SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

මෘතදේහය මුදාහැරීමේ නෛතික ගැටුම සහ 'සාපරාධී වංචා' නඩුවේ යථාර්ථය

 

 

කොළඹ ආසිරි සෙන්ට්‍රල් (Asiri Central) රෝහලේදී ප්‍රතිකාර ලබමින් සිටියදී

අභිරහස් ලෙස ජීවිතක්ෂයට පත් වූ සුනේත්‍රා නමැත්තියගේ මරණය සහ ඉන් අනතුරුව ඇගේ දියණියට එරෙහිව රෝහල විසින් ගොනු කර ඇති 'සාපරාධී වංචා' නඩුව මේ වනවිට නෛතික හා සදාචාරාත්මක සංවාදයක් මතුකර තිබේ.

 

 

මෙහිදී ප්‍රධාන වශයෙන් ගැටෙන්නේ ආසිරි රෝහල විසින් නිකුත් කළ මාධ්‍ය නිවේදනය සහ මාලිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය ලබාදුන් නියෝගයයි. 2026 ඔක්තෝබර් 16 දිනැති රෝහල් නිවේදනයේ දැක්වෙන්නේ බිල්පත් නොගෙවා තිබුණද දේහය පවුලේ අයට නිදහස් කිරීමේ කිසිදු ප්‍රමාදයක් සිදුනොකළ බවයි.

 

 

 

එහෙත් 2026 ඔක්තෝබර් 13 දිනැති මාලිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණයේ අංක 49085/01/26 දරන ලියවිල්ලට අනුව, මෘතදේහය දියණියට භාරදීමට සහ බොරැල්ල කනත්තේ අදාළ භූමදානය කිරීමට සෘජු නියෝගයක් ලබා දී ඇත්තේ වැඩබලන මහෙස්ත්‍රාත්වරයා විසිනි. අනාගතයේදී අවශ්‍ය වුවහොත් දේහය ගොඩගෙන පරීක්ෂා කිරීමට හැකිවන පරිදි මෙම නියෝගය නිකුත් කර තිබීමෙන්, මරණය සම්බන්ධයෙන් පවතින සැකය සහ දේහය මුදාහැරීමට අධිකරණ මැදිහත්වීමක් අනිවාර්ය වූ බව පැහැදිලි වේ.

 

 Asiri_murder_body.jpeg

 

මෙම අපරාධ විමර්ශනය අධිකරණයේ විභාග වෙමින් පවතින පසුබිමක, රෝහල් පාලනාධිකාරිය විසින් දියණියට එරෙහිව 'සාපරාධී වංචා' නඩුවක් ගොනු කිරීම නෛතිකව දැඩි විමසුමට ලක්විය යුත්තකි. රුපියල් කෝටි 2.24ක බිලකින් කෝටි 1.18ක් දැනටමත් ගෙවා ඇති තත්ත්වයක් තුළ, ඉතිරි මුදල නොගෙවීම සාමාන්‍ය නීතිය යටතේ ගැනෙන්නේ 'සිවිල් ආරවුලක්' (Civil Debt) ලෙසිනි.

 

 

 

 

සිවිල් ණයගැතිකමක්, සාපරාධී වංචාවක් ලෙස අර්ථ දක්වා අපරාධ නීතිය යටතේ පුද්ගලයෙකු සිරගත කිරීමට නඩු පැවරීම තුළින් නෛතික ක්‍රියාවලිය අවභාවිත කිරීමක් සිදුවන්නේද යන සාධාරණ සැකය මෙහිදී පැනනඟී. විශේෂයෙන්ම විශාල මුදලක් ගෙවා ඇති පාරිභෝගිකයෙකුට, වංචා කිරීමේ මූලික සාපරාධී චේතනාවක් මුල සිටම පැවතියේ යැයි නීතිය ඉදිරියේ ඔප්පු කිරීම අතිශය දුෂ්කරය.

 

 

 WhatsApp_Image_2026-10-30_at_09.37.jpeg

අනෙක් අතට, රෝහලට එරෙහිව පවතින සැකකටයුතු මරණය පිළිබඳ නඩුවේ ප්‍රධාන පැමිණිලිකාරිය සහ සාක්ෂිකාරිය වන්නේද මෙම දියණියයි. එබැවින්, ඇයට එරෙහිව මෙලෙස වෙනත් නඩුවක් ගොනු කර ඇයව රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කටයුතු කිරීම, ප්‍රධාන සාක්ෂිකාරියක් බියගැන්වීමේ උපක්‍රමයක් ද යන්න මාධ්‍ය හා නීති ක්ෂේත්‍රයේ විමර්ශනයට ලක්විය යුතු කරුණකි.

 

 

 

සෞඛ්‍ය සේවා ආයතනයකට සිය අයවිය යුතු හිඟ මුදල් ලබාගැනීමට පූර්ණ නීතිමය අයිතියක් පැවතියද, එය ක්‍රියාත්මක කළ යුත්තේ පවතින සිවිල් නීති රාමුව තුළය. එසේ නොමැතිව තමන්ට එරෙහිව පවතින අපරාධ විමර්ශනයක සාක්ෂිකරුවන් මර්දනය කිරීමට අපරාධ යුක්ති ක්‍රියාවලිය ආයුධයක් කරගැනීම, සමස්ත පාරිභෝගික හා රෝගී අයිතිවාසිකම්වලට එල්ල කෙරෙන දැඩි බලපෑමක් ලෙස පෙන්වා දිය හැක. මේ පිළිබඳ නීතියේ අවසන් තීරණය ඉදිරියේදී අධිකරණය හරහා නිශ්චය වනු ඇත.

 

 

 

# නිරෝමි සුබ්‍රමනියම්

නවතම ලිපි