SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

 

ලංකාවේ දේශපාලනය තුළ, විශේෂයෙන්ම විනය සහ සංවිධාන ශක්තිය ගැන පාරට්ටු කරගන්නා 'වමේ' කඳවුරුවල පවා

ගැහැනියට හිමිවන සැබෑ අවකාශය පිළිබඳව ඇත්තේ ද්විත්ව ස්වභාවයකි. බැලූ බැල්මට ඇය විප්ලවයේ කොටස්කාරියකි; නමුත් ප්‍රායෝගික තලයේදී බොහෝ විට ඇයව සලකනු ලබන්නේ දේශපාලන යන්ත්‍රය සුමටව ක්‍රියා කරවීමට අවශ්‍ය දත් බුරුසු, යකඩ කෑලි, ඇණ මුරිච්චි හෝ පිරිසිදු කිරීම් අවසානයේ පසෙක තබන කොසු ඉදල් වැනි තවත් එක් උපකරණයක් ලෙස පමණි.

 

 

නායකත්වයේ අතේ දුරින් සිටියද, ප්‍රතිපත්ති සම්පාදනයේදී හෝ ගෞරවනීය අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටීමේදී ඇයගේ 'නිර්මාණාත්මක දායකත්වය' පිරිමි මූලික ව්‍යුහය විසින් උරාගෙන, අවසානයේ ඇයව හුදු ප්‍රචාරක මෙවලමක් (Marketing Tool) බවට පත් කිරීමේ අමිහිරි යථාර්ථය ශ්‍යාමා බස්නායකගේ මෙම හෙළිදරව්වෙන් මනාව පැහැදිලි වේ.

 

අද දවසේ අග්‍රාමාත්‍ය ධුරය හොබවන හරිනි අමරසූරිය වැනි චරිත පවා, මෙම පීඩිත ව්‍යුහය ඇතුළත සිටිමින් එහි සැබෑ ස්වභාවය ප්‍රායෝගිකව අත්විඳිමින් සිටින බව නොරහසකි. එහෙත් පද්ධතියේ පැවැත්ම වෙනුවෙන් ඇයට සිදු වී ඇත්තේ නෑසූ කන්ව සිටිමින්, සියල්ල කාලයට ඉඩ දී බලා සිටීමටය. "ගැහැනු අපි" යන්න හුදු සටන් පාඨයක් නොව, ජීවමාන දේශපාලන අරගලයක් බව අමතක කළ විට ඉතිරි වන්නේ හිස් වචන සමූහයක් පමණි.

 

 

ශ්‍යාමා බස්නායකගේ පහත සටහන කියවිය යුත්තේ, දේශපාලන වේදිකා මත ගැහැනුන්ව 'මිටි කරන' අතරතුර, තිරය පිටුපස ඔවුන්ව 'විසිරුවා හරින' මෙම කුහකත්වයට එරෙහිවය.

 

 

“ගැහැනු අපි” slogan එක නිර්මාණය කලේ මම (ඒකට ‘එක මිටට’ දැම්මේ මම නෙමෙයි. ඒක දැම්මේ දැන් රූපවාහිනියේ සභාපති ගිහාන් ද සිල්වා). මේ කැම්පේන් එක ගැන සාකච්ඡා කිරීමට අපි පැලවත්තේ වාර ගණනාවක් රැස් වුනා. යම් මොහොතක හරිනි අමරසූරිය ඇයගෙ මිතුරියක් "expert" කෙනෙකු ලෙස හදුන්වා දෙමින් එවැනි මීටිමකට පැලවත්තට ගෙනාවා. එම expert "ගැහැනු අපි" ඉවත් කරන්නට සහ ඒ වෙනුවට "ඔබද මාද විය මාද ඔබද විය" වගෙ slogan එකක් යෝජනා කලා (not a joke). එය ප්‍රතික්ෂේප වුනා.

 

ඉන්පසු සති කීපයකට පසු නැවත "ගැහැනු අපි" යොදා නොගෙන සිටීමට, මාව හිතාමතා බැහැර කළ මීටිමකදී ගිහාන්, හරිනි ඇතුළු පිරිස තීරණය කලා. ඒ අනුව නිශ්චිත අදහස් හුවමාරුවක් උඩ තමයි මම හරිනි අමරසූරියගේ කණ්ඩායාමෙන් සහ PWC කමිටුවෙන් ඉවත් වෙන්න තීරණය කලේ. නමුත් මා එසේ ඉවත් වීමෙන් පසුව ඔවුන් "ගැහැනු අපි" භාවිතා කරන්න තීරණය කලා.

 

“ගැහැනු අපි” කියන්නේ නිකන්ම නිකන් වචන දෙකක් නෙමෙයි. එය ගැහැනුන්ගේ සාමූහිකත්ව හැඟීම, පොදු අත්දැකීම්, සහ සමාජ-ආර්ථික යතාර්ථයන් හඳුනාගනිමින් ගෙනා දේශපාලන අදහසක්. ජනාධිපතිවරණ කැම්පේන් එකේ ‘ගැහැනු අපි එක මිටට’ වේදිකාවල්වල හරිනි අමරසූරිය වගේම අනෙක් කථිකයින් ගැහැනු අපි කියන වචන දෙක විනාඩියෙන් විනාඩියට තම කථාවල යොදාගත් හැටි සවන් දුන් ඕනෑම කෙනෙකුට පැහැදිලිව නිරීක්ෂණය කරන්න පුලුවන්.

 

නමුත් අද වන විට NPP ආණ්ඩුව “ගැහැනු අපි” යොදාගන්නේ ගැහැනුන්ව NPP ප්‍රචාරණ කටයුතු සඳහා

පාවිච්චි කිරීමට පමණක් බව පැහැදිලියි. එනිසා NPP ප්‍රචාරණ කටයුතුවල “ගැහැනු අපි” තවදුරටත් යොදා ගැනීම පිළිබඳ මගේ බලවත් විරෝධය මෙලෙස ලියා තබමි. එසේ කලා කියා ඔවුන් ඒ භාවිතය නවත්වන්නේ

නැති වුවද, මෙම විරෝධය සලකුණු කිරීම මගේ දේශපාලන වගකීමක් ලෙස සලකමි.

 

 #Shyama Basnayake

 

නවතම ලිපි