SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

අල්ලස් කොමිසමේ මීළඟ පියවර කුමක්ද?

 

 

රට තුළ ආන්දෝලනයක් ඇති කළ හැකි දැවැන්ත මූල්‍ය සහ දේශපාලනික වංචාවක් පිළිබඳ

තොරතුරු පළමු වරට අනාවරණය කරමින් හිටපු නියෝජ්‍ය පොලිස්පති අනිල් රවීන්ද්‍ර වෛද්‍යාලංකාර විසින් මුදල් විශුද්ධිකරණය සිදු කළ පුද්ගලයෙකුගෙන් අල්ලස් ලබාගෙන නඩුවක් යට ගැසීම සම්බන්ධයෙන් 2026.09.01 දින අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ සභාපතිවරයා වෙත ලිඛිත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

 

 

මෙම පැමිණිල්ල යොමු කර ඇත්තේ 'අල්ලස දූෂණය නාස්තියට එරෙහි පුරවැසි බලය' නැමැති සංවිධානය විසිනි.

 

 ravi_V_letter_2.jpeg

 

 

මෙම සිදුවීමේ ප්‍රධාන සැකකරු වන්නේ ඇමරිකා එක්සත් ජනපදයේදී මුදල් විශුද්ධිකරණය කිරීමේ චෝදනාවට වරදකරු වූ රියන්සි එඩ්වඩ්ස් නැමැත්තාය. ඔහු විසින් ශ්‍රී ලංකාව තුළ සමාගම් තුනක් පිහිටුවා විදේශ මුදල් හරහා ආසන්න වශයෙන් රුපියල් මිලියන 7246ක මුදලක් විශුද්ධිකරණය කර ඇත. එම මුදල් යොදවා රුපියල් මිලියන 5827ක් වටිනා ඉඩම් කොටස් 18ක් සහ වාහන 28ක් මිලදී ගෙන ඇති බවත්, මේ පිළිබඳව ඇමරිකානු FINCEN ආයතනය විසින් ශ්‍රී ලංකාවේ මූල්‍ය බුද්ධි ඒකකයට (FIU) තොරතුරු ලබා දී තිබූ බවත් අදාළ පැමිණිල්ලේ වැඩිදුරටත් සඳහන් වේ.

 

 

මෙම සිදුවීම සම්බන්ධයෙන් FCID/144/2015 යටතේ විමර්ශනයක් ආරම්භ කර, 2015 අගෝස්තු 28 දින අධිකරණ නියෝග හරහා සැකකරුවන්ගේ ගමන් බලපත්‍ර අත්හිටුවා දේපළ තහනම් කිරීමට FCID ය කටයුතු කර තිබුණි. එහෙත් 2015 ඔක්තෝබර් 22 දින නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ පුත් අසේල වෛද්‍යාලංකාර විසින් 'මැලෝස් කන්සල්ටින් (පුද්ගලික) සමාගම' ලියාපදිංචි කර ඇත. අනතුරුව 2016 පෙබරවාරි 11 වන දින කොළඹ 03, ගාලු පාරේ 'මොනාක් රෙසිඩන්සීස්' හි රුපියල් මිලියන 52ක් වටිනා සුඛෝපභෝගී මහල් නිවාසයක් කිසිදු ආදායම් මාර්ගයක් නොමැති ඔහු විසින් මිලදී ගෙන ඇත.

 

 

මෙම ගනුදෙනුවේ දූෂිත ස්වභාවය මනාව තහවුරු කරමින්, නිවාසය මිලදී ගැනීමට දින තුනකට පෙර (2016 පෙබරවාරි 8) 'සූර්යා ඉන්ටර් නැෂනල් කෝපරේෂන් (පුද්ගලික) සමාගම' නමින් සමාගමක් ලියාපදිංචි කර තිබේ. එහි අධ්‍යක්ෂවරියන් ලෙස කටයුතු කර ඇත්තේ ප්‍රධාන සැකකාර රියන්සි එඩ්වඩ්ස්ගේ බිරිඳ සහ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ බිරිඳයි. එම සමාගමේ ලියාපදිංචි ලිපිනය ලෙස භාවිතා කර ඇත්තේ ද ඉහත කී මොනාක් රෙසිඩන්සීස් හි අංක 16/A2 දරණ සුඛෝපභෝගී මහල් නිවාසයම බව තහවුරු වී ඇත.

 

 

පැමිණිල්ල මගින් හෙළිදරව් කරන්නේ මෙම දූෂිත ගනුදෙනුව මත පදනම්ව 2015 දෙසැම්බර් මාසයේදී FCID ප්‍රධානී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා විසින් ප්‍රධාන සැකකාර එඩ්වඩ්ස් සැකකරුවෙකු ලෙස නම් නොකර නඩුවෙන් මුළුමනින්ම නිදහස් කර ඇති බවයි. එහිදී ඔහුගේ සහ බිරිඳගේ ගමන් බලපත්‍ර මෙන්ම තහනම් කර තිබූ සියලු වත්කම් ද නිදහස් කිරීමට ඔහු කටයුතු කර ඇත.

 

 

රාජකාරී බලතල අවභාවිතා කරමින්, අපරාධයක් මගහැරීම සඳහා අල්ලස් ලෙස දේපළ හා මුදල් ලබාගැනීම සම්බන්ධයෙන් 2023 අංක 09 දූෂණ විරෝධී පනතට අනුව කඩිනම් පරීක්ෂණයක් අරඹන ලෙසත්, අදාළ දේපළ රාජසන්තක කර වගකිවයුතු සියලුම නිලධාරීන්ට දඬුවම් ලබාදෙන ලෙසත් 'පුරවැසි බලය' සංවිධානය අදාළ ලිපියෙන් තරයේ ඉල්ලා තිබේ.

 

 

මෙවැනි බරපතල මූල්‍ය අපරාධයක් සහ ඉහළ පෙළේ රාජ්‍ය නිලධාරියෙකුගේ සෘජු මැදිහත්වීමක් පිළිබඳව නිශ්චිත ලිඛිත සාක්ෂි සහිතව කරුණු ගොනුකර තිබියදී, මෙම පැමිණිල්ල සම්බන්ධයෙන් අල්ලස් කොමිසම ගන්නා කඩිනම් නීතිමය ක්‍රියාමාර්ගය කුමක්ද යන්න පිළිබඳව මේ වනවිට බරපතල ප්‍රශ්නයක් මතු වී තිබේ.

 

 

වත්මන් ජාතික ජන බලවේග ආණ්ඩුව විසින් පසුගිය කාලය පුරාවට මේ ආකාරයෙන් යට ගැසූ බොහෝ වංචා හා දූෂනයන් හෙළිකරමින් සිටින මොහොතේ පුරවැසි බලය සංවිධානය විසින් ඉදිරිපත් කළ මෙම හෙළිදරව්වට අල්ලස් හෝ දූෂන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් රංග දිසානායක කුමක් සිදුකරන්නේද යන්න අප විමසිල්ලෙන් බලා සිටින්නෙමු.

 

 (සෙස්ස පස්සට)

 

# නිරෝම් සුබ්‍රමනියම්

නවතම ලිපි