ගැනය. contemplation යන්න සිංහලට පරිවර්තන වී ඇත්තේ උපනිධ්‍යානය යනුවෙනි. එහි අනෙකුත් සිංහල අදහස් වන්නේ සමපෙක්ෂණය, සමාධිය, මනසිකාරය, අවලෝකනය, කල්පනාකොට බැලීම වැනි දෑය. මාක්ස් තිසීසයේ පැහැදිලිව සඳහන් කොට ඇත්තේ “”ෆොයාබාක් ද ඇතුළු ව මෙතෙක් පැවති සියලු භෞතිකවාදයන්ගේ මූලික වරද වී ඇත්තේ දෙය, යථාර්තය, ඉන්ද්‍රිය ගෝචරත්වය වස්තුවෙහි හෝ සහජඥානයෙහි රූපකාරයක් (ආකෘතියක්) ලෙස පමණක් වටහාගන්නවා මිස මිනිස් ඉන්ද්‍රිය මූලික ක්‍රියාකාරිත්වය ලෙස, ව්‍යවහාරික ලෙස, ආත්මීය ලෙස නො ගැනීම ය.” යනුවෙනි. එනම් දෙය, යතාර්ථය, ඉන්ද්‍රියගෝචරත්වය සංකල්පගත වී තිබුනේ වස්තුවෙහි අකාරයක් ලෙස නො වේ නම් සහජඥානයෙහි අකාරයක් තුළ පමණක් මය යන්නයි. මෙහිදී සහජඥානය (intuition) වෙනුවට උපනිධ්‍යානය (contemplation) යන වචනය යෙදුනහොත් එහි අර්ථය කල්පනාකොට බැලීමේ එනම් මනසිකාරයෙහි ආකෘතියක් තුළ සංකල්ප ගත වී ඇත යන්නයි. නමුත් එහි දී එය අර්ථ ශුන්‍ය වන්නේ උපනිධ්‍යනය එසේ නොමැති නම් මනසිකාරය හෝ කලපනා කොට බැලීම එක්කෝ දයලෙක්තිකයකට අදාළ විය යුතු හෝ අපට ස්වභාවිකවම උරුම වූ සහජ හැකියාවකට අදාළ ව සිදුවිය යුතු බැවිනි. එනම් එය කියා සිටින්නේ වස්තුවක් වෙත මැදිහත් වීම සිදු වන්නේ අපගේ ප්‍රතිභානයක් (සහජඥානය) තුළීනි යන්නයි. එවිට ප්‍රතිභානය යන්න අයත් වන්නේ සත්භාවත්මක ක්ෂේත්‍රයට ය (ontology). ඒ අනුව එවිට පැවතිය හැකි “කාටිසියානු සංජානනය” (perception) සහ ඉන්ද්‍රියන් තුළීන් නිශ්චිත වස්තුවක් පිලිබඳ දැන ගැනීම හෝ හෝ ඍජු දැනුම යන්න මාක්ස් විසින් සම්පූර්ණයෙන් ප්‍රතික්ශේප කරයි. එබැවින් මාක්ස් Anschauung යන ජර්මන් වචනය පාවිච්චි කරනුයේ උපනිධ්‍යනය (contemplation) යන වචනයෙන් අර්ථවත් වන්නට නො වේ. එනම් මාක්ස් කියා සිටින්නේ ෆොයාබාක්ගේ භෞතිකවාදය ද (දර්ශනය ද) ඇතුළත් මෙතෙක් පැවති සියලු භෞතිකවාදයන් සහ විඥඥානවාදයන් ස්වභාවිකවාදයන් සහ මානවවාදයන් බවය (මානවවාදයද අවසාන අර්ථයෙන් ස්වභාවිකවාදයකි).
අනෙක් අතට මෙම බටහිර දාර්ශනික සම්ප්‍රදායන් දෙක එකිනෙකින් පැහැදිලිව වෙන් කිරීමද ඉතාම අපහසු කටයුත්තකි. කළ හැක්කේ තේරුම් ගැනීමේ පහසුව තකා දෘඩ වශයෙන් වර්ග කර ගැනීම පමණකි. මාක්ස්වාදීන්ගේ කාර්ය වන්නේ ඇකඩමික සිතන්නන් මෙන් දර්ශනය අනාගෙන කෑම නොව දර්ශනය අවසන් කිරීම ය. මාක්ස්ගේ මෙම පළමු ෆොයාබාක් තිසීසයේ ද එම අදහස අන්තර්ගත ය. එහි බටහිර එතෙක් පැවති ඕනෑම දාර්ශනික සම්ප්‍රදායක් ඔහු විසින් ප්‍රවර්ග දෙකකට වෙන් කොට ඇත.
අවසාන වශයෙන් ෆොයාබාක් පිලිබඳ පළමු තිසීසයෙන් මාක්ස් යෝජනා කොට සිටින්නේ මානව ප්‍රයුක්තතාවයයයි . එනම් ව්‍යවහාරික-විවේචනාත්මක ක්‍රියාකාරීත්වයෙහි “විප්ලවකාරී” අර්ථාන්විත භාවයයි. මාක්ස්ට අනුව වස්තුවක භෞතික පැවැත්ම (material existence) යනු මිනිස් ඉන්ද්‍රිය මූලික ක්‍රියාකාරි ආත්මීය ව්‍යවහාරය යි.
එනම් ඉන්ද්‍රියගෝචරතාවය යනු මිනිස් ක්‍රියාකාරිත්වය යි. එයම වෙනත් ආකාරයකින් ප්‍රකාශ කරන්නේ නම් ඉන්ද්‍රියගෝචර ලෝකය යනු මිනිස් ක්‍රියාකාරිත්වය යි.
මේ අනුව මාක්ස් යෝජනා කොට සිටිනා කොමියුනිස්ට් සමාජය වෙත මන් පෙත් විවර කොට ගත හැකි වන්නේ සදාචාර සීමාව සලකුණු කරනා ආචාර ධර්මීය (ආගමික) එසේ නොමැති නම් හුදු න්‍යායික අකාරය මත පදනම්ව නොව මිනිස් ව්‍යවහාරිකත්වය තුළ ය යන්න යි.
ඒ අනුව මාක්ස් විසින් කියා සිටින්නේ අපෙන් ස්වායත්තව පවතිනා වස්තූන් පිළිබඳ ව නො වේ. එය එසේ වුවත් ලෙනින් සහ ට්‍රොස්කි මූලික කොටගත් රුසියානු මාක්ස්වාදය කාටිසියානු ආත්මය පිළිගනිමින් වස්තූන් යනු මිනිස් ඉන්ද්‍රිය මූලික ක්‍රියාකාරිත්වය ලෙස, ව්‍යවහාරික ලෙස, ආත්මීය නො වන ස්වායත්තතාවයක් අත්කරගන්නා බව පවසයි.
මතු සම්බන්ධයි….
@ Spartacus.lk