SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

 

 ශ්‍රී ලංකා නීති ඉතිහාසයේ මහත් ආන්දෝලනයකට තුඩු දුන්, ප්‍රමිතියෙන් තොර හියුමන් ඉමියුනෝග්ලොබියුලීන් (Human Immunoglobulin) එන්නත් සිද්ධිය සහ

ඉන්දියානු ණය ආධාර ක්‍රමය යටතේ ලැබුණු අරමුදල් අවභාවිතය සම්බන්ධයෙන් වන නඩු විභාගය මේ දිනවල කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ විභාග වෙමින් පවතී. හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු විත්තිකරුවන්ට එරෙහිව ගොනු කර ඇති මෙම නඩුවේ ඊයේ (17) දිනයේ වාර්තා වූ සාක්ෂි විභාගය, ලාංකීය අධිකරණ ඉතිහාසයේ සුවිශේෂී සන්ධිස්ථානයක් සටහන් කළේය.

 

 images 2

 

 

බොහෝ ආන්දෝලනාත්මක නඩු විභාගවලදී අපට සුලබව දැකගත හැක්කේ, පැමිණිල්ලේ හෝ විත්තියේ නීතිඥවරුන් විසින් මෙහෙයවනු ලබන පරිදි, පෙරහුරු කළ පිළිතුරු සපයන හෝ එක් පාර්ශ්වයකට පමණක් වාසි සහගත වන අයුරින් කරුණු දක්වන සාක්ෂිකරුවන්ය. එහෙත් ඊයේ දින සාක්ෂි කූඩුවට නැගුණු සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් ශිරාණි චන්ද්‍රිකා වික්‍රමසිංහ මහත්මියගේ සාක්ෂි ලබා දීමේ විලාසය ඊට හාත්පසින්ම වෙනස් වූ, පරමාදර්ශී එකක් විය. ඇය අපක්ෂපාතී රාජ්‍ය නිලධාරිනියක ලෙස, දේශපාලනික හෝ වෙනත් කිසිදු අභිමතාර්ථයකින් තොරව, තමන් දන්නා සත්‍යය පමණක් සෘජුව අධිකරණය හමුවේ ප්‍රකාශ කළාය.

 

 

විශේෂයෙන්ම, පැමිණිල්ල මෙහෙයවන නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය විසින් යම් නිශ්චිත පිළිතුරක් අපේක්ෂාවෙන් (leading questions) නැගූ ප්‍රශ්න හමුවේ වුවද, සාක්ෂිකාරිය නොසැලී ලේඛනගත සාක්ෂි සහ සත්‍යය මත පමණක් පිහිටා පිළිතුරු දීම මෙහිදී දැඩිව අගය කළ යුතු වේ. ඇයගේ සෘජුභාවය මනාව පිළිඹිබු වූ අවස්ථා කිහිපයක් නඩු වාර්තාවෙන් උපුටා දැක්විය හැකිය:

 

 

  • අනුමාන කිරීම් වෙනුවට ලේඛනගත සත්‍යය මත පිහිටීම: දසවන විත්තිකරු (හිටපු අතිරේක ලේකම්) නියෝජ්‍ය භාණ්ඩාගාර ලේකම්වරයාගේ උපදෙස්වලට පටහැනිව කටයුතු කර ඇත්දැයි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය නැගූ ප්‍රශ්නයේදී, පැමිණිල්ල අපේක්ෂා කළ අනුමාන පිළිතුර ලබා දෙනවා වෙනුවට සාක්ෂිකාරිය ලබාදුන් පිළිතුර ඇයගේ වෘත්තීය අවංකභාවයට මනා නිදසුනකි:

 

 

"මට අවස්ථාවක් දෙන්න මේ ලිපිය කියවන්න. මේ මිනිට් එකේ එහෙම සඳහන් වෙලා නෑ. මට හොඳට මතකයි අපේ ඉල්ලීමට නියෝජ්‍ය භාණ්ඩාගාර ලේකම්ගෙන් අවසර ගත් බව..."

 

 

  • නොදන්නා දේ "නොදනිමි" යැයි කීමට ඇති අවංකභාවය: තමාට නිශ්චිතව මතක නැති කරුණු සම්බන්ධයෙන් අනුමාන කර පිළිතුරු දීමෙන් හෝ වෙනත් අයෙකු මත වරද පැටවීමෙන් වැළකී සිටීමට තරම් ඇය නිහතමානී වූවාය. ඇමරිකානු ඩොලර් මිලියන 35ක මුදලට අදාළව කැබිනට් පත්‍රිකාවට ඖෂධ සැපයුම්කරුවන් ඇතුළත් කළේද යන ප්‍රශ්නයට ඇය දුන් පිළිතුර ඊට සාක්ෂි දරයි:

 

 

"මට ඒ ගැන මතක නැහැ. ඒකට ඒ සැපයුම්කරුවන් ඇතුළත් කළාද කියලා මතක නෑ."

 

 

  • සාමූහික වගකීම පිළිගැනීම: මුදල් වෙන් කිරීම් සහ ඉල්ලීම් සම්බන්ධයෙන් අනුකමිටුව ගත් තීරණ ගැන පැහැදිලි කිරීමේදී, වගකීමෙන් පලා නොගොස් වගකීම් සහගත රාජ්‍ය නිලධාරිනියක ලෙස ඇය මෙසේ ප්‍රකාශ කළාය:

 

"ඒක මම පුද්ගලිකව ගත්තු තීරණයක් නෙමෙයි. අනුකමිටුව ගත්තු සාමූහික තීරණයක්."

 

 

courtss 688508

 

 

නඩු විභාගයකදී සත්‍යය මතුකර ගැනීමට නම් සාක්ෂිකරුවන්ගේ මෙවැනි අපක්ෂපාතී සහ සෘජු ප්‍රකාශ අත්‍යවශ්‍ය වේ. බාහිර බලපෑම්වලට හෝ නීතිමය හරඹවලට හසු නොවී, තමන් දන්නා කරුණු පමණක් අදාළ ලිපි ලේඛනවලට අනුකූලව ඉදිරිපත් කිරීම, සමස්ත නීතියේ ආධිපත්‍යය සුරැකීමට ලැබෙන මහත් ආශීර්වාදයකි. රාජ්‍ය සේවයේ ගෞරවය ආරක්ෂා වන්නේද මෙවැනි ඍජු නිලධාරීන් නිසාවෙනි.

 

 

වියාචනය (Disclaimer): මෙම ලිපිය සහ උපුටා දැක්වීම් හුදෙක් වාර්තා වූ කරුණු සහ එහි දක්නට ලැබුණු සාක්ෂි ලබාදීමේ ස්වභාවය පිළිබඳ අපගේ ස්වාධීන හා විශ්ලේෂණාත්මක සටහනක් පමණි. මෙය කිසිසේත්ම නීතිය හෝ අධිකරණ ක්‍රියාවලිය අතික්‍රමණය කිරීමක් හෝ ඊට බලපෑම් කිරීමක් නොවේ. නඩුවේ අවසන් තීන්දුව සහ නිගමනයන් එළඹෙන්නේ ගරු ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණයේ විධිමත් ක්‍රියාපටිපාටිය සහ විනිසුරු මඩුල්ලේ තීරණය මත පමණක් බව කාරුණිකව සලකන්න.

 

 

1728403042 Vaccine L

 

 

නඩු වාර්තාව

16/03/2026

 

ඉන්දියානු ණය ආධාර ක්‍රමය යටතේ සෞඛ්‍ය අමාත්‍යාංශයට වෙන්කළ ඇමරිකානු ඩොලර් මිලියන 200 ක මුදල අත්‍යවශ්‍ය ඖෂධ මිලදී ගැනීමේ කටයුතු කඩිනමින් සිදු කරන ලෙසට වෙළඳ අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් උපදෙස් ලබා දී තිබූ බව තමා දන්නේ යැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් ශිරාණි චන්ද්‍රිකා වික්‍රමසිංහ මහත්මිය ඊයේ (17) කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය  හමුවේ සාක්ෂි දෙමින් ප්‍රකාශ කළාය.

 

ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය විසින් අනුමත කර තිබූ ටෙන්ඩර් පත්‍රවලට පවා ඇතුළත් ඖෂධ වර්ග පවා ඉන්දියාවෙන් ආනයනය නොකිරීම නිසා රජය ඒ සම්බන්ධයෙන් උනන්දුවක් නොදක්වන බවට ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය පවා සිතනු ඇති බවත් එමඟින් දෙරට අතර පවතින අන්නෝන්‍ය සුහදතාවය යම් ආකාරයකින් පළුදු වීමක් සිදුවිය හැකි බවද ප්‍රධාන කමිටුවේ සභාපතිවරයා වෙත එමඟින් වැඩිදුරටත් දැනුම් දී තිබූ බවද සාක්‍ෂිකාරිය පැවසුවාය. අදාල ටෙන්ඩර් ලබාගෙන ඖෂධ සැපයීමක් එතෙක් සිදු නොකර ප්‍රමාද කරන සැපයුම්කරුවන්ට යම්කිසි දඩ මුදලක් අය කර ගැනීමට පියවර ගන්නා ලෙසටත් ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය සමඟ සාකච්ඡා කොට කඩිනමින් ඒ සඳහා පියවර ගන්නා ලෙසට එමඟින්  දැනුම් දී තිබූ බවද පැමිණිල්ල මෙහෙයවන නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය ඊට අදාළ ලිපි ලේඛන ඉදිරිපත් කොට සාක්ෂිකාරිය මගින් අධිකරණය හමුවේ  පැමිණිල්ලේ සාක්‍ෂි ලේඛන ලෙස නම් කරමින් ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් සාක්ෂිකාරිය පැවසුවාය.

 

ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් එනම් හියුමන් ඉමියුනෝග්ලොබියුලීන් රිටක්සිමැබ්  ඖෂධ කුප්පි 6195 සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් අංශයට සපයා රුපියල් ලක්ෂ 1449 ක් වංක ලෙස ව්‍යපහරණය කිරීම ඇතුළු අධි චෝදනා දහතුනක් යටතේ හිටපු සෞඛ්‍ය අමාත්‍යය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු විත්තිකරුවන් දොළහකට එරෙහිව නීතිපතිවරයා විසින් පවරා තිබූ එම නඩුව ප්‍රියන්ත ලියනගේ , විරාජ් වීර සූරිය හා තිලකරත්න බණ්ඩාර යන මහත්වරුන්ගෙන් සමන්විත ස්ථිර ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේදී කැඳවිණි.

 

එහිදී නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරියගේ. මෙහෙයවීම යටතේ දෙවන දිනටත් සාක්‍ෂි ලබා දීම  ආරම්භ කළ සාක්ෂිකාරිය මෙලෙසද සාක්ෂි දෙමින් පැවසුවාය.

 

ඉන්දියානු නය ආධාර ක්‍රමය යටතේ ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර ඇති කරගත් ගිවිසුම ප්‍රකාරව ලැබුණ ඇමරිකානු ඩොලර් මිලියන 1000 න් ඇමරිකානු ඩොලර් මිලියන 200ක් වෙන්කර තිබුණේ අත්‍යවශ්‍ය ඖෂධ ඇතුළු වෛද්‍ය උපකරණ මිලදී ගැනීම සඳහායි. 2022.08.29 වැනිදා පැවැති අනුකමිටු රැස්වීමට මම සහභාගි වුණා. ඒ වනවිට නියෝජ්‍ය භාණ්ඩාගාර ලේකම් දැනුම් දී  තිබුණා එකී මුදලින් රාජ්‍ය අංශයට වෙන් කළ ඇමරිකානු ඩොලර් මිලියන 114.9 ක මුදලින් රාජ්‍ය අංශය භාවිතා කර තිබුණේ මිලියන 27.4 ක මුදලක් පමණක් වන බැවින් පෞද්ගලික අංශය ඇතුළු වෙනත් අංශ වෙත එකී මුදල් වෙන්කර හෝ අවශ්‍ය ඖෂධ කඩිනමින් ගෙන්වීමට පියවර ගන්නා ලෙසට සෞඛ්‍ය ඇමතිතුමාගේ මූලිකත්වයෙන් පැවැති ඖෂධ සමාලෝචන රැස්වීමකදී පවා ඉන්දියානු ණය ආධාර ක්‍රමය යටතේ ඖෂධ ආනයනය සඳහා වෙන්කළ මුදල් නිසි ලෙස උපයෝජනය නොවීම සම්බන්ධයෙන් සාකච්ඡාා වුණා.

 

නියෝජ්‍ය සොළිසිටර් ජෙනරාල්වරිය  ; ඔබ ඔය කියන අමාත්‍යතුමා මේ අධිකරණයේ සිටිනවාද?

සාක්ෂිකාරිය ; එහෙමයි ස්වාමීනී. එවකට සෞඛ්‍ය ඇමතිතුමා ලෙස කටයුතු කළේ කෙහෙළිය රඹුක්වැල්ල මහත්තයා අධිකරණයේ සිටිනවා.

(සාක්ෂිකාරිය අටවන විත්තිකාර කෙහෙළිය රඹුක්වැල්ල මහතා නඩුවේ අටවන විත්තිකරු ලෙස හඳුනා ගනී.) එම රැස්වීමට අධිකරණයේ සිටින ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත මහතා ද සහභාගි වුණා.(සාක්ෂිකාරිය හයවන චූදිත හඳුනාගනියි)

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; ඔබ මේ නඩුවේ 10 වන විත්තිකරුවා අඳුරනවාද?

සාක්‍ෂිකාරිය ; ඔව් ඩොක්ට හේරත් මගේ බැච්මේට් ඔහුව අවුරුදු 40ක් තිස්සේ අඳුරනවා.

සාක්ෂිකාරිය අධිකරණයේ විත්තිකරුවන් අතර සිටි හත්වන විත්තිකාර ධර්මසිරි රත්න කුමාර හේරත් මහතාව ද හඳුනා ගනී )

 

දිවා ආහාර විවේකයෙන් පසුව පැමිණිල්ල මෙහෙයවන නියෝජ්‍ය සොළිසිටර් ජෙනරාල්වරිය එම සාක්ෂිකාරියගෙන් දස වන විත්තිකාර සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු අතිරේක ලේකම් සමන් රත්නායක මහතා ඉදිරිපත් කළ ලිපියක් සම්බන්ධයෙන් ඇසූ ප්‍රශ්නයක් පිළිබඳව දසවන විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ප්‍රියන්ත නාවාන මහතා විරුද්ධත්වය දැක්වීය. නීතිඥ රහුල් ජයතිලක මහතා ද එම විරුද්ධත්වයට එක්විය.

 

නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය ; මොකක්ද මම අහපු ප්‍රශ්නයේ වැරැද්ද? විත්තියේ නීතිඥවරුන්ට ඕන ප්‍රශ්න මම අහන්නේ නෑ.

ජනාධිපති නීතිඥ ප්‍රියන්ත නාවාන මහතා ; නියෝජ්‍ය භාණ්ඩාගාර ලේකම්වරයා ලබා දුන් උපදේශයට පටහැනිව කටයුතු කරන්න දස වන විත්තිකරු උපදෙස් ලබාදුන්නාද? එහෙම උපදෙස්  දුන්නේ කවුද කියලා උත්තර ලැබෙන විදියටයි පැමිණිල්ලේ නීතිඥවරිය ප්‍රශ්න ඇහැව්වේ.

සභාපති විනිසුරු ප්‍රියන්ත ලියනගේ මහතා ; ඒ ප්‍රශ්නය ඉවත් කරන්න හරියට ප්‍රශ්නය අහන්න.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; ඖෂධ ආනයනයට පෙර වෙන්කළ මුදලට අමතරව තවත් ඇමරිකානු ඩොලර් මිලියන 35 ක් දීම සම්බන්ධයෙන් 2022.12.01 ඉදිරිපත් වූ පැ 69 ලේඛන  ගැනයි නියෝජ්‍ය භාණ්ඩාගාර ලේකම් ලබා දුන් උපදෙස් ගැනයි. මම ඇහැව්වේ.

සාක්ෂිකාරිය ; 2022.10.01 වැනිදා කැබිනට් මණ්ඩල සංදේශයක් මගින් තීරණය කර තිබුණා.

නියෝජ්‍ය සොළිසිටර් ජනරාල්වරිය ; පැ 44 හා පැ 45 කියන්නේ එම කැබිනට් තීරණය නේද? පැ 200ට සාකච්ඡාවේදී සාකච්ඡා වුණාද ? එම ඇමරිකානු ඩොලර් 35 ක මුදල පෞද්ගලික අංශයට පමණක් නොවෙන සියළුම අංශවලට බෙදී යන ලෙස ලබාදිය යුතුයි කියලා. ඒ කොටසට ගැනෙන සප්ලයර්ස්ලා කවුද?

සාක්ෂිකාරිය; මට ඒ ගැන දැනීමක් නෑ.

නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය ; කැබිනට් පත්‍රිකාව අනුව එම ඖෂධ 38 ට අදාළ සැපයුම්කරුවන් එම ලේඛනයට ඇතුළත් කළාද ?

සාක්ෂිකාරිය ; මට ඒ ගැන මතක නැහැ. ඒකට ඒ සැපයුම් කරුවන් ඇතුළත් කළාද කියලා මතක නෑ.

සාක්ෂිකාරිය ; 2022.08.09 වැනිදා භාණ්ඩාගාර නියෝජ්‍ය ලේකම්ට ලිපියක් ලියන්න අනුකමිටුව තීරණය කළා. සමාවෙන්න දිනය වෙනස් වුණා.

නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය ; ඔබ තුමිය දිව්රුම් පිට අධිකරණයක් හමුවේ සාක්ෂි දෙන්නේ හරියට බලලා කියන්න.

සාක්ෂිකාරිය ; ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ ඖෂධ ගෙන්වීමට අදාළ කටයුතු 2022.08.30 වන විට සියලු ලේඛන අවසන් කොට සම්බන්ධීකරණ කමිටුවට 2023.01.31 ට පෙර සියලු ඖෂධ ලබාදිය යුතු බව ඉන් දැනුම් දී තිබුණා.  (නියෝජ්‍ය සොළිසිටර් ජෙනරාල්වරිය සාක්ෂිකාරියගෙන් යම් ප්‍රශ්නයක් අසයි)

සාක්ෂිකාරිය ; නැවත වරක් ප්‍රශ්නය අසන්න ප්‍රශ්නය පැහැදිලි නෑ.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය; ඊළඟ අනුකමිටු රැස්වීමට පෙර අවශ්‍ය දේවල් දැනුම්දෙන්න කියලා නියෝජ්‍ය භාණ්ඩාගාර ලේකම් ඔබගේ අනුකමිටුවට තදබල උපදේශයක් දීලා තිබුණා නේද? 2022.09.30 වැනිදා වන විට රාජ්‍ය  අංශයේ ඖෂධ සැපයීම ප්‍රගතිය බලලා රාජ්‍ය අංශයට වෙන්කර තිබෙන මුදලින් කොටසක් පෞද්ගලික අංශයට දීමට පියවර ගන්න කියලා එමගින් දැනුම් දී තිබුණා නේද ?

සාක්ෂිකාරිය ; එහෙමයි ස්වාමීනී.

නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය ; පැ 191 ලිපියේ බී කොටසේ සඳහන් 2022.09.22 රැස්වීම මොකක්ද?

සාක්ෂිකාරිය ; 2022.09.12 වැනිදා ගරු ඇමතිතුමාගේ සහභාගිත්වයෙන් පැවැති රැස්වීමක් රාජ්‍ය ඖෂධ සංස්ථාවට ඖෂධ මිලදී ගැනීම සඳහා වෙන්කර තිබූ මුදලින් ඇමරිකානු ඩොලර් මිලියන 50 ක් පෞද්ගලික අංශයට දෙන එකට විරුද්ධ නැහැ කියලා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව ලිඛිතව දැනුම් දී තිබුණා.

නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය ; හයවන චූදිතගේ අවධානයට යොමු කළ ඒ ලිපිය ඔබට ලැබුණේ කොහොමද ?

සාක්ෂිකාරිය ; හයවන චූදිත සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්තුමා. ලේකම්තුමාට ලිඛිතව යම් නිල නිවේදනයක් ලැබුණ විට අනුකමිටුවට යොමු කරනවා. ඒ අනුව තමයි එම ලිපිය අපිට ලැබුණේ.

නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය ; 2022.09.14 වැනිදා තිබුන රැස්වීම මොකක්ද? පැ 191 ලේඛනයට ඇතුළත් වුණාද පුද්ගලික අංශයට වෙන් කළ ඩොලර් මිලියන 50 න් ලබාගත යුතු ඖෂධ මොනවාද කියලා කීවාද ?

සාක්ෂිකාරිය ; නෑ හදිසි සහ අත්‍යවශ්‍ය ඖෂධ පමණක් එම ඩොලර් මිලියන 50 න් ආනයනය කළ යුතු බව එම අනුකමිටුවේදී යෝජනා කළා.

නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය ; 2022.09.16 වැනිදා පැවති රැස්වීම මොකක්ද?

සාක්ෂිකාරිය ; ගරු ඇමතිතුමාගේ ප්‍රධානත්වයෙන් එදින ඖෂධ සමාලෝචන රැස්වීම.

නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය ; ඔබතුමිය දැන් අවස්ථා කීපයකදීම කියපු ගරු ඇමතිතුමා කවුද?

සාක්ෂිකාරිය ; කෙහෙළිය රඹුක්වැල්ල මහත්තයා. රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවට ඉන්දියානු නය ආධාර යෝජනා ක්‍රමය යටතේ ඖෂධ මිලදී ගැනීමට වෙන් කළ මුදලින් ඇමරිකානු ඩොලර් මිලියන 35 ක් පුද්ගලික අංශයට දුන්නොත් හදිසි අවස්ථාවකදී එස්.පී.සී (SPC) එකට බෙහෙත් ගන්න බැරිවෙයි කියලා වෛද්‍ය ධර්මසිරි රත්න කුමාර හේරත් මහත්තයා ඒ ගැන විරුද්ධත්වය දක්වලා තිබුණා. නමුත් 2022.09.22 වැනිදා නියෝජ්‍ය භාණ්ඩාගාර ලේකම් පවසා තිබුණා හැකි ඉක්මනින්ම එම මුදල පෞද්ගලික අංශය මගින් හෝ අවශ්‍ය ඖෂධ  ගෙන්වීමට පියවර ගන්නා ලෙසට. කෙසේ නමුත් කෙලෙස හෝ අත්‍යවශ්‍ය ඖෂධ ලබාගැනීම වැදගත් නිසා අපිත් ඒක හොඳයි කියන මතයේ හිටියේ. අනිකුත් අංශ ඔවුන්ට වෙන්කළ මුදල් නිසි කටයුත්ත වෙනුවෙන් හරියාකාරව වැය කර තිබුණේ නෑ.

මෙම අවස්ථාවේදී විනිසුරු මඩුල්ල විනාඩි කීපයක්ම යම්කිසි කරුණක් පිළිබඳව නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරියගෙන් විමසන අයුරු දක්නට ලැබිණි)

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; 2022.09.20 වැනිදා පැවැති රැස්වීම මොකක්ද ?

සාක්ෂිකාරිය ; එදින සෞඛ්‍ය ඇමතිතුමා,  අමාත්‍යාංශයේ ලේකම්තුමා, සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන යන ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් පැවැති රැස්වීමේදී  නිසි තීරණයක් ගන්නාතුරු මා පෙර සඳහන් කළ ඇමරිකානු ඩොලර් 50ක මුදලින් ඩොලර් මිලියන 20 ක් පමණක් පුද්ගලික අංශයට වැඩිපුර ලබාදීමට තීරණය කොට තිබුණා.

නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය ; එම රැස්වීමට සහභාගි වූ අනෙක් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කවුද කියලා ඔබට කියන්න පුළුවන්ද?

සාක්ෂිකාරිය ; නමින් කියන්න දැන් මතක නෑ. අපේ රැස්වීමේදී වැඩිදුරටත් තීරණය කළා එලෙස ලබා දෙන අමතර ඩොලර් මිලියන 20ක මුදලින් ප්‍රමුඛතා ලැයිස්තුවේ තිබෙන බෙහෙත් පමණක් එම මුදලින් ගෙන්විය යුතු බවටත් එකී ලැයිස්තුවට අයත් නැති කිසිදු ඖෂධයක් එම මුදලින් නොගෙන්වීමටත්. ඒ වගේම ඒකෙ තිබෙන ප්‍රමුඛතා ලැයිස්තුවේ තිබෙන ඖෂධීය නාමය පමණක් ගෙන්වීමටත් වෙළඳ නාමය  යටතේ තිබෙන ඖෂධ  ආනයනය නොකිරීමටත් තීරණය කළා. එවකට ඖෂධ වෙළඳ නම් 10-15 කින් තියෙන බව අපි දන්නවා. ඒ වගේම ලංකාවේ නිෂ්පාදනය කරන බෙහෙත් ආනයනය කිරීමට අවසර නොදීමටත්  බෙහෙත්වල මාත්‍රාව නොතකා ආනයනය කිරීමටත් අපි අනුමැතිය දුන්නා. එකී නය ආධාර මුදල උපයෝජනය කිරීම ඒ වන විටත් ප්‍රමාද වී තිබූ නිසා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව (SPC) මගින් හෝ ඖෂධ නිෂ්පාදන සංස්ථාව (MSD) මගින් ඇනවුම් කරන ඖෂධ නැවත අනුමැතිය සඳහා එම්.එස්.ඩී ආනයනය වෙත නොයැවිය යුතු බවට ඉල්ලීම් ආවත් අපි එයට අවසර දුන්නේ නෑ.

නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය ; ප්‍රමුඛතා ලැයිස්තුවට අයත් ඖෂධ පමණක් ආනයනය කිරීමට තීරණය කිරීමෙන් ඖෂධ ආනයනයට යම් බලපෑමක් වුනාද?

සාක්ෂිකාරිය ; එහෙමයි ස්වාමීනී. පුද්ගලික අංශයෙන් ඉල්ලුම් නොලැබුණ නිසා පසුව අපි ප්‍රමුඛතා ලැයිස්තුවෙන් ගෙන්විය යුතුයි කියන කොන්දේසිය ඉවත් කළා. ඖෂධ ඇනවූම් කිරීම සඳහා පුද්ගලික අංශය ඉදිරිපත් නොවීම මත අපේ අනුකමිටුව තීරණය කළා අයදුම් ඉදිරිපත් කල හැකි දිනය දීර්ඝ කරදෙන ලෙස. එම ඉල්ලීමට විරුද්ධ නොවන බව නියෝජ්‍ය භාණ්ඩාගාර ලේකම්වරයා අපිට දන්වා තිබුණා.

නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය ; 10 වන චූදිත නියෝජ්‍ය භාණ්ඩාගාර ලේකම්ගේ උපදෙස් වලට පටහැනිව කටයුතු කර තිබෙනවාද ?

සාක්ෂිකාරිය ; මට අවස්ථාවක් දෙන්න මේ ලිපිය කියවන්න. මේ මිනිට් එකේ එහෙම සඳහන් වෙලා නෑ. මට හොඳට මතකයි අපේ ඉල්ලීමට නියෝජ්‍ය  භාණ්ඩාගාර ලේකම්ගෙන් අවසර ගත් බව. 2022.12.01 වැනිදා සෞඛ්‍ය ඇමතිතුමා ලබාගත් කැබිනට් තීරණයක් මගින් පෙර සඳහන් කළ ඇමරිකානු ඩොලර් මිලියන 35 ක මුදල් පෞද්ගලික අංශයට පමණක් නොව අනෙක් අංශ අතරත් බෙදී යා යුතු බව තීරණය කර තිබුණා. ඖෂධ අනුකමිටුව ඉල්ලූ කාලය දීර්ඝ කළත් එය ප්‍රමාණවත් වුනේ නෑ එම ඖෂධ සපයා ගැනීමට. ඒ නිසා අපේ අනුකමිටුව ඉල්ලීමක් කලා. ඖෂධ නොවන අනුකමිටුවකට හෝ එම මුදල් දීලා ප්‍රයෝජනයක් ගන්න කියලා. ඒක මම පුද්ගලිකව ගත්තු තීරණයක් නෙමෙයි. අනුකමිටුව ගත්තු සාමූහික තීරණයක්.

වැඩිදුර විභාගය 03/ 19 වැනිදාට කල්තැබිණි.

නවතම ලිපි