ගෝල්ෆේස් අරගලයෙන් පසුව ශ්‍රී ලංකාවේ බිහිවන සෑම රජයක්ම පොදුවේ පෙළෙන එක් ප්‍රබල භීතිකාවක් ඇත.
එනම් "විදුලි කප්පාදුව" පිළිබඳ භීතියයි. 2022 වසරේදී සමස්ත රාජ්‍ය යාන්ත්‍රණයම උඩු යටිකුරු කරමින් ජනතාව වීදි බැසීමට ප්‍රධානතම උත්ප්‍රේරකයක් වූයේ දිනකට පැය 10-13ක් දක්වා ඇදී ගිය විදුලි කප්පාදුවයි. එදා මෙදා තුර බලයට පත්වූ සෑම ආණ්ඩුවක්ම මෙම යථාර්ථය අභ්‍යන්තරිකවම හොඳින් දන්නා බැවින්, කෙසේ හෝ විදුලිය ලබාදීම තම දේශපාලන පැවැත්මේ ප්‍රධානතම කොන්දේසියක් බවට පත් කරගෙන ඇත.
එහෙත්, කණගාටුවට කරුණ නම්, මෙම භීතිය නිසාම ඔවුන් තිරසර සහ ජාතිකවාදී විසඳුම් වෙනුවට, යළි යළිත් ලෝක බලවතුන්ගේ සහ ජාත්‍යන්තර සමාගම්වල සාක්කු පුරවන, රටේ ඩොලර් සංචිත සූරා කන "ෆොසිල ඉන්ධන" (ගල් අඟුරු සහ ඛනිජ තෙල්) උගුලටම හසුවීමයි. වර්තමානයේ ලංකාව මුහුණ දී ඇති ආසන්නතම ගල් අඟුරු අර්බුදය මගින් මනාව පිළිඹිබු වන්නේ මෙම දේශපාලනාර්ථික ඛේදවාචකයයි.
ඩොලර් කාබාසිනියා කරන ආනයනික බලශක්ති යැපීම
ශ්‍රී ලංකාව යනු වසරේ දින 365ම නොමඳව හිරු එළිය ලැබෙන, මන්නාරම වැනි ලෝකයේ ඉහළම පෙළේ සුළං බලශක්ති කලාප (Wind Corridors) සහිත රටකි. එහෙත්, ස්වභාවධර්මයෙන් නොමිලයේ ලැබෙන මේ බලශක්ති ප්‍රභවයන් ජාතික විදුලිබල පද්ධතියට කාර්යක්ෂමව එක්කර ගැනීම වෙනුවට, දශක ගණනාවක් තිස්සේ බලයට පත්වූ ආණ්ඩු සිදුකළේ ඩොලර් බිලියන ගණනින් වැය කරමින් ගල් අඟුරු සහ ඩීසල් ආනයනය කිරීමයි.
මීට ප්‍රධාන හේතු කිහිපයකි:
- දේශපාලන සහ කොමිස් සංස්කෘතිය: දැවැන්ත ගල් අඟුරු හෝ තෙල් නැව් ගෙන්වීමේදී සිදුවන ටෙන්ඩර් ගනුදෙනු හරහා ඉහළ පෙළේ දේශපාලන සහ නිලධාරී පැලැන්තියට ලැබෙන ආර්ථික වාසි, පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති තුළින් ඒ ආකාරයෙන්ම ලබාගත නොහැකි වීම.
- ගෝලීය බලවතුන්ගේ බලපෑම: ගල් අඟුරු සහ තෙල් සැපයුම හරහා කලාපීය සහ ගෝලීය බලවතුන් ශ්‍රී ලංකාව වැනි සංවර්ධනය වෙමින් පවතින රටවල් සිය ග්‍රහණයේ තබා ගැනීම.
- කෙටි කාලීන පැවැත්ම: අරගලයකට බියෙන් පසුවන ආණ්ඩු, වසර 2-3ක් ගතවන සූර්ය හෝ සුළං බලාගාර ඉදි කරනවාට වඩා, කෙසේ හෝ ඩොලර් ණයට ගෙන හෝ ගල් අඟුරු නැවක් ගෙන්වා හෙට දවසේ විදුලිය ලබා දී තම බලය රැකගැනීමට උත්සාහ කිරීම.
වර්තමාන මොහොතේ භයානක යථාර්ථය: යළිත් පැය 13ක අඳුරකට?
අප ඉහත සාකච්ඡා කළ කෙටිකාලීන පැලැස්තර විසඳුම්වල ප්‍රතිඵලය අද වන විට රට හමුවේ පුපුරා යාමට ආසන්නව ඇත. වර්තමාන ගල් අඟුරු අර්බුදය හුදෙක් පරිපාලනමය ගැටලුවක් නොව, සමස්ත ආර්ථිකයම අඩපණ කළ හැකි ජාතික අනතුරකි.
ගෝලීය වෙළෙඳපොළේ ග්‍රහණයට නතුවීම:
යුරෝපය යළිත් ගල් අඟුරු වෙත හැරීමත් සමග, ගෝලීය වෙළෙඳපොළේ ගල් අඟුරු මෙට්‍රික් ටොන් එකක මිල ඩොලර් 200 සීමාව ඉක්මවා යාමට නියමිතය. අපේම සූර්ය බලය තිබියදී, මෙතරම් විශාල ඩොලර් ප්‍රමාණයක් විදේශයන්ට පූජා කිරීමට අපට සිදුව ඇත.
බංකොලොත් සහ අත්දැකීම් රහිත සැපයුම්කරුවන්:
වත්මන් අර්බුදය හමුවේ රජයට ගල් අඟුරු ටෙන්ඩරය ලබා දීමට සිදුව ඇත්තේ, නීතිමය වශයෙන් බංකොලොත් වෙමින් පවතින (TARANJOT) හෝ කිසිදු අත්දැකීමක් නොමැති (A2A Trading) සමාගමකටය. මින් පෙර සිටි සැපයුම්කරු ද ප්‍රමිතියෙන් තොර බාල ගල් අඟුරු සපයමින් රටේ බලශක්ති සුරක්ෂිතතාවය අනතුරේ හෙළූ අයෙකි.
කාලය අවසන් වෙමින් පැවතීම:
මැයි මාසයේ මෝසම් වැසි ආරම්භ වීමට පෙර නැව් ගොඩබෑමට නම්, මාර්තු 20 වනදාට ප්‍රථම මෙම තීරණාත්මක ටෙන්ඩරය ලබා දිය යුතුය. එසේ නොවුණහොත්, ලංකාවේ මිලියන 22ක් ජනතාවට යළිත් පැය 13ක විදුලි කප්පාදුවකට මුහුණ දීමට සිදුවනු ඇත.
ගෝල්ෆේස් අරගලයෙන් පසු සමාජය අපේක්ෂා කළ "ක්‍රමයේ වෙනස" (System Change) බලශක්ති ක්ෂේත්‍රය තුළ කිසිසේත්ම සිදුවී නොමැති බව මෙම අර්බුදයෙන් පැහැදිලි වේ. ආණ්ඩු අඳුරට සහ ජනතා නැගිටීම්වලට බිය වූවාට පමණක් මදි ය; එම බිය, රටේ ස්වභාවික සම්පත් ප්‍රයෝජනයට ගන්නා තිරසර ජාතික ප්‍රතිපත්තියක් බවට පරිවර්තනය විය යුතුය. එසේ නොමැතිව, හදිසි ටෙන්ඩර් හරහා බාල ගල් අඟුරු ගෙන්වමින්, විදේශිකයන්ට ඩොලර් පොම්ප කරන තාක් කල්, ශ්‍රී ලංකාව යනු ඕනෑම මොහොතක අඳුරට ඇද වැටිය හැකි, ගෝලීය බලශක්ති මාෆියාවේ අසරණ ගොදුරක් පමණි. ඉදිරි දින කිහිපය තුළ කැබිනට් මණ්ඩලය ගන්නා තීරණය, හුදෙක් ගල් අඟුරු නැවක් පිළිබඳ තීරණයක් නොව, රටේ අනාගත දිශානතිය තීරණය කරන තීරණාත්මක සන්ධිස්ථානයක් වන්නේ එබැවිනි.
# නිරෝමි සුබ්‍රමනියම්

