SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

 

පාස්කු ඉරුදින ප්‍රහාර මාලාවට අදාළ විමර්ශන සම්බන්ධයෙන් ජූනි 03 වන දින කොළඹ

කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේදී අතිශය තීරණාත්මක කරුණු රැසක් අනාවරණය විය. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) භාරයේ රඳවාගෙන ප්‍රශ්න කරන හිටපු යුද හමුදා බුද්ධි ප්‍රධානී, විශ්‍රාමික මේජර් ජෙනරාල් තුවාන් සුරේෂ් සලේ අමානුෂික වධහිංසාවලට ලක්ව ඇති බවත්, ඒ හේතුවෙන් ඔහු සියදිවි නසා ගැනීමේ දැඩි අවදානමක පසුවන බවත් අධිකරණයේදී හෙළිදරව් කෙරිණි.

 

 

මේ අතර, එදිනම උදෑසන නඩු විභාගයේදී මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශන වලට අදාළව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඇතුළු තිදෙනෙකුගේ විදෙස් ගමන් තහනම් කිරීමටද අධිකරණය නියෝග කළේය.

 

 

සුරේෂ් සලේ වෙනුවෙන් ගොනුකළ හදිසි මෝසම සහ JMO වාර්තාව

 

ජූනි 03 දින පස්වරුවේ, කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන හමුවේ සුරේෂ් සලේ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ ශාවේන්ද්‍ර ප්‍රනාන්දු විශේෂ මෝසමක් ගොනු කළේය. පසුගිය සිකුරාදා ලබා ගත් අධිකරණ වෛද්‍ය නිලධාරී (JMO) වාර්තාවේ බරපතළ නිගමන අධිකරණයට ඉදිරිපත් කළ නීතීඥවරයා, සිය සේවාදායකයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු භාරයෙන් වහාම මාරු කරන ලෙස ඉල්ලා සිටියේය.

 

 

වාර්තාවට අනුව සලේ මේ වන විට විශාදය (Depression), කාන්සාව (Anxiety) සහ පශ්චාත් කම්පන ආතති අක්‍රමිකතාව (PTSD) යන මානසික තත්ත්වයන්ගෙන් පෙළෙන බවත්, ඒ හේතුවෙන් ඔහු තුළ සියදිවි නසා ගැනීමේ දැඩි අවදානමක් පවතින බවත් ජනාධිපති නීතීඥවරයා පෙන්වා දුන්නේය. සැකකරු වහාම මානසික ප්‍රතිකාර සඳහා සුදුසු පරිසරයකට මාරු කරන ලෙස ඔහු අධිකරණයෙන් ඉල්ලා සිටියේය. තත්ත්වයේ බරපතළකම සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා, මෙය හදිසි තත්ත්වයක් ලෙස සලකා පැමිණිලිකාර පාර්ශ්වයට (CID) නොතීසි නිකුත් කළ අතර, නඩුව ජූනි 04 වන දින පස්වරු 2.00 ට යළි කැඳවීමට නියෝග කළේය.

 

 

අධිකරණ වෛද්‍ය වාර්තාවේ (JMO Report) සුවිශේෂී නිරීක්ෂණ: වාර්තාවේ පිටු අංක 20, 22, 23 සහ 24 හි පහත කරුණු නිශ්චිතව සටහන් කර ඇත:

 

  • නිර්දේශ 1, 4 සහ 5 මෙතෙක් ක්‍රියාත්මක කර නොමැති බව [20 වන පිටුව].

  • වධහිංසාවට ලක්වන පුද්ගලයින් තුළ ඇතිවන සාමාන්‍ය මනෝවිද්‍යාත්මක ප්‍රතිචාර ඔහු තුළ දක්නට ලැබෙන බව [22 වන පිටුව].

  • ශාරීරික වධහිංසා (Physical torture) පිළිබඳ සාක්ෂි [23 වන පිටුව].

  • ඉහළ සියදිවි නසා ගැනීමේ අවදානමක් සහිත පශ්චාත් කම්පන ආතති අක්‍රමිකතාව (PTSD with high risk of suicide). වධහිංසා හෝ අයහපත් සැලකීම්වලට ලක්වූ බවට අනුකූල වන ලක්ෂණ වාර්තාවේ ස්ථාන හතරකම තහවුරු කර ඇත [24 වන පිටුව].

 

වධහිංසා පැමිණවීම පිළිබඳ නීති කණ්ඩායම ඉදිරිපත් කළ කාලක්‍රමය

සැකකරුට එරෙහිව සිදුවූ බව කියන කෲර සහ අවමන් සහගත සැලකීම් සම්බන්ධයෙන් පහත සිදුවීම් දාමය අධිකරණයේ අවධානයට යොමු කර තිබිණි:

 

  • පෙබරවාරි 25 / 28: අත්අඩංගුවට ගැනීම සහ රඳවා තබා ගැනීමේ නියෝග (DO) ලබා ගැනීම.

  • මාර්තු 02 සිට 06 දක්වා: වැසිකිළියක් අසල ඇති 'දඬුවම් කුටියකට' (Punishment cell) මාරු කර ඇති අතර, අමානුෂික සැලකීම් සිදුව ඇත්තේ මෙම කාලය තුළදීය.

  • මාර්තු 07: පවුලේ සාමාජිකයින්ට ඔහුව හමුවීමට අවස්ථාව ලැබුණු අතර එහිදී තමාට සිදුවන අමානුෂික සැලකීම් ගැන සලේ පැමිණිලි කර ඇත. එදිනම ඔහුගේ බිරිඳ පොලිස්පතිවරයාට පැමිණිල්ලක් කරමින් විධිමත් පරීක්ෂණයක් ඉල්ලා සිටියද, අද දක්වා කිසිදු පියවරක් ගෙන නොමැත. (මාර්තු 11 අධිකරණයට ඉදිරිපත් කළ මෝසම සමග මෙම පැමිණිල්ලේ පිටපතක් ද ගොනු කර ඇත).

  • මාර්තු 24: මහේස්ත්‍රාත්වරයාගේ පළමු නිරීක්ෂණ චාරිකාව සිදුවූ අතර, එහිදී මෙම තත්ත්වය පිළිබඳව දැනුම් දී එය නඩු ගොනුවේ සටහන් කර ඇත.

  • මාර්තු 27: මහේස්ත්‍රාත් අවසරය මත නීතීඥවරයාට රහසිගතව සලේ හමුවීමට ලැබුණු අතර, එහිදී සිද්ධිය පිළිබඳ සවිස්තරාත්මක තොරතුරු ලබා දී තිබේ.

  • අප්‍රේල් 22: ඉන්පසු පැමිණි පළමු නඩු දිනයේදී, ලිඛිත දේශන හරහා CID යෙන් නඩුව ඉවත් කරන ලෙස ඉල්ලා සිටි අතර, එහි 10 වැනි ඡේදයෙන් සිදුවීම විස්තර කරමින් සැකකරු JMO වෙත යොමු කරන ලෙස ඉල්ලා ඇත.

  • අප්‍රේල් 24: අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා (SDIG CID) වෙත ඊමේල් පණිවුඩයක් යවමින්, වධහිංසා සිදුවූ බව කියන සිදුවීමට අදාළ ස්වාධීන ඩිජිටල් සාක්ෂියක් වන CCTV දර්ශන ආරක්ෂා කරන ලෙස සලේගේ බිරිඳ ඉල්ලා ඇත.

 

හිටපු ජනාධිපති ඇතුළු තිදෙනෙකුට විදෙස් ගමන් තහනම්

එදිනම (ජූනි 03) උදෑසන, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ ඉල්ලීමක් සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා පහත පුද්ගලයින්ගේ විදෙස් ගමන් තහනම් කරමින් නියෝගයක් නිකුත් කළේය.

  1. හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ

  2. කර්නල් මොහොමඩ් අන්සාර්

  3. ප්‍රේමනන්ද උදලාගම නොහොත් සිල්වා (යුද හමුදා බුද්ධි අංශ නිලධාරී)

 

මෙම සැකකරුවන් රටින් පලා යාමේ අවදානමක් පවතින බවත්, ඔවුන් විදේශගත වුවහොත් පාස්කු ප්‍රහාරයේ පරීක්ෂණවලට එය බාධාවක් (ආතතියක්) වන බවත් CID ය අධිකරණයට පෙන්වා දුන්නේය. මෙම නියෝගය ෆැක්ස් මගින් ආගමන විගමන පාලක ජනරාල්වරයා වෙත දැනුම් දෙන ලෙස මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

 

මෙහිදී CID ය වැඩිදුරටත් අධිකරණයට දන්වා සිටියේ මෙම සිද්ධියේ තුන්වන සැකකරු වන හිටපු යුද හමුදා බුද්ධි ප්‍රධානී සුරේෂ් සලේ සම්බන්ධයෙන් ද විමර්ශන සිදුකරන බවයි. මීට අමතරව, අදාළ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින පොලිස් නිලධාරීන් දෙදෙනා ලබන 17 වනදා තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමටද නියෝග කෙරිණි.

 

 

එක් පසෙකින් පාස්කු ප්‍රහාරයේ සත්‍යය සෙවීම සඳහා වගකිවයුතු ඉහළ පෙළේ නිලධාරීන් සහ හිටපු ජනාධිපතිවරයා රටින් පලායාම වැළැක්වීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) ක්‍රියාමාර්ග ගනිමින් සිටී. එහෙත් අනෙක් පසින්, එම CID ය භාරයේම රඳවා සිටින ප්‍රධාන සැකකරුවෙකු වධහිංසාවට ලක්ව සියදිවි නසා ගැනීමේ ඉහළ අවදානමකට පත්වීම, ශ්‍රී ලංකාවේ නීතියේ ආධිපත්‍යය සහ මානව හිමිකම් සුරක්ෂිත වීම සම්බන්ධයෙන් ප්‍රබල ප්‍රශ්නාර්ථයක් මතු කරයි. විශේෂයෙන්ම, සුරේෂ් සලේගේ අධිකරණ වෛද්‍ය (JMO) වාර්තාවේ දැක්වෙන සලකුණු සහ නිගමන නිරීක්ෂණය කිරීමේදී, නීතිය ක්‍රියාත්මක කිරීමේ හෝ විමර්ශන කිරීමේ මුවාවෙන් යම්කිසි 'පුද්ගල අරියාදුකම්' පිරිමසා ගැනීමක් ක්‍රියාත්මක වන බවට පැහැදිලිව පෙනී යන බවට විචාරක මතය වී ඇත. අධිකරණ වෛද්‍ය වාර්තා මගින්ද මෙම වධහිංසා පැමිණවීම් විද්‍යාත්මකව තහවුරු වී ඇති පසුබිමක, මෙම ආන්දෝලනාත්මක නඩු විභාගය ඉදිරියේදී දේශීය මෙන්ම ජාත්‍යන්තර සංවිධානවලද දැඩි අවධානයකට ලක්වනු නිසැකය.

 

#සමාරා පරණවිතාන

නවතම ලිපි