සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන විවිධ කටකතා හේතුවෙන් කලබලයට පත් වී
අනවශ්‍ය ලෙස ඉන්ධන මිලදී ගෙන රැස්කිරීමෙන් වළකින ලෙස බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතා ජනතාවගෙන් දැඩිව ඉල්ලා සිටියි. රට තුළ කිසිදු ඉන්ධන හිඟයක් ඇතිවීමේ අවදානමක් නොමැති බවට ඔහු ජනතාවට සහතික වෙයි.
අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ මෙලෙස කෘත්‍රිම බියක් ඇතිකර ගනිමින් ජනතාව අධික ලෙස ඉන්ධන මිලදී ගැනීමට පෙළඹීම මගින්, වෙළෙඳපොළේ දැනට පවතින සුළු සැපයුම් බාධාවන් තවදුරටත් උත්සන්න විය හැකි බවයි. එබැවින් තමන්ට අවශ්‍ය ප්‍රමාණයට පමණක් ඉන්ධන මිලදී ගන්නා ලෙසත්, ඛනිජ තෙල් නීතිගත සංස්ථාව (CPC) අඛණ්ඩ සැපයුමක් පවත්වා ගෙන යාමට සහ ඉන්ධන හිඟයක් ඇතිවීම වැළැක්වීමට පූර්ණ සූදානමින් සිටින බවත් හෙතෙම අවධාරණය කළේය.
සතියේ මුල් භාගයේදී ඉන්ධන සැපයුමේ යම් සුළු අඩාල වීමක් සිදුවූ බව අමාත්‍යවරයා මෙහිදී විවෘතව පිළිගත්තේය. කෙසේ වෙතත්, මේ වන විට තත්ත්වය යථා තත්ත්වයට පත්වෙමින් පවතින බවත්, සමාගම් කිහිපයක් යළිත් සිය බෙදාහැරීමේ කටයුතු ආරම්භ කර ඇති බවත් ඔහු පැවසීය. මෙය රජය සත්‍ය තත්ත්වය වසන් නොකර ජනතාවට කරුණු පැහැදිලි කිරීමක් ලෙස දැකිය හැක.
පෞද්ගලික ඉන්ධන සමාගම්වලට සිය මෙහෙයුම් සිදු කිරීමට සහ ඔවුන්ගේ මිල ගණන් තීරණය කිරීමට නිදහස ඇති පසුබිමක, පාරිභෝගිකයා ආරක්ෂා කිරීමේ අරමුණින් සාධාරණ සහ දැරිය හැකි මිලකට ඉන්ධන සැපයීමට ඛනිජ තෙල් සංස්ථාව බැඳී සිටින බව අමාත්‍යවරයාගේ අදහසයි. මෙය තරගකාරී වෙළෙඳපොළක් තුළ රාජ්‍ය ආයතනයක් මැදිහත්කරුවෙකු ලෙස කටයුතු කරන ආකාරය පිළිබඳ කදිම නිදසුනකි.
කොළඹ පැවති බහාලුම් ප්‍රවාහන හිමිකරුවන්ගේ සංගමයේ 37 වැනි වාර්ෂික මහා සභා රැස්වීමට ප්‍රධාන අමුත්තා ලෙස එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. ආයෝජකයින්ට සහ ව්‍යාපාරිකයින්ට නිදහස්, සාධාරණ සහ සහයෝගය දක්වන පරිසරයක් නිර්මාණය කිරීමට වත්මන් රජය කැපවී සිටින බව ඔහු එහිදී අවධාරණය කළේය.
අධ්‍යාපනය, සෞඛ්‍යය සහ සමාජ සුබසාධනය වැනි අත්‍යවශ්‍ය මහජන සේවාවන් පවත්වාගෙන යාමට අවශ්‍ය අරමුදල් භාණ්ඩාගාරයට සපයා දීමේදී, ව්‍යාපාරික සහ ප්‍රවාහන ක්ෂේත්‍රය ජාතික ආර්ථිකයට දක්වන සුවිශේෂී දායකත්වය ද අමාත්‍යවරයාගේ ඇගයීමට ලක්විය.
මෙහිදී ඉන්ධන ප්‍රවාහන ක්ෂේත්‍රයේ නියෝජිතයින් අමාත්‍යවරයාගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් පළ කළ අදහසක් වූයේ, අතීතයේදී අමාත්‍යවරුන් හමුවීමට සහ ගැටලු විසඳා ගැනීමට වෘත්තීය සමිති ක්‍රියාමාර්ග හා වැඩවර්ජනවලට යාමට තමන්ට සිදුවූ බවත් වත්මන් පරිපාලනය යටතේ සෘජු දුරකථන ඇමතුමකින් පවා අමාත්‍යවරයා සම්බන්ධ කරගනිමින් කර්මාන්තයේ ගැටලු කඩිනමින් විසඳා ගැනීමට හැකි වී ඇති බව බවයි.
කෙසේ වුවද පෞද්ගලික ඉන්ධන සමාගම්වලට සිය මෙහෙයුම් සිදු කිරීමට සහ ඔවුන්ගේ මිල ගණන් තීරණය කිරීමට නිදහස ඇති පසුබිමක පාරිභෝගිකයා ආරක්ෂා වන්නේ කෙසේද යන්න පිළිබඳව අමාත්‍යවරයා විසින් හෙළිකළ යුතුව ඇත.

