SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

 

සමාජ මාධ්‍ය තුළ කතාබහට ලක්ව ඇති LOLC Mauritius Holdings Limited සමාගමේ

අධ්‍යක්ෂ මණ්ඩල පත්‍රිකාව සම්බන්ධයෙන් 'ශ්‍රී ලංකා මිරර්' වෙබ් අඩවිය විසින් පළකර ඇති පුවත දේශීය මූල්‍ය ක්ෂේත්‍රය තුළ බරපතල සංවාදයක් නිර්මාණය කරන්නකි. අදාළ ලිපියට අනුව, තමන් සතු ඩොලර් ස්ථිර තැන්පතු 100% ක ඇපයක් ලෙස තබමින් මහජන බැංකුවෙන් රුපියල් බිලියන 20ක කෙටිකාලීන ණය පහසුකමක් ලබාගැනීමට LOLC Mauritius සමාගම අනුමැතිය ලබාගෙන ඇති බවක් එමගින් පෙන්වා දී ඇත.

 

 

 

මෙහිදී අපගේ අවධානයට ලක්විය යුතු වැදගත්ම කාරණය වන්නේ 'ශ්‍රී ලංකා මිරර්' වෙබ් අඩවිය මේ සම්බන්ධයෙන් මහජන බැංකුවේ සභාපති චන්දන ගුණියන්ගොඩ ගෙන් කළ විමසීම සහ ඊට ඔහු ලබා දුන් පිළිතුරයි. ඔහු එහිදී පවසා ඇත්තේ මෙවැනි ණය මුදලක් බැංකුව විසින් දැනට ලබා දී නොමැති බවයි. මහජන බැංකුවේ නව සභාපතිවරයා ලෙස ඔහු පත්වන්නේ අගෝස්තු 10 වැනිදා වන අතර, ඉන් දින කිහිපයකට පසුව මෙම යෝජනාව සමාගම විසින් සම්මත කරගෙන තිබේ. කෙසේ වුවත් සභාපතිවරයාගේ මෙම "දැනට" යන අවධාරණය කිරීම හරහා අනාගතයේදී හෝ මෙවැනි ගනුදෙනුවක් සිදුවීමේ ඉඩකඩක් පවතිනු ඇත.

 

 

මෙම තත්ත්වය හමුවේ, අප කිසිදු ස්ථිර නිගමනයකට නොඑළඹුණද, රාජ්‍ය මූල්‍ය කළමනාකරණය, ආයතනික වත්කම්, මහ බැංකු නියාමනය සහ ආර්ථික විද්‍යාත්මක අර්ථයෙන් මතුකළ යුතු ප්‍රශ්න කිහිපයක් පවතී.

 

 

බිලියන 20ක් ණයට ගැනීමට තරම් LOLC Mauritius සමාගමට වත්කමක් තිබේද?

ඕනෑම ආයතනයකට ණය ලබාගැනීමේ හැකියාව තීරණය වන්නේ එම ආයතනයේ මුළු වත්කම් සහ මූල්‍ය ස්ථාවරත්වය මතය. ඒ අනුව මෙහිදී LOLC සමූහ ව්‍යාපාරය සතු ප්‍රාග්ධනය මත මුවාවෙමින් LOLC Mauritius සමාගම තම වත්කම් ඇගයීමට ලක්කරනවාද?

 

 

ඇපයට තබන්නේ මොරිෂස්වල ස්ථිර තැන්පතුවක් පමණක්ද?

සමාජ මාධ්‍යයේ සංසරණය වන ලේඛනයට අනුව, මෙම රුපියල් බිලියන 20ක ණය මුදල සඳහා 100% ක ආවරණයක් ලෙස ඇපයට තැබීමට යෝජනා කර ඇත්තේ LOLC Mauritius Holdings Limited සමාගම සතු ඇමෙරිකානු ඩොලර් ස්ථිර තැන්පතු පමණි. දේශීය රාජ්‍ය බැංකුවකින් රුපියල් වලින් ලබාගන්නා ණයකට විදේශයක (මොරිෂස් වැනි Off-shore කේන්ද්‍රස්ථානයක) පවතින ඩොලර් තැන්පතුවක් ඇපයට තැබීම ප්‍රායෝගිකද යන්න විමසිය යුතුය. යම් හෙයකින් සමාගම ණය පැහැර හැරියහොත්, එම විදේශ තැන්පතු දේශීය රාජ්‍ය බැංකුවට නෛතිකව පවරා ගැනීම කොතරම් දුරට පහසුද? මෙය හුදු ණය ගනුදෙනුවකට වඩා විනිමය අනුපාත වෙනස්වීම් මත ලාභ ඉපයීමේ  උපායමාර්ගයක් විය නොහැකිද?

 

 

රාජ්‍ය බැංකුවකට එක් සමාගමකට මෙතරම් මුදලක් ණයට දිය හැකිද?

ශ්‍රී ලංකාවේ රාජ්‍ය බැංකුවකට එක් වාණිජ සමාගමක් වෙත රුපියල් බිලියන 20ක් වැනි දැවැන්ත ණය මුදලක් නිකුත් කිරීමට නෛතික ඉඩක් පවතීද? 2024 අංක 01 දරන බැංකු පනතේ විධානයන්ට අනුව (Banking Act Direction No. 1 of 2024 on Large Exposures of Licensed Banks), තනි ණයගැතියෙකුට හෝ සම්බන්ධිත ණයගැති සමූහයකට ලබා දිය හැකි උපරිම ණය සීමාව අදාළ බැංකුවේ පළමු පෙළ ප්‍රාග්ධනයෙන් 25% කට සීමා කර ඇත. මේ අනුව, මහජන බැංකුවේ ප්‍රාග්ධන අවශ්‍යතාවන් මත මෙම රුපියල් බිලියන 20ක ණය ඉල්ලීම නියාමන සීමාවන් ඉක්මවා යන්නේද යන්න බැංකු බලධාරීන් විසින්ම පැහැදිලි කළ යුතුව ඇත.

 

 

මෙය මොරිෂස්වල (Mauritius) බැංකු නොමඟ යැවීමේ උත්සාහයක්ද?

මහජන බැංකුව පවසන පරිදි මෙවැනි ගනුදෙනුවක් සැබැවින්ම සිදුවී නොමැති නම්, LOLC වැනි සමාගමක් මෙවැනි නිල අධ්‍යක්ෂ මණ්ඩල පත්‍රිකාවක් සම්මත කරගත්තේ ඇයි? මෙය මොරිෂස්වල පවතින බැංකු හෝ නියාමන අධිකාරීන් රවටමින්, ශ්‍රී ලංකාවේ ප්‍රධාන රාජ්‍ය බැංකුවක පූර්ණ මූල්‍ය දායකත්වය සහ ආවරණයක් තමන්ට පවතින බව පෙන්වීමට කළ සූක්ෂම උත්සාහයක් විය හැකිද?

 

 

මෙය ආයතනික අභ්‍යන්තර සැලසුමක්ද?

අතිශය රහසිගත විය යුතු මෙවැනි අධ්‍යක්ෂ මණ්ඩල යෝජනාවක් සමාජ මාධ්‍ය වෙත කාන්දු වූයේ කෙසේද? මෙය කිසියම් බාහිර පාර්ශවයක් කළ දෙයකට වඩා, කිසියම් නිශ්චිත අරමුණක් වෙනුවෙන් සමාගම අභ්‍යන්තරයෙන්ම සැලසුම් සහගතව සිදුකළ පිටකිරීමක් විය නොහැකිද?

 

 

අප්‍රිකානු වෙළඳපොළ ඉලක්ක කරගත් මානසික මෙහෙයුමක්ද?

එසේ සැලසුම් සහගතව පිටකළේ නම්, එහි අරමුණ කුමක් විය හැකිද?

'ශ්‍රී ලංකා මිරර්' වාර්තාවට අනුවද, LOLC Mauritius සමාගම මේ වන විට සැම්බියාව, ටැන්සානියාව, මලාවි වැනි අප්‍රිකානු රටවල් ගණනාවක දැවැන්ත මූල්‍ය ව්‍යාප්තියක් සිදු කරමින් පවතී. ශ්‍රී ලංකාවේ ප්‍රධානතම රාජ්‍ය බැංකුවකින් රුපියල් බිලියන 20ක ණය පහසුකමක් ඇසිපිය හෙළන සැණින් ලබාගැනීමට තරම් තමන්ට මූල්‍යමය ශක්තියක් සහ රාජ්‍ය අනුග්‍රහයක් පවතින බව පෙන්වමින්, එම අප්‍රිකානු රටවල ආයෝජකයින් සහ රාජ්‍ය තාන්ත්‍රිකයින් මානසිකව මෙහෙයවීමට කළ ප්‍රයෝගයක් ලෙස මෙය සැක කළ නොහැකිද?

 

 

LOLC Mauritius සමාගම විදේශ රටක පිහිටි ඩොලර් ස්ථිර තැන්පතුවක් පමණක් පදනම් කරගනිමින් මෙරට රාජ්‍ය බැංකුවකින් රුපියල් බිලියන 20ක දැවැන්ත මුදලක් ලබාගැනීමට දරන උත්සාහය හුදු ව්‍යාපාරික අවශ්‍යතාවකට වඩා සංකීර්ණ මූල්‍ය උපායමාර්ගයක් විය හැකිය. 'ශ්‍රී ලංකා මිරර්' සිය වාර්තාකරණය හරහා මතු කර ඇති මෙම පරස්පරතා සුළුකොට තැකිය නොහැක. රාජ්‍ය බැංකුවක මූල්‍ය වත්කම් යනු අන් කිසිවක් නොව මෙරට සාමාන්‍ය ජනතාවගේ මුදල් වන බැවින්, මෙම අභිරහස් ලේඛනය, මහ බැංකුවේ ණය සීමා නියාමනයන් සහ ඊට පසුබිම් වූ සැබෑ ආර්ථික න්‍යායපත්‍රය කුමක්ද යන්න පිළිබඳව විවෘතව ප්‍රශ්න කිරීම මාධ්‍යයේ වගකීමකි.

 

 

#නිරෝමි සුබ්‍රමනියම්

නවතම ලිපි