SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බූධය සම්බන්ධයෙන් ලියැවී ඇති “නව යුගයක පිවිසුම් මග -  ආණ්ඩු ක්‍රම වෙනස” කෘතිය

 ‘අර්ථ ගවේෂකයෝ’ වරලත් ගණකාධිකාරීන් වන පී.ඊ.මැතිව් සහ සමාගමේ සමාජ වගකීම් ප්‍රකාශනයක් ලෙස නිකුත් වූ  වරලත් ගණකාධිකාරී ආර්.ඒ.ජයවීර විසින් සම්පාදිත කෘතියකි.

05. වාර්ෂික අය- වැය මෙහෙයුම

 බජට්

 

‍13 ශතවර්ෂයේ එංගලන්තයේ මැග්නා කාටා ගිවිසුමෙන්  ජනිත වූ “නියෝජනයක් නැති නම් බදු ගෙවීමක් නැත” යන ඓතිහාසික උද්‍යෝග පාඨය, ඇමෙරිකානු විප්ලවයේදී විචිත්‍ර ලෙස නැවත ප්‍රකාශයට පත්විය.  ඒ රාජ්‍ය ආදායම ගැනයි. එහි අනෙක් පැත්ත, එනම්  රාජ්‍ය වියදම පිළිබඳ මහජන පාලනය, පාර්ලිමේන්තු ක්‍රමය මාර්ගයෙන් ක්‍රම ක්‍රමයෙන් විකාශනය වන්නට පටන් ගත්තේ ඉන් පසුවයි.  රාජ්‍ය වියදමට සරිලන ප්‍රතිපල ලැබෙනවාද  යන්න මැන බැලීම රාජ්‍ය වියදම් පාලනයේ අරමුණයි.  ඒ සඳහා කළමනාකරණ ශිල්පක්‍රම හා ඩිජිටල්කරණයද යොදා ගතහැකිය. මේ අංශයෙහි ලා ගතයුතු පියවර කීපයක් මෙහි දක්වමු.

 

 

වාර්ෂික වැඩසටහන් සංග‍්‍රහයක්

 

රාජ්‍ය යාන්ත‍්‍රයේ ක්‍රියාකාරිත්වය අපේක්ෂිත අරමුණ සපුරා ගැනීමෙහිලා කෙතෙක් දුරට සාර්ථක වී ඇත්දැයි තහවුරු කර ගැනීම අවශ්‍යය.  ඒ සඳහා අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු හා ව්‍යවස්ථාපිත ආයතනවලට රාජ්‍ය අයවැය ලේඛනයෙන් වෙන්කර දෙනු ලබන සම්පත්වලින් සපුරා ගැනීමට නියමිත කාර්යසාධනය වාර්ෂික වැඩසටහන් සංග‍්‍රහයක් (Annual Work Program) ලෙස ප‍්‍රකාශයට පත් කළ යුතුය. ආයතනයක, දෙපාර්තමේන්තුවක හෝ අමාත්‍යාංශයක අයවැයෙහි සඳහන් සෑම ව්‍යාපෘතියකම කෙටි විස්තරයක් මෙම සංග්‍රහයේ ඉදිරිපත් කළ යුතුයි.  ව්‍යාපෘතියෙන් අපේක්ෂිත ප්‍රතිලාභ, ප්‍රතිලාභීන් සංඛ්‍යාව, කාල රාමුව, වැයවන භෞතික, මානව හා මුල්‍ය සම්පත් ප්‍රමාණය, අදාළ වර්ෂයේ බලාපොරොත්තුවන ප්‍රගතිය. අවස්ථාවෝචිත විග්‍රහයක් සහිත මූල්‍ය පිරිවැය, භාරකාර නිලධාරීන්ගේ නම් හා දුරකථන  අංක යනාදිය මෙම කෙටි විස්තරයට ඇතුළත් කළ යුතුය.  වාර්ෂික වැඩසටහන් සංග‍්‍රහයක් නොමැතිව, කාර්යසාධනය විමසා බැලිය නොහැකිය. කාර්යසාධනය විමසා බලන්නේ නැතිව රාජ්‍ය සේවකයාට ඔහු පසුපස හඹා එන වගකීමක් හා අභියෝගයක් පැවරෙන්නේ නැත.

 

සැලසුම් කරන ලද අපේක්ෂිත කාර්යසාධනය හා සැබැවින්ම ළඟා කරගත් කාර්යසාධනය සසඳා බලා, යම් ඌනතාවක් ඇත්නම් ඊට හේතු සොයා බලා නිසි ප‍්‍රතිකර්ම යෙදීම කාර්යසාධන විමර්ශනයේ අරමුණය.  රාජ්‍ය අය වැය පාලනයේ මේ තීරණාත්මක කාර්යයට නිසි අවධානය ලැබී නැත.  ඒ වෙනුවට අවධානය යොමුවී ඇත්තේ වැඩකටයුතු කළ ආකාරය හා පටිපාටිවලට අනුගතවීම පරීක්ෂා කරන මූල්‍ය විගණනය වෙතටයි.  නැතහොත් යෙදවුම් (input) පාලනයටයි. එසේ වුවද යෙදවුම්වලින් බලාපොරොත්තු වූ නිමැවුම් (output/outcome) ලැබුුණේ ද යන්න වාර්තා වන්නේ නැත.  විමර්ශනයට පාත‍්‍ර වන්නේ ද නැත.

 

මෙහිදී ගතහැකි ක්‍රියාමාර්ග කීපයක් තිබේ. පළමුව කළ යුත්තේ ජාතික කාර්ය සාධන නියාමන අධිකාරිය මගින් කාර්යසාධනය අන්වේක්‍ෂණය කිරීමේ වැඩ පිළිවෙලක් සකස් කිරීමයි. එහි ආරම්භය වන්නේ කාර්යසාධන දර්ශක සකස් කිරීම හා ශුන්‍ය පාදක අය-වැය ක්‍රමය පාදක කරගත් වැඩ සටහන් අය-වැය ක්‍රමයට පරිවර්තනය වීමයි. මේ අවස්ථාවේදී, අපි කාර්යසාධන දර්ශක (KPI) සහිත කාර්යසාධන ගිවිසුම් ක්‍රමයක් (performance contracting) හඳුන්වා දිය යුත්තෙමු.  ඊට අනුගත නොවීම, උසස්වීම්වලට හා අතිරේක දීමනා හා පාරිශ්‍රමිකයට බලපෑමක් සිදුකරනු ලැබිය යුතුය.

 

දෙවනුව, මූල්‍ය වාර්තා සමග එක්ව යන කාර්යසාධන වාර්තාවලට අමතරව සෑම ආයතනයක්ම වාර්ෂික වාර්තාවක්ද (පාලන වාර්තාවක්) පළ කිරීමයි.බොහෝ කලකට පෙර සම්මතයක්ව පැවති පාලන වාර්තා සකස් කිරීමේ පුරුද්ද දැන් අතහැර දමා ඇතිසේ ය. කලකට පෙර ඉදිරිපත් කළ ඇතැම් වාර්තා ඉතා හරවත් ශාස්ත්‍රීය ඒවාය. යටත් විජිත පාලන සමයේ දිසාපතිවරුන් පවත්වාගෙන ගිය දිනපොත් වලින් ඒ කාලයේ සමාජ-ආර්ථික තත්ත්වය තේරුම් ගතහැකි විය.  අද ඉදිරිපත් කරන වාර්තා  බොහෝවිට සංඛ්‍යා සටහන්වලින් පමණක් පිරී පවතී.  සාක්‍ෂරතාව සියයට අනූව ඉක්මවා පැවතුනත්, විභාග සහතික ලබාගෙන තිබුණත් ලිවීමට හැකි අය සියයට විස්සක්වත් නොමැතිවීම මේ පරිහානියට එක් හේතුවක් වියහැකිය. අර්ථවත් හා කාලීන තොරතුරු පාලන වාර්තා මගින් පරිශීලනය කළ හැකි ආකාරයට ඉදිරිපත් නොකරන්නේ නම් රටක් පාලනය කළ නොහැකිය. රාජ්‍ය ගිණුම් හා වාර්තාකරණය ප්‍රමිතිකරණය කිරීමෙන්ද අනිවාර්ය අනාවරණයන්  නියම කිරීමෙන්ද යහපත් ප්‍රවේශයක් ලබා ගත හැකිය.

 

කාර්යසාධනය

 

කාර්යසාධනය, පළමුව අමාත්‍යාංශ-දෙපාර්තමේන්තු-ආයතන සඳහා වන ඉහළ මට්ටමය, දෙවනුව උප/අනු ආයතන හෝ ඒකක සඳහා වන මෙහෙයුම් මට්ටමය, තෙවනුව කණ්ඩායම් හෝ පුද්ගලයින් සඳහා වන පෞද්ගලික මට්ටමය, යනුවෙන් අදියර කීපයකින් නිශ්චය කළ යුතුවේ. මෙය වූකලී ආයතනික ව්‍යුහයත්  සැලසුම්කරණ  ප්‍රවේශයත්  සමග සමාන්තරව යන්නකි.  

 

අමාත්‍යාංශ හා දෙපාර්තමේන්තු කාර්යසාධන මට්ටම අනුව ශ්‍රේණිගත කිරීමත්, උසස්වීම් හා වෙනත් කළමනාකරණ තීරණ වලට එම ශ්‍රේණිගත කිරීම් අදාළ කර ගැනීමත්, කාර්යසාධන සංස්කෘතියක් ගොඩ නැගීමට උපකාරී වේ. 

 

කාර්යසාධනය නිශ්චය කිරීම හා මැන බැලීම ඇස්තමේන්තු මුදල හා වියදම් කළ මුදල සසඳා බැලීම තරම් පහසු කාර්යයක් නොවේ. නිශ්චිත කාල වකවානුවක් තුළ වියදම් කළ මුදල් ප්‍රමාණය, ප්‍රගති සමාලෝචනයේ මිම්මක් ලෙස යොදා ගැනීම අසාර්ථක පමණක් නොව නොමග යවන සුළු මිම්මකි. මක්නිසාද?  අත්තිකාරම් ගෙවීමෙන්ද අනවශ්‍ය ලෙස හෝ අනුචිත කාල රාමුවක් තුළ භාණ්ඩ හා සේවා මිලදී ගැනීමෙන්ද මූල්‍ය ප්‍රගතිය මවා පෑමක් සිදු කළ හැකි බැවිනි. 

 

මැනීමට සුදුසු මිනුමක් සාදා ගත නොහැකි, නිමැවුමක් හෝ ප්‍රතිපලයක් නොමැත. එබැවින් අධ්‍යාපන, සෞඛ්‍ය, අධිකරණ හා රාජ්‍යතාන්ත්‍රික අංශද ඇතුළු  සියලු සේවා සපයන ආයතනද කාර්යසාධන  නියාමනය යටතට පත් කළ හැකිය. පත් කළ යුතුය.

 

කාර්යසාධනය විමසීමට පාත‍්‍ර කිරීමේදී විශේෂ අවධානය යොමු  කළ යුතු අංශයක් නම් විදේශ රාජ්‍ය තාන්ත්‍රික   සේවය යි. රට වැටී තිබෙන ආගාධයෙන් ගොඩ ඒම පිණිස සෙසු ලෝකය සමග කරන ගණුදෙනු (උදාහරණයක් ලෙස අපනයන) තීරණාත්මක ලෙස බලපාන නිසා, රාජ්‍ය තාන්ත්‍රික අංශයට කළහැකි මෙහෙවර ඉතා වැදගත්ය. මෙහි කාර්යසාධන දර්ශක නොයෙකුත් පැතිකඩවලින් යුක්ත විය යුතුය. රාජ්‍ය තාන්ත්‍රික  කටයුතුවලට අමතරව, 

 

  • ශ්‍රී ලාංකීය ව්‍යාපාරිකයින්ට විදේශ වෙළඳපොළට ඇතුළුවීමට ඉඩ සැළසීම.
  • විදේශ ආයෝජනය දිරි ගැන්වීම,
  • ද්විපාර්ශ්වික හා බහුපාර්ශ්වික සහයෝගිතා සහ හවුල් ව්‍යාපාර,
  • සංචාරක ප්‍රවර්ධනය හා
  • විදේශගත සේවකයින්ගේ පහසුකම් සැලසීම

 

කාර්යසාධන මිණුම්වලට ඇතුළත් කළ යුතුය.  සේවා විශිෂ්ටත්වය ඇගයීම සඳහා මේ දර්ශක උපයෝගී කරගත යුතුය. ඉහළ පලදායකත්වයක් සඳහා  රාජ්‍ය තාන්ත්‍රික සේවාවන්හි ධාරිතා වර්ධනය (capacity enhancement) ඉතා වැදගත්ය. 

 

වැඩසටහන් අයවැය

 

කාර්යසාධනය නිශ්චය කිරීම හා මැන බැලීම සඳහාත් කාර්යසාධන දර්ශක සකස් කිරීම සඳහාත් වාර්ෂික අය වැය, වැඩසටහන් පදනම් කරගත් අයවැයක් (Planning, Programming and Budgeting (PPB) වියයුතුය.  ව්‍යාපෘති සඳහා අරමුදල් නිදහස් කිරීමේ දී භාණ්ඩාගාරය විසින්  කාර්යසාධන වාර්තා සැලකිල්ලට ගත යුතුය. 

 

1970 දශකයේදී  වැඩසටහන් අය වැය ක‍්‍රමය (PPB) හඳුන්වා දෙනු  ලැබුවේ මුල සිට විමසීමේ මූලධර්මය (zero based budgeting) භාවිතාවට ගනිමින්, හැම රුපියලකින්ම කරන්නට යන දේ සහ හැම රුපියලකින්ම ආපසු ලබා ගැනීමට යන වටිනාකම ගැන දැනුවත්ව, සකසුරුවම්කමින් යුත් ඉලක්කගත අයවැයක් සකස් කිරීම සඳහා ය. අද වැඩසටහන් අයවැය ක‍්‍රමයේ මේ හරය නොතකා හැර, ඊට අනුගත වචන පමණක් ආදේශ කර ගෙන තිබේ.  බොහෝ විට කරනුයේ,  ඉකුත් වසරේ සංඛ්‍යාවලට යම් ප්‍රතිශතයක් එකතු කර හෝ අඩු කර,  ඊළඟ වසරේ අයවැය සකස් කිරීම ය.  PPB ක‍්‍රමය නාමික ලෙස නොව අර්ථවත් ලෙස ක්‍රියාවට නැංවිය හැක්කේ විධිමත් හා කාලෝචිත රාජ්‍ය සංවිධාන ව්‍යුහයක් ඇතිකිරීමෙන් සහ අය-වැය සම්පාදන නිලධාරීන් පුහුණු කිරීමෙන් පමණකි.  මෙහි පසුව විස්තර කෙරෙන රාජ්‍ය පරිපාලනයට මහජනයා සහභාගී කර ගැනීමේ ක්‍රමවේදය සාර්ථක කර ගැනීම සඳහාද වැඩසටහන් අයවැය ක‍්‍රමය අත්‍යාවශ්‍ය වේ.

 

ප්‍රතිපල ලබා ගැනීම සහතික කර ගැනීම සඳහා වැඩසටහන් සකස් කිරීමට පෙර සැලසුම් කිරීමේ පියවර සම්පුර්ණ කළ යුතුය. මෙහිදී ආයතනය සතු සම්පත් උපරිම ලෙස ප‍්‍රයෝජනයට ගැනීම කෙරෙහි අවධානය යොමු කළ යුතුය. පොරව මුවහත් කර ගැනීමට කාලය ගත නොකළ දැව කපන්නාගේ ඉරණම මෙහිදී අපට සිහිපත් වේ. මුවහත් කිරීම සඳහා කාලය යෙදවූ විට, එමෙන් කීප වාරයකින් ශ්‍රම කාලය ඉතිරි කර ගැනීමට දැව කපන්නාට හැකි විය.  ඔහුගේ ආදායම ඉහළ ගියේය.  සැලසුමක් නොමැති විටෙක සම්පුර්ණ යෙදවුම් වටිනාකම ම අපතේ යන්නට පුළුවන.  මෙවන් උදාහරණ දිනපතාම වාගේ වාර්තා වේ.

 

 

6. මහජන සහභාගිත්වය - පුරවැසියා දේශපාලනඥයකු ලෙස

 පුරවැ සියා

 

සැබෑ ප‍්‍රජාතන්ත‍්‍රවාදී පාලනයක් පවත්වා ගැනීම සඳහා, අවුරුදු පහකට හෝ හයකට වරක් කතිරය ගැසීමෙන් නොනැවතී මහජනයා රාජ්‍ය පාලනය ගැන නිතර නිතර සොයා බැලිය යුතුය.  මේ සඳහා ක්‍රමවේද ව්‍යවස්ථාගත කළ යුතුය.  ප්‍රජාතන්ත්‍රවාදය, ජනාධිපතිවරණ හා මැතිවරණ පැවැත්වීමකට ලඝු නොකළ යුතුය.

මහජනයා රාජ්‍ය පාලනයට මැදිහත්වීම

  

මහජනයාට අර්ථාන්විත ලෙස රාජ්‍ය පාලන කටයුතු විමසීමට ඉඩ ප‍්‍රස්තා සලසාදීම පිණිස රාජ්‍ය සේවයෙන් ලබාදෙන සේවාවන් නිශ්චිතව දැක්වෙන පුරවැසි ප්‍රඥප්තියක් සකස්  කළ යුතුය.  එමෙන්ම යම් වැඩක් තේරුම් ගත හැකි තරමට ප‍්‍රමාණවත් වූත්, සරලවූත් ඇස්තමේන්තු උනන්දුවන පාර්ශ්වයන්ට ලබාදිය යුතුය.  රාජ්‍ය පාලනයට මෙලෙස මහජනයා සහභාගි කර ගැනීමේ අරමුණ වනුයේ ජනවරම ඉටුකර ගැනීම පිණිස රජය වියදම් කරන මුදල් වලින් අපේක්ෂිත ප‍්‍රතිඑල ලබා ගැනීම තහවුරු කිරීමත්, වංචා හා දූෂණ අවම කර ගැනීමත් යන කාර්යයන්ය. එය ප්‍රජාතන්ත්‍රවාදයේ නව පැතිකඩක් විවෘත කිරීමක් වන්නේය. යම්කිසි කාර්යයක් නිම වූවාට පසු කරන පරීක්ෂණ, විගණන හා විමර්ශනවලින් මෙවැනි ප‍්‍රතිපල ලබාගත නොහැකිය.  

 

රාජ්‍ය ආයතනවල සැලසුම් හා වැඩසටහන් පිළිබඳ තොරතුරු මහජනයා අතට පත්කිරීම සඳහා රජයේ ප‍්‍රකාශන කාර්යාංශය මගින් සෑම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක ම තොරතුරු මධ්‍යස්ථානයක් පිහිටුවිය යුතුය. වැඩසටහන් හා ඇස්තමේන්තු පිළිබඳ තොරතුරු  වැඩි වැඩියෙන් ප‍්‍රසිද්ධ කර ඇති තරමට, කීප දෙනකුට එකතුවී හෝ හොරකමක් හෝ වරදක් කළ නොහැකිය.  වැඩ අඩුවෙන් කළ නොහැකිය.  වැඩක් බාල ලෙස කළ නොහැකිය.  කල් මරමින් සිටිය නොහැකිය.  දෙදෙනෙකු වැඩට යොදවා අට දෙනකුට පඩි ගෙවීමට මුදල් වෙන් කළ නොහැකිය. 

 

නිශ්චිතව තීරණය කරනු ලබන ලියවිලි හැරුණ විට මධ්‍යම රජයේ, පළාත් සභාවල හා ප්‍රාදේශීය සභාවල  ලිපිගොනු මහජනයාට විවෘතව තැබීම යහපත් ආණ්ඩු ක‍්‍රමයක ලක්ෂණයකි.  එවිට හිතවතුන්ට හා ඥාති මිත‍්‍රාදීන්ට මහජන මුදලින් සංග‍්‍රහ කිරීම හා  වංචා හා දූෂණ, එළිදරවු වීමේ සම්භාවිතාව වැඩිවන නිසා, වරදට පෙළඹීමට ඇති ඉඩකඩ අඩු වේ.

 

මෙවැනි මහජන සුපරික්ෂාකාරිත්වයකින් අගනා ප‍්‍රතිඑල ලැබෙනු නිසැකය.  යම් ක්‍රියාවලියකට හෝ සිදුවීමකට පසුව කරන විගණනයකින් හෝ විමර්ශණයකින් ඇති කරන ආන්දෝලනයකට වඩා වැරදි, වංචා හා දුෂණ වළක්වා ගැනීම අගනේය.  එහෙයින් සමාජයීය විගණනය රාජ්‍ය අංශය තුළ පිළිගැනීමට ලක් කළයුතුය.

 

මහජන විමසුම් සභා

 

කාර්යසාධනය සමාලෝචනය කිරීමේ හා හැසිරවීමේ යාන්ත‍්‍රණයක් පහළ ම මට්ටම්වල (ග‍්‍රාමීය, ප‍්‍රාදේශීය යන මට්ටම්වල) ඇති කළ යුතු ය.  එය '' වෘත්තීය සමිති, පාරිභෝගික සංගම්, පරිසර සංවිධාන, මහජන විමසුම් සභා, පලදාවර්ධන සභා, පුරවැසි කමිටු'' යන කවර හෝ ආකාරයක් ගත හැකි ය. මෙම කමිටු මහජන නියෝජිතයින්ගේ සහභාගිත්වයෙන් පිහිටුවිය යුතුය. එක් දිනකින් මැතිවරණ පවත්වා ප‍්‍රතිඑල නිකුත් කිරීමේ හාස්කම කරන්නේ කෙසේ ද කියා සාකච්ඡා කිරීමේ දී නිරීක්ෂණ හා අධීක්ෂණ කණ්ඩායම්වල (ඡන්දපොළ නිරීක්ෂකයින්, අපේක්ෂකයන්ගේ නියෝජිතයින්, මැතිවරණ නිරීක්ෂකයින්) මැදිහත්වීම ගැන සඳහන් කරන්නට යෙදුනි.  රජයේ කටයුතුවලට ඇඟිලි ගැසීමට පුරවැසියන්ට අවස්ථාව දීµමන් බලාපොරොත්තු වන්නේ,  මැදිහත්වීම මගින් එවැනි වූ හාස්කම් කිරීමටයි. 

 

මහජන විමසුම් සභාවලටද මෙහි පහත විස්තර කෙරෙන පසුවිපරීම් වලටද අනතුරු හැඟවුම්කරුවෙකු හා පෙර දැනුම් දෙන්නෙකු (Whistle-blower) හැටියට ක්‍රියා කළ හැකි ය.

 

රාජ්‍ය සේවකයින් හා සේවාලාභීන් අතර යටත් පිරිසෙයින් වර්ෂයකට කීප වරක් රැස්වෙන සංවාද මණ්ඩප ක්‍රමයක් හඳුන්වා දිය යුතුය.  දැනට ක්‍රියාත්මක වන කන්නරැස්වීම හා ගුරු දෙගුරු රැස්වීම් මේ සංකල්පයට කිට්ටුවෙන් යයි. ඒවා සංවාද මණ්ඩප මට්ටමට ඉහළට එසැවිය යුතුය. තීරණ ගැනීමට හැකි වගකිවයුතු නිලධාරීන් ඊට සහභාගිවීම අනිවාර්ය කළ යුතුය. රාජ්‍ය යාන්ත්‍රණයත් මහජනයාත් අතර පවතින සන්නිවේදන හිඩැස එමගින් පියවේ.

 

සේවාවන්හි සැකැස්ම, චක්‍රලේඛ හා කාර්ය පටිපාටි වෙනස් වියයුතු තැන් හා  අවශ්‍ය වෙනත් සේවාවන් දක්වා සංවාද මණ්ඩපයන්හි විෂය පථය, පළල් කිරීමෙන් යාවත්කාලීන වූත්, පලදායී වූත් පිරිවැය-ප්‍රතිලාභ අනුපාත ඉහළ නැංවිය හැකිවූත් දෙපාර්ශවයේම කාලය පිරිමැසුම්දායක කරන්නාවූත් පරිසරයක් ඇති කරගත හැකිය.

 

ප්‍රාදේශීය සංවර්ධන කටයුතුවල වැඩ කෙරීගෙන යන ආකාරයත්, ප්‍රතිලාභ බෙදී යන ආකාරයත් විමසීමට හා අධීක්‍ෂණය කිරීමට ප්‍රාදේශීය සංවර්ධන අධීක්‍ෂණ කමිටු ඇති කළ යුතුය.  එවැනි කමිටුවලට අවශ්‍ය තොරතුරු ලබාදීමත්, කමිටුවලින් කරන විමසීම්වලට පිළිතුරු සැපයීමත් අදාළ රාජ්‍ය ආයතන මගින් කළ යුතුය.  මෙවැනි යාන්ත්‍රණයක්, ප්‍රජාතන්ත්‍රවාදී පාලන රටාව ගම් මට්ටමට ගෙන යයි.  දේශපාලන හා නිල අධිකාරය සහිත දිස්ත්‍රික් සංවර්ධන සභාවලින් මෙම කමිටුව වෙනස් වන්නේ මහජන සහභාගිත්වය නිසාය.

 

පසුවිපරම

 

රාජ්‍ය සේවයෙන් මහජනයාට ලබාගත හැකි (හා ලබාදිය යුතුව තිබෙන) බවට පුරවැසි ප්‍රඥප්තියේ සඳහන් වන සේවාවන් ප්‍රමාණයෙන් හා ගුණාත්මකභාවයෙන් නොඅඩුව සැපයෙන්නේද යන්න මැන බැලීමට පසුවිපරමක් අවශ්‍යය. ඒ සඳහා සේවාලාභීන්ගේ ප්‍රතිචාර, එනම් ඔවුන් සේවාව ගැන සෑහීමට පත්වන්නේද යන්න දැන ගැනීම අවශ්‍ය වේ.  උදාහරණයක් ලෙස කෘෂිකර්මයට අදාළ රාජ්‍ය ආයතන හා දෙපාර්තමේන්තුවල පළමුපෙළ සේවාලාභීන් ගොවීන්ය.  අධ්‍යාපනයේදී නම් ශිෂ්‍යයින් හා දෙමාපියන්ය.

 

ඇගයීමට පාත්‍රවන සේවා සපයන රාජ්‍ය නිලධාරීන්ගේ උසස්වීම් හා වාර්ෂික වැටුප් වර්ධක, සේවා ඇගයීම සමග සම්බන්ධ කළ යුතුය. එවිට මෙම ඇගයීම එක්තරා ආකාරයක ජනමත විචාරණයක් වන බැවින් එය රාජ්‍ය සේවයේ අදෘශ්‍යමාන ස්වාමියා දැක ගැනීමට ලැබෙන අවස්ථාවක් වේ.

 

එමෙන්ම සේවා ප්‍රතිලාභීන්ගේ යෝජනා ලබා ගැනීමටත්, ඒවා අධ්‍යයනය කර ක්‍රියාවට නැංවීමටත්, යෝජනා සම්බන්ධයෙන් ගත් පියවර යෝජනාකරුට දැන්වීමටත් පියවර ගත යුතුය.

 

4. රාජ්‍ය ගිණුම්කරණයේ පරිවර්තනය

 

රාජ්‍ය යාන්ත්‍රණයේ කාර්යක්‍ෂමතාව හා පලදායීතාව ඉහළ නැංවීම පිණිස රාජ්‍ය ගිණුම්කරණයේ වෙනස්කම් ගණනාවක්ම කළ යුතුය.  යෝජිත වෙනස්කම් කරනු ලැබූ ගණකාධිකරණ ක්‍රමයට නාස්තිකාර ක්‍රියාවන් නිසා සිදුවන පාඩුව පාලනය කිරීමට හැකිවේ.  ඇතැම්විට මේ පාඩුව දූෂිත ක්‍රියාවන් මගින් සිදුකරන පාඩුවට වඩා වැඩිවිය හැකිය.  වෙනස් කරනු  ලැබූ ගණකාධිකරණ ක්‍රමය,  පිරිසිදු රාජ්‍ය පාලනයක එක් ශක්තිමත් බල කණුවක් වනු නිසැකය.

 

ගණකාධිකරණ ක්‍රමයෙහි පරිවර්තනයක් නොකර අප සිටින තැන (මූල්‍ය තත්ත්වය) නිවැරදිව දැනගත නොහැකිය.  උදාහරණයක් ලෙස, ජාතික ගිණුම් වල සටහන් වී නැති වත්කම් බොහෝ ය.  සියලු වත්කම් සටහන් කළ විට රාජ්‍ය වත්කම් පදනම පුළුල් වී රජයේ ශේෂපත්‍රය යහපත් හා ශක්තිමත් පෙනුමක් ගනී.  ශේෂපත්‍රයේ ශක්තිය ණය දෙන ආයතන වල අගැයීමට ද ලක්වන්නකි.

 

රාජ්‍ය ගිණුම්කරණය යටතේ අපි සාකච්ඡා කරන්නේ පහත දැක්වෙන හදිසි සහ අත්‍යවශ්‍ය කරුණු ය.

 

  1. අනන්‍යවූ මූල්‍ය කළමනාකරණ සේවාවක්
  2. අය-වැය සම්පාදනය හා ශූන්‍ය-පාදක ප්‍රවේශය
  3. උපචිත ගිණුම් තැබීම
  4. කළමණාකාරීත්ව ගණකාධිකරණය (Management Accounting)

 

 

1. අනන්‍යවූ මූල්‍ය කළමනාකරණ සේවාවක්

 

අනන්‍යවූ මූල්‍ය කළමනාකරණ සේවාවක් රාජ්‍ය අංශය තුළ පිහිටුවිය යුතු අතර සෑම අමාත්‍යාංශයකම /දෙපාර්තමේන්තුවකම/පොදු රාජ්‍ය ආයතනයකම මෙම සේවය නියෝජනය කරන ප්‍රධානියකු (අධ්‍යක්‍ෂක) මගින් පිළිගත් මූල්‍ය ගණකාධිකරණ ප්‍රමිතීන්, අචාරධර්ම හා පරිචයන් ස්ථාපිත කළ යුතුය. මූල්‍ය කළමනාකරණය හා වාර්තා කිරීම පැවතිය යුත්තේ ඔහු භාරයේය.  රාජ්‍ය මූල්‍ය කළමනාකරණ සේවාව, වෘත්තීය ප්‍රමිති හා අචාරධර්මවලින් හික්මවනු ලැබිය යුතුය.  වෘත්තීය විනයට බැඳී සිටිය යුතුය.

 

ආයතනයේ කාර්ය සැලසුම් පාදක කර ගනිමින් ශූන්‍ය පාදක අය-වැය සැකසීම, ආයතනය තුළ මූල්‍ය කළමනාකරණ තොරතුරු පද්ධතියක් ස්ථාපිත කිරීම, කාර්යසාධන නිර්ණායක හා මිනුම් දඬු සඳහා මූල්‍ය අගයන් නිශ්චය කිරීම, ප්‍රමිතිකරණ හා ප්‍රගති සමාලෝචන කමිටු නියෝජනය කිරීම, වත්කම් පරිහරණය සහ අනෙකුත් ක්‍රියාකාරකම් සඳහා  මූල්‍ය වටිනාකම් නියම කිරීම, මුදල් යෙදවීම් පාලනය,  වත්කම් හා වගකීම් අගය කිරීම, වත්කම් පොදු දේපළ ලේඛනය සමග සැසඳීම හා ගිණුම් වාර්තා සකස් කිරීම , මෙම සේවාව යටතේ සිදුවිය යුතුය.

 

2. අය-වැය සම්පාදනය හා ශූන්‍ය-පාදක ප්‍රවේශය

 

රාජ්‍ය අංශය බොහෝවිට කරනු ලබන්නේ පසුගිය වර්ෂයේ අය-වැය ඇස්තමේන්තුවලට යම් ප්‍රතිශතයක් (10%) එකතු කර ඉදිරි වර්ෂයේ අය-වැය සකස් කිරීමයි.  එයින් ගම්‍ය වන්නේ ඉදිරි වර්ෂය, මිල ගණන්වලට ගළපනලද  පසුගිය වර්ෂයේම දිගුවක් බවයි.  එවැනි ගතානුගතික අය-වැය ක්‍රමයක් මත කටයුතු කරන ආණ්ඩුවක් අතීතය නැවත නැවත ඉදිරියට ගෙනයනවා හැර ඉදිරි ගමනක  යෙදෙන්නේ කෙලෙසද?  කළ යුතුව තිබෙන හෝ කරන්නට බලාපොරොත්තුවන කාර්යයන් පිළිබඳ වැඩ සටහන් සම්පාදනයකින් තොරව මුදල් වෙන්කිරීමක් කළවිට භෞතික ප්‍රගතිය මැනීමට නොහැකිය.  

 

ගතානුගතික අය-වැය ක්‍රමය යටතේ ප්‍රගති සමාලෝචනය යනුවෙන් කරනු ලබන්නේ වෙන් කළ මුදලින් කොපමණ මුදලක් වියදම් කළාද කියා බැලීමයි. මෙය කෙනෙකුගේ සිත් සසල කරවන කරුණකි. වියදම් කළ මුදල් ප්‍රමාණය වැඩිකළ පමණින් ප්‍රගතිය ඉහළ යයි!   මුල්‍ය ප්‍රගතිය මවාපෑම සඳහා ඉතා දිගු කාලයකට  අවශ්‍ය කරන්නාවූ දේ එකවර මිලදී ගැනීමත්, පමණ ඉක්මවූ අත්තිකාරම් ගෙවීමත් සිදු වේ.  මෙවැනි ක්‍රියාකාරකම් නිසා භාණ්ඩ කල් ඉකුත්වීම, භාණ්ඩ ගබඩාවල පවතිද්දීම වගකීමේ කාලය ගෙවීයාම වැනි අවදානම් දැරීමට සිදුවේ.  ඇත්තවශයෙන්ම, මිලදී ගැනීම් සඳහා මුදල් වියදම් කළ තරමට වැඩක් කෙරී නැත.

 

සෑම වසරක්ම අලුත් වසරක් ලෙස සලකා මුල සිට (බිංදුවේ සිට) සැලසුම් කරන්නේ නම් කාර්යානුබද්ධ නොවී එක රුපියලක්වත් ඇස්තමේන්තුගත වන්නේ නැත.  හැම රුපියලක්ම කිසියම් ක්‍රියාවකට (Activity) හා වැඩ සටහනකට (Program) හා එමගින් කිසියම් අරමුණක්, ඉලක්කයක් හා මැනගත හැකි ප්‍රතිපලයකට සම්බන්ධ වේ.  වාර්ෂික අය-වැය සකස්වන්නේ මෙවැනි වැඩසටහන් එකට ගොනු කර ගැනීමෙනි.  එවිට  එය කාර්ය සාධන අය-වැයක් වේ. එවැන්නක් සාදාගන්නා ප්‍රවේශය  ශූන්‍ය-පාදක අය-වැය  ක්‍රමය විය යුතුය.  එය කළමනාකාරිත්ව පාලන ක්‍රමවේදයක් ලෙස ද යොදා ගතහැකිය. අය-වැය ඇස්තමේන්තු සකස් කිරීම සිදුවිය යුත්තේ  සහභාගිත්ව කළමනාකරණ (participatory management)  ක්‍රමවේදය පදනම් කරගෙනය. අය-වැය සම්පාදනය හුදෙක් ආයතනයේ මුදල් අංශයේ වගකීමක් බවට පත් කිරීම වැරදිය.  මුළු ආයතනය මුළුල්ලේම මහා පිබිදීමක්, තමන් සතු දේ හා කළ යුතු දේ ගැන විමසීමක් හා උද්‍යෝගිමත් හැසිරීමක් අය-වැය සකස් කරන කාලය තුළ බලාපොරොත්තු විය හැකිය.  මේ උද්‍යෝගය, කාර්යසාධන විමසුම් ඔස්සේ දිගින් දිගට පවත්වා ගත යුතුය.

 

මෙවැනි අය-වැය ක්‍රමයක් තිබෙන විට නිෂ්ක්‍රීය හා නිෂ්පල ආයතන මෙන්ම ආයතන තුළ පවතින නිෂ්පල අංශද එක්වරම හඳුනා ගැනීමට අවස්ථාව ලැබේ. නිෂ්ක්‍රීය රාජ්‍ය ආයතන වසාදැමීම හා සමකාර්ය ආයතන එකතු කිරීම ගැන මීට පෙර දෙවන පරිච්ඡේදයේ සඳහන් කර ඇත.  ශුන්‍ය පාදක අය-වැය ක්‍රමයේ පියවර අනුගමනය කරන විට ප්‍රයෝජනයට නොගන්නා වත්කම් තිබේනම් ඒ බව ඉක්මනින් දැන ගන්නට ලැබේ.  එවිට ඒවා වෙනත් ආයතනයකට මාරු කිරීමට හෝ බැහැර කිරීමට පියවර ගත හැකිය. සෑම විටම ආයතනයේ දැක්ම හා විෂයපථයට එකඟවන වැඩසටහන් සකස් කිරීම ආයතන බලධාරීන්ගේ වගකීම වේ.

 

අය-වැය සම්පාදනයේදී “විමධ්‍යගත” කටයුතු යන නමින් මුදල් වෙන් නොකර හඳුනාගත් අවශ්‍යතා සඳහා පමණක් මුදල් වෙන් කළ යුතුය. පළාත් සභා සහ ප්‍රාදේශීය සභා නොතිබුන 1970 දශකයේදී හඳුන්වා දෙනු ලැබූ විමධ්‍යගත අය වැය ප්‍රතිපාදන ක්‍රමය, ප්‍රාදේශීය උවමනාකම් හා ගැටළු ආමන්ත්‍රණය කිරීමට ගත් පලදායී උත්සාහයකි. පළාත් සභා සහ  ප්‍රාදේශීය සභා ක්‍රියාත්මක වන වර්තමානයේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මාර්ගයෙන් විමධ්‍යගත අයවැය ක්‍රමය තවදුරටත් පවත්වාගෙන යාම අවශ්‍යද යන්න ප්‍රශ්නකාරීය. නියාමනයක් හා විධිමත් කළමනාකරණයක් සහිතව පළාත්පාලන ආයතන වඩාත් සක්‍රිය කිරීම මගින් ප්‍රාදේශීය අවශ්‍යතා සාර්ථකව ඉටු කළ හැකිව තිබියදී මධ්‍යම රජය හා මන්ත්‍රීවරු ඒවාට මැදිහත්විය යුතුද?

 

3. උපචිත ගිණුම් තැබීම   

 

රාජ්‍ය හෝ පෞද්ගලික ඕනෑම ආයතනයක මූල්‍ය තත්ත්වය පිළිබඳ සම්පූර්ණවූත් නිවැරදිවූත් පින්තූරයක් ලබා ගැනීම සඳහා උපචිත ක්‍රමයට ගිණුම් තබාගත යුතුය.  එයින් අදහස් කරන්නේ යම් වියදමක් සඳහා ගෙවීමක් කළා හෝ වේවා නොකළා හෝ වේවා, එම වියදම ඇතිවූ දිනම ගිණුම් ගත කළයුතු බවයි.  ඒ වනවිටත් මුදල් ගෙවීමක් කර නැති  අවස්ථාවක, එවැනි වියදමක් ගිණුම්ගත කළ යුත්තේ වියදමට සම්බන්ධ භාණ්ඩ හා සේවා සැපයූ ආයතනයේ හෝ පුද්ගලයාගේ නමට බැඳීමක්/වගකීමක් ඇතිවූ බව සටහන් කරමිනි. එම බැඳීම/වගකීම ආයතනයේ ශේෂ පත්‍රයෙහි පිළිබිඹු වේ.  

 

එලෙසම, යම් ආදායමක් මුදලින් ලැබුණා හෝ වේවා නොලැබුණා හෝ වේවා, එම ආදායම ඉපයූ අවස්ථාවේදීම ගිණුම්ගත කළ යුතුය.  මුදල් ලැබීමක් ඒ වනවිටත්  නොසිදු වූ අවස්ථාවක, එවැනි ආදායමක් ගිණුම්ගත කළ යුත්තේ, එම ආදායමට සම්බන්ධ භාණ්ඩ හෝ සේවා පරිභෝජනය කළ පාර්ශ්වයෙන් ලැබිය යුතු මුදලක්  ලෙසටය. එම පාර්ශ්වය ණයගැතියකු හෙවත් වත්කමක් ලෙසට ශේෂ පත්‍රයේ සඳහන් වේ.  උපචිත ගිණුම් තැබීමේ ක්‍රමය යටතේ ආයතනයක වගකීම් හා වත්කම් දැක්වෙන ශේෂ පත්‍රයක් සකස් කෙරෙන්නේ එපරිද්දෙනි. වර්ෂයක් තුළ මිලදී ගත් ඒවා පමණක් නොව පසුගිය කාලය මුළුල්ලේ එකතුවී ඇති ස්ථාවර වත්කම් ගිණුම් ගතකර පොදු දේපළ ලේඛනය සමග ගැළපිය යුතුය.  

 

දැනට රාජ්‍ය අංශයේ ගිණුම් තැබීම මුදල් ලැබීම් හා ගෙවීම් සටහන් කිරීමට සීමාවී තිබේ (මුදල් පදනම).  මේ හේතුව නිසා නොගෙවූ නමුත් ගෙවීමට බැඳී ඇති වගකීම් ගිණුම් වාර්තාවලින් මග හැරී යයි.  එම වගකීම ඉදිරි වර්ෂයේදී  පියවන විට එය එම  වර්ෂයේ දරන ලද වියදමක් සහ කරන ලද කාර්යයක් ලෙස සටහන් වේ.  උපචිත ක්‍රමයට ගිණුම් තැබීමත් සමගම ප්‍රගතිය මැනීමට යොදා ගන්නා අසාර්ථක හා නොමග යවන සුළු මිනුමක් වූ “වැයකර ඇති මුදල් ප්‍රමාණය” ගණන් බැලීම වෙනුවට අර්ථවත් මිනුමක් ලෙස “කරන ලද වැඩ ප්‍රමාණය” යොදා ගැනීමට හැකිය.  ඒ සඳහා ගතයුතුව තිබෙන අනෙකුත් පියවර කාර්යසාධනය යටතේ දක්වා ඇත. ගෙවීම් පමණක් ගිණුම්ගත කරන “මුදල් පදනමේ” සිට වත්කම් හා වගකීමද, ආදායම් හා වියදම්ද ගිණුම්ගත කරන අංගසම්පුර්ණ ගිණුම් ක්‍රමයකට (උපචිත ක්‍රමයට)  රාජ්‍ය ගිණුම් ක්‍රමය නොපමාව පරිවර්තනය කළ යුතුය. සංකීර්ණ කාර්යයක් බැවින් පරිවර්තනය කළ යුත්තේ අදියරෙන් අදියරය.

 

4. කළමණාකාරිත්ව ගණකාධිකරණය (Management Accounting)

 

ව්‍යවස්ථාපිත අවශ්‍යතාවක් නොවන, ස්වේච්ඡා තෝරා ගැනීමක් පමණක් වන කළමනාකාරිත්ව ගණකාධිකරණයට රාජ්‍ය අංශයේ කිසිම තැනක් ලබා දී නැත. දෙපාර්තමේන්තුවකින් හෝ වෙනත් රාජ්‍ය ආයතනයකින් ඉටු කරන නොයෙකුත් කාර්යයන් සඳහා දරන පිරිවැය ගණන් බලාගත හැකිවන කළමනාකාරිත්ව ගණකාධිකරණ ක්‍රම ස්ථාපිත කළ යුතුය.  උදාහරණ ලෙස, රෝහල් ඇඳක එක් දින පිරිවැය, මගී කිලෝමීටරයක පිරිවැය, පාසල් ශිෂ්‍ය දිනක පිරිවැය දැක්විය හැකිය.  මෙලෙස පිරිවැය ගණන් බැලීම මගින් යථා තත්ත්වය දැන ගැනීමක් හා ආයතන එකිනෙක අතර සැසඳීමක් (උදා: රෝහල් දෙකක් අතර) කළ හැකිය, පිරිවැය-ප්‍රතිලාභ (cost – benefit) තුලනය කර ගැනීමේ ක්‍රමවේද සොයා ගැනීමටත්, අකාර්යක්‍ෂම වැඩ සටහන් සහ ආයතන හඳුනාගෙන පිළියම් යෙදීමටත් හැකි වෙයි. අද ඇත්තේ අවාසනාවන්ත තත්ත්වයකි.  ඉහළ සිට පහළට කිසිවෙකු තමන්ගේ පිරිවැය නොදනිති.  නැතහොත් නොසලකා හරිති.  වර්ෂයෙන් වර්ෂය අලාභ ලබති.

 

සේවා සැපයීම අරටුව කරගත් රාජ්‍ය අංශයට, පිරිවැය ගණන් බැලීම සඳහා වඩාත් යෝග්‍ය ව න්නේ කාර්ය පාදක පිරිවැය (Activity Based Costing) ක්‍රමයයි.

 

කාර්ය පාදක පිරිවැය ක්‍රමයට අවතීර්ණ වීම තුළම සංවිධානය තුළ ප්‍රතිසංවිධානයක් ඇති වේ. මක්නිසාද? එහිදී ආයතනයක අභ්‍යන්තරය දෙසට විමසිලිමත් බැල්මක් හෙළන බැවිනි.  ආයතනයට තමන්ව දැක බලාගන්නට සලස්වන බැවිනි. ආයතනයක් තුළ බොහෝ කාර්යයන් සිදුවේ. උදාහරණයක් ලෙස, රෝහලක බාහිර රෝගීන්ගේ  අංශයට රෝගියකු පැමිණ පිටවී යනතෙක් ඉටු කෙරෙන කාර්යයන් දැක්විය හැකිය. (රෝගියා ලියාපදිංචි කිරීම, අසුන් ගන්වා තැබීම, වෛද්‍ය උපදේශනය, හදිසි ප්‍රතිකාර, ඖෂධ නිකුත් කිරීම, නේවාසික ප්‍රතිකාර අවශ්‍ය වන්නේ නම් වාට්ටුවකට යොමු කිරීම). සෑම ක්‍රියාකාරමටම පිරිවැයක් ඇත. පිරිවැය කළමනාකරණය පටන් ගතයුත්තේ ක්‍රියාකාරකම් කළමනාකරණය කිරීමෙනි. කාර්යයන් (ක්‍රියාකාරකම්) ලැයිස්තුගත කිරීමත්, භාණ්ඩ හෝ සේවා  සැපයීමට ඒවා දායක වන ආකාරය අධ්‍යයනය කිරීමත්, පලදායි නොවන අනවශ්‍ය කාර්යයන් අත්හිටුවීමත්, හැම පලදායි කාර්යයකම පිරිවැය ගණන් බලා භාණ්ඩ හෝ සේවා ඒකකයක පිරිවැය  ගණන් බැලීමත් කළ යුතුය. එමගින් ආයතන තුළත් ආයතන එකිනෙක අතරත් සංසන්දනය කිරීමට මිනුම් දණ්ඩක් නිර්මාණය වෙයි.  එමගින් ආයතන අතර තරඟකාරිත්වයක් ඇතිකර පොදුවේ කාර්යක්ෂමතාව ඉහළ නැංවිය හැකිය. 

 

එමෙන්ම රාජ්‍ය දෙපාර්තමේන්තු හා ආයතන මගින් වෙළඳපොළ වටිනාකම නොවන වටිනාකම්වලට කටයුතු කරන අවස්ථා තිබේ.  සහන මිල ගණන්වලට පොහොර හා බීජ වර්ග සැපයීම, අඩු මිල ගණන් වලට දුම්රිය හා බස්රිය වාර ප්‍රවේශ පත්‍ර ලබාදීම උදාහරණයන්ය.  වෙළඳපොළ මිල ගණන්වලට අනුව ගණන් බැලූ පිරිවැයත් සහන මිලට අනුව ගණන් බැලූ පිරිවැයත් අතර වෙනස සුභසාධනයේ පිරිවැයයි.  ආයතන ලාභදායි ලෙස පවත්වාගෙන යන්නේදැයි බැලිය යුත්තේ සුභ සාධනයේ පිරිවැය සඳහා සුදුසු ගැළපීමක් කිරීමෙන් පසුවය. බොහෝ දෙනෙකු උඩින් පල්ලෙන් කරන විග්‍රහයන්ට තේරුමක් දීමටත් රාජ්‍ය යාන්ත්‍රණය කාර්යක්‍ෂම කිරීමටත් කළමනාකරණ ගණකාධිකරණය මහත් පිටුබලයක් සපයයි. කළමනාකාරීත්ව ගණකාධිකරණ ක්‍රමය රාජ්‍ය අංශයේ ස්ථාපිත කිරීම සඳහා කෙටි හා මාධ්‍ය කාලීන කාලරාමුවක් සකස් කළ යුතුය.

 

 

@මතු සම්බන්ධයි.

(මීලඟට, 06. රාජ්‍ය සේවකයා හා පුනර්ජීවනය )

ප්‍රකාශනය -

අර්ථ ගවේෂකයෝ, අංක 94-1/8, යෝර්ක් වීදිය, කොළඹ 01.

දුරකථනය - 070 629 2375

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

 

නවතම ලිපි