SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

 

දේශීය නිෂ්පාදකයා රජ කරවන බවට සහ අතරමැදි මාෆියාවන් බිඳ දමන බවට පොරොන්දු වෙමින්

බලයට පත් වූ, වාමාංශික ප්‍රභවයක් සහිත වත්මන් ආණ්ඩුවේ කෘෂිකාර්මික ප්‍රතිපත්තිය මේ වනවිට බරපතළ න්‍යායික සහ ප්‍රායෝගික අර්බුදයකට ලක්ව තිබේ.

 

ඊට ආසන්නතම නිදසුන වන්නේ, 2025 වසර සඳහා රජය අපේක්ෂා කළ සහල් ආනයන ඉලක්කය වූ මෙ.ටො. 75,000 මෙන් දෙගුණයකටත් වඩා, එනම් මෙට්‍රික් ටොන් 180,000ක් මේ වනවිටත් රටට ආනයනය කර තිබීමයි.

 

වෙළෙඳ නියෝජ්‍ය අමාත්‍ය ආර්.එම්. ජයවර්ධන පවසන පරිදි, රුපියල් 400ට පමණ අලෙවි වන කීරි සම්බා මිල පාලනය කිරීමට රජයට මෙම පියවර ගැනීමට සිදුවිය. එයින් මෙ.ටො. 156,000ක්ම ගෙන්වා ඇත්තේ ටෙන්ඩර් පටිපාටියකින් තොරව, දින 14ක හදිසි කවුළුවක් හරහාය.

 

මෙහි ඇති බරපතළම තාර්කික පරස්පරය කුමක්ද? නියෝජ්‍ය අමාත්‍යවරයාම පවසන පරිදි, වත්මන් වෙළෙඳපොළේ වී සඳහා රජයේ සහතික මිල වන රු. 120 ගෙවීමට වෙළෙඳුන් මැලි වන්නේ "දේශීය වී නිෂ්පාදනයේ පවතින දැවැන්ත අතිරික්තය" නිසාය.

 

 

තර්කය මෙයයි:

රට තුළ වී අතිරික්තයක් පවතී නම්, මිල ස්ථාවර කිරීමට යැයි පවසමින් තවදුරටත් ආනයනික සහල් වෙළෙඳපොළට මුදා හරින්නේ ඇයි? එයින් සිදුවන්නේ දේශීය වී අතිරික්තය තවත් කුණුකොල්ලයට යෑම පමණක් නොවේද?

 

 

සාම්ප්‍රදායික වාමාංශික ආර්ථික දර්ශනයක් තුළ අගය කරනු ලබන්නේ දේශීය ගොවියා ආරක්ෂා කිරීම, ස්වයංපෝෂිත ආර්ථිකයක් ගොඩනැගීම සහ ජාවාරම්කරුවන් පාලනය කිරීමයි. එහෙත් වත්මන් ක්‍රියාකලාපය තුළ පෙනෙන්නට ඇත්තේ දේශීය සහල් මෝල් මාෆියාව මර්දනය කරනවා වෙනුවට, ටෙන්ඩර් රහිත හදිසි ආනයන හරහා 'ආනයන මාෆියාවකට' රජය විසින්ම දොරටු විවර කර දී ඇති බවකි.

 

 

ජාතික ගොවිජන එකමුතුවේ සභාපති අනුරාධ තෙන්නකෝන් පෙන්වා දෙන දත්ත මෙම ඛේදවාචකය තවදුරටත් තහවුරු කරයි. රටේ වාර්ෂික සහල් අවශ්‍යතාවය මෙ.ටො. මිලියන 2.45ක් පමණ වෙද්දී, යල-මහ කන්න දෙකේ දේශීය වී නිෂ්පාදනය මෙ.ටො. මිලියන 4.6–5ක් දක්වා ළඟා වී ඇත. එනම්, දැනටමත් මෙ.ටො. මිලියනයක පමණ සහල් අතිරික්තයක් රටේ ඇත.

 

 

මෙම දත්ත නිවැරදි නම්, ආණ්ඩුව මේ සූදානම් වන්නේ කාගේ අවශ්‍යතාවයක් පිරිමහන්නටද? පැහැදිලිවම මෙය දත්ත මත පදනම් වූ (Data-driven) විද්‍යාත්මක රාජ්‍ය ප්‍රතිපත්තියක් නොවේ. පාරිභෝගිකයාට සහන දීමේ මුවාවෙන් සිදුකරන මෙම දූරදර්ශී නොවන ආනයන ක්‍රියාවලිය, වාමාංශික ආණ්ඩුවක න්‍යායික පදනමට මුළුමනින්ම පටහැනිය.

 

රුපියල් 120ක වී සහතික මිලක් නියම කළ පමණින් ගොවියා ආරක්ෂා වන්නේ නැත. ටෙන්ඩර් රහිතව ගෙන්වූ ආනයනික සහල්වලින් වෙළෙඳපොළ පිරී යනවිට, දේශීය ගොවියාගේ අතිරික්ත වී තොග මිලදී ගන්නෙකු නොමැතිව ගොවියා යළිත් වරක් දැවැන්ත ණය උගුලක හිරවනු ඇත.

 

 

අවසාන වශයෙන්, වත්මන් ආණ්ඩුව තීරණය කළ යුත්තේ ඔවුන් දේශීය ගොවියාගේ පැත්තේ සිට ගන්නවාද, නැතහොත් දින 14න් ටෙන්ඩර් රහිතව සහල් ගෙන්වා ලාභ ලබන ආනයනකරුවන්ගේ පැත්තේ සිට ගන්නවාද යන්නයි. වී අතිරික්තයක් තිබියදීත් පිටරටින් සහල් ගෙන්වීම, ගොවියාගේ බෙල්ලට තැබූ මරණ වරෙන්තුවක් මිස සාර්ථක කෘෂිකාර්මික උපායමාර්ගයක් නොවේ.

 

#සමාරා

නවතම ලිපි