SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ජාතික ජන බලවේගයේ පරිසර ප්‍රතිපත්තිය අගෝස්තු 31 වැනි දින කොළඹ දී ප්‍රකාශයට පත් කෙරුණේ එහි ජනාධිපති අපේක්ෂක

අනුර කුමාර දිසානායක මහතාගේ සහභාගිත්වයෙනි. එම අවස්ථාවට පරිසර සංරක්ෂණ ආයතනවල ක්‍රියාධරයන් මෙන්ම විද්වතුන් විශාල පිරිසක් මහත් උද්‍යෝගයෙන් ඒකරාශීව සිටියහ.

 

“මිහිකත – ඔබ, අප මතු පරපුරේ ද උරුමය වෙනුවෙන්” සැකසුණු එම ප්‍රතිපත්ති මාලාව පිළිබඳ විමසුමකි මේ.

 

ජනාධිපතිවරණය හෝ මැතිවරණයක් වැනි අවස්ථාවකදී මෙතරම් උණුසුමින් පරිසරය සුරැකීම පිළිබඳ ප්‍රකාශනයක් ඉදිරිපත් වූ ප්‍රථම අවස්ථාවයි. මේ, දේශපාලන අංශ විසින් පරිසර ප්‍රශ්නය පුඵල්ව ගැඹුරින් හදාරමින් තමන් බලය ලදහොත් කරන දේ සහ කළ යුතුව තිබෙන දේ වටහා ගෙන ජනතාව සමග ගිවිසුම්ගත වීමක් ලෙස මෙම ප්‍රතිපත්තිමය කතිකාව හැඳින්වීමට පුඵවන. ඉදිරි දෙසතිය තුළ මෙවැනි කතිකා ගණනාවක් සිදු කිරීමට අනෙක් අපේක්ෂකයන් සහ කණ්ඩායම් තුළ මෙයින් උත්තේජනයක් ද ලැබෙනු ඇත.

 

2024 ජනාධිපතිවරණය පැවැත්වෙන්නේ පාරිසරික මෙන්ම ආර්ථික, සමාජ, දේශපාලන ව්‍යාකූලත්වයක් සහිත පසුබිමක බව පැහැදිලි කරුණකි. ඒ අනුව බලන විට පරිසර ගැටලු සහ අවශ්‍යතා හුදෙකලා කර සාකච්ඡා කළ නොහැකිය. පරිසරය රැකගත හැක්කේ, ගැටලු විසඳාගත හැක්කේ සමස්ත සමාජ ක්‍රමයෙහි යහපත් තත්ත්වයන් සමග ඒකාබද්ධවය.

 

යහපත් සමාජ පසුබිමක් නිර්මාණය කිරීම ගැන අප කතා කරන්නේ අවුරුදු 70 ක් පමණ කාලයක් තිස්සේ ජාතික ආර්ථිකයේ ප්‍රධාන අංශ වූ කාෂිකර්මය, කර්මාන්ත හා සේවා අංශවල අක්‍රමවත්ව හා අදූරදර්ශී සිදු කළ සංවර්ධන ක්‍රියාකාරකම් හේතු කොට ගෙන සෑම ක්‍ෂේත්‍රයකම අර්බුදයක් හා පරිහානියක් ඇතිව තිබෙන නිසාය. මෙම අර්බුදකාරී තත්ත්වයෙහි පාරිසරික පැතිකඩ නිරූපණය වන ගැටලු කැටිකර මෙසේ දැක්විය හැකිය.

 

  • ස්වභාවික පරිසර පද්ධති වෙනස් කරමින් ගංගා හරස් කර වේළි බැඳීම, වන ආවරණය විනාශ කිරීම, අවිධිමත් වගාවෙන් පස හායනයවීම, පාංශු ඛාදනය, ලවණීකරණය, ශාක හා සත්ත්ව ගහනයන්ගේ පැවැත්මට හානිවීම, අලි – මිනිස් ගැටුම වගුරු බිම් ගොඩ කිරීම, කුඹුරු ගොඩ කිරීම.
  • මධ්‍යම කඳුකරයේ මෙන්ම මුහුදු වෙරළේත්, වතුකරයේත්, පයිනස්, යුකැලිප්ටස් ඔයිල් ෆාම් වැනි හානිකර ශාක වැවීම, කැලෑ කපා උක් වගා කිරීම.
  • කෘෂිකාර්මික කටුයතුවලදී කෘත්‍රිම විෂ රසායනික පොහොර, වල් නාශක, කෘමිනාශක, දිලීර නාශක යෙදීම.
  • මැණික්, මිනිරන්, ක`ඵගල්, පස් ආදී ඛනිජ සම්පත් මහජන පීඩා සහිතව පරිසරය විනාශ වන අයුරින් කැණීම.
  • ඇළදොළ – ගංගාවලට හානිවන පරිදි අසීමිතව වැලි ගොඩදැමීම.
  • වැව්, ජලාශ සහ ජල මාර්ගවලට අපද්‍රව්‍ය හා අපජලය මුදාහැරීම, ආක්‍රමණකාරී ශාක සෑම තැනකම පැතිර යෑමට ඉඩ හැරිම.
  • ප්‍රවාහනයෙහි යෙදෙන වාහනවලින් ක`ඵ දුම් පිටකිරීමත්, පීඩාකාරී ශබ්ද නිකුත් කිරීම නිසා වායු දූෂණය වීම
  • මහජන අවශ්‍යතා පිළිබඳව නොසොයා නුසුදුසු තන්හි නව ගම්මාන හා නගර ඉදි කිරීම.
  • පොදු ස්ථාන හා නගර කසළ වලින් පිරීම.
  • යටිතල පහසුකම් පිළිබඳ තක්සේරු නොකර අධිසුඛෝපභෝගී මහල් නිවාස පන්ති හා විදේශිකයින් සඳහා නේවාසික හෝටල් තැනීම.
  • නීති නොතකා සංරක්ෂිත ප්‍රදේශ පුරා සංචාරක හෝටල් තැනීම, නුසුදුසු තන්හි නිෂ්ප්‍රයෝජන ගොඩනැගිලි තැනීම.
  • කර්මාන්තපුර හා ආයෝජන ප්‍රවර්ධන කලාප වෙන් කර තිබියදී රටේ තැනින් තැන කම්හල් පිහිටුවීම.
  • ශඛ්‍යතා අධ්‍යයනයෙන් හා පාරිසරික බලපෑම් තක්සේරු කිරීමෙන් තොරව අධිවේගී මාර්ග ගුවන්තොටුපළවල් හා වරායවල් තැනීම.
  • නාගරික ප්‍රදේශ තුළ මුඩුක්කු – පැල්පත් දිනෙන් දින බහුල වීම.
  • නාගරික පදික වේදිකා අවහිර වන පරිදි වෙළඳසැල් තැනීම.

 

මෙම ප්‍රතිපත්තිය සම්පාදනයෙහි පරමාර්ථය සමාජ – ආර්ථික සංවර්ධනය සහ පරිසරය අතර සමතුලිතතාවය ඇති කිරීමය. ඒ සඳහා ස්වභාවික සම්පත් භාවිතය, තිරසර කළමනාකරණයේදී සහභාගිත්ව ප්‍රවේශය, දේශගුණ විපර්යාසවලින් ඇති වන පීඩාවන් අවම කිරීම, දැනුම – කුසලතා – ආකල්ප හා මනෝභාවයන් මගින් ගොඩනැගෙන නිරෝගී ජන සමාජයක් සහ සමතුලිත පරිසරයක් උදෙසා ප්‍රමුඛත්වය ලබාදෙයි.

 

ප්‍රතිපත්තියෙහි දැක්ම ලෙස ප්‍රකාශ වන්නේ “සියලු ජීවීන්ගේ යහපැවැත්ම තහවුරු කරන තිරසර පරිසරයක්” නිර්මාණය කිරීමය. ඒ සඳහා මූලික සාධක කීපයක් ඇත. ඒවා නම් දිළිඳුකම තුරන් කිරීම, සියලු ජීවීන්ගේ වර්තමාන හා අනාගත යහපැවැත්ම උදෙසා පරිසර කළමනාකරණයට රජයේ කැපවීමත්, ඊට සමපාතව සියලු රාජ්‍ය ආයතන හා රාජ්‍ය නොවන ජන ආයතන හා පුද්ගලයන් ද ඒකාබද්ධ ක්‍රියාකාරිත්වයක් සඳහා මෙහෙයවීමත් ය.

 

මෙම දැක්ම ගොඩනැගෙන්නේ මූලධර්ම 9 ක් පදනම් කරගෙනය. එම මූලධර්ම මෙසේ දක්වා ඇත.

 

  1. පාරිසරික යුක්තිය සහ සාධාරණත්වය : සෑම පුරවැසියෙකුගේම වගකීමක් වනුයේ පරිසරය ආරක්ෂා කිරීම සහ සියලු ප්‍රජාවන්ගේ අයිතිය තහවුරුවන පිරිපුන් පරිසරයක් ඇති කිරීමය. එහි ප්‍රතිලාභ ලෙස මානව හා ජීවීන්ගේ අනාගත පැවැත්ම තීරණය කරනු ඇත. ස්වභාවික සම්පත් භුක්ති විඳීමේදී සාධාරණ පරිභෝජනය පවත්වා ගැනීම තුළින් සියලු ජීවීන්ගේ අනාගත පැවැත්ම තහවුරු කිරීම.
  2. පරිසරය සහ සංවර්ධනය අතර සමබරතාව : සංවර්ධන ව්‍යාපෘතිවලදී පරිසරයට ඇතිවන බලපෑම් අවම කිරීම සහ සම්පත් තිරසර පද්ධතියක පැවැත්ම උදෙසා කාර්යක්ෂමව භාවිතයට ගැනීමට සහතික වීම.
  3. තිරසර සම්පත් භාවිතය සහ පූර්වාරක්ෂක ක්‍රමවේදය : පාරිසරික සම්පත් භාවිත කිරීමේ දී ඒවායේ ගුණාත්මක තත්ත්වය හා වටිනාකම අඩු නොවන සේ හා අනාගත මානව පැවැත්ම සුරක්ෂිත වන අයුරින් භාවිතයට ගැනීම, කිසියම් ක්‍රියාකාරකමක් නිසා සම්පූර්ණ වශයෙන් තක්සේරු කළ නොහැකි පාරිසරික අවදානමක් පවතින විට එය විසඳීමට පෙර එම ක්‍රියාකාරකම තහනම් කිරීමට හෝ සීමා කිරීමට ක්‍රියාමාර්ග ගැනීම.
  4. පරිසර පද්ධති ප්‍රවේශය : පාරිසරික සම්පත් සංවර්ධනය, කළමනාකරණය සහ සංරක්ෂණයේ දී ඒකාබද්ධ පරිසර පද්ධති ප්‍රවේශය භාවිතයට ගැනීම.
  5. ආයතනික සම්බන්ධීකරණය සහ මහජන සහභාගිත්වය : පරිසර ආරක්ෂාව හා කළමනාකරණයේ දී සහභාගිත්ව ප්‍රවේශය වැඩි දියුණු කිරීම.
  6. දූෂකයා ප්‍රතිපූර්ණය : (Polluter-Pay-Principle) පරිසරයට අපද්‍රව්‍ය එක්කරන කවරෙකු වූවද එම අපද්‍රව්‍ය ඉවත් කිරීමේ මූලික වගකීම ඔහු විසින් දැරිය යුතුවීම.
  7. පාරිසරික යහපාලනය : පරිසර නීති, පාරිසරික කළමනාකරණ ආයතන, විනිවිද බව, වගවීම, මානව අයිතීන්වලට ගරු කිරීම තහවුරු කෙරෙන රාජ්‍ය පාලන ක්‍රියාකාරිත්වයක් සහතික කිරීම.
  8. ප්‍රජාව සවි බලගැන්වීම : පරිසර පද්ධති සමග ජීවත්වීමට ප්‍රජාවට අවශ්‍ය දැනුම, කුසලතා, ආකල්ප හා වටිනාකම්වලින් පිරි සංස්කෘතියක් ගොඩනගමින් තිරසර පැවැත්ම තහවුරු කිරීම.
  9. පාරිසරික ආරක්ෂාව : මානව ක්‍රියාකාරකම් හා ස්වභාවික ක්‍රියාවලින් පැනනගින පාරිසරික උවදුරුවලින් පරිසර පද්ධති ආරක්ෂා කිරීම.

 

අපේ රටේ ස්වභාවික පරිසරය මිනිසුන්ගේ අවශ්‍යතා වෙනුවෙන් උපයෝගි කර ගැනීම සඳහා ඉතිහාස කාලය මුළුල්ලෙහි දරන ලද ප්‍රයත්නයන් පිළිබඳව විද්වතුන් විසින් කරන ලද අධ්‍යයන ගණනාවක් ඇත. ඒ අතර සුවිශේෂී වටිනාකමක් සහිත වූවත්, තවමත් වගකිවයුතු අය විසින් නොතකා හළ අධ්‍යයන 2 ක් තිබේ. ඒවා නම් අනුරාධපුර රාජධානිය බිඳවැටීම පිළිබඳවත්, වාණිජ කාෂිකර්මයෙන් රටට ඇති වූ පරිහානිය පිළිබඳවත් කරන ලද අධ්‍යයනයන්ය.

 

පළමුවැන්න, ශතවර්ෂ 11 කට අධික කාලයක් විදේශීය ආක්‍රමණ හා සිවිල් යුද්ධවලට මුහුණ දෙමින් අඛණ්ඩව පැවැති අනුරාධුපර රාජධානිය බිඳවැටීමේ දිගුකාලීන හේතුව සුවිශාල ප්‍රදේශයක් අළලා වාරි හා කෘෂි ව්‍යාපෘති අසීමිත සංඛ්‍යාව, දිගු කලක්, නොකඩවා ක්‍රියාත්මක කිරීම බවට රාජකීය ආසියාතික සමිතියේ 1935 – 40 කාලයෙහි පැවැත්වූ වාර්ෂික සැසිවාරයකට ඉදිරිපත් කර තිබූ පර්යේෂණ වාර්තාවයි.

 

දෙවැන්න, 19 වැනි සියවසේදී ලංකාව බි්‍රතාන්‍ය යටත්විජිතයක් වූ පසු, මධ්‍යම කඳුකරය කේන්ද්‍ර කොට උඩ – පහත දෙරට අළලා සිදු කළ වාණිජ වැවිලි වගාව හා එහි ප්‍රතිවිපාක විමසමින් 1950 දී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ නායක දොස්තර එස්. ඒ. වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ “ලංකාවේ ආර්ථික අර්බුදය හා ඉදිරි මග” කෘතියයි.

 

1960 දශකය අග, රහසිගත ජනතා විමුක්ති පෙරමුණ පන්ති 5 පාඩම් මාලාවේ පළමුවැන්න සැකසී තිබුණේ එම කෘතිය ඇසුරිනි. ඉංග්‍රීසි නිලධාරීන්ගේ පරිපාලන වාර්තා උපුටා දක්වමින්, වාණිජ වගා වලින් කැලෑ විනාශවීම, මහා ගිනිලෑම්, පස සෝදාපාළුව, ගංගා ගොඩවීම, ගංවතුර හා ජලගැලීම්, ගංගා ඛාදනය, ජල හිඟය, කඳුකරය විනාශ වීම පිළිබඳ හේතුඵලවාදී විසඳුම් ක්‍රියාවලියක් එම කෘතියෙන් යෝජනා කර තිබුණි.

 

මව්බිමේ පණ රැක ගැනීමට හිතන කෙනෙකුට එම යෝජනා මගහැර කිසිවක් සාර්ථකව සිදු කළ නොහැක.

 

පර්යේෂකයන්, විද්‍යාඥයන්, තාක්‍ෂණවේදීන්, ප්‍රතිපත්ති සම්පාදකයන් සහ අදාළ ආයතන තනි තනිව සිටීම වෙනුවට ඒකාබද්ධ යාන්ත්‍රණයක් පිහිටුවීමේ අදහස ඉතා කාලෝචිතය. එසේ නොවීමේ විශිෂ්ට සංවර්ධන සැලැස්මක් අහෝසි කළ අවස්ථාවක් නිදසුනක් ලෙස මෙහි දක්වමු.

 

2010 වකවානුවේදී රජයේ විශාලතම ව්‍යාපෘතිය වූයේ “හම්බන්තොට උදාවය.” එකල සුනිත්‍ය බලශක්ති අධිකාරියේ සභාපති ක්‍රිෂාන් දෙහෙරගොඩ මහතා ඇතු`ඵ විද්වතුන් අමිල අගයෙන් යුතු අංග කිහිපයක් එම ව්‍යාපෘතියට ඇතුළත් කළහ. දකුණු ආසියාවේ හරිත තාක්‍ෂණය සහිත ප්‍රථම ගුවන්තොටුපළ තැනීම එම සැලැස්මය. එය පුනර්ජනනීය බලශක්තිය සහ නඩත්තුව සහිතව සැලසුම් කෙරිණි. ඊටම සම්බන්ධ වූ හරිත නිවාඩු නිකේතනය, හරිත නගරය සහිත පාරිසරික සංචාරක ව්‍යාපාරික සැලැස්මක් නිර්මාණය කර ලෝකයටම ආදර්ශයක් ලබාදීමට තිබුණු ඓතිහාසික අවස්ථාව දේශපාලන අධිකාරියට බැඳුණු චීන සමාගම්වලට යටත් වූ නිලධාරීන් විසින් නැති කරන ලදී.

 

ආහාරපාන, ඇඳුම්, බේත්හේත් යන මූලික අවශ්‍යතා සපයා ගැනීමට මිනිසා දරන්නේ මහත් වෑයමකි. එහි පළමුවැන්න වූ ආහාරපාන නිෂ්පාදනය අවුරුදු දහස් ගණනක් තිස්සේ පැවතුණේ ගොවීන් අතය. එය ලාභ ඉපැයීමේ කෲර ව්‍යාපාරයක් බවට අද පත්ව තිබේ. ඔවුන් ලාභ උපයන්නේ ගොවි බිම, ගොවියා සහ පාරිභෝගිකයා යන සියල්ලම රෝගාතුර වන ලෙසය. මොන්සැන්ටෝ, ඇතු`ඵ බහුජාතික සමාගම් 5 ක් ලෝකයේ මෙන්ම ලංකාවේද කෘෂිකර්මයේ ඉරණම අතට ගොදුරු කරගෙන ඇත. කෘත්‍රිම විෂ රසායන යෙදවුම් මෙන්ම බීජ නිෂ්පාදනය ද ඔවුන්ගේ ඒකාධිකාරයට යටත්ය.

 

පළිබෝධ නාශක පිළිබඳ තාක්‍ෂණ උපදේශක කමිටුව 2007 දී කළ නිර්දේශ අනුව අධිහානි කර පැරකොට් භාවිතය තවමත් තහනම් කර නැත. ආසනික්, රසදිය, සයනයිඩ් භාවිතයට තවමත් අවසර ඇත. ලෝකයේ බොහෝ රටවල ඒවා තහනම්ව ඇත්තේ මිනිසුන් ඇතුඵ සමස්ත ජීවි පරිසරයට ඒවායින් සිදුවන හානි නිසාය. මුඵ ලක් පොළොවෙන් අඩකටත් වැඩි ප්‍රමාණයක් සහ ගොවියාත්, වායුගෝලය සහ ජල සම්පතත්, පාරිභෝගික ජනතා ඇතුළු ජීවි සන්හතියත් වත්මන් විෂ රසායන කෘෂිකර්මය නිසා ව්‍යසනයන් රැසකට මුහුණ දී සිටින ආකාරය ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති සම්පාදකයින් නොදකින්නේ ඇයි ?

 

වකුගඩුව, මුත්‍රාශය, හදවත ඇතුළු ඉන්ද්‍රිය පද්ධතිය දූෂණය කර කොලෙස්ට්‍රෝල්, දියවැඩියා, රුධිර පීඩන, පිළිකා ආදී රෝගවලින් අසාධ්‍ය වූවන්ගෙන් රෝහල් පිරෙමින් ඇත්තේ කෘත්‍රිම විෂ රසායන මුසු වූ ආහාරපාන වලින් බව මහාචාර්ය නලින්ද සිල්වා මහතාගේ උපදේශකත්වයෙන් රජරට විශ්වවිද්‍යාලයේ වෛද්‍ය චන්න ජයසුමන මහතා කළ පර්යේෂණවලින් හෙළි වී දැනට අවුරුදු 15 ක් ගත වී ඇත. මහ රෝහල් සෑදීමෙන් මේ ව්‍යසනය විසඳිය නොහැක. සත්‍ය අවබෝධ කරගෙන ගොවිබිම් වසවිස වලින් නිදහස් කෙරෙන මිනිසාත් මහපොළවත් සුවපත් කරන ධාර්මික ගොවිකම ප්‍රචලිත කිරීම සඳහා හේතු සොයා විසඳුම් දීමට අනුර දිසානායක පමණක් නොව සියලු දේශපාලඥයින් වගබලා ගත යුතුය.

 

පාරම්පරික සංකල්ප, ජීවන ආකල්ප, ඇගයුම්, සාරධර්ම සහිත සංවර්ධන ආකෘතිය ප්‍රතික්ෂේප කර මනුසත්කම වෙනුවට මුදල් රජ වූ ගෝලීයකරණ වාණිජ දෘෂ්ඨිය අනුව ක්‍රියාත්මක වන සංවර්ධන සැලසුම් වලින් මෙරට තුළ අයථා පරිභෝජනය සහ අයථා ආයෝජනය රජ වෙමින් තිබේ. ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම් පොළක් බවටත් ස්කාගාරයක් සහ තැබෑරුම් රාජධානියක් බවටත් ඒඩ්ස් ඇතු`ඵ වසංගත රෝගවලට මධ්‍යස්ථානයක් බවටත් ලංකාව පත් වී හමාරය. ලෝක බැංකුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ලෝක වෙළෙඳ සංවිධානය යන ආයතන විසින් ආණ්ඩුව මෙහෙයවන්නේ අපේ දස රාජ ධර්මවලට එරෙහි අධර්මය අපේ සමාජය තුළ ප්‍රචලිත කිරීමටයි. මෙරට දේශපාලකයින් මෙන්ම ඇතැම් සමාජ නායකයින්ද එම ගෝලීය ආක්‍රමණයේ කසකරුවන් සහ බෙරකරුවන් බවට පත්ව සිටීම ජාතික ඛේදවාචකයකි.

 

@කීරන්තිඩියේ
අශෝක හරිස්චන්ද්‍ර
Global 500 UNEP ජාත්‍යන්තර පරිසර සම්මානලාභී

නවතම ලිපි