ප්‍රමිතියෙන් තොර හියුමන් ඉමියුනෝග්ලොබියුලීන් සහ රිටොක්සිමැබ් ඖෂධ මිලදී ගැනීමේ
සිද්ධියට අදාළව හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු විත්තිකරුවන් 12 දෙනෙකුට එරෙහිව කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණයේ විභාග වන නඩුව මේ වන විට තීරණාත්මක හැරවුමකට ලක්ව තිබේ. ප්‍රියන්ත ලියනගේ (සභාපති), විරාජ් වීරසූරිය සහ තිලකරත්න බණ්ඩාර යන විනිසුරු මඩුල්ල හමුවේ විභාග වන මෙම නඩුවේදී, පැමිණිල්ලේ 339 වන සාක්ෂිකරු වන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) පොලිස් පරීක්ෂක එරංග ප්‍රභාෂ් ලක්සිරි වෙත විත්තියේ නීතිඥවරුන් යොමු කළ හරස් ප්‍රශ්න හමුවේ, වසර දෙකහමාරක් පුරා සිදු කළ විමර්ශනයේ පවතින බරපතළ අඩුපාඩු සහ අසම්පූර්ණ ස්වභාවය මනාව නිරාවරණය විය.
ව්‍යාජ අත්සන් හෝ කූට ලේඛන නෑ විමර්ශනයේදී කිසිදු විත්තිකරුවකු කූට ලේඛන සකසා හෝ ව්‍යාජ අත්සන් යොදා නොමැති බව විත්තිය අධිකරණය හමුවේ තහවුරු කළේය. 6 වන චූදිත වෙනුවෙන් පෙනී සිටි නීතිඥ නුවන් ජයවර්ධන නැගූ ප්‍රශ්න කිරීම් හමුවේ සාක්ෂිකරු සෘජුවම පිළිගත්තේ, කුමන හෝ නිලධාරියකු විසින් ව්‍යාජ අත්සන් යොදා කූට ලේඛන සකසා තිබූ බවට අනාවරණය නොවූ බවත්, නිලධාරීන් අත්සන් යොදා තිබූ එම ලේඛන ව්‍යාජ ඒවා නොවන බවත්ය.
තවද, 1 වන චූදිත සහ 6 වන චූදිත අතර කිසිදු පෞද්ගලික දුරකථන හෝ විද්‍යුත් තැපැල් සබඳතාවක් අනාවරණය වී නොමැති බවද දුරකථන වාර්තා පරීක්ෂාවේදී තහවුරු වී ඇති බව සාක්ෂිකරු පිළිගත්තේය. රුධිර ප්ලාස්මා ලබා ගැනීමට ලේකම්වරයා ලබා දුන් අනුමැතිය හුදු රාජකාරිමය ක්‍රියාවලියක් බව මෙහිදී තහවුරු වූ අතර, කැබිනට් සංදේශ සකස් කිරීමේදීද එය විධිමත් පරිපාලන ක්‍රියාවලියක් හරහා සිදුවී ඇති බව පැහැදිලි විය.
තෝරාගත් සාක්ෂි සහ මගහැරිය විමර්ශන පැමිණිල්ලට වාසිදායක පුද්ගලයින්ගේ පමණක් ප්‍රකාශ සටහන් කරගනිමින් විමර්ශනය 'pick and choose' (තෝරාගත්) ක්‍රමයට සිදු කර ඇති බවට විත්තිය කළ යෝජනාව සාක්ෂිකරු ප්‍රතික්ෂේප කළද, හරස් ප්‍රශ්න හමුවේ විමර්ශනයේ හිඩැස් රැසක් හෙළි විය. රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ (SPC) අධ්‍යක්ෂ මණ්ඩල සටහන් පරිශීලනය නොකිරීම, කැබිනට් සංදේශය සකස් කළ ශිරන්ති දිසානායක හෝ ගැනුම් ඇනවුම් මුද්‍රණය කළ සතිශ් කුමාර වැනි තීරණාත්මක නිලධාරීන් 'විදේශගත වී ඇති බව' පවසමින් ඔවුන්ගේ ප්‍රකාශ සටහන් කර නොගැනීම විත්තියේ දැඩි දෝෂදර්ශනයට ලක් විය.
නීතිඥ නුවන් ජයවර්ධන:
"මෙම විමර්ශනය සාධාරණව සහ නිසියාකාරයෙන් කර නොමැති බවට මා යෝජනා කරනවා. අවශ්‍ය සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශ සටහන් කර ගැනීම සිදුකර නෑ."
CID සාක්ෂිකරු:
"අවශ්‍ය පුද්ගලයන්ගේ ප්‍රකාශ පමණයි සටහන් කර ගත්තේ."
නීතිඥ නුවන් ජයවර්ධන:
"මෙහිදී ඔබ පැමිණිල්ලට වාසිදායක අයගේ ප්‍රකාශ පමණක් සටහන් කරගත් බවට යෝජනා කරනවා."
එසේම වව්චරවල නමේ වෙනසක් තිබියදීත් අදාළ මුදල් ලබාගැනීම සම්බන්ධයෙන් බැංකු නිලධාරීන්ගෙන් ප්‍රකාශ ලබා නොගැනීම සහ ලේඛනයක 'visit' යන වචනය කපා හැරීම සම්බන්ධයෙන් විමර්ශනය නොකිරීම හරහා පැමිණිල්ලේ අසම්පූර්ණ බව විත්තිය විසින් මතු කළේය.
පහළ නිලධාරීන් ක්‍රියා කළේ ඉහළින් ආ උපදෙස්වලටයි 5 වන සහ 4 වන විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ අශෝක සේරසිංහ මතු කළ කරුණු හරහා, පහළ නිලධාරීන් හුදෙක් ඉහළින් ආ උපදෙස් මත කටයුතු කර ඇති බව සනාථ විය. රිටොක්සිමැබ් ඖෂධය භාරගන්නා විට WOR සහතිකය කල් ඉකුත් වී තිබුණද, ඊට ඉහළ නිලධාරීන්ගේ පූර්ව උපදෙස් ලැබී තිබූ බව සාක්ෂිකරුම පිළිගත්තේය.
CID සාක්ෂිකරු: "ස්වාමීනි, රිටොප්සිමැබ් පිළිකා නාශක ඖෂධයක්. සෞඛ්‍ය ඇමතිගේ ප්‍රධානත්වයෙන් පැවති රැස්වීමකදී ගත් තීරණයක් අනුව මාස 6-9ක තොග පවත්වාගෙන යා යුතු බවට 7 වන චූදිත උපදෙස් ලබාදී තිබුණා."
මෙම ලේඛනය (පැය 401) පදනම් කරගෙන ඖෂධ භාරගෙන මුදල් ගෙවීම් දක්වා ගොස් තිබියදීත් ඉහළ නිලධාරීන් කිසිවෙකු ඊට විරුද්ධ වී නොමැති බවත්, 5 වන චූදිත නිසි පරිදි භාරගැනීම් සිදුකර ඇති බවත් විත්තිය අවධාරණය කළේය. එසේම Pronto පද්ධතියේ අනුමැතිය ලබාදීමෙන් පසුව පමණක් ගැනුම් ඇනවුම් මුද්‍රිත පිටපත් ලබාගෙන ඇති බවට සාක්ෂිකරු කළ ප්‍රකාශය ද විත්තිය අසත්‍යයක් බවට යෝජනා කළේය.
ප්‍රමිතිය බැලීම NMRA රාජකාරියක්
ඉංග්‍රීසි නොදැන කළ විමර්ශනය 3 වන විත්තිකාරිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ඉසුරු ජයවර්ධන සහ 7 වන විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ අරවින්දු මනතුංග ආරච්චි ඇතුළු විත්තියේ නීතිඥවරුන් පෙන්වා දුන්නේ ඖෂධවල ප්‍රමිතිය, ආරක්ෂාව සහ සඵලතාවය තහවුරු කිරීමේ නෛතික බලය ඇත්තේ ජාතික ඖෂධ නියාමන අධිකාරියට (NMRA) බවයි. COA ලේඛන පරීක්ෂා කිරීම පිළිබඳව වෛද්‍ය සැපයුම් ඒකකයේ තොග පාලක නිලධාරීන්ට සහ සහකාර අධ්‍යක්ෂවරුන්ට කිසිදු පුහුණුවක් ලබා දී නොතිබූ බවට CID නිලධාරියා හරස් ප්‍රශ්න හමුවේ පිළිගත්තේය.
මෙහිදී වඩාත් ආන්දෝලනාත්මක කරුණ වූයේ, විමර්ශන නිලධාරියාට ඉංග්‍රීසි භාෂාව පිළිබඳ මනා දැනුමක් නොමැතිව, ඉංග්‍රීසි ලේඛන පරිහරණය කරමින් මෙම විමර්ශනය සිදුකර ඇති ආකාරය නීතිඥවරුන් විසින් නිරාවරණය කිරීමයි.
නීතිඥවරිය:
"ඉංග්‍රීසි භාෂාව සම්බන්ධයෙන් ඔබට එතරම් දැනුමක් නැති බව ඔබම පිළිගන්නවා. එසේ තිබියදී ඉංග්‍රීසි භාෂාවෙන් ඇති ලේඛන පරිහරණය කරමින් මෙවැනි විමර්ශනයක් සිදු කළේ කෙසේද?"
CID සාක්ෂිකරු:
"අදාළ සාක්ෂිකරුවන්ගෙන් ඒ පිළිබඳව සාක්ෂි ලබා ගැනීමක් සිදුකළා. අවශ්‍ය අවස්ථාවලදී පැහැදිලි කර ගැනීම සිදුකළා."
නීතිඥවරිය:
"එහෙනම් ඔවුන් කියන දේද ඔබ මෙහි ඇවිත් කියන්නේ?"
CID සාක්ෂිකරු: "විමර්ශනයේදී අනාවරණය වූ දේ ප්‍රකාශ කරනවා."

අනතුරුව 9 වන විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරිය හරස් ප්‍රශ්න යොමු කරමින්, හදිසි ප්‍රසම්පාදන කටයුතුවලදී තීන්දු තීරණ ගැනීමේ හැකියාවක් 9 වන චූදිතට නොමැති බවත්, කමිටු තීරණ යනු අවසාන තීරණ නොවන බවත් සාක්ෂිකරු ලවාම තහවුරු කරගත්තාය.
නීතිඥවරිය:
"හදිසි ප්‍රසම්පාදන කටයුතු සම්බන්ධයෙන් නව වන චූදිතට තීන්දු තීරණ ගැනීමේ හැකියාවක් නොමැති බවට මා යෝජනා කරනවා."
CID සාක්ෂිකරු:
"අදාළ නිර්දේශය ඔහු විසින් ඉදිරිපත් කර තිබෙනවා. අදාළ ලේඛන සකස් කිරීමට ඔහු උපදෙස් ලබාදී ඇති බව අනාවරණය වුණා."
නීතිඥවරිය:
"HSEPC කමිටුවේ තීරණය අවසානාත්මක තීරණය බවට විමර්ශනයේදී අනාවරණයක් වුණාද?"
CID සාක්ෂිකරු:
"නැහැ, එය අවසන් තීරණය නොවන බව අනාවරණය වුණා."
සියලු කරුණු සලකා බැලීමේදී, පැමිණිල්ල විසින් ගොඩනගා ඇති දැවැන්ත අපරාධ ආඛ්‍යානය හුදු අනුමාන කිරීම්, වෙනත් පුද්ගලයින්ගේ අර්ථකථන සහ අසම්පූර්ණ විමර්ශන මත පදනම් වූවක් බවට විත්තියේ නීතිඥවරුන් මහාධිකරණය හමුවේ ප්‍රබල ලෙස ඔප්පු කරමින් සිටී.
(අධිකරණ වාර්තා මූලාශ්‍රය උපුටාගැනීම-
'ද ලීඩර්' වෙබ් අඩවියෙන්)

