අන්තර්ජාල නාලිකාවක් ඔස්සේ කතාබහකට ලක්වූ චමුදිත සමරවික්‍රම සහ කසාගල
සමූහ ව්‍යාපාරයේ සභාපති රංජිත් පීරිස් අතර පැවති සම්මුඛ සාකච්ඡාව, හුදෙක් ආන්දෝලනාත්මක විවාදයකට වඩා මෙරට ක්‍රියාත්මක වන මහා පරිමාණ මූල්‍ය ජාවාරමක ස්වභාවය ඔවුන්ගේම වචනවලින් හෙළිදරව් කළ කදිම සාක්ෂියකි.
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ විමර්ශනයකට ලක් කර ඇති මෙම ආයතනය, "වගා ගිවිසුම්" නමැති නෛතික හිඩැසක් භාවිත කරමින් මහජනතාවගේ මුදල් සූරාකෑමේ යෙදෙන බව මෙම සාකච්ඡාව පුරාවටම තහවුරු වේ.
කසාගල ව්‍යාපාරයේ නිර්මාතෘවරයා සාකච්ඡාව පුරාවට තමන් නිවැරදි යැයි ඔප්පු කිරීමට උත්සාහ කළද, තර්කානුකූලව විග්‍රහ කිරීමේදී පෙනී යන්නේ ඔහු තමා විසින්ම ගොඩනගාගත් තර්කවලින් තමාම හිරවන බවයි. ඔහු කසාගලගෙන් අසා දැනගත් ඒ "බොරු" සහ පරස්පර විරෝධීතා මෙලෙස පෙළගැස්විය හැකිය.

කසාගල අධිපති රංජිත් පීරිස්
1. තමාම පටලවාගත් "සුපර් පවර්" ගණිතය සහ පැළයක මිලේ පරස්පරය
මෙම ජාවාරමේ මූලිකම පදනම ගොඩනැගී ඇත්තේ පැළ අලෙවිය හරහාය. සාකච්ඡාවේ එක් අවස්ථාවක රංජිත් පීරිස් පවසන්නේ,
"පැළයකට ලක්ෂ පහයි... ලක්ෂ පහක් දැම්මොත් එයාට මාසෙකට රුපියල් 17,500ක් ලැබෙනවා" යනුවෙනි.
එහෙත් සාකච්ඡාව ඉදිරියට යත්ම ඔහුට තමන් කී බොරුව අමතක වේ. පසුව ඔහු පවසන්නේ
"රුපියල් 1000ට බෙල් පෙපර් කිලෝ එක දුන්නොත්... පැළ 20ක්නේ ගන්නේ රුපියල් ලක්ෂයකට" යනුවෙනි.
මෙම ප්‍රකාශ දෙක කොතරම් පරස්පරද?
එක් අවස්ථාවක පැළයක මිල රුපියල් 500,000කි! තවත් අවස්ථාවක රුපියල් ලක්ෂයකට පැළ 20ක් ලබාදෙන බව කියයි. ඒ අනුව පැළයක මිල රුපියල් 5,000කි. ව්‍යාපාරිකයෙකු තමන්ගේ ප්‍රධානතම ආදායම් මාර්ගය වන නිෂ්පාදනයේ (පැළයේ) මිල පිළිබඳව විනාඩි කිහිපයක් ඇතුළත මෙතරම් බරපතල පරස්පරයක් පවසන්නේ කෙසේද? වර්තමාන වෙළෙඳපොළට අනුව ප්‍රමිතියෙන් යුතු බෙල් පෙපර් පැළයක උපරිම මිල රුපියල් 450ක් පමණ වේ. රුපියල් 9,000ක පමණ වටිනාකමක් ඇති පැළ 20ක් සඳහා ඔහු රුපියල් ලක්ෂයක් අය කරමින්, ඉතිරි රුපියල් 91,000ක මුදල තම සමාගමේ අරමුදලක් (Deposit) ලෙස වක්‍රාකාරව රඳවා ගනී.
මෙය පැළ විකිණීමක් නොව, පැළයක නාමයෙන් අධි-මිලක් නියම කර මහජනතාවගෙන් මුදල් තැන්පතු ලබාගැනීමකි. මීට පෙරද කසාගල ග්‍රීන් සුපර් ආයතනය පාලන මිල ඉක්මවා සහල් අලෙවි කිරීම හේතුවෙන් අධිකරණය හමුවේ වරදකරු වී දඩ මුදල් ගෙවූ ඉතිහාසයක් ඇති බව නොරහසකි. එලෙසම, වෙළඳපොළ වටිනාකමට වඩා දස ගුණයකටත් වඩා වැඩි මිලකට පැළ අලෙවි කිරීම තුළින් පාරිභෝගිකයා නොමඟ යැවීම සම්බන්ධයෙන් කෘෂිකර්ම අමාත්‍යාංශය සහ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය වහාම විමර්ශනයක් ඇරඹිය යුතු වුවත්, ඔවුන්ගේ නිහඬතාවය මවිතයට කරුණකි.
2. අස්වැන්නට පෙර ප්‍රතිලාභ ගෙවීමේ "පොන්සි" න්‍යාය (Ponzi Scheme Trap)
නීත්‍යානුකූල ව්‍යාපාරයක් සහ පිරමීඩ/පොන්සි ජාවාරමක් අතර ඇති ප්‍රධාන වෙනස මේ සාකච්ඡාව තුළින්ම රංජිත් පීරිස් ඔප්පු කර ඇත. ඔහු පවසන්නේ ආයෝජකයෙකු මුදල් යෙදවූ පසු පළමු මාසයේ සිටම ප්‍රතිලාභ ගෙවන බවයි. නමුත් බෙල් පෙපර් අස්වැන්න ලබාගෙන එය විකුණා ආදායම් ලැබීමට මාස 3ක් ගතවන බව ඔහුම පිළිගනී.
සාකච්ඡාවේදී ඔහු මෙසේ පවසයි:
"මාස තුනෙන් පස්සේ තමයි අපිට ආදායම එන්නේ පැළවල. හැබැයි අපි පළවෙනි මාස තුන අපේ තියෙන අනිත් ආදායම් වලින් (සුපර් මාකට් / කුරුඳු) ඒගොල්ලන්ට ගෙවනවා."
මෙය තර්කානුකූලව ගත් කල සම්පූර්ණයෙන්ම සාවද්‍ය සහ මූල්‍ය විද්‍යාවට පටහැනි ක්‍රියාවලියකි. යම් ව්‍යාපෘතියකට (පැළ වගාවට) ආයෝජනය කරන පුද්ගලයෙකුට, එම ව්‍යාපෘතියෙන් ලාභ ලැබීමට පෙර ආයතනයේ වෙනත් ගිණුම්වලින් හෝ වෙනත් ව්‍යාපාරවලින් ලාභාංශ ගෙවීම සම්භාව්‍ය "පොන්සි ජාවාරමක" (Ponzi Scheme) ප්‍රධානතම ලක්ෂණයයි.

මෙහිදී ඇත්තවශයෙන්ම සිදුවන්නේ අලුතින් එක්වන ආයෝජකයන්ගෙන් (පැළ මිලදී ගන්නන්ගෙන්) අයකරගන්නා අතිවිශාල මුදලින් කොටසක් ගෙන පැරණි ආයෝජකයන්ට මාසිකව ගෙවීමයි. ඔහුට වෙනත් ව්‍යාපාරවලින් ලාභ තිබේ නම්, මහජනතාවගෙන් අධික පොලියක් ගෙවීමට පොරොන්දු වී මුදල් එකතු කරන්නේ ඇයි? තමන්ටම ඒ ලාභය තබාගත හැකි නොවේද? මෙය ඔහුගේම වචනවලින් ඔහුම හිරවන තවත් ප්‍රධාන තර්කයකි.

3. අක්කර 800ක ප්‍රෝඩාව සහ අපනයනය නැති ලාභය
සාකච්ඡාවේදී රංජිත් පීරිස් පවසන්නේ තමන්ට සමාගම සතු අක්කර 800ක සහ බදු පදනමට ගත් අක්කර 100ක භූමියක් ඇති බවයි. ඔහු වගා කරන්නේ යැයි පවසන බෙල් පෙපර්, නයි මිරිස් වැනි බෝග සාමාන්‍යයෙන් ග්‍රීන්හවුස් හෝ වෙජි බෑග් (Grow bags) තාක්ෂණය යටතේ වගා කරන විට එක් අක්කරයකට අවම වශයෙන් පැළ 10,000ක්වත් සිටුවිය හැක. ඒ අනුව අක්කර 800ක් සඳහා පැළ ලක්ෂ 80ක් (මිලියන 8ක්) පමණ අවශ්‍ය වේ.
ඔහු පවසන පරිදි අපනයන වෙළෙඳපොළට මෙතෙක් ප්‍රවේශ වී නොමැති (No Exports) ආයතනයක්, මෙතරම් දැවැන්ත අස්වැන්නක් දේශීය වෙළෙඳපොළට පමණක් නිකුත් කරන්නේ නම් මේ වනවිටත් දේශීය වෙළෙඳපොළේ බෙල් පෙපර් මිල සම්පූර්ණයෙන්ම කඩා වැටිය යුතුය. ඔහුම පවසන පරිදි කිලෝවක් රුපියල් 1000 කට අලෙවි කිරීම ප්‍රායෝගිකව කිසිසේත්ම කළ නොහැක්කකි. මින් පැහැදිලි වන්නේ ඔහු පවසන තරම් දැවැන්ත වගාවක් ප්‍රායෝගිකව භූමියේ නොමැති බව හෝ ඔහු පවසන ආර්ථික ආකෘතිය සම්පූර්ණ ප්‍රබන්ධයක් බවයි.

4. "සිංහල බෞද්ධ" පලිහ සහ දේශපාලන න්‍යායපත්‍රය
මුදල් ව්‍යාපාර පනත උල්ලංඝනය කිරීම සහ ශ්‍රී ලංකා මහ බැංකුවේ විමර්ශන පිළිබඳව චමුදිත ප්‍රශ්න කරන විට, ඊට නිසි තාර්කික පිළිතුරක් දෙනු වෙනුවට රංජිත් පීරිස් වහාම හැරෙන්නේ චිත්තවේගීය දේශපාලන පලිහක් වෙතටයි.
"මේ රටේ සිංහල බෞද්ධ ව්‍යාපාර නැති කරන කුමන්ත්‍රණයක් මේ රටේ ක්‍රියාත්මක වෙනවා... සිංහල බෞද්ධ නිසා මට ගහනවා"
යනුවෙන් ඔහු පවසයි.
මෙය මූල්‍ය වංචාකරුවන් අතීතයේ සිටම භාවිතා කරන සාම්ප්‍රදායික උපායකි. තමන්ගේ ගිණුම් වාර්තා හෝ නීත්‍යානුකූලභාවය ඔප්පු කිරීමට නොහැකි වූ තැන, ජාතිවාදය හෝ ආගම්වාදය ඉස්මතු කර සමාජයේ අනුකම්පාව දිනාගැනීම මෙහි අරමුණයි.
එපමණක් නොව, ඔහු "ජනාභිෂේකය" නමින් දේශපාලන හා සමාජීය ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරන බවත්, මීට පෙර දේශපාලන නායකයින් සමඟ වැඩ කර ඇති බවත් සාකච්ඡාවේදී හෙළි කරයි. මහජනතාවගෙන් අධික ප්‍රතිලාභ දෙන බව පවසා එකතු කරන මුදල්, අවසානයේදී ඔහුගේ දේශපාලන අරමුණු සහ ප්‍රතිරූපය ගොඩනැගීමේ "ජනාභිෂේක" ව්‍යාපෘති සඳහා වැයවෙන බවට මෙය කදිම සාක්ෂියකි.

මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ
5. මහ බැංකුවේ මූල්‍ය බුද්ධි ඒකකයේ (FIU) මන්දගාමීත්වය
මෙවැනි ආයතන කිසිදු නිෂ්පාදනයක් අපනයනය නොකර, බැංකු පොලියට වඩා 300%ක 400%ක දැවැන්ත වාර්ෂික ප්‍රතිලාභයක් ලබා දෙන්නේ කෙසේද? ඒ සඳහා ඔවුන්ට මුදල් ගලා එන්නේ අලුත් තැන්පත්කරුවන්ගෙනි. මෙතරම් විශාල මාධ්‍ය ප්‍රචාරණයක් දියත් කිරීමට සහ මාධ්‍ය ආයතන/මාධ්‍යවේදීන් නඩත්තු කිරීමට ඔවුන්ට මුදල් ලැබෙන්නේද මේ මහජනතාවගේම සල්ලි වලිනි.
ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදන නිකුත් කරමින් ජනතාවට අනතුරු ඇඟවීම පමණක් ප්‍රමාණවත් නැත. 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ පැහැදිලිවම "භාණ්ඩයක් විකිණීමේ මුවාවෙන් අසාමාන්‍ය ප්‍රතිලාභ ලබාදෙන බව පවසමින් මුදල් රැස්කිරීම" දඬුවම් ලැබිය හැකි වරදකි. මේවා මහ බැංකුවේ මූල්‍ය බුද්ධි ඒකකයට (FIU) නොවැටහෙන්නේ මන්ද?
වැටහෙනවා නම්, මෙම ආයතනවල බැංකු ගිණුම් අත්හිටුවා විමර්ශන වේගවත් නොකර, ඔවුන්ට තවදුරටත් මාධ්‍ය හරහා තමන්ව ප්‍රවර්ධනය කරගැනීමට කාලය ලබා දෙන්නේ ඇයි? නීතියේ ඇති හිඩැස් තුළින් රිංගා යාමට ඔවුන්ට අවස්ථාව සලසා දෙන්නේ රාජ්‍ය ආයතනවල පවතින මෙම මන්දගාමීත්වයයි.

මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම
6. චමුදිතගේ මාධ්‍ය මෙහෙයුම: හෙළිදරව්වක්ද? සුදුවසා දීමක්ද?
මෙම සාකච්ඡාව සම්බන්ධයෙන් මීළඟට මතුකර ගත යුතු බරපතලම කාරණය වන්නේ මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රමගේ භූමිකාවයි. මීට පෙර "තාඹුගල" වැනි චරිත සමාජය ඉදිරියේ හෙළිදරව් කළ චමුදිත, මෙහිදී රංජිත් පීරිස්ට දැඩි ප්‍රශ්න කිරීම් කරන බවක් පිටතින් පෙනෙන්නට සැලසුවද, සමස්ත සාකච්ඡාව අවසානයේදී එය හැරෙන්නේ රංජිත් පීරිස්ව "වීරයෙකු" සහ "සිංහල බෞද්ධ ව්‍යාපාරිකයෙකු" ලෙස උත්කර්ෂයට නැංවීමේ දිශාවකටය.
"මෑන් පැනලා යයිද?" වැනි ප්‍රශ්න ඇසීමෙන් චමුදිත කරන්නේ මහජනතාවට ඇති ප්‍රධානතම බිය සාකච්ඡාවට ගෙන, රංජිත් පීරිස්ට
"මම පැනලා යන්නේ නැහැ, මම ඊට වඩා ස්ට්‍රෝං... මම දවසට නිදාගන්නේ පැය 4යි"
යැයි පවසා තමන්ගේ ව්‍යාජ ප්‍රතිරූපය සමාජගත කිරීමට වේදිකාවක් සකසා දීමයි.
විශේෂයෙන්ම යූටියුබ් නාලිකාවක අවධානය අඩුවීගෙන යන කාල වකවානුවක, මෙවැනි මූල්‍ය සමාගම් විසින් විශාල මුදලක් ගෙවා තමන්ගේ බිඳවැටෙමින් පවතින ප්‍රතිරූපය "සුදු වසා ගැනීමට" (Whitewashing) මෙවැනි ඊනියා "දැඩි සම්මුඛ සාකච්ඡා" පාවිච්චි කිරීමේ සම්භාවිතාවක් ඇත. මෙය පිරමීඩ ජාවාරම්කරුවන් ලොව පුරා භාවිතා කරන මාධ්‍ය හැසිරවීමේ උපාය මාර්ගයකි. ප්‍රශ්න කිරීමේ මුවාවෙන් ජනතාවට එම ව්‍යාපාරයේ "ශක්තිමත්භාවය" පිළිබඳ ව්‍යාජ චිත්‍රයක් මවා පෙන්වීම මෙහි යටි අරමුණ විය හැක.

කසාගල යනු කෘෂිකාර්මික විප්ලවයක් නොව, නීතියේ සිදුරු සහ රාජ්‍ය ආයතනවල නිද්‍රාශීලීත්වය ප්‍රයෝජනයට ගනිමින් අසරණ මිනිසුන්ගේ මුදල් කොල්ලකන තවත් එක් "සක්විති" හෝ "පිරමීඩ" මාදිලියේ විනාශකාරී ව්‍යාපෘතියක් බව මෙම සංවාදය අන්තර්-පාඨීයව (Intertextual) කියවීමේදී මනාව පැහැදිලි වේ.
තමන්ගේම වචනවලින් ගණන් හිලව් පටලවා ගනිමින්, තමන්ගේම වචනවලින් අලුත් මුදල්වලින් පරණ අයට ගෙවන බව පිළිගනිමින් කසාගල රංජිත් පීරිස් කරන්නේ තමන්ගේ මිනීවළ තමන්ම කපා ගැනීමකි. මහ බැංකුව සහ නීතිය ක්‍රියාත්මක කරන ආයතන තවදුරටත් ප්‍රමාද වුවහොත්, මීළඟ මහා මූල්‍ය ඛේදවාචකයේ වින්දිතයන් බවට පත්වන්නේ සාධාරණ ලාභයක් අපේක්ෂාවෙන් පැළ මිලදී ගත් මේ රටේ අහිංසක පුරවැසියන්ය.
වත්මන් දූෂණ විරෝදී ආණ්ඩුව මෙම මාධ්‍ය සන්දර්ශන පාමින් සිදුකෙරෙන වගා පිරමීඩ ව්‍යාපාර දෙස නෑසූකන්වලා බලා සිටින්නේ මේ පිටුපස ආණ්ඩුවට සම්බන්ධ වූවන්ද සිටින නිසාදැයි විවිධ මත පලවෙමින් ඇත. එසේ වන්නේ නම් විපක්ෂයත් ආණ්ඩුපක්ෂයත් එකම වගා පිරමීඩයක් තුළ ක්ෂනිකව ධනවතුන් වීමේ සිහිනයේ ගිලී සිටින ඊනියා මහජනතාවට කොකා පෙන්වමින් සැරිසරනු අපිට දැකබලා ගතහැකි වනු ඇත.
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයාගේ දැනගැනීම පිණිසය.
(සෙස්ස පස්සට)
# සමාරා පරණවිතාන

