SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

(ජුනි 16 වන දිනය ට යෙදෙන කුමාරි ගේ ජන්ම දිනය වෙනුවෙනි)

 

කුමාරි ජයවර්ධන ශ්‍රී ලාංකේය සමාජීය විද්‍යා හා මානව ශාස්ත්‍ර අධ්‍යයනයට සම්බන්ධ පශ්චාද් යටත්විජිත බුද්ධි පරම්පරාවේ

දෙවන යුගය ට අයත් කෘතහස්ත බුද්ධිමතෙක්, ප්‍රමුඛ පෙළේ සමාජ හා ස්ත්‍රීවාදී ක්‍රියාකාරිනියක්, හා මාක්ස්වාදී චින්තිකාවක් ද වේ.

 

ඇය කොළඹ විශ්ව විද්‍යාලයේ "මහාචාර්යවරියක්" නොව සහය මහාචාර්යවරියක් (Associate Professor) බව අපට නිතර නිතර මතක් කල දුන්නේ ඉතා නිහතමානි ලෙසය. නමුත් ඇය කලක් නෙදර්ලන්තයේ ජාත්‍යන්තර සමාජ අධ්‍යයන ආයතනයේ මහාචාර්ය ධුරයක් දරමින් එහි ඉගැන්ව්මේ කටයුතුවල නිරත වූවාය. ඇය ජ්‍යත්‍යන්තර බුද්ධිමය කවයන් තුළ අතිශය සම්භාවනාවට පාත්‍ර වුයේ ඇය ගේ පර්‍යෙෂණවල තියුණු බව හා ශාස්ත්‍රීය ගුණයෙන් පිරුපුන් බව නිසාය.

 

 

ඇය වඩාත් ජ්‍යත්‍යන්තර සම්භානාවට ඔසවා තැබු කෘතිය වන "තුන්වන ලෝකයේ ස්ත්‍රීවාදය සහ ජාතිකවාදය" Feminism and Nationalism in the Third World (1986) London: Zed Books. (පළමු වරට ප්‍රකාශයට පත් කරන ලද්දේ 1986 දී), බටහිර නොවන ස්ත්‍රී ව්‍යාපාර පිළිබඳ සම්භාව්‍ය කෘතියක් බවට පත්ව ඇත. කෘතිය ට අනුව තුන්වන ලෝකයේ ස්ත්‍රීවාදී ව්‍යාපාර හා පළමු ලෝකයේ ව්‍යාපාර අතර ගොඩනගා ඇති පරතරය ප්‍රශ්න කරන අතර ඊට සමගාමීව ස්ත්‍රීවාදී ව්‍යාපාර පෙරදිග රටවල ද පැවැති බව හදුනාගත හැකි බව පැහැදිලි කලේය. එසේම වත්මන් ස්ත්‍රීන් ගේ දැනුම සහ තත්ත්වය සාකච්ඡා කිරීම සඳහා, ඔවුන් විසින් අත්පත් කරගෙන ඇති ජයග්‍රහණ මෙන්ම අත්පත් කරගත යුතු දෑ මෙන්ම මුහුණ දිමට ඇති අභියෝග කෙරෙහි ද ඇයගේ තියුණු අවධානය යොමු ව් ඇත.

 

 

මෙම කෘතිය 1986 දී එක්සත් රාජධානියේ ස්ත්‍රීවාදී ෆෝට්නයිට් සම්මානය සඳහා තෝරා ගන්නා ලදී. 1992 දී මිස් මැගසින් ව්සින් එම කෘතිය ස්ත්‍රීවාදී දශකවල වැදගත්ම කෘති විස්සෙන් එකක් ලෙස හැඳින්වීය. මෙම කෘතිය ස්ත්‍රීවාදී ව්‍යාපාර අධ්‍යයනය සඳහා නිර්දේශිත ප්‍රමුඛ සම්භාව්‍ය කෘතිය ක් ලෙස පිළිගනු ලැබ ඇති අතර ලොව පුරා ස්ත්‍රිවාදී අධ්‍යයන වැඩසටහන් වල බහුලව භාවිතා වේ. එහි මුල් ප්‍රකාශනයෙන් වසර තිහකට පසුත් වර්සෝ බුක්ස් විසින් නැවත නැවත ප්‍රකාශනයෙන් පෙනි යන්නේ එම කෘතිය ට ඇති ජාත්‍යන්තර පිලිගැනිම යි. මිට අමතරව ඇය ග්‍රන්ථ රාශියක් ලියා පළ කොට ඇත. ඇය ලන්ඩන් ආර්ථිකව්ද්‍යා පාසැල (London School of Economics, LSE) වෙත ඉදිරිපත් කරන ලද අචාර්ය උපාධි නිබන්ධනය පසුව ලංකාවේ කම්කරු ව්‍යාපාරය නැගිම The Rise of the Labor Movement in Ceylon (1972), North Carolina: Duke University Press නමින් ප්‍රකාශයට පත් කෙරේ.

 

1995 දී ප්‍රකාශයට පත් කරන ලද "සුදු ස්ත්‍රින් ගේ අනුන්ගේ බර" The White Woman's Other Burden: Western Women and South Asia During British Rule (1995) New York: Routledge නම් කෘති, දකුණු ආසියාවේ බ්‍රිතාන්‍ය ආක්‍රමණය විසින් නිශ්චය කරන ලද ස්ත්‍රී පුරුෂ භූමිකාවන්ට අභියෝග කළ සුදු ස්ත්‍රීන් ගේ ක්‍රියාමාර්ග විශ්ලේෂණය කරයි. ජයවර්ධන විශේෂයෙන් ඇනී බෙසන්ට්, හෙලේනා බ්ලැවට්ස්කි, කැතරින් මායෝ, මිරා රිචඩ් සහ මැඩලීන් ස්ලේඩ්ගේ කෘති ස්ත්‍රීවාදී විශ්ලේෂණය ට ලක් කරයි.

 

ස්ත්‍රී අධ්‍යයන හා ජාතිකවාදය වැනි කෙශ්ත්‍ර වල ප්‍රබල පර්යේෂිකාවක වු ඇය Embodied Violence: Communalising Female's Sexuality in South Asia (1996) London: Zed Books (co-edited with Malathi de Alwis) නම්න් සංස්කරණය කරන ලද මෙම කෘතිය, සංස්කෘතික අනන්‍යතාවය සඳහා වන අරගලය තුළ ස්ත්‍රී ශරීර මත සමාජ බලය ක්‍රියාත්මක කරන කතිකා පිළිබඳ සුවිශේෂී ව්වරණයක් සපයයි. එය මාතෘත්වය, සම්ප්‍රදාය, ප්‍රජාව සහ ජනවාර්ගික පාරිශුද්ධත්වය යන පරමාදර්ශ අතර ඇති සම්බන්ධතාවය ගවේෂණය කරන අතර ස්ත්‍රී ශරීර මර්දනකාරී සංස්කෘතික භාවිතයන් සහ 'සංකේතාත්මක' නින්දා අපහාස ප්‍රකාශනය වන අයුරු අනාවරණය කරයි. ඉන්දියාවේ ජාතික අනන්‍යතාවයේ කේවල් කිරීමේ සිට හින්දු ජාතිකවාදයේ බලගතු පැවැත්මක් ලෙස ස්ත්‍රීන් නාභිගත කිරීම දක්වා, ලිංගික ප්‍රචණ්ඩත්වය පිළිබඳ නීතිමය අර්ථ දැක්වීම සහ නීත්‍යානුකූලකරණයේ සිට ශ්‍රී ලංකාවේ පරමාදර්ශී ජාතිකවාදී ස්ත්‍රීත්වයක් සහ සංචාරක වෙළඳාම අතර සම්බන්ධතාවය දක්වා පුළුල් පරාසයක ගැටළු මෙම කෘතිය තුළ ගවේෂණය ට ලක් කෙරේ. දකුණු ආසියාවේ ස්ත්‍රීවාදය සහ පශ්චාත් යටත් විජිත න්‍යාය පිළිබඳ සමකාලීන විවාද ගවේෂණය කරන ඕනෑම කෙනෙකුට මෙය අත්‍යවශ්‍යයෙන්ම පරිශීලනය කළ යුතු කෘතියකි.

 

මෙම කෘතිය මෙන්ම Erasure of the Euro-Asian: Recoverin Early (2007).

සංස්කෘතීන්හී දෙමුහුන් භාවයේ ස්වරූපය කෙරෙහි වැඩි උනන්දුවක් දක්වමින්, විශේෂයෙන් පෘතුගීසි, ලන්දේසි, ප්‍රංශ සහ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදයේ බලපෑම යටතේ ආසියාව සහ යුරෝපය අතර යටත්විජිත සම්බන්ධතා වල ප්‍රතිඵලයක් ලෙස දේමුහුන් ජනකණ්ඩයම් බිහිව්ම යටත්විජිතවාද යේම සුවිශේෂ ලක්ෂණකී. ජයවර්ධන ගේ මෙම කෘතිය දකුණු ආසියාවේ යුරෝ-ආසියානු ප්‍රජාවන්, බර්ගර්වරුන්, ඇන්ග්ලෝ-ඉන්දියානුවන් සහ යුරේසියානුවන්, ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් සඳහා වූ අරගලයන්හි පෙරමුණු භූමිකාව සිදුකළ ඇති අයුරු කෙරෙහි අවධානය යොමු කරයි. යටත් විජිත තත්වයන් තුළ වඩා රැඩිකල් සමාජ හා දේශපාලන පරිවර්තන මෝරා යාමට බොහෝ කලකට පෙරසිට මෙම දෙමුහුන් සමාජ කණ්ඩායම් අනාගත ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක් පිළිබඳ ඔවුන්ගේ මනෝරාජික දැක්ම සමඟින්, කම්කරු හා ගොවි අයිතිවාසිකම්, රැඩිකල්වාදය, ජාතිකවාදය, ලෞකිකවාදය සහ ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය වැනි පුළුල් සමාජ දේශපාලන ප්‍රතිසංස්කරණ සඳහා උද්ඝෝෂණය කළහ. යටත්ජිත හා පශ්චාද් යටත්ව්ජිත ඉතිහාසකරණය තුළ යුරෝ-ආසියානු ජනයාගේ යටපත් කරන ලද මෙම පුරෝගාමී මෙහෙවර ඉදිරියට ගැනිමට ජයවර්ධන ප්‍රසංශනිය උත්සාහක් ගෙන ඇති බව පෙනේ. ඔවුන්ගේ දායකත්වයන් 'ඉතිහාසයෙන් සැඟවී ඇත්තේ' මන්දැයි විමසන ජයවර්ධන දකුණු ආසියාවේ සහ යුරෝපයේ ජාතිය පිළිබඳ 'පාරිශුද්ධ' මතවාදි උමතුව දෙමුහුන් (මිශ්‍ර) සම්භවයක් ඇති මෙම රැඩිකල් බුද්ධිමතුන්ගේ වැදගත්කම මකා දැමීමට හේතු වූ බව යෝජනා කරයි.

 

ඇයගේ වඩා කතාබහට ලක් වු කෘති අතර ලංකාවේ ධනේශ්වර පංතියේ නැගිම පිළිබඳ කතාන්දරය දිග හැරුණු "සොක්කන් ලොක්කන් වු සැටි" From Nobodies to Somebodies: The Rise of the Bourgeoisie in Sri Lanka (1998) Colombo: Social Scientists' Association හදුන්වාදිය හැක.

 

මෙම කෘතිය බ්‍රිතාන්‍ය පාලන සමයේදී ශ්‍රී ලංකාවේ ධනේශ්වරයේ ආරම්භය සහ වර්ධනය තියුණු පරීක්ෂාවට ලක් කරයි. සැබැවින්ම එය ශ්‍රි ලාංකේය නූතන ඉතිහාසයේ වැදගත් නමුත් නොසලකා හරින ලද ඉතිහාස කතන්දරය කි. එම කතන්දරය 'වැඩවසම්' සමාජයක සහ වෙළඳ ආර්ථිකයක සිට වැව්ලි ආර්ථිකය දක්වා ධනේශ්වරයේ වර්ධනය පිළිබඳ සුවිශේෂී අවධානය ක් යොමු කෙරේ. මෙම අධ්‍යයනය ලංකේය කුල සැකැස්ම වඩා පන්ති සැකැස්ම අවබෝධයෙහිලා ප්‍රමුඛත්වය දෙන අතර, බොහෝ කුල කණ්ඩායම්, පුළුල් ජනවාර්ගික සහ ආගමික කණ්ඩායම් ලෙස මෙන්ම නව ධනවතුන් ලෙස ද එනම් සොක්කන් වී සිට ලෝක්කන් දක්වා මාරුව්මේ ඉතිහාසය මැනවින් විස්තර කරයි.

 

සිංහල බෞද්ධ මනසේ මතවාදි සැකැස්ම අවුරුදු සියයක පමණ කාලය සිට නිර්මාණය වු අයුරු මෙන්ම ඒ හරහා පංති ප්‍රතිව්රෝධතා අධ්නිශ්චය වු අයුරු පැහැදිලි කරන Ethnic and Class Conflict in Sri Lanka: The Emergence of Sinhala-Buddhist Consciousness 1883-1983 (2003) Sri Lanka: Sanjiva Books ඒ හා සමාන සුත්‍රගත කිරීමක් ප්‍රථමයෙන් ඉදිරිපත් කළ නිව්ටන් ගුනසිංහ ගේ අදහස විස්තාරණය කිරිමක් ලෙස සැලකිය හැක.

 

Perpetual Ferment: Popular Revolts in Sri Lanka (2010) Colombo: SSA. මෙම කෘතිය ලන්දේසි සහ බ්‍රිතාන්‍ය යුගවල (ගැම්) නිර්ප්‍රභු සමාජ ඉතිහාසය හොඳින් නිරික්ෂණය කරයි. එය හුදෙක් ම සමාජ හා දේශපාලන ඉතිහාසය මෙන්ම නිර්ප්‍රභූ ජනයා ගේ අතෘප්තිය, සාමුහික විරෝධතා සහ ගොවි කැරලි පිළිබඳ සමාජ විද්‍යාත්මක හා දේශපාලන විශ්ලේෂණයක් පිළිබඳ කෘතියකි. එහි විශ්ලේෂණය සිංහල වැඩවසම් සමාජ සංවිධානයේ සන්දර්භය තුළ සහ සිංහල වැඩවසම් සමාජ සංවිධානයේ සන්දර්භය තුළ සහ වැඩවසම් ප්‍රධානීන්, භික්ෂූන් වහන්සේලා ඇතුළු ප්‍රභූ වංශවත් සමාජ කණ්ඩායම් වල දෘෂ්ටිවාදාත්මක ආධිපත්‍යය තුළ නිර්ප්‍රභූ දේශපාලන හැසිරීම් වල මානයන් කිහිපයක් හෙළි කරයි. ප්‍රභුන් නැතිනම් වැඩවසම් නායකයින්ගේ දෘෂ්ටිවාදාත්මක ආධිපත්‍යය හා එවාට අභියෝග එල්ල කල ඇතැම් විට ඔහුන් හා සංධානගත වු නිර්ප්‍රභූ දේශපාලයේ ස්වරුපය මැනවින් පැහැදිලි කරයි.

 

ඇය විසින් ශාස්ත්‍රීය කෘති ගනාවක් මෙන්ම පරිච්ඡේද,හා පර්යේෂණ පත්‍රිකා ගණනාවක් සියයට ආසන්න ප්‍රමාණයක් ඇයගේ දිර්ඝකාළින ශාස්ත්‍රීය ගවේෂණය තුළ ලියා පළකොට ඇත. ඒ අතරින් තොරාගත් පර්යේෂණ පත්‍රිකා කිහිපයක එකතුවෙන් Labour, Feminism & Ethnicity in Sri Lanka (2017) නමින් කෘතියක් ද පළකොට ඇත.

 

ශාස්ත්‍රීය භුම්කාවෙන් පරිබාහිරව ඇය ශ්‍රී ලංකාවේ ස්ත්‍රී සංවිධාන සහ සිවිල් හා මානව අයිතිවාසිකම් ව්‍යාපාරවල ක්‍රියාකාරී භූමිකාවක් ඉටු කලේය. ඇය 1970 ගණන්වල අවසාන භාගයේ පිහිටුවන ලද සමාජ විද්‍යාඥයින්ගේ සංගමයේ ආරම්භක පුරෝගාම්න් අතර ප්‍රමුඛ වුවා පමණක් නොව අද දක්වා ම එහි නිල කාර්‍ය්යන් හි නිරත වේ. එපමණක් නොව කම්කරු අධ්‍යාපනය පුළුල් කිරීම සඳහා තම වාමාංශික සගයන් වු මහාචාර්ය ඔස්මන්ඩ් ජයරත්න වැනි පිරිසක් සමග කොළඹ විශ්ව විද්‍යාලයේ සේවක අධ්‍යාපන ආයතනය 1975 දී පිහිටුවීමට පුරෝගාමී මෙහෙවරක් සිදුකලේය. අද එම ආයතනය හඳුන්වන්නේ මානව සම්පත් කළමනාකාරණ ආයතනය වශයෙනි. එම අයතනය ව්සින් ඇයගේ සුවිශේෂ දායකත්වය ට උපහාරයක් ලෙස ඇය ගේ නම්න් ශිෂ්‍යත්වයක් ද එම ආයතනයේ ශ්‍රවණාගාරය ද ඇගේ නමින් නම්කොට ඇත.

 

මා ඉහතින් දක්වන ලද ඇයගේ ප්‍රධාන කෘති බොහොමයක් පහේ සිංහල හෝ දෙමළ භාෂා වලට පරිවර්තනය කොට ස්වදේශීක පාඨක සමාජය ට තම දැනුම නිර්ලෝභී ලෙස බෙදා හැරීම ට කටයුතු සැලසිම ජාත්‍යන්තර භාෂා වලින් පමණක් දැනුම් නිශ්පාදනයේ නිරත ස්වදේශීක බුද්ධ්මතුන් ට ද ආදර්ශයක් සපයමිනි .

 

කුමාරි ජයවර්ධන ඇයගේ පරම්පරාවේ පමණක් නොව පසු පරම්පරාවල බුද්ධිමතුන් අතර කැපී පෙනෙන සුවිශේෂී නිරහංකාර චරිතයක් වුවාය. ඇය මා ඇතුළු මගේ බුද්ධි පරම්පරා වේ බොහෝ අය ට ශාස්ත්‍රීය වශයෙන් නැගි සිටීමට අවශ්‍ය සහයෝගය හා මගපෙන්වීම නිර්ලෝහිව බෙදා හදා ගත් විශිෂ්ඨ කාන්තාව කි. ඇගේ විෂය ඉතිහාසය නොව දේශපාලන විද්‍යාව වුවද ඇයට එවැනි සීමාමායිම් නිර්ණයන් කිසිදා වැදගත් වූයේ නැත. ශාස්ත්‍රීය ශික්ෂණයෙන් දේශපාලන විද්‍යාඥවරියක් වුවද, ඇය ගේ ශාස්ත්‍රීය වපසරිය තුළ ඉතිහාසඥවරියක් වූවාය. ඊට හේතුව 19 වන සහ 20 වන සියවස්වල ශ්‍රී ලාංකික සමාජය, බ්‍රිතාන්‍ය ලංකාවේ සමාජ ඉතිහාසය, ඇගේ සිත්ගත් විෂය පථය බවට පත්විමය. ඇය ගේ ශාස්ත්‍රීය දායකත්වය සහ සෙසු මැදිහත්වීම් ඇගේ සමකාලීනයන් කිසිවෙකුට පාහේ ඇය අභිභවා යා නොහැකි ලෙස ම ස්ථාවරත්වය ට පත්කිරීමට ඇයගේ නොපසුබට දිර්ඝ කාළින ශාස්ත්‍රීය ව්‍යායාමය ට හැකි වී ඇතැයි හැගේ.

අද දින සිය අනුහතර වන ජන්ම දිනය සමරන කුමාරි ට දිර්ඝායුෂ පතමී ! චීරං ජයතු !

 

© ප්‍රේමකුමාර ද සිල්වා

Premakumara De Silva fb page

නවතම ලිපි