SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

 

බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් සහ

භික්ෂු අයිතිවාසිකම් සුරක්ෂිත කිරීමේ අරමුණින් මහා සංඝරත්නයේ මූලිකත්වයෙන් ආරම්භ කළ "සිවුරට යුක්තිය - ජාතික අධිෂ්ඨාන පූජාව සහ නිදහසේ පාද යාත්‍රාව" මේ වන විට ශ්‍රී ලංකාවේ දේශපාලනික හා සමාජීය අවධානය දැඩිව දිනා ගනිමින් තිබේ. ඊයේ මහනුවර ශ්‍රී දළදා මාලිගාව අභියසින් ආරම්භ වූ මෙම පාද යාත්‍රාව අද (11) දෙවන දිනටත් කඩුගන්නාවේ සිට කොළඹ දෙසට ගමන් අරඹා ඇති අතර, එළඹෙන 15 වනදා එය කොළඹට ළඟා වීමට නියමිතය.

 

 

gnanasara_walk_1.jpeg

 

 

මෙම කතිකාවතේ ප්‍රබලතම හැරවුම් ලක්ෂ්‍යය වී ඇත්තේ ඥානසාර හිමියන් බන්ධනාගාරය තුළදී සිවුරු හැරවීමට ලක් කිරීමේ සිදුවීමයි. මෙය පදනම් කරගනිමින් වර්තමාන ශ්‍රී ලාංකේය සමාජය පැහැදිලි කඳවුරු දෙකකට බෙදී උණුසුම් කතිකාවතක නිරත වී සිටී. ආණ්ඩුවට හිතවාදී සහ වාමාංශික මතවාද දරන එක් පාර්ශ්වයක් මෙය අවස්ථාවක් කර ගනිමින් ඥානසාර හිමියන්ට පමණක් නොව සමස්ත භික්ෂු සමාජයටම සහ බෞද්ධාගමට එරෙහිව විවිධ සමාජ මාධ්‍ය හරහා සංවිධානාත්මක විවේචන එල්ල කරමින් සිටිති. අනෙක් පාර්ශ්වය නියෝජනය කරන ජාතිකවාදී බලවේග, සිංහල-බෞද්ධ අනන්‍යතාවය සහ භික්ෂූන් වහන්සේලාගේ ගෞරවය ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් පෙනී සිටිති.

 

 

ආණ්ඩුවට එල්ල වන ප්‍රබලතම චෝදනාව වන්නේ, රජය වාමාංශික මතවාදයන්හි එල්බගෙන බෞද්ධාගමට එරෙහිව කටයුතු කරන බවයි. විශේෂයෙන්ම මෑත කාලීනව 'බෝර්න් අගේන්' වැනි අන්‍යාගමික කණ්ඩායම් ආණ්ඩුවට ඉතා සමීප වී ඇති බවටත්, රජය ඔවුන් සමඟ එක්ව කටයුතු කරන බවටත් පළවන ප්‍රචාරයන් මෙම තත්ත්වය තවදුරටත් උණුසුම් කර තිබේ. මීට සමගාමීව, පාස්කු ප්‍රහාරයේ නඩු විභාගයන් සමඟ කතෝලික පල්ලිය සහ කාදිනල් හිමියන් කේන්ද්‍ර කරගනිමින් මතුව ඇති විවේචන ද, රට තුළ ආගමික සංස්ථා සහ දේශපාලනය අතර පවතින ගැටුම තවදුරටත් තීව්‍ර කර ඇත.

 

 

gnanasara_walk_4.jpeg

 

 

මෙම අර්බුදයේ ආගමික හා නීතිමය ගැටලුව පිළිබඳව අතිශය තීරණාත්මක මැදිහත්වීමක් සිදුකරමින්, කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ මහනායක අතිපූජ්‍ය ඉත්තෑපානේ ධම්මාලංකාර මහනාහිමියන් ප්‍රකාශ කර සිටියේ භික්ෂුවකගේ සිවුර ඉවත් කිරීමට භික්ෂූන්වහන්සේලාට මිස වෙනත් කිසිවෙකුටත් අයිතියක් හෝ හැකියාවක් නොමැති බවයි. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස උන්වහන්සේ බැහැදැකීමට පැමිණි අවස්ථාවේදී මහනාහිමියන් මේ බව අවධාරණය කළහ.

 

 

"ඓතිහාසික වශයෙන් මේ රටේ බෞද්ධ රටක්. බුද්ධාගම ආරක්ෂා කිරීම, අපගේ වගකීම යුතුකමක්. ලියුමකුත් යැව්වා. ජනාධිපතිතුමන්ටත්. අනික අපේ මේ සංඝ සභාවේ උන්වහන්සේ කෙනෙක්, දක්ෂ කථිකයෙක්, ධර්ම දේශකයෙක්. ආයෙත් ඉල්ලලා තියෙනවා දිනයක්. ජනාධිපතිවරයා හමුවෙන්න. ඒ සිවුර ගලවන්න, භික්ෂූන් වහන්සේලාටම මිසක් වෙන කාටවත් බැහැ. සිවුර ගැලෙව්වේ නැත්නම් ඉවසන්න පුළුවන්. සිවුර ගලවන්න කිසි අයිතියක් නැහැ. ලංකාවේ තුන් නිකායම සියයට අනූ නමයක්ම ඒක විරුද්ධයි. ඒ කරපු දේට. කෝට්ටේ සංඝ සභාවේ මහනායක මම. නිකන්හරි කෝට්ටේ සංඝ සභාවෙන් අහන්න ඕන මේ තීන්දුව ගන්නකොට."

 

 

gnanasara_3.jpeg

 

 

ලංකාව ඓතිහාසික වශයෙන් බෞද්ධ රටක් බවත්, බුද්ධාගම ආරක්ෂා කිරීම සැමගේ වගකීමක් බවත් පෙන්වා දුන් උන්වහන්සේ, ඥානසාර හිමියන් යනු කෝට්ටේ සංඝ සභාව නියෝජනය කරන දක්ෂ ධර්ම දේශකයෙකු බව සිහිපත් කළහ. සිවුර ගැලවීම සිදු නොකළේ නම් මෙම තත්ත්වය ඉවසා සිටීමට තිබූ බව පෙන්වා දුන් උන්වහන්සේ, මෙම ක්‍රියාවට එරෙහිව ලංකාවේ තුන් නිකායේම සියයට අනූ නවයකගේ විරෝධය පවතින බවත්, මෙවැනි තීන්දුවක් ගැනීමේදී කෝට්ටේ සංඝ සභාවෙන් ඒ පිළිබඳව විමසිය යුතුව තිබූ බවත් පැහැදිලි කළහ. මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කර ඇති අතර, යළිත් වරක් ජනාධිපතිවරයා හමුවීමට දිනයක් ද ඉල්ලා ඇති බව උන්වහන්සේ වැඩිදුරටත් ප්‍රකාශ කළහ.

 

 

මෙම පසුබිම තුළ වත්මන් රජය මුහුණ දී සිටින්නේ අතිශය සංවේදී දේශපාලනික අභියෝගයකටය. දේශපාලන හා සමාජීය විශ්ලේෂකයන් පෙන්වා දෙන පරිදි, රජය මේ මොහොතේ අතිශයින් උපායශීලීව මෙම අර්බුදය සමනය කළ යුතුව ඇත. ඥානසාර හිමියන්ගේ කතිකාවට තවදුරටත් පොහොර දමමින්, සමාජය තුළ ආගමික ගැටුම් උලුප්පා දක්වන සහ පාලනයෙන් තොරව හැසිරෙන ආණ්ඩුවට හිතවාදී අන්තවාදී අනුගාමිකයින් වහාම මෙල්ල කිරීමට රජය පියවර ගත යුතුය. හික්මීමක් නොමැති එවැනි පාර්ශවයන් නිහඬ කර, නම්‍යශීලීව මෙම ප්‍රශ්නය කළමනාකරණය කර නොගතහොත් එහි ප්‍රතිවිපාක ආණ්ඩුවට අහිතකර වනු ඇත.

 

 

gnanasara_2.jpeg

 

 

මෙම අර්බුදය උත්සන්න වීමට ඉඩ හැරීමෙන් අවසානයේදී දේශපාලනමය වශයෙන් වාසි ලබා ගන්නේ ඥානසාර හිමියන් හෝ එම පාර්ශවය නොවේ. වත්මන් දේශපාලන ප්‍රවණතා අනුව පැහැදිලි වන්නේ, මෙවැනි ජාතිකවාදී අර්බුදයක් හරහා නිර්මාණය වන සමාජ අසහනයෙන් උපරිම ප්‍රයෝජන ගනු ඇත්තේ යළිත් වරක් බලය කරා ඒමට මාන බලන 'රාජපක්ෂවාදය' බවයි. එබැවින්, නීතියේ ආධිපත්‍යය මෙන්ම බහුතර ජනතාවගේ ආගමික සංවේදීතාවන්ද මනාව තුලනය කරමින් මෙය කඩිනමින් විසඳා ගැනීම වත්මන් රජයේ පැවැත්මට තීරණාත්මක වනු ඇත.

 

 

#SamaaraParanavithana

නවතම ලිපි