රොයිටර් -
මතභේදයට තුඩු දුන් ඡන්ද දායක ලැයිස්තු සංශෝධනයකට එරෙහිව
ප්‍රධාන මැතිවරණ කොමසාරිස්වරයාගේ ඉල්ලා අස්වීම ඉල්ලා සටන් පාඨ කියමින්, විරෝධතා සඳහා ජනප්‍රිය ඓතිහාසික නිරීක්ෂණාගාරයක භූමියට මාර්ග බාධක පැන ඇතුළු වූ ඉන්දියාවේ "කැරපොත්තන්ගේ" තරුණ ව්‍යාපාරයේ ඉහළ පෙළේ නායකයින් පිරිසක් අඟහරුවාදා අත්අඩංගුවට ගෙන තිබේ.
අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ භාරතීය ජනතා පක්ෂයට (BJP) වාසි සහගත වන අයුරින් සිදුකර ඇති බවට විචාරකයින් පවසන මෙම සංශෝධනයන්ට එරෙහිව කොමසාරිස් ඥානේෂ් කුමාර්ගේ ඉල්ලා අස්වීම ඉල්ලා 'කොක්‍රෝච් ජනතා පක්ෂයේ' ආධාරකරුවන් සහ විපක්ෂ කණ්ඩායම් මේ මාසයේ බොහෝ දුරට දිනපතාම විරෝධතා පවත්වා ඇත.
කිසිදු පක්ෂයකට පක්ෂපාතී වන බව මැතිවරණ කොමිසම ප්‍රතික්ෂේප කර ඇති අතර, වැරදීමකින් ඉවත් වූ ඡන්ද දායකයින්ට යළි ලියාපදිංචි විය හැකි බව පවසා ඇත. මේ අතර, නීත්‍යානුකූල මැතිවරණ ක්‍රියාවලීන් වැරදි ලෙස ප්‍රශ්න කරමින් ප්‍රජාතන්ත්‍රවාදය දුර්වල කිරීමට ප්‍රතිවාදීන් උත්සාහ කරන බවට BJP පක්ෂය චෝදනා කර තිබේ.
CJP නායකයින් ඇතුළු දහස් ගණනක් විරෝධතාකරුවන් පොලිසිය විසින් අත්අඩංගුවට ගැනීමත් සමඟ CJP හි සතිඅන්ත විරෝධතා සැලසුම් ව්‍යර්ථ වීමෙන් පසු, සඳුදා විපක්ෂ කණ්ඩායම් විසින් සංවිධානය කරන ලද විරෝධතා පාගමනක් සඳහා දහස් ගණනක් ජනතාව එක්වූහ.
ජාතික අගනුවර මධ්‍යම ව්‍යාපාරික දිස්ත්‍රික්කයේ පිහිටි 'ජන්තර් මන්තර්' (Jantar Mantar) එළිමහන් නිරීක්ෂණාගාරය තවදුරටත් නිල විරෝධතා භූමියක් ලෙස නම් කර නොමැති බව දිල්ලි පොලිසිය සඳුදා නිවේදනය කළ අතර, නව විරෝධතා ස්ථාන තුනක් හඳුනාගෙන ඇති බව පැවසීය.
CJP පැවසුවේ සිය නායකයින් වන අශුතෝෂ් රන්කා, සෞරව් දාස් සහ අජින්ක්‍යා ශින්දේ ද එම නිරීක්ෂණාගාරය යළි "අත්පත් කර ගැනීම" සඳහා ඊට "රහසිගතව" ඇතුළු වූ ස්වේච්ඡා සේවකයන් 20 දෙනෙකු පමණ අතර සිටි බවත් ඔවුන්ව අත්අඩංගුවට ගත් බවත්ය.
ඔවුන් අත්අඩංගුවට ගැනීමෙන් පසු එහි නිර්මාතෘ අභිජිත් ඩිප්කේ එක්ස් (X) හි සටහනක් තබමින් ප්‍රකාශ කළේ "ඔබට ප්‍රතිරෝධය අවලංගු කළ නොහැකි" බවයි.
CJP හි සජීවී විකාශනයක දැක්වුණේ, ස්වේච්ඡා සේවකයන් දුසිමක් පමණ ගේට්ටුවක් සහ මාර්ග බාධක මතින් පැන අදාළ ස්ථානයට ළඟා වී ඉන්දියානු ජාතික කොඩිය වනමින් සටන් පාඨ කියන ආකාරය සහ ඉන්පසුව පොලිසිය විසින් ඔවුන්ව අත්අඩංගුවට ගන්නා ආකාරයයි.
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වීමක් සඳහා කළ ඉල්ලීමකට දිල්ලි පොලිසිය වහාම ප්‍රතිචාර දැක්වූයේ නැත.
රජයේ පාසල්වල යටිතල පහසුකම්වල සිට රැකියා දක්වා වූ ගැටලු සම්බන්ධයෙන් මෑත මාසවලදී විරෝධතා සංවිධානය කළ මෙම තරුණ ව්‍යාපාරය, මෝදිට සහ ඔහුගේ BJP පක්ෂයට ඔවුන් බලයේ සිටි වසර 12ක කාලය තුළ එල්ල වූ දැවැන්තම දේශපාලන අභියෝගයන්ගෙන් එකකි.
මෙම වසර මුලදී එහි ආධාරකරුවන් විසින් ජන්තර් මන්තර් හි සති ගණනාවක් පුරා පවත්වන ලද සත්‍යග්‍රහයක් හේතුවෙන්, විභාග ප්‍රශ්න පත්‍ර කාන්දු වීමේ සිද්ධියක් මුල් කරගෙන අධ්‍යාපන අමාත්‍ය ධර්මේන්ද්‍ර ප්‍රධාන්ට ද ඉල්ලා අස්වීමට සිදු විය.
මෙම නවතම විරෝධතා ආරම්භ වූයේ, ඡන්ද ලැයිස්තු සංශෝධන, ලියාපදිංචි කිරීමේ පටිපාටි සහ ඩිජිටල් පද්ධති පිළිබඳව කුමාර්ගේ නියෝජිතයින් දෙදෙනෙකු අභ්‍යන්තරව ගැටලු කිහිපයක් මතු කර ඇති බව පසුගිය මාසයේ 'ඉන්ඩියන් එක්ස්ප්‍රස්'පුවත්පත වාර්තා කිරීමෙන් පසුවය.
පසුගිය වසරේ ආරම්භ වූ මෙම වෙනස්කම් හරහා, ජපානයේ ජනගහනයට ද වඩා වැඩි මිලියන 130 කට අධික නම් සංඛ්‍යාවක් ඡන්ද දායක ලැයිස්තුවලින් ඉවත් කර තිබේ. මියගිය මිලියන 28 ක්, වෙනත් ස්ථානවලට ගිය මිලියන 63 ක් සහ සොයාගත නොහැකි වූ මිලියන 30 ක් ද මීට ඇතුළත් වේ.
විපක්ෂයේ පක්ෂ චෝදනා කරන්නේ මෙම නම් ඉවත් කිරීම් හරහා හින්දු ජාතිකවාදී පාලක පක්ෂයට සහාය දැක්වීමට ඉඩක් නොමැති මුස්ලිම් ඡන්ද දායකයින්ට සහ වෙනත් සුළු ජාතීන්ට අසාධාරණයක් වී ඇති බවයි කෙසේ වෙතත්, මැතිවරණ කමිටුව සහ BJP පක්ෂය එම චෝදනා ප්‍රතික්ෂේප කරයි.
මුලාශ්‍ර - dailymirror

